බයවෙලා බිස්නස් කරන්න බැහැ | සිළුමිණ

බයවෙලා බිස්නස් කරන්න බැහැ

මොනවද ඔබට තිබෙන ව්‍යාපාර...

ප්‍රොසෙස් මීට් ෆැක්ටරි එක හැරුණුකොට Gills cafe, රෙස්ටෝරන්ට් ජාලය. ඒ වගේ ම, අපේ රටේ සුපිරි අවන්හල් ගණනාවකට ම සැකසූ මස් ආහාර සපයන, ප්‍රධාන සැපයුම් කරු වෙන්නත් අපිට පුළුවන් වෙලා තිබෙනවා. ඒ වගේම මාලදිවයිනේ සංචාරක හෝටල් ගණනාවක සැපයුම්කරු වෙලා අපේ රටට ‍විදෙස් විනිමය ගේන්නත් අපිට පුළුවන් වී තිබෙනවා.

අපේ රටේ ‘ප්‍රොසෙස් මීට්’ ‍ෆීල්ඩ් එකේ ඉදිරියෙන් ම ඉන්නෙ දැවැන්ත සමාගම්....

ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ අභියෝගය ම තමයි මාව ඉස්සරහට තල්ලු කළෙත්. දැවැන්ත‍යකුට අභියෝගයක් දෙන්නෙ කොහොමද... මාත් මුලින් ම කල්පනා කළේ ඒ දේ. ඉස්තරම් කොලිටිය හා මිල හැර වෙන කිසි ම මඟක් නැහැ. අනික දිවට හුරුවෙලා හිටි රසයකින් මිනිස්සුන්ව ඈත් කරන එකත් ලේසි නැහැ. මං ක්‍රමයක් හොයා ගත්තා. සෝයා සහ අනෙක් අමුද්‍රව්‍යවලට වඩා මස් ප්‍රතිශතය වැඩි කළා. ඒ වෙලාවෙ ලාභය නෙවෙයි මට වැදගත් වුණේ මිනිස්සුන්ට Gills රස හුරු කිරීම. අපි වැඩේ පටන් ගත්තෙ බේකරි නිෂ්පාදන කර්මාන්තයනේ. ඊළඟට සුපර්මාකට් වලින්. BMICH එකේ ‘Pro food and Pro Pack’ ආහාර සහ ඇසුරුම් ප්‍රදර්ශනයෙන් තමයි සාමාන්‍ය ජනතාවට අපේ නිෂ්පාදන අරන් ගියේ. ඒ ප්‍රදර්ශනයට සහභාගිවීම තමයි බිස්නස් එකේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයත්.

අද Gills ඉන්නෙ කොහොම තැනෙකද...

පළමු වරට අපි ටොන් එකක් නිෂ්පාදනය කළා නම් අද අපේ මාසික නිෂ්පාදනය ටොන් 175 - 200ක්. අවුරුදු අටක් නවයක් තිස්සේ එයාර් ලංකා කේටරින් හරහා අපේ ආහාර, මේ ලෝකෙ රටවල් හුඟක මිනිස්සු රස බලනවා. ආහාර වර්ග හාරසියයක් අපේ නිෂ්පාදන අතර තිබෙනවා. එක ඒජන්සියෙන් පටන් ගත්තු අපිට දැන් ඒජන්සි දහ අටක් තිබෙනවා. එක ලොරියෙන් පටන් අරන් ලොරි ගණනාවක් තිබෙනවා. අති නවීන තාක්ෂණය සහිත අක්කර තුනක විහිදෙන අපේ අලුත් ෆැක්ටරිය ඉදිවෙමින් පවතිනවා. ඇත්තට ම අපිට දැන් තිබෙන්නෙ දී ගන්න බැරි තරමේ ඉල්ලුමක්.

මස් ආශ්‍රිත නිෂ්පාදන හදන්න ඔබට තිබෙන සුදුසුකම කුමක් ද...

