රබර් මිල කෙරෙහි අනෙකුත් සාධකවල බලපෑම | සිළුමිණ

රබර් මිල කෙරෙහි අනෙකුත් සාධකවල බලපෑම

 අවිනිශ්චිත ලෝක ආර්ථික තත්ත්වයන්, අස්ථිර බොර තෙල් වෙළෙඳපොළ තත්ත්වයන් සහ ප්‍රධාන වෙළෙඳපොළ විනිමය අනුපාත විචලනයන් ආදි කරුණු රබර් වෙළෙඳපොළ පුරෝකථනයන් සිදු කිරීමේ දී අභියෝගයක් ව පවතී.

ස්වභාවික රබර් සඳහා ආදේශකයක් ලෙස භාණ්ඩ නිෂ්පාදනයේදී යොදා ගන්නා කෘත්‍රිම රබර් නිෂ්පාදනය කරනු ලබන්නේ බොර තෙල් මඟිනි.වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ගණන් ඉහල යාමේ දී කෘත්‍රිම රබර් මිල ගණන්ද ඉහළ යෑම හේතුවෙන් කෘත්‍රිම රබර් පාරිභෝජනය පහත වැටෙන අතර ස්වභාවික රබර් සඳහා ඉල්ලුම සාපේක්ෂව ඉහළ යෑමක් සිදුවේ. මේ හේතුවෙන් වෙළෙඳපොළෙහි රබර් මිල පාලනය කෙරෙහි බලපෑමක් අැති කිරීමේ හැකියාව බොර තෙල් සතුය. මේ වසරේ ජූනි මාසය වන විට ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 46 ක් වූ අතර ප්‍රධාන රටවල් තම නිෂ්පාදන පහත හෙළීමට ගෙන ඇති තීරණයක් සමඟ ඉදිරියේදී බොර තෙල් මිළ ගණන් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනයට අනුව පසුගිය වසරේ 3.1% ව පැවති ලෝක ආර්ථික වර්ධනය මේ වසරේ දී 3.5% ද ලබන වසරේ දී 3.6% දක්වා ද ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලෝක ආර්ථික තත්ත්වයේ යහපැවැත්ම සමඟ රබර් වෙළෙඳපොළ සාධනීය තත්ත්වයක්ද අපේක්ෂා කළ හැකිය. ලෝක බැංකු වාර්තා අනුව, දකුණු ආසියානු කලාපය සැලකූ විට මේ වසරේ ආර්ථික වර්ධන වේගය 6.8% ක් වනු ඇති බවත්, 2018 වසරේ දී 7.1% දක්වා ඉහල යනු ඇති බවත් සඳහන් වේ. දේශීය සමස්ත අපනයන සැලකීමේ දී පිළිවෙලින් අමෙරිකා එක්සත් ජනපදය, චීනය, කැනඩාව, ජපානය, ඉන්දියාව යන රාජ්‍යයන් ද ජර්මනිය, ඉතාලිය වැනි යුරෝපා රාජ්‍යයන් ද ප්‍රධාන වෙළෙඳපොළ ලෙස ක්‍රියා කර තිබේ. මේ රටවල් වල ආර්ථිකයේ පවත්නා සාධනීය තත්ත්වයන් දේශීය අපනයන ආදායම කෙරෙහි හිතකර වනු ඇත. පසූගිය වසරේ 1.6% ක් ව පැවැති අමෙරිකා එක්සත් ජනපද ආර්ථික වර්ධන වේගය එම වසරට සාපේක්ෂව මෙම වසරේ දී 2.3% ලෙසත් ලබන වසරේ දී 2.5% ඉහළ යනු ඇති බවත් ලෝක බැංකු වාර්තා වල සඳහන් වේ. එසේම පසූගිය වසරේ 1 % ක් ව පැවැති ජපාන ආර්ථික වර්ධන වේගය එම වසරට සාපේක්ෂව මෙම වසරේ දී 1.2% අගයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන් නැඟී එන වෙළෙඳපළෙ ආර්ථිකයක් සහිත රටවල ආර්ථික වර්ධන වේගය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී 4.5% අගයක් අගයක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එය ලබන වසරේ දී 4.8% අගයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සංවර්ධනය වෙමින් පවත්නා රටවල ආදායම් තත්ත්වයන් ඉහළ යාමත් සමඟ මෝටර් රථ නිෂ්පාදනය සහ භාවිතය ඉහළ යාමෙන් ටයර් සඳහා වන ඉල්ලුම ද ඉහළ යයි. නිෂ්පාදන ක්ෂේත්‍රයේ දියුණුවත් සමඟ ටයර් නොවන අනෙකුත් මෝටර් රථ කොටස්, කාර්මික රබර් භාණ්ඩ, වෛද්‍ය උපකරණ සහ පාවැසුම් ආදිය සඳහා වන ඉල්ලුමද ඉහළ යනු ඇත.

චීනයේ ෂැංහයි සහ ජපානයේ ටෝකියෝ නගර ආසියාකරයේ ප්‍රධාන වෙළෙඳපොළ දෙකක් ලෙස සැලැකේ. චීනයේ ෂැංහයි වෙළෙඳපොළෙහි ගිවිසුම් ගත ඉදිරි රබර් මිල (Future Price) ගණන් ප්‍රේරණය කරණු ලබන්නේ අදාළ විනිමය අනුපාතිකය හෙවත් චීන යුආන් ඒකකය මගිනි. එසේම ජපාන යෙන් ඒකකය ඵම වෙළඳපොල තුල මිල ප්‍රේරණය කරනු ලබයි. විනිමය අනුපාතිකය අගය ශක්තිමත් වීමත් සමඟ එරට වෙළෙඳපොළෙහි රබර් සඳහා වන ඉල්ලුම පහළ යාමෙන් ගිවිසුම් ගත ඉදිරි රබර් මිල (Future Price) ගණන් පහත වැටීමක් සිදුවේ. මේ හේතුවෙන් එම වෙළඳපොළ රබර් මිල ගණන් පහළ යාමක් පෙන්නුම් කරයි. ඒ හා සමාන ආකාරයෙන්ම විනිමය අනුපාතිකය දුර්වල වන අවස්ථාවන් හි දී අයෝජකයන් සඳහා එම වෙළඳපොළ රබර් වඩාත් ලාභදායී වේ. මේ හේතුවෙන් එරට වෙළෙඳපොළහි රබර් සඳහා වන ඉල්ලුම ඉහළ යාමෙන් වෙළෙඳපොළහි රබර් මිල ගණන් ඉහළ යාමක් පෙන්නුම් කරයි.

