වැව් බැඳි දනව්වේ නියඟය සහ ගොවියා | සිළුමිණ

වැව් බැඳි දනව්වේ නියඟය සහ ගොවියා

 වියළි කලාපීය ගොවි ජනතාව අද මුහුණ පා ඇත්තේ මෑත ඉතිහාසයේ ඇතිවූ දරුණුතම නියඟයටය. ඇතැම් ප්‍රදේශවල ඔවුන්ට ඉකුත් කන්න තුන තුළදීම තම කුඹුරු වැඩකර ගත නොහැකිවූයේ පසුගිය අවුරුදු දෙක සිසාරාම මේ නියඟය පැවැති නිසාය. ආහාර සහ පානීය ජල හිඟයෙන් තැවෙන මොවුන්ට වියළි ආහාර සහ පානීය ජලය සැපයීම සඳහා රජයට විශාල මුදලක් වියදම් කිරීමට සිදුවී තිබේ. බලාපොරොත්තු වන අයුරින් ළඟ එන ඔක්තෝබර් මාසයේදී මෝසම් වැසි ලදහොත් ඒ හා සැණින්ම මේ මිනිසුන්ගේ නියං හානිය නිමවට නොපැමිණේ. ඊළඟ මාස් කන්නයේ අස්වනු කපා 2018 පෙබරවාරි මාසයේදී පමණ ගෙට ගන්නා තෙක් අවම වශයෙන් ඔවුන්ගේ ආහාර හිඟයවත් නිම වන්නේ නැත. දැනට ඔවුහූ ණය බරිතව සහ පිරිහුණු පෝෂණ සහ සෞඛ්‍ය තත්ත්වයන් මැද අසරණව ජීවත් වෙත්. ඔවුන්ට මෙතෙක් වී ඇති හානි අකාමකා දමමින් දිළිඳු බවෙන් ගොඩ ඒමට තවත් බොහෝ කලක් ගතවනු ඇත. ඒ වන විට ඔවුහූ තවත් නිගඟයක දොරකඩට ළඟාවිය හැකිය.

වර්ෂ 1944 සිට 1973 දක්වාවූ තිස් අවුරුදු කාලයේ පැවැති නියං පරීක්ෂාකර බැලීමේදී පැහැදිලි වූයේ සාමාන්‍යයෙන් අවුරුදු 20 කට වරක් දරුණු නියඟයක් ඇතිවිය හැකි බවත්, අවුරුදු 8 ක් හෝ 10 දී හෝ තරමක් බරපතල නියඟයක් ඇතිවන බවත්, අවුරුදු 3 ත් 5 ත් අතර සුළු වශයෙන් නොයෙක් ප්‍රදේශවල නියං ඇතිවිය හැකි බවත්ය.

අනාදිමත් කාලයක සිටම මේ රටේ වරින්වර බරපතල නියං ඇතිවූ බැව් අප අසා ඇත. බැමිණිතියා සාය එවැන්නකි. ඉකුත් සියවස පුරාම දරුණු නියං ඇතිවී තිබේ. එක්දහස් නවසිය තිස් ගණන්වලදීත්, නමසිය පනස් ගණන් වලදීත්, හැත්තෑ ගණන්වලදීත්, එතරම්ම බරපතල නොවූවත් එක්දහස් නවසිය අසූව සහ අනූව දශකවලදීත් මෙරටෙහි ඇතිවූ නියං හානි බොහෝය.

වර්ෂ දහසයක් තිස්සේම වරින්වර මේ කතුවරයා විසින් කරනු ලැබූ පර්යේෂණවල ප්‍රතිඵල, පරිපූර්ණ ග්‍රන්ථයක් වශයෙන් "නියඟය සහ ගොවියා" නමින් එළි දැක්වූයේ 1986 දීය.