FSSC 22000 කියන්නෙ දැනට ලෝකයේ තිබෙන ලීඩින් ම කොලිටි ස්ටෑන්ඩර්ඩ් එක. කොම්පැනියේ නිෂ්පාදන ක්‍රියාදාමය, රසායනාගාර තත්වය, සේවක පිරිස සහ මේ ආයතනයේ ලැබ් එක පිටස්තර ලැබ් එකකින් අධික්ෂණය වනවාද කියන කරුණු සියල්ල සලකා බලා තමයි මේ ඉහළ ම ප්‍රමිති සහතිකය පිරිනමන්නේ. කියන්න සතුටුයි අපේ රටේ සමාගමක් විදියට මේ සහතිකය මුලින් ම ලබා ගත්තෙ අපි.

‘ජීවිතේ ඉදිරියට යන්නෙ අවදානම් ගන්න මිනිස්සු...’ මේ කතාව ඔබේ ජීවිතයෙන් පහදන්න...

ඉතාලියෙන් සහ රුසියාවෙන් එනකොට මගේ අතේ කෝටි එකහමාරක් විතර තිබුණා. ඉතාලි ලී බඩු බිස්නස් එකත් විකුණලා, මේ ෆැක්ටරිය ගන්න යනකොට, හුඟ දෙනෙක් කිව්වෙ ‘ඔය හදන්නෙ තියෙන එකත් නැති කරගන්න. ඔන්න ඔය සල්ලි ටික බැංකුවක දාලා පොලිය අරන් ඉන්න...’ කියලා. ‘හරි ගියත් මට. වැරදුණත් මට.‘ මං හිතුවෙ එච්චරයි. කොහොමටත් මං ජීවිතේ පුරාම අවදානම් ගත්තු කෙනෙක්. නැත්නම් මට පුළුවන්ද මේ රටේ දැවැන්තයො එක්ක හැප්පෙන්න. මේ තැනට එන්න.

එතකොට Gills ආරම්භය කොතැනද...

මගේ යාළුවෙක් හරහා මට කොරියන් බිස්නස්මන් කෙනෙක් මුණගැහෙනවා. මේ ආයතනය එය‍ාගෙ. කරගෙන ගියේ ‘ෆිෂ් කේක්’ කියන ප්‍රඩක්ට් එක. හැබැයි එක මැෂිමක්වත් තිබුණෙ නැහැ. තිබුණෙ ඇඹරුම් ගලක් විතරයි. එයා මේ ආයතනය විකුණා දමන්න තීරණය කරනවා. මං මේක ගන්න තීරණය කරනවා. මගේ ෆර්නිචර් බිස්නස් එක විකුණපු සල්ලිත් පොතේ තිබුණා. මදි හරියට බැංකු ණයකුත් ගත්තා. නංගිගෙනුත් ණයක් ගත්තා. මස් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ අවුරුදු තිස්ගණනක අත්දැකීම් ඇති වැඩකරුවෙක් හොයා ගත්තා. හොඳ මාකටින් ටීම් එකක් හදා ගත්තා. වැඩේට බැස්සා.

කොම්පැනියට අවුරුදු 15 යි. අද වෙනකොට ඔබ මේ රටට මොන තරම් රස්සා හදා තිබෙනවද...

Gills ජාලයේ 450 ක් වැඩ. මහන්සියෙන් වැඩ කරන්න කැමැති කවුරු මගේ ළඟට වැඩට ආවත් මං රස්සාවක් දෙනවා. මං ලක්ෂ සියයෙ දෙසීයෙ ලෝන් අරන් මේ බිස්නස් එකට දාලා තියෙනවා. හැබැයි මොන තරම් අමාරු අවස්ථා උදා වුණත් සේවක පඩි එක දවසක් පමා කරන්නෑ. මොකද මං දන්නවා, තාත්තෙකුගෙ අම්මෙකුගෙ පඩිය ගෙදරකට මොන තරම් වටිනවද කියලා.

ඔබ මේ කියන්නෙ අත්දැකීමක් ගැන ද...

