ඔබේ මාසික ආදායම ලක්ෂයකට අඩු ද එසේ නම් බදු ඕනෑ නෑ | සිළුමිණ

ඔබේ මාසික ආදායම ලක්ෂයකට අඩු ද එසේ නම් බදු ඕනෑ නෑ

 පසුගිය මාස කිහිපය තිස්සේම අපේ බොහෝ දේශපාලන වේදිකාවල මෙන්ම ප්‍රවෘත්ති සාකච්ඡාවල නිරතුරුවම සාකච්ඡාවට බඳුන් වුණේ නව දේශීය ආදායම් බදු පනත සම්බන්ධයෙනුයි. විහාරස්ථානවල පිංකැටෙනුත් බදු අය කරන බවත්, හිඟන්නන්ගෙන් පවා බදු මුදල් අය කරන බවත් රජය විසින් ඉදිරිපත් කර තිබෙන බවට මේ සාකච්ඡාවලදී හෙළි වුණා. වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාටම බදු අංකයක් ලබා දීමෙන් රටේ වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාගෙන්ම බදු අය කරන බව මේ විවිධ මතධාරීන් ඉදිරිපත් කළ මත අතර තිබුණා. මේ සියලු කතා සත්‍ය තත්ත්වය ජනතාවවට අවබෝධ කර දීමට අප දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක මහතා හමු වුණා.

පසුගිය දින පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමෙන් සම්මත වූ දේශීය ආදායම් බදු (සංශෝධන) පනත යටතේ ඉදිරියේදී - එනම්: ලබන වසරේ අප්‍රේල් මස 1 වැනිදා සිට - රටේ වයස අවරුදු 18ට වැඩි සියලු පුරවැසියන්ට ආදායම් බදු අංකයක් හිමි වෙනවා. එයින් කිසි සේත්ම අදහස් වන්නේ නැහැ ඒ සියලු දෙනා ආදායම් බදු ගෙවිය යුතු බවක්. ඒත් මේ ක්‍රමවේදය වැරදියට වටහාගෙන සිටින, එසේත් නැත් නම් වැරැදි ලෙස අර්ථ දක්වන අයට රැවටීම නිසා රටේ යම් යම් අය අතර කැලඹීම් ඇතිව තිබෙන බව පෙනෙනවා.

එසේ වුවත් වයස අවුරුදු 18ට වැඩි හැමටම බදු අංකයක් ලබා දීමෙන් රටේ සියලු පුරවැසියන් එක් ක්‍රමවේදයකට අන්තර්ග්‍රහණය කිරීම සිදු කෙරෙනවා. ඒ ඔස්සේ මේ දක්වා බදු ගෙවිය යුතු අතිවිශාල ආදායම් හිමි කරගත් ව්‍යාපාරිකයන් හා තනි පුද්ගල ව්‍යාපාරිකයන් බදු ගෙවන ක්‍රමවේදයට අන්තර්ගත කිරීම මේ අනුව සිදු කෙරෙනවා.ඒ සඳහා අවශ්‍ය කරනු ලබන ප්‍රතිපාදන මේ මඟින් සකස් කර තිබෙනවා. ඒ මඟින් බදු නොගෙවා සිටින අතිවිශාල ආදායම් ලබාගන්නා පුද්ගලයන් බදු ගෙවන ලබන පුද්ගලයන් බට පත් කරගන්නවා විනා සියලු දෙනා බදු ගෙවන්නන් බවට පත් වන්නේ නැහැ. මේ සඳහා හොඳම උදාහරණයක් දෙන්න පුළුවන්. මීට කලකට පෙර ස්ථාවර තැන්පතු සඳහා බැංකු හා මූල්‍ය ආයතනවලට බදු වර්ෂ සඳහා රඳවාගැනීමේ බද්දට අදාළ අයදුම්පතක් පුරවා බාර දුන්නා. ඒ අයදුම්පත බාර දුන් සැණින් ඒ සියලු දෙනාටම ආදායම් බදු ගෙවන්න සිදු වුණේ නැහැ. අධික ලෙසින් ආදායම් ලබන අයට පමණක් යම් බදු ප්‍රතිශතයක් ගෙවන්න සිදු වුණා.