එයට රාජ්‍ය සම්මානයක්ද ලැබී ඇත. ඉන් විද්‍යාමාන වූ කරුණු අතර, ගොවීන්ට නියඟය කෙතරම් කලක් කෙතරම් දරුණු ලෙස බලපාන්නේද යන්න විග්‍රහ කොට දක්වා ඇත. බොහෝ ස්වාභාවික ආපදාවල ආරම්භය, බිහිසුණු බව, හානි මෙන්ම ඒවායේ අවසානයද පැහැදිලිය. ජල ගැලීම ඊට එක් උදාහරණයකි. එහි පටන් ගැන්ම, එම පටන් ගැනීමට හේතු, එහි වර්ධනය, එයින් ඇති කෙරෙන විවිධ හානි, හානිවල මූල්‍යමය අගයන් මෙන්ම, ජල ගැලීමේ අවසානයද පැහැදිලිව දැකගත හැකිය.

ජල ගැලීමක් හරියටම මාර්ග අනතුරකට සමානය. එහි ආරම්භය, පැවැත්ම, ජීවිතවලට සහ දේපලවලට වන හානි මාර්ග අනතුරකින් ශේෂවන දේ ඉවත්කිරීම ආදී සියල්ලම පැහැදිලිවම හඳුනාගත හැකිය. එහෙත් නියඟය එසේ නොවේ. එය බොහෝ දුරට සමකළ හැක්කේ මිනිස් සිරුරක පිළිකාවකටය.

පිළිකාවක බීජය කවදා ශරීරයේ කොතනකදී ඇරැඹුණේදැයි පැවැසීම දුෂ්කර සේම, නියඟයක් කවදා කොතැනින් ආරම්භ විය හැකිද යන්න නිගමනය කිරීම අසීරුය. එයද පිළිකාවක්සේ නොදැනුවත්වම ඇරැඹේ. පිළිකාවක් කොතරම් කාලයක් උත්සන්නව පවතීද, එය මිනිස් සිරුරට කිනම් හානි පමුණුවා මිනිස් ජීවිතයද කවදා නිම කරතැයිද කිව නොහැකිය.

මීටත් වඩා බරපතල වනුයේ, පවුලේ එක් අයෙකුට වැළඳුණු පිළිකාවක් නිසා පිළිකා රෝගියා බේරා ගැනීමට පවුලට කෙතරම් මුදල් සම්භාරයක් වැයවේද යන්නය. ඇතැම්විට ණය වී හෝ ඇති දේපළ විකුණා හෝ රෝගියා බේරාගනීමට යෑමෙන් පවුල වැටුණු ආර්ථික ප්‍රපාතයෙන් කිසිදා ගොඩ ඒමට හැකි වේදැයි ද කිව නොහැකිය. මේ උදාහරණය නියඟයේ බරපතලකම අවබෝධ කර ගැනීමට සෑහේ යැයි සිතමි.

ඉහත දැක්වූ පරිදි මිනිසාට නිරන්තරවම සිදුවී ඇත්තේ නියඟයක් සමඟ අවදානම්ව පොර බැදීමටය. මිනිසකුගේ ජීවිතයේදී කලින් කිහිප වතාවක්ම නියඟය සමඟ පොරබදා ලත් අත්දැකීම් අනුව ළඟ එන නියඟයක් සමඟ පොරබැදීමට නම් ඔහු කලින් අත්දුටු නියං චර්යාවල ගති ලක්ෂණ සහ ඒ ගති ලක්ෂණ පෙන්නුම් කළ හෝඩුවාවල් ගැන මෙනෙහි කරමින් අවබෝධයෙන් සිටිය යුතුය. මිනිසා නිරන්තරවම වෙහෙසෙන්නේ අහසේ විද්‍යාමාන වන කාලගුණ වෙනස්කම්වල එදිනෙදා පවතින ගති ලක්ෂණ, ඉදිරියේදී ඇතිවිය හැකි නියං තත්ත්වයනට අනුහුරුව, ස්වාභාව ධර්මයේදී ගස්කොළං දනවන වෙනස්කම්ද සත්ත්වයින්ගේ හැසිරීම්වල ඇතිවෙන වෙනස්කම්ද හෝඩුවාවල් වශයෙන් ගෙන අනුමාන කිරීමටය.