ඔව්. මාසෙ අන්තිමට අපේ තාත්තගෙ පොලිස් පඩිය ලැබෙනකල් අම්මයි දරු හත්දෙනකුයි බලා හිටියා. තාත්තා නැතිවෙනකොට අක්කා, අයියා මම හැර අනෙක් හැමෝ ම පුංචියි. අක්කා විවාහ වුණත් කැටයම් කපලා ගෙදරට උදව් කළා. මොකද අපිට තිබුණෙ තාත්තගෙ පැන්ෂන් එක විතරයි. දරුවො ඉන්න පවුලක ඉගෙන ගන්න, කන්න බොන්න, අඳින්න පලඳින්න ලෙඩට - දුකට තව කොයි තරම් අවශ්‍යතාද...ඉතින් මට දෙන්න පුළුවන් උපරිමය සේවකයන්ට දුන්නත් මගේ හිතට මදි. වෙලාවට පඩිය ලැබෙන එක පවුලකට ලොකු හයියක්. ඒක මං විඳලා තියෙනවා.

අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු වටිනා ම දේ කියන්න...

තාත්තා අකාලෙ මිය ගියාම අම්මා අපිව උස් මහත් කරන්න පුදුමාකාර ධෛර්යයක් ගත්තා. අම්මගෙ ජීවිතේ පුරාම මං දැක්කෙ ආදරයයි දිරියවන්ත කමයි. මගේ ජීවිතයෙදිත් වැටෙන හැම වෙලාවකම මට අම්මව සිහි වෙනවා. ආපහු නැඟිටින්න මට ඒ සිතුවිල්ලම ඇති. තාත්තා අවංක පොලිස්කාරයෙක්. රස්සාවට බොහොම ගෞරව කළා. මගේ ළඟ වැඩකරන කාට වුණත් මං බොහොම අවංක හාම්පුතෙක්. හිතට එකඟව මට එහෙම කියන්න පුළුවන්. මොකද තාත්තා වගේ ම මාත්, මං කරන රස්සාවට සහ සේවකයන්ට බොහොම ලැදියි.

‘පුංචි කාලෙ ලබන පන්නරය, අපිව ජීවිතේ හුඟක් දුර රැගෙන යනවා...’මේ කතාව ඔබේ ජීවිතයටත් අදාළ ද...

ඔව්. මගේ තාත්තා පොලිස් නිලධාරියෙක් වගේ ම,බොක්සිං ක්‍රීඩා පුහුණුකරුවෙක්. අවුරුදු 45 දි තාත්තට කැන්සර් එකක් හැදෙනවා. තාත්තා ඇඳට වැටෙනවා. ඉස්කෝලෙ යන දරුවො හත් දෙනෙක් සහ ලෙඩට වැටුණු තාත්තා එක්ක අම්මා හුඟක් දුක් විඳිනවා. ඊළඟට තාත්තා අකාලෙ මිය යනවා. අම්මා දරුවොත් එක්ක තනි වෙනවා. ජීවත් වීම මහා සටනක් බව මං තේරුම් ගන්නෙ ඒ තනි වීම තුළ. අපිට උදව් කරන්නෙ මාමලා. තරුණ කො‍ල්ලෙකුට අඳින්න පලඳින්න ආසා දේවල් දිහා එදා මං බැලුවෙවත් නැහැ. මොකද මං දන්නවා අම්මට බැරි බව. අද මං ලස්සනට බ්‍රෑන්ඩඩ් දේ අඳින්නෙ පලඳින්නෙ, සැපවත් ජීවිතයක් ගත කරන්න, තව කෙනකුට රස්සාවක් හරි දෙන්නෙ එදා ලබපු පන්නරය නිසා.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

අපි ඉපදුණේ තාත්තගෙ ගමේ, බලපිටියේ. ඒ වුණාට හැදුණෙ වැඩුණෙ පිළියන්දල. ඉස්කෝලෙ ගියේ ලුම්බිණියට. ඕ - ලෙවල් වෙනුවට මං කළේ 1975, NCG විභාගෙ. මං වැඩ හයක් පාස්. මට ඒ - ලෙවල් කරන්න පුළුවන්. නමුත් මට හිත දුන්නෑ. මොකද ඒ වෙනකොට මගේ තාත්තා මිය ගිහින්. ගෙදර ආර්ථිකය කඩා වැටිලා. තවදුරටත් ඉගෙන ගනිමින්, අම්මට බරක් වෙන්න මං කැමැති වුණේ නැහැ. ඒත් අම්මා මාව ටයිපින් ෂෝට් - හෑන්ඩ් පන්තියකට දැම්මා. මාස හයෙන් ඒකත් ඉගෙන ගෙන ඉවර කළා.

ඒ කියන්නෙ ඒ වෙනකොට ඔබේ ජීවිතයට අරමුණක් ඇවිත්...

නැහැ. ටයිපින් කළාට රස්සාවක් නැහැ. හැමදාම උදේට පිළියන්දල බස් ස්ටෑන්ඩ් එකට එනවා. යාළුවො නඩයත් එක්ක දවස ම ගත කරන්නෙ එතැන. පුදුම රස්තියාදුකාර ජීවිතයක්. රෑට පෙරහර බලන්න යනවා. සංගීත සංදර්ශන අත්හරින්නෑ. අවුරුදු එකහමාරක් විතර, කිසිම අරමුණක් නැතිව ගෙවපු කාලයක්. හැබැයි ඒ තමයි, මං මිනිස්සු ගැන ඉගෙන ගත්තා හොදම කාලය. මං මහපාරෙන් සමාජගත වුණු තරුණයෙක්. එහෙම කෙනෙක් ලබන අත්දැකීම්, විශ්ව විද්‍යාලෙ ගිහින්වත් ලැබෙන්නෑ. තැලිලා, පොඩිවෙලා අත්දැකීම් ලබලා ජීවිතේ හයිය වුණේ එතැනින්.

ඔබේ ජීවිතය වෙනස් කළ Turning point එක කුමක් ද...

රස්තියාදු ගහන ගමන් වුණත් මට ඕනෙ කළේ රට යන්න. මං තීරණය කරනවා ඉතාලි යන්න. අම්මගෙ කණ කර උකස් කරලා, රුපියල් අටදාහකුත් ‍ෙහායාගෙන ඈතින් ඥාතිවෙන අයියා කෙනෙක් එක්ක මං කෝච්චියෙන් ඉතාලි යනවා. බොහොම දුෂ්කර සහ වෙහෙසකර දීර්ඝ ගමනක්. ඒත් අද වගේ තහනමක් නැහැ. උනන්දුවයි - ඕනෑකමයි තිබුණා නම් අවස්ථා ඕනෙ තරම් තිබුණා. ඒ යන ගමනෙදි, අපි ලංකාවෙන් අරන් ගිය ඔරලෝසු, සබන්, බිස්කට් මැඩ්‍රාස්වලදි විකිණුවා. ඒ ගමනෙදි තමයි සියලු හොඳ සහ නරක අපේ ජීවිතවලට එන්නේ.

මොකක්ද ඒ කතාවෙ තේරුම...

පකිස්ථානය හරහා යන්න ඒ කාලෙ වීසා අවශ්‍ය නැහැ. නමුත් අපේ වෙලාවද මංදා, සේපාල ඒකනායක, ඉතාලියෙ අලිතාලියා ගුවන් යානය, පැහැර ගත්තා. ඒ මොහොතෙ පටන් කිසිදු ශ්‍රී ලාංකිකයකුට ඉතාලියට ඇතුළු වීම තහනම් වුණා. වීසා ඉල්ලුම් කළාට ඒවත් රිජෙක්ට් වුණා. මාස දෙකක් ගතවුණා. දැන් අතේ සල්ලිත් නැහැ. කරන්න දෙයක් නැති තැන ‘බේල්’ ඇඳුම් අරන් ලංකාවට යන්න තීරණය කළා.

ඒ කියන්නෙ, ඉතාලි සිහිනය අතෑරලා ඔබ ලංකාවට එනවා...