මේ වසරේ ජූනි මස වන විට චීන යුආන් ඒකක 100 ආසන්න ඇ.ඩො.14.6 ලෙස සටහන්ව තිබූ අතර එය මේ වසරේ පෙබරවාරි මාසයේ සටහන් වූයේ ඇ.ඩො. 14.5 ට ආසන්න ලෙස සටහන්ව තිබිණි. එසේම මේ වසරේ ජූනි මස වන විට ජපාන යෙන් ඒකක 1000 ක අගය ආසන්න ඇ.ඩො. 9.00 ලෙස සටහන්ව තිබූ අතර එය මේ වසරේ පෙබරවාරි මාසයේ සටහන් වූයේ ඇ.ඩො. 8.80 ට ආසන්න අගයක් ලෙසය.

දීර්ඝ කාලීනව රබර් කර්මාන්තයේ ජීව ගුණය පවත්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග රැසක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇත. වාර්ෂිකව නිෂ්පාදනය පහත වැටීම, ඉඩම් ඵලදායිතාවය පහත වැටීම හා නිෂ්පාදන පාරිභෝජන පරතරය ඉහළයාමත් සමග ආනයන ඉහළ යෑම මෙහි ප්‍රධාන කරුණු වේ. වෙළෙඳපොළ මිල පහත වැටීමත් සමඟ රබර් ගොවීන් අනෙකුත් බෝග වෙත නැඹුරු වීමක් සිදු වේ. රබර් ඉඩමකින් අස්වැන්න ලබාගැනීම සඳහා අවම වශයෙන් වසර පහක කාලයක් ගත වේ. රබර් ඉඩම් අනෙකුත් බෝග සඳහා පරිවර්තනය කළහොත් නැවත අස්වැන්න ලබා ගත හැකි රබර් වගාවක් සඳහා පරිවර්තනයට ඒ හා සමාන කාලයක් ගතවෙන බැවින් දීර්ඝ කාලීනව විශාල අස්වැන්න ප්‍රමාණයක් අහිමි වේ.

එසේම වර්ෂයේ ඇතැම් කාලයන් හි දී පවත්නා අහිතකර දේශගුණික තත්ත්වයන් හේතු කොට ගෙන එම කාලවලදී නිෂ්පාදනය සැලැකිය යුතු ලෙස පහත වැටේ. දේශගුණික විපර්යාස හේතුවෙන් රබර් වගාවන්ට ඇතිවන අහිතකර බලපෑම් මේ යටතේ සැලැකිය හැකිය. පුහුණු කිරි කැපුම්කරුවන්ගේ හිඟය අදවන විට රබර් කර්මාන්තය මුහුණ දීඇති තවත් ගැටලුවකි. මිල පහත වැටෙන විට ශ්‍රමිකයන්ගේ ජීවනෝපාය ද අභියෝගයකට ලක්වේ. මේ හේතුවෙන් ඔවුන් ක්‍රමයෙන් කිරි කැපුම් වෘත්තියෙන් ඈත්ව වෙනත් රැකියා අවස්ථා සඳහා යොමු වෙති.

පැරැණි සහ අඩු ඵලදායිතාවයක් ගන්නා ක්ලෝන ක්‍රමයෙන් ඉවත් කිරීමෙන් ඒ සඳහා ඉහළ විභව අස්වැන්නක් සහිත ක්ලෝන රබර් ගොවීන් වෙත නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය දීර්ඝ කාලයක් මුළුල්ලේ කටයුතු කරමින් සිටී.

එසේම නිසි කළමනාකරණයකින් සහ කාර්යක්ෂමව අස්වැන්න ලබා ගැනීමෙන් යුක්තව වගාව පවත්වාගෙන යාමෙන් ඵලදායිතාවය ඉහළ නංවා ගැනීම කෙරෙහි ගොවියාට මඟ පෙන්වීමක් සිදුකරයි. තිරසාර රබර් නිෂ්පාදනයක් පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් පරිසර තිරසාරී බව ආරක්ෂා කර ගනිමින් පරිසර සංරක්ෂණ රෙගුලාසීන් අනුගමනය කිරීමද සැලකිල්ලට ගත යුතුය.

එසේම මිල උච්චාවචනයෙන් ඇති වන ආර්ථික බලපෑම අවම කිරීම සඳහා රබර් වගාකරුවන් තවදුරටත් අතුරුබෝග වගා කිරීම සඳහා යොමු කරවිය යුතුය. තවද සුළු පරිමාණ ගොවීන්ගේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නංවාලීම සඳහා ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය නිරන්තරයෙන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මේ සඳහා අවශ්‍ය තොරතුරු ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය ඇමැතීමෙන් ලබා ගත හැකිය.

ජේ. කේ. එස්. සංකල්ප
පර්යේෂණ නිලධාරී, කෘෂි ආර්ථික විද්‍යා අංශය
රබර් පර්යේෂණායතනය.

Comments