සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර හා නිදහස් අධ්‍යාපනය | සිළුමිණ

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර හා නිදහස් අධ්‍යාපනය

 වර්ෂ 1931 සිට 1947 දක්වා පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රී ධූරයන්ද ප්‍රථම අධ්‍යාපන ඇමැති ධූරයද හෙබවූ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර නිදහසට පෙර පැවති පරිවර්තන යුගය තුළ දී ක්‍රියාත්මක කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්තිවල මූලික අරමුණු දෙකක් පැවතිණ. පළමුවැන්න සහජ කුසලතා ඇති හැම පුද්ගලයකුටම සමාජයේ ඉහළ ම තත්ත්වයට එළඹීමට සම අවස්ථා තිබිය යුතු ය යන්නයි. දෙවැන්න සෑම තලයකම අධ්‍යාපනය නොමිලයේ ලබා දිය යුතුය යන්නයි. විෂමතා බහුල යටත් විජිත අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම මේ මඟින් අපේක්ෂා කෙරිණ. මෙම අරමුණු මත ක්‍රියාත්මක කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්ති රාශිය අතරින් 1939 අංක 31 දරන අධ්‍යාපන ප්‍රඥප්තියක් 1945 අංක 21 දරන නිදහස් අධ්‍යාපන පනතක් අතිශයින් වැදගත් වෙයි.

1939 වනවිට රජයේ ඉහළ රැකියා ලබාගත හැකි ව‍ූයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද්විතීයික අධ්‍යාපනය දෙන ලද රජයේ එකම පාසල වූ කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ ධනවත් පවුල්වල දරුවන්ට මුදල් ගෙවා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාගත හැකි ව‍ූ නගරබද ක්‍රිස්තියානි මිෂනාරි පාසල්වලින් පිටවූ අයට පමණයි. ගම්බද දරුවන්ට ස්වභාෂා මාධ්‍යයෙන් මූලික අධ්‍යාපනයක් ලැබුණු අතර ඔවුන්ට උපරිම වශයෙන් ඉලක්ක කළ හැකි වූයේ ස්වභාෂා ගුරුවරයකු වීමටය. මෙම තත්ත්වය මඟහැරවීමට සෑම මැතිවරණ බල ප්‍රදේශයකම ගම්බද මධ්‍යස්ථානයක ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදෙන මධ්‍ය විද්‍යාල පිහිට‍ුවීම 1939 අධ්‍යාපන ප්‍රඥප්තියේ අරමුණ විය.

මේ අතරින් ප්‍රථම මධ්‍ය විද්‍යාලය 1940 ඔක්තෝබර් මස හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි වීරකැටියේ විවෘත කරන ලද අතර 1947 කන්නන්ගර යුගය අවසන් වනවිට මධ්‍ය විද්‍යාල 54 ක් බිහිකොට තිබිණ. ද්විතීයික ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදෙන පෝෂිත පාසල් ලෙස කටයුතු කිරීමත් මධ්‍ය විද්‍යාලවල කාර්යයක් විය. එහෙයින් ඒවායේ හය වන ශ්‍රේණියෙන් ඉහළ පන්ති පමණක් පැවැත්වුණු අතර, පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ධාරීන් සහ ප්‍රවේශ පරීක්ෂණයකින් සමත්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒවාට බඳවා ගන්නා ලදී. ශිෂ්‍යත්ව ධාරීන්ට නොමිලේ නේවාසික පහසුකම් සපයා දෙන ලද හෙයින් බාහිර ක්‍රියාකාරකම් මගින් සමබර පෞරුෂත්වයක් ගොඩනඟාගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසිණි.

ප්‍රථම මධ්‍ය විද්‍යාල 54 එකල පැවැති නිදහස් අධ්‍යාපනයේ මුදුන්මල්කඩ විය‍. පරිපාලන අධ්‍යාපන, වෛද්‍ය, ඉංජිනේරු සහ නීති ක්ෂේත්‍රවල කැපී පෙනෙන, කිසි විටෙක කිසිවෙකුටත් දෙවන නොවන පිරිසක් මෙම මධ්‍ය විද්‍යාල මඟින් බිහි විය.

කන්නන්ගර යුගයෙන් පසු මධ්‍ය විද්‍යාල ව්‍යාපෘතිය ඉතා දියාරු ස්වරූපයක් ගත්තේය. 1959 දී ඒවා මධ්‍ය මහා විද්‍යාල ලෙස නම් කරන ලදි. කෙසේ වුවද මධ්‍ය විද්‍යාල ලෙස නම් කරන ලදී. කෙසේ වුව ද මධ්‍ය විද්‍යාල සහ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස 1967 දී විශ්වවිද්‍යාලවලට ඇතුළු වූ අයගෙන් 73%ක්ම ගම් කාර්යසභා සහ සුළු නගර සභා ප්‍රදේශවලින් පැමිණි අය වූහ. එහෙත් ඒ සමඟ ම කිව යුත්තේ ඔවුන්ගෙන් සියයට 53 ක් ම ඇතුළු වූයේ මානව ශාස්ත්‍ර හා කලා පීඨවලට බවය.