එම හෝඩුවාවල් කිහිපයක් මෙහිදී ගෙනහැර දැක්වීම උචිතය. අහසේ දිස්වන චන්ද්‍ර මණ්ඩලය අතිශයින්ම ප්‍රභාමත් නම්, මළ හිරු බැස යාමේදී වලාකුළු බෙහෙවින්ම රතුපාටින් දිස්වෙන්නේ නම්, ඒවා ළඟ එන නියඟයක පෙරනිමිති සේ සැලැකේ. හිමිදිරි පාන්දර ශීතලය අධික නම් බලාපොරොත්තුවන මෝසම් වැසි ළඟවත් නැත යනුද මිනිසුන් තුළ ඇති තදබල විශ්වාසයකි. ජූනි සහ ජූලි යන මාසවලදී දිවුල් ඵලදාව අධිකවීම නියඟයකට අතවැනීමක්සේ සැලැකේ. වඩු කුරුල්ලෝ කුඩූ බැඳීම පමාකිරීමද ළඟ එන මෝසම් වැසි අසාර්ථකවීමේ ඉඟියකි. කපුටු කූඩුවල එක බිත්තරයක් හෝ දෙකක් පමණක් වූ විටද ඉදිරියේදී නියඟයක් ඇතිවීමේ පෙරනිමිත්තක් සේ සැලැකේ. දිගු කාලීන ක්ෂේත්‍ර අධ්‍යයනවලදී පැහැදිලිවූ මෙවන් හෝඩුවාවල් රැසක්ම ඉහත් සඳහන් "නියඟය සහ ගොවියා" නැමැති ග්‍රන්ථයේ සවිස්තරවම දක්වා ඇත.

ඊළඟට එම ග්‍රන්ථයෙහිම විස්තර කරදී ඇත්තේ නියඟය පැමිණිවිට ඊට අනුරූපව ජීවත්වීම සඳහා මිනිසුන් විසින් අනුගමනය කළ උපක්‍රමයි. හැකි සෑම විටම අමතර වියදම් කපාහැරීමේ සිට තම දේපොළ උකස්කිරීම හෝ විකුණා දමා හෝ විය පැහැදම් අඩුකිරීම හරහා නිරාහාරව සිටීම දක්වා වූ අතිශෝචනීය අනුගතවීම් විසිහයක්ම එම අධ්‍යයනයේදී හඳුනාගෙන ඇත.

නියඟයක් ඇතිවූ විට මුලින්ම කලබල වනුයේ සම්පත් පරිහරණය කරන ගොවියෝය. සම්පත් කළමනාකරුවෝද, මාධ්‍යවේදීහුද පවතින නියඟය ගැන කලබලවනුයේ කලකට පසුවය. නියඟයක් මඟින් ගොවිසමාජය කිසියම් ප්‍රමාණයකට වෙලාගත් සෑම අවස්ථාවකදීම සම්පත් කළමනාකරුවෝ වරින්වර එකතුවී නි‍යං පීඩිතයිනට ක්ෂණික සහන පමාවී හෝ සැලැසීමට ක්‍රියාකරත්. එය යහපත් ගුණධර්මයකි.

හැකි ඉක්මනින් ඉටු කළයුතු වගකීමකි. එහෙත් සෑම නියං කාලයකදීම ඉටු කෙරෙන්නේ මෙයම වෙත්. දිගු නියං සමයක් නිමාකරමින් ඇරැඹෙන නිකිණිපාළු වැස්සත් සමඟ සම්පත් පරිහරණය කරන්නන්ටත්, සම්පත් කළමනාකරණය කරන්නන්ටත්, නියඟය අමතකවී යෑම අභාග්‍යයකි.

මෝසම් වැස්සට තෙමී ශීතලෙන් ගැහෙන වඳුරෝ ඊළඟ මෝසම් සමයේ පටන් වැස්සට නොතෙමී සිටීම සඳහා වැසි ආවරණ තනා ගැනීමට ප්‍රතිඥා දෙන නමුