පන්දාහේ කොළ හැටයි මිනිස්කමයි - දුනුමිටියයි | සිළුමිණ

පන්දාහේ කොළ හැටයි මිනිස්කමයි - දුනුමිටියයි

 තම කුඩා ලොරියේ දුනුමිටි නඟන අමුතු ශබ්දය අසන කරුණාරත්නගේ කන පමණක් නොව හිත ද හිරි වැටිණ. දවස පුරා හොරණ මතු නොව ඒ අවට ප්‍රදේශයේ රවුම් ගසා හෙම්බත්ව පැමිණි ඊයේ දවසේත් මේ අමුතු ශබ්දය තම කුඩා ‍ලොරියෙන් නැ‍ඟෙනු අසා සිටි ඔහුට ඇතිවූ කම්පනය නැවතත් හිත පුරා දැඟැලුවේ ය.

මොනවා කරන්නද? අද සවස කොහොම හරි කීයක් හරි හොයාගෙන හදා ගන්නවා... ඒ සිතිවිල්ලෙන් සැනැහුණ කරුණාරත්න පරණ පත්තර හා වෙනත් අබලි ද්‍රව්‍ය එකතු කරන රස්සාවට යන්නට සූදානම් විය. සේදරන් කොලුවා ද ලොරියට නැඟී සිටිනු දකින කරුණාරත්නට සොම්නසක් නැඟිණ.

ඔහු සාමාන්‍යයෙන් පරණ පත්තර කිලෝවක් මිලදී ගන්නේ රුපියල් දහයකට ය. නියමිත බර හරියට ම කිරන කරුණාරත්න එන තුරු සමහරුන් බලා සිටින්නේ සාධාරණය ඉටුකරවා ගත හැක්කේ ඔහුගෙන් ම වන නිසාය.

ඉකුත් සිකුරාදා 17 දා තම විශ්වාසවන්ත සේවකයා වේලු සම්මුගන් සේදරන් සමඟ හොරණ ප්‍රදේශයේ තැන් කිහිපයකට ගිය කරු පරණ පත්තර හා අබලිද්‍රව්‍ය එකතු කරමින් සිටියේය.

හිටිහැටියේ හොරණ 20 කණුව ප්‍රදේශයේ කාන්තාවක පාර අයිනට විත් අත්පුඩි ගසා ලොරිය නැවැත්වුවාය. ඇගේ අප්පුඩියට කන් දුන් අප කථානායකයා තම කුඩා ‍ලොරිය එම නිවෙස අසල නැවැත්වීය. “පත්තර කිලෝ කීපයක් තියෙනවා, වටිනා මිලක් දෙන්ඩ” ඇය කීවා ය. ‘හොඳයි! බලමු....” ඔහු ගේ පිළිතුර විය.

පරණ පත්තර මිටිය හීන් රෙදි පටියකින් බැඳ දමා තිබිණ. ඔහු රෙදිකඩ ගලවා පත්තර ඇඟිලිවලින් ඈත් මෑත් කැර බලා තරාදියට දැමුවේය. එහි කිලෝ 10 ක් සටහන් වූ අතර කිලෝවකට රුපියල් දහය ගණනේ ගෙවිය යුතු මුදල වූයේ රුපියල් 100 කි. එම පත්තර තොගය පොහොර උරයක දමා ගත්‍ සේදරන් හා කරුණාරත්න එය ලොරියට පටවා ගත්හ. අනතුරුව ඔවුහු වෙනදා මෙන් එදත් සුපුරුදු වෘත්තියේ ම නියැළී සිටියහ.

හීන් ඇඳිරිය දසත වෙළද්දී රාජකාරිය අවසන් කළ කරුණාරත්න තමා එකතු කැර ගත් පත්තර හා වෙනත් අබලි ද්‍රව්‍ය රැගෙන ආවේ මූණගම වෙළෙඳසලක් ළඟටය. එය තොගයට මේ බඩු විකුණන ස්ථානයකි.

සාමාන්‍යයෙන් එකතු කරන දේ නිකම් ම බාර දීම කරුණාරත්නගේ සිරිත නොවේ. ඒවා වෙන් ‍වෙන්ව ගොඩ ගසා නැවත පරීක්ෂා කිරිම ඔහු හැමදා කරන්නකි. ඒ අතර ලොරියේ දුනු මුටි නඟන අමුතු ශබ්දය හදා ගැනීමට ඉක්මනින් මේවා බාරදී යාමට හෙතෙම කල්පනා කළේය.

මේ පත්තර තොගය පරික්ෂා කරද්දි ඔහු විස්මිත කරමින් ඒ මිටිය ඇතුළත රබර් පටියක් දැමූ රුපියල් 5000 නෝට්ටු මිටියක් හමුවී තිබේ. එතැන සියල්ලම 5000 නෝට්ටු ම හැටක් විය. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 3 ක මුදලකි. ඔහු එය පරෙස්සමින් නවා නැවත වෙන ම තබා ගත්තේ මේ මුදල අයිතිකරුට ලබාදීමේ අභිප්‍රායෙනි. මා එසේ කියන්නේ මීට වසර ගණනාවකට පෙර ත්‍රීවිල රියැදුරකු ලෙස කටයුතු කළ කරුණාරත්නගේ සද්ගුණයන් ඇසූ බැවිනි. වරක් කරුණාරත්නට තම ත්‍රීවිලරයේ අත්හැර මඟ හැරී ගිය පවුම් 2 1/2 අත් පලඳනාවක් හා රුපියල් 40,000 ක මුදල් පසුම්බියක් හමුවිය. ඔහු ඒවා අසුලා අයිතිකරුට බාර දුන් අපූරු මිනිසෙකි.