කන්නන්ගර මහත්මාගේ වඩාත් වැදගත්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක ව‍ූයේ 1945 අංක 21 දරන නිදහස් අධ්‍යාපන පනතින්ය. එමඟින් එතුමන් අපේක්ෂා කළේ ජාති, ආගම්, කුල, වත් පොහොසත්කම් නොතකා සෑම දරුවකුට ම බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය තෙක් නොමිලයේ අධ්‍යාපනය ලබාදීම සහ 1945 දී බාලාංශයෙන් පටන් ගෙන වසරින් වසර ක්‍රමයෙන් ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලබාදීමයි.

නිදහස් අධ්‍යාපනය ඉතා හොඳ වුවත් පසුගිය දශක හතරක පමණ කාලය තුළ රටේ ඇති වූ ආර්ථික හා සමාජ වෙනස්කම් සමඟ එහි සීමාවන් පටු වී ඇත. ජනගහන වර්ධනයට සමානුපාතිකව රැකියා අවස්ථා වර්ධනය වී නැති හෙයින් තරගය උග්‍ර වී ඇත. ප්‍රාථමික පන්තියට දරුවන් ඇතුළු කිරීමට පෙර ‘මොන්ටිසෝරි’ නමින් ජනප්‍රිය භාවිතයේ ඇති පෙර පාසල්වල අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මුදල් ගෙවිය යුතු වෙයි. ගෙවන ප්‍රමාණය සහ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පාසලෙන් පාසලට වෙනස් වෙයි. මේ හැර ප්‍රාථමික මෙන් ම ද්විතියික පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රශ්නයද උග්‍ර වී ඇත. ඇතැම් වෘත්තිකයින් රට හැර යාමට ද මේ ප්‍රශ්නය බලපා ඇත. සිසුන් ඇතුළත් කර ගැනීමට සමත්, ඇති හැකි දෙමාපියෝ හය වසරේ සිට ම දරුවන් උපකාරක පන්තිවලට යවති. නැත හොත් උපකාරක ගුරුවරුන් නිවෙස්වලට ගෙන්නාගනිති‍.

70 දශකයේ ආරම්භයේ පමණ සිට විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමේ තරගයද උග්‍ර වී ඇත. ඊට ටික කලකට පෙර විෂයයන් හතරෙන් සාමාන්‍ය සාමර්ථ්‍යයද මුළු ලකුණු 400න් 180ක්ද ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පවා විශ්වවිද්‍යාලවල ඇතැම් පීඨවලට ඇතුළත් කරගනු ලැබූහ. එහෙත් වර්තමානයේ සියලු විෂයයන්ට ‘ඒ’ සාමර්ථ්‍ය ලබාගත් අයට පවා ඒවායේ දොර කවුළු වැසී ඇත. මේ වන විට අවම සුදුසුකම් ලබන අයගෙන් 82%කටම විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමේ අවස්ථා නොලැබේ.

තරගය උග්‍ර වීම නිසා උසස් අධ්‍යාපනය මුදලට ලබාදෙන පෞද්ගලික ආයතනද රාශියක් බිහි වී ඇත. ඒවායේ ගුණාත්මක බවේද විවිධ මට්ටම් ඇත. මේ හැර උසස් අධ්‍යාපනය සඳහා දළ වශයෙන් වසරකට සිසුසිසුවියෝ එකොළොස් දාහක් පමණ පිටරට යති. ඒ සඳහා විශාල විනිමය ප්‍රමාණයකුත් වැය වෙයි. මෙය වළක්වාගැනීම සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම ඉතා යහපත්ය. එහෙත් විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඒවායේ ගුණාත්මක බව රැකීම සඳහා අනිවාර්යයෙන්ම ප්‍රමිතිකරණයකට ලක් විය යුතු බවයි. ප්‍රමිතියෙන් තොර පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන රටේ ප්‍රශ්නවලට තවත් අර්බුද එකතු කරනවා මිස විසඳුම් සපයා නොදෙයි.

ඉහත සඳහන් අයුරු කන්නන්ගර යුගයේ සහ ඉන් දශක දෙකක් පමණ ගත වන තෙක් පැවති වාතාවරණය ඉන් පසුව වෙනස් වී ඇත. මේ යථාර්ථයට මුහුණදිය යුතු අධ්‍යාපනවේදීන්ගේත් වෘත්තීකයන්ගේත් තේමාව විය යුත්තේද, උද්ඝෝෂකයන්ගේ සටන් පාඨය විය යුත්තේද සෑම තලයකම අධ්‍යාපනයේ ගුණාත්මක බව හා ප්‍රමිතිකරණය මිස ‘නිදහස් අධ්‍යාපනය’ නොවන බව අවධාරණය කළ යුතු ය.

මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.