අතේ තිබුණු සේසතම වියදං කරලා ලොකු බේල් බැගේජ් දෙක තුනක් අරන් මං පකිස්ථානෙ ඉඳන් ලංකාවට එනවා. ‘මේවා පාවිච්චි කරපු ඇඳුම්. ‍දන්නැද්ද ගේන්න තහනම් බව....’ එහෙම කියපු රේගු නිලධාරින් එයාර්පෝට් එකේදි මගේ සබ්බ සකල මනාවම රාජසන්තක කරනවා. ඇත්තට ම මං දැනගෙන හිටියෙ නැහැ. මට හරිම දුකයි. මං අඬලා ගවුම් දහයක් ඉල්ලා ගත්තා, ම‍ෙග් නංගිලට දෙන්න කියලා. මාස එකහමාරක් රට හිටියට ඩියුටි ‍ෆ්‍රී සාප්පුවෙන් බඩුගන්න පුළුවන් අලාවන්ස් එකක් සහිත අවසරපතක් දීලා කිව්වා, ‘මේ බඩු නම් ආයෙ හම්බවෙන්නෑ, පුළුවන් දෙයක් ඕකෙන් කරගන්න කියලා.

නැඟිටින්න හදනකොට ම, ඔබ දෙපාරක් ම වැටිලා...

ඔව්. ඒත් මං අත්හැරියෙ නැහැ. මට තිබුණු අලාවන්ස් එකෙන් ඩියුටි ෆ්‍රී සාප්පුවෙන් පොඩි පොඩි බඩු අරන් එළියට ගෙනැත් ගාණක් තියාගෙන විකිණුවා. මාව ඉතාලි එක්ක ගිය යාළුවත්, එයා‍ෙග ඩියුටි ෆ්‍රී අලාවන්ස් එකෙන් බඩු ගන්න මට උදව් කළා. අනික අවුරුද්දක් පුරා එහෙම බඩුගන්න ඇතුළට යන්න අපිට අවසරය තිබුණා. ඒ, ලංකාවට TV ආපු අලුත. ටී.වී. එකක් එළියට ගේන පරක්කුවෙන් උණු කැවුම් වගේ විකිණෙනවා. මොකද එළියෙ ඉන්නවා බඩුගන්න ම බලාගෙන පිටකොටුවෙ සාප්පුකාරයො. ටී.වී. විතරක් නෙවෙයි බ්ලෙන්ඩර්, රයිස්කුකර් ඔය හැම දේම මං ගෙනැත් විකිණුවා. හය හත් මාසයක් යනකොට ඔය බිස්නස් එකෙන් මං රුපියල් ලක්ෂයක් විතර එකතු කර ගත්තා.

ඔබ පහු කළ දුෂ්කරම කාලය ඉතාලි ජීවිතය ද...

නැහැ. ඒ යන්න ගත්ත උත්සාහය. තුන්වැනි පාරටත් මං ඒජන්සියට සල්ලි ගෙවලා ඉතාලි යනවා. ඒ ගමනත් රුසියාවෙන් හමාරයි. ප්‍රාග් එයාර්පෝට් එකේ අපිව සතියක් තියා ගන්නවා. ඒ රුසියාවෙ කොමියුනිස්ට් පාලනය උග්‍රව තිබූ යුගය. අපි වගේ කල්ලෝ දිහා ඔවුල් බැලුව ම සැකෙන්. ඒ සතිය පුරාම අපිට කන්න තියා වතුරවත් නැහැ. අන්තිමේ අපිට එයාර්පෝට් එක ඇතුළෙ යන එන මගීන්ගෙන් හිඟා නොකා හිඟා කන්න වුණා. ඒ වෙන‍කොට ලංකාවෙ යුද්දෙ පටන් අරන්. අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් මොළේ කල්පනා කරලා දේශපාලන හිරකරුවො විදියට රැකවරණය ඉල්ලුවා. රුසියන් පොලිසිය ම මැදිහත් වෙලා අපිව බටහිර ජ’මනියට පිටත් කළා. එතැනත් පත්තරේකට කියන්න බැරි තරම් නොවිඳිනා දුක් වින්ඳා. අනාථ කඳවුරුවලත් හිටියා. පස්සෙ ඔවුන් ම බටහිර ජර්මනියෙන් ප්‍රංශයට ගෙනැත් දැම්මා. ප්‍රංශයෙන් අපි කෝච්චියෙ නැගලා ඉතාලි ගියා. ඒ කාලෙ ඕන තරම් රස්සා තිබුණා. නමුත් ඉතාලියට එන මඟදි මම විඳපු දුක් නම් කිලා නිම කරන්න බැරි තරම්.

මොකක්ද ඔබ ඉතාලියෙ කරපු රස්සාව...

මන්දිරයක් වගේ ගෙදරක කුස්සියේ වැඩ. ඇත්තට ම ඒ ගෙදර කුක් ගෙ අත් උදව්කාරයා මං. එයා කෑම හදන හැටි බලාගෙන ඉඳලා මං හොඳට උයන්න ඉගෙන ගත්තා. එයා සුදු ලූනු ගෙඩියක් දැම්මා නම් මං දෙකක් දැම්මා. එයා දැම්මෙ ඔලිව් ඔයිල් හැන්ද නම් මං තව ටිකක් වැඩියෙන් දැම්මා. ඒ චෙෆ් යන්න ගියා. මං තනිය ම වැඩේට බැස්සා. ඒ වෙනකොට ගෘහ උපකරණ පාවිච්චි කරන හැටි, ඉතාලි කෑම හදන හැටි මං බොහොම හොඳින් ඉගෙන ගෙන. මං ඒ ගෙදර හැමෝගෙ ම හිත දිනා ගත්තා. මාව නැතිව බැරි තැනට, මං මට ඉල්ලුමක් හදා ගත්තා. තැනට අවශ්‍ය විදියට මං පරිපූර්ණ වුණා. ක්‍රියාත්මක වුණා. ඒ මන්දිරයේ හුඟක් පාටිස් තිබුණා. ඒ වෙලාවට සියයකට වුණත් මං තනියම කෑම හැදුවා. ‘සර්ව්’ කළා.

ඒ කියන්නෙ අවසානයේ ඔබ ඔබේ ඉලක්කයට ගියා...

අවුරුදු තුන හතරක් වැඩ කරනකොට මං හුඟක් හම්බ කළා. ඒත් ඒකාකාරි ජීවිතය ඇති වුණා. මං මගේ සහෝදර සහෝදරියො හතර දෙනෙක් ඉතාලියට ගෙන්වා ගත්තා. ඊළඟට මං නිතර රුසියාවට යන්න එන්න ගත්තා. තේ බිස්නස් කළා. අම්මව රැජිනක් වගේ තිබ්බා. ඒත් මට හිතුණෙ නැහැ මගේ ඉලක්කයට ආවා කියලා. සෑහීමකට පත්වන තුරු මං බොහෝ දේ කළා.

මොනවද ඒ බොහෝ දේ...

මං චිත්‍ර ප්‍රදර්ශන බැලුවා. චිත්‍ර අඳින දිහා බලා හිටියා. මගේ රුසියන් පෙම්වතියත් දක්ෂ චිත්‍ර ශිල්පිනියක්. රුසියන් චිත්‍ර ශිල්පිනියො ඇඳපු චිත්‍ර මං ආර්ට් ගැලරිවලට ඇන්ටික් සාප්පුවලට විකුණලා දුන්නා. චිත්‍ර පිළිබඳ ලොකු උණක් ඇඟට ආවා. පස්සෙ කාලෙක මං මගේ ගෙදර ඉහැදුවෙත් තාලියානු සම්ප්‍රදායේ චිත්‍ර සහ බිතු කැටයම් පිරුණු කලා ගාරයක් වගේ. ගේ පුරාම අදටත් තියෙන්නෙ මහ විශාල චිත්‍ර. ඒ වගේ ම මේක මීට් ප්‍රොසෙසින් ෆැක්ටරියක් වුණත් මෙහෙත් තියෙන්නෙ වටිනා චිත්‍ර.

මේ ඔබ, ලංකාවෙ කරපු පළමු බිස්නස් එක ද...

ඉතාලියෙන් ‍රුසියාවෙන් හම්බකරලා මං ලංකාවෙ, බිස්නස් එකක් පටන් ගන්නවා. ඒ, ඉහළ පැළැන්තියේ ඉතාලි ලී බඩු සාප්පුවක්. දෙල්කඳ තමයි ප්‍රදර්ශනාගාරය තිබුණේ. හොඳ ඉල්ලුමක් තිබුණා. හැබැයි වැඩි කල් ගියේ නැහැ, නාවල පාතාලයෙන් කප්පම් ඉල්ලන්න ගත්තා. වරක් දෙකක් නෙවෙයි දිගින් දිගට ම කප්පම් කරදර. පොලිසි උසාවි ගිහින් ඉවරයක් නැහැ. අන්තිමේ ලී ඩබු ටික හෝල් සේල් දාලා විකුණලා, බිස්නස් එක ඉවර ම කළා. ඒ පැත්තෙවත් නො ඉඳ මං නැවතුණේ වත්තල.

මොකක්ද ඔබේ ලග්නය...

කන්‍යා. හැබැයි මොන දේකදිවත් මං වෙලාවල් නම් බලන්නෑ. මට හිතුණු දේ මං කළා. හරි ගියත් මට. වැරදුණත් මට. ඉතින් වෙන මොනවද...

ඔබ දරුවන්ට සමීප තාත්තෙක්ද...

මට ඉන්නෙ දුවයි පුතයි. දුවට 23 යි. පුතාට 16 යි. පුතා මේ ‍ෆීල්ඩ් එක ගැන උනන්දුයි. දුව නම් කැමැති එයාගෙ දෙයක් කරන්න. මේ දවස්වල එයා ඉන‍්නෙ ඉතාලියේ. දුව ටිකක් නිහඬ චරිතයක්. පුතා නම් මාත් එක්කමයි.

ආගමත් එක්ක ඔබට තිබෙන්නෙ කොහොම බැඳීමක් ද...

ඉතාලියෙදි මට වඳින්න පන්සලක් තිබුණෙ නැහැ, මං ගියේ පල්ලියට. මගේ ප්‍රශ්න ගැටලු ඉල්ලීම් හැම දේම කිව්වෙ මරිය තුමියට. මට වැරැදුණේ නැහැ. එතුමිය මට හැම දේම දුන්නා. අද මගේ ජීවිතයේ මරියතුමියට තිබෙන්නෙ ලොකු භක්තියක්.

අන්තිමට කියන්න, මොකක්ද ඔබේ ජීවිතයෙන් කෙනෙකුට ගන්න පුළුවන් හොඳම ආදර්ශය...

මං ඔබට කිව්වා! කලෙක මං පාරවල් ගාණෙ රස්තියාදු ගහපු කොල්ලෙක්. හැබැයි, හෙටක් ගැන හිතන්න ගත්තු දා පටන් මං ‘කට්ට කාගෙන’ වැඩ කළා. රට ගියත් සැපක් ලබන තුරු වින්ඳෙ අපමණ දුක්. හැබැයි මං අත්හැරියෙ නැහැ. මොන තරාතිරමෙ රස්සාව කළත් ඉතිරි කරන දේයි වැදගත්. මං එහෙම කළා. අද මං මෙතැන ඉන්නෙ ඒ නිසා. තව දෙයක්. අතපය හතර හොඳින් තියෙනවා නම් ඒ මිනිහා මහන්සි ‍වෙලා හම්බ කළ යුතුමයි. නිකම් ඉඳන් කප්පම් ගන්න ආවොත් අත්හරින්නත් එපා. දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න. මේ රටේ බයවෙලා බිස්නස් කරන්න බැහැ. හරියට කරන කිසිම දෙයක් ගැන බයවෙන්න අවශ්‍ය නැහැ.

ඉනෝකා පෙරේරා බණ්ඩාර
[email protected]
ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.