ඒ අපූරු මිනිස්කම නැවත විකසිත කරන්නට මෙය අවස්ථාවක් යැයි ඔහු කල්පනා කළේය.

‍එහෙත් මේ අතර තවත් තැනක තවත් යමක් සිදුවෙමින් තිබේ. ඒ පරණ පත්තර විකුණූ ගෙදරය. ඒ පරණ පත්තර විකුණූ ගැහැනියගේ සැමියා ඇයටත් නොදන්වා මේ මුදල පත්තර මිටිය තුළ සඟවා තිබිණ. පත්තර විකුණූ බව ඇය පවසද්දි ඔහු දෙලොව රත් වී ඇත්ත කතාව කීවේ ය.

මෙය ලබා ගැනීමට කුමක් කළ යුතු දැයි සිත සිතා සිටි ඒ යුවළට නගරයේ අබලි ද්‍රව්‍ය විකුණන ව්‍යාපාරිකයෙකු මතකයට නැඟිණ. ඔවුහු එම ව්‍යාපාරිකයා සොයා දිව ගියහ.

අනේ, අපේ ගෙදර ඔප්පුවත් ඒ අතර තිබිලා... පරණ පත්තර මිටියත් එක්ක ඒකත් ගියා... ඔහු ව්‍යාපාරිකයාට කීවේය. ව්‍යාපාරිකයාට ඒ කුඩා ‍ලොරිය ගැනත් පුද්ගලයාගේ හැඩරුව ගැනත් පවසා සිටියෙන් ඔහුට කරුණාරත්න ගැන කල්පනා විය. ඊළඟ මොහොතේ කරුණාරත්නගේ දුරකථනයට ඇමතුමක් ලැබ‍ුණේ හොරණ නගරයේ යට කී ව්‍යාපාරිකයාගෙනි.

“මට ඔප්පුවක් නම් කොහේවත් තිබිලා හමුවුණේ නෑ. ඒත් මට රුපියල් ලක්ෂ 3 ක් නම් ලැබුණා...”

එසේ කියූ කරුණාරත්න ‍ඒ වෙළෙඳසල ළඟට ඉක්මනින් එන බව පැවැසීය.

ඒ යන විට අර යුවළ ද එහි රැඳී සිටි අතර ව්‍යාපාරිකයා මුව පුරා සිනහවකින් සංග්‍රහ කැර කරුණාරත්න පිළිගත්තේය.

“මේ බලන්න ගණන් කරලා. 5000 නෝට්ටු මිටිය මේ රබර් පටියෙන් ඔතලා තිබුණෙ. ඒකෙ නෝට්ටු 60 ක් තිබුණා. මං මේක ගෙනැවිත් දෙන්න තමයි හිටියේ.” කරුණාරත්න එසේ කීවේය.

මුදල් නෝට්ටු කිසිවක් අඩු නැතිව තිබිණ. එම අඹු සැමියෝ මුව නොසෑහෙන සේ ඔවුනට තුති පිදූහ. ඒ මොහොතේ ම කරුණාරත්නට රුපියල් 40,000 ක් පරිත්‍යාග කිරීමට තරම් ඔවුහු කෘතඥ වූහ.

අනේ මන්දා දුනු මිටිය හදාගන්ඩවත් සල්ලි හිඟ වෙලා හිටියෙ... ඒ මුදල අතට ගත් කරුණාරත්න ඔවුනට පින් පිදුවේය.

“ඒත්, මේ සල්ලි වුණත් මට සම්පූර්ණයෙන් අයිති නෑ. මගේ සේවකයාට මේකෙන් රුපියල් 20,000 ක් දෙනවා” කී කරුණාරත්න මහතා එම මුදල සේදරන්ට එහිදී ම පරිත්‍යාග කළේය.

මේ ගුරු හා ගෝලයා හමුවූ ආකාරය ද වැදගත් ය. දවසක් කරුණාරත්නගේ ලොරිය මඟ නැවතුණු විටක ලොරිය බොහෝ වෙහෙස මහන්සිව පෑ ගණනක් තල්ලු කැර දුන්නේ සේදරන් ය. මෙය එක්තරා ආකාරයක අද සොයන සහජීවනයේ කතාවකි. එක මවකගේ දරුවන් මෙන් සිටින කරුණාරත්න සිංහලයෙකි. සේදරන් දෙමළ ය.

මෙවන් මහරු මිනිස්කම් තිබෙන මිනිසුන් මේ රටට කොතරම් වටිනාකමක් ගෙන දෙන්නේ දැයි මට සිතේ. අවංක මිනිසුන්ගේ එකතුව හා කැමැත්ත මුළුමහත් ලෝකය ම ලස්සන කරන්නකි.

උපාලි සමරසිංහ
ඡායා - එච්. කුලතිලක (පෝරුවදණ්ඩ සමූහ)

Comments