මේ නව ක්‍රමය යටතේ එක් පුද්ගලයකු වසරකට ලක්ෂ 12ක ඒක පුද්ගල ආදායමක් - තවත් ආකාරයකට කියනවා නම් මසකට ලක්ෂයක ආදායමක් - ලබාගන්නේ නම් ඒ ආදායම බද්දෙන් නිදහස් වෙනවා. ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබන අයකු පමණයි බදු ගෙවිය යුත්තේ.

උදාහරණයක් ලෙස: යම් අයකුගේ මාසික ආදායම රුපියල් 125000ක් වුණොත් ඔහුගේ පළමු රුපියල් ලක්ෂය ආදායම් බද්දෙන් නිදහස් වනවා සේම ඉතිරි රුපියල් 25000ට පමණක් 4%ක බදු මුදලක් ගෙවිය යුතු වනවා. ඒ අනුව ඔහු විසින් ගෙවිය යුත්තේ රුපියල් 1000ක බදු මුදලක් පමණයි. එසේ වුවත් මේ වන විට ලංකාවේ රුපියල් ලක්ෂයක ආදායමක් ලබන පිරිස් අඩුආදායම් ලාභීන් හෝ මධ්‍යම පන්තියේ අය ලෙස පවා සලකනු ලබන්නේ නැහැ. ඔවුන් ඉහළ ආදායම්ලාභීන් ලෙසයි සලකන්නේ. ඒ තත්ත්වය අප පැහැදිලිව තේරුම් ගත යුතු වනවා.

එසේම තනි පුද්ගල ව්‍යාපාරවල ශුද්ධ ලාභයට රුපියල් ලක්ෂ 5ක් දක්වා වාර්ෂික බදු නිදහස් සීමාවක් තිබෙනවා. තම ව්‍යාපාරයේ සියලු වියපැහැදම් ජල, විදුලිය බිල්පත් ඇතුළු සියලු වැය පාර්ශ්වයන්ගෙන් පසුව ඉතිරි වන ශුද්ධ ලාභයට වසරකට රුපියල් ලක්ෂ 5ක බදු සීමා නිදහසක් හිමි වන අතර, එයින් පසු පළමු රුපියල් ලක්ෂ 6ක ශුද්ධ ලාභයට 4%ක් සහ එතැනින් පසු ලක්ෂ 6කට 8%ක් එතැනින් පසු ඉතිරි ලක්ෂ 6ට 12%ක් ආදි වශයෙන් උපරිමය 24%ක් දක්වා බදු අනුපාතය වැඩි වෙනවා. මේ බදු ප්‍රතිපත්තිය සකස් කර ඇත්තේ අධික ආදායම් ලබන, බදු නොගෙවා සිටීමට වැර දරන අය බදු ගෙවන්නන් බවට පත් කිරීමට හෙවත් බදු හොරුන් බදු දැලට අල්ලාගැනීමටයි. මේ වන විට බදු ගෙවිය යුතු පිරිස් විවිධ ක්‍රම ඔස්සේ බදු නොගෙවා සිටීමට කටයුතු කර තිබෙනවා. එම නිසා මේ සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව කිසිදු බියක් ඇති කරගත යුතු නැහැ. මීට පෙර සාමාන්‍ය ජනතාවට තිබූ බද්දෙන් නිදහස් සීමාවට වඩා වැඩි බදු සහනයක් මේ නව පනත අනුව ලබා දී තිබෙන බව ඉතා පැහැදිලියි.

හවුල් ව්‍යාපාර හෙවත් පුද්ගලයන් කිහිප දෙනකු එකතුව පවත්වාගෙන යන ව්‍යාපාරවල තත්ත්වයත් මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. එහිදී යම් හවුල් ව්‍යාපාරයක පුද්ගලයන් තුන් දෙනකු සිටිනවා නම් ඒ තිදෙනාටම වෙන් වශයෙන් රුපියල් ලක්ෂ 5ක් දක්වා බද්දෙන් නිදහස් ශුද්ධ ආදායමක් ලබාගත හැකි වෙනවා. ඒ සඳහා හවුල් ව්‍යාපාර බද්දක් ගෙවිය යුතු නමුත්, හවුල් ව්‍යාපාර බද්ද ගෙවනු ලබන විට තනි පුද්ගලයන් විසින් ගෙවනු ලබන බද්ද ඒ ගෙවනු ලබන බදු මුදලෙන් නිදහස් කරගත හැකි වනවා.

ස්ථාවර තැන්පතුවලින් දැනට අය කරගනු ලබන රඳවාගැනීමේ බද්ද හෙවත් පොලී මුදල් ලබාගැනීමේදී බැංකුව විසින් අය කරගනු ලබන 2.5% බදු මුදල 5%ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. එමෙන්ම ඒ බදු අය කිරීමේ ක්‍රමය සාමාන්‍ය ඉතුරුම් ගිණුම්වලටද බලපවත්වන අතර, ඉතුරුම් පොලියෙන් 5%ක් රඳවාගැනීමේ බද්ද ලෙස බැංකුව විසින් අය කරගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත එවනු ලබනවා.

මෙහිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ බදු මුදල බල නොපාන බවත් පෙන්වා දිය යුතු වෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ බදු ක්‍රමය බලපවත්වනු ලබන්නේ මාසික පොලී මුදල රුපියල් ලක්ෂ 15ක් ඉක්මවන්නේ නම් පමණයි. එනම් රුපියල් ලක්ෂ 150කට අධික මුදලක් ගිණුමේ තැන්පත්ව තිබෙන අධික ආදායමක් ලබන අයගෙන් පමණයි. මසකට රුපියල් ලක්ෂ 15ක බැංකු පොලියක් හිමි වන අයකුගෙන් යම් බදු මුදලක් ලබාගැනීම සාධාරණද නැද්ද යන්න ගැනද මෙහිදී අප විසින්ම තර්ක කළ යුතු වනවා.

එමෙන්ම විදේශීය රටවල සේවය කරනු ලබන සේවික-සේවිකාවන් විසින් උපයනු ලබන මුදල් සඳහාත් බදු අය කරනු ලබන බවට පසුගිය දිනවල රාවයක් තිබුණා. මේ බදු පනත යටතේ විදේශීය රටවල සේවය කරන සේවක-සේවිකාවන් විසින් වසරකට උපයනු ලබන මුදල් රුපියල් මිලියන 15ක් දක්වා බද්දෙන් නිදහස් කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය වශයෙන් මසකට රුපියල් ලක්ෂ 18ක ආදායමක් මෙරටට එවනු ලබන අයකුට කිසිදු බදු මුදලක් ගෙවීමට සිදු වන්නේ නැහැ. අපේ රටේ ජනතාව එතෙර ගොස් දැඩි දුක් මහන්සි වී ගෘහ සේවය ආදියේ නියැළී මසකට රුපියල් ලක්ෂ 18ක් උපයන්නේදැයි යන්නද අප සිතා බැලිය යුතුය. විශේෂයෙන්ම එතෙර රැකියා කරනවා නම් රුපියල් ලක්ෂ 18ක් වැනි අතිවිශාල බදු මුදල් සහනයක් දී තිබීම නිසා ඔවුන් දිරිමත් කරගැනීමට මඟක්ද වනවා. එසේ වුවත් මේ සම්බන්ධයෙන් හරියාකාරව නොදැන බොහෝ දෙනා අදහස් පැවසීම කනගාටුවට කරුණක්.

එමෙන්ම මෙහිදී විශේෂයෙන්ම පැවසිය යුත්තේ විහාරස්ථාන පල්ලි, කෝවිල් හෝ වෙනත් ආගමික ආයතනවලින් කිසිදු ආකාරයක බදු මුදලක් මේ පනත අනුව අය කරන්නේ නැහැ. ජනතාව විසින් පිංකැටවලට දමනු ලබන මුදල් හෝ විහාරස්ථානයේ දියුණුවට ලබා දෙන මුදල් ආධාර හෝ මේ යටතට කිසි විටක අයත් වන්නේ නැහැ.

එසේ වුවත් යම් ආගමික ස්ථානයක ව්‍යාපාර පවත්වාගෙන යනවා නම්, උදාහරණයක් වශයෙන් දඹදිව වන්දනා චාරිකා, එසේත් නැත් නම් ව්‍යාපාරික ජ්‍යොතිෂය සේවා වැනි දේ සඳහා බදු පැනවෙනවා. එහිදී සිදු කරන්නේ ව්‍යාපාරයක් බවත් මෙහිදී පෙන්වා දිය යුතු වනවා.

අපේ රටේ මේ දක්වා ක්‍රියාත්මක වන 2010 අංක 6 දරන දේශීය ආදායම් බදු පනත සංකීර්ණ තත්ත්වයකයි පැවතුණේ. එනිසා බදු ගෙවනු ලබන ජනතාවට එය තේරුම් ගැනීමට පවා අපහසු වුණා. මේ නිසා මෙවර සරල පහසුවෙන් තේරුම් ගත හැකි ආකාරයේ බදු පනතක් සකස් කර තිබෙනවා. ඒ බදු පනත අන්තර්ජාතික ප්‍රමිතියට සියලු දෙනාට පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි සකස් කර තිබෙන්නේ සංශෝධන 215කට වැඩි ප්‍රමාණයක් එකතු කිරීමෙන් පසුවයි. මෙහි වැදගත්ම කරුණ වන්නේ එයයි. විවිධ දේශපාලන පක්ෂ මෙන්ම ගණකාධිකාරි මෙන්ම විවිධ වෘත්තිකයන් ඒ සඳහා අදහස් යෝජනා දක්වා තිබුණා.

ඉදිරියේදී රාජ්‍ය හා අනෙකුත් ආයතන සියල්ල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධ පරිගණක ජාලයක් මඟින් සම්බන්ධ කරගෙන ක්ෂණයකින් බදු ගෙවිය යුතු මට්ටමේ සියලු පුද්ගල විස්තර ලබාගත හැකි වනවා. ඒ සඳහා මේ වන විටත් 'රමිස්' නමින් මෘදුකාංගයක් ආයතන 32කට ලබා දි තිබෙනවා. එයින් විශේෂයෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැනි ආයතන මුල් තැනක් ගන්නවා. එහිදී කිසිවකුට පැන යා නොහැකි ලෙස ආදායම් බදු ක්‍රමවේදය සකස් වනවා. මේ ක්‍රමවේදය රටක පැවැත්මට ඉතා අත්‍යවශ්‍ය වනවා.

බදු නොගෙවා සිටි විටක රටක සාමාන්‍ය පැවැත්ම එනම් පුනරාවර්තන වියදම් පවා සිදු කරගන්න බැහැ. උදාහරණයක් වශයෙන් නිදහස්ව ලාබ දෙන අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂාව මෙන්ම විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහාත් විදේශීය ආධාරම ලබාගන්න සිදු වුව හොත් එයින් එම රටේ ආර්ථිකය කිසි දිනක ඉහළ නංවාගන්න බැහැ. අපේ රටේ විශ්‍රාම වැටුප් සඳහා පමණක් වසරකට රුපියල් බිලියන 200ක් වැය වනවා.

දශක කිහිපයකට පෙර සිටි අය විසින් ගෙවන ලද බදු නිසා අප මේ වන විට නිදහස් අධ්‍යාපනය ඇතුළු සියල්ල භුක්ති විඳින අතර, මතු පරපුරටත් ඒ තත්ත්වය ඒ පරිද්දෙන්ම ලබා දීමට නම් අප විසින් අවංක රට වැසියන් ලෙස අපේ සත්‍ය ආදායම පෙන්වා අවශ්‍ය නම් ඒ සඳහා බදු ගෙවීම් කළ යුතු වෙනවා.

පැහැදිලිව කිව යුත්තේ කිසිදු හේතුවක් මත මසකට රුපියල් ලක්ෂයකට අඩු කිසිදු පුද්ගලයකු කිසිදු බද්දක් ගෙවිය යුතු නැහැ. එමෙන්ම විහාරස්ථාන හෝ කිසිදු ආගමික ආයතනවලින් කිසිදු බදු මුදලක් අය කරනු ලබන්නේ නැහැ. මේ සත්‍ය තත්ත්වය ගැන ජනතාව අවබෝධාත්මක වීමයි වැදගත් වන්නේ.

තාරක වික්‍රමසේකර
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

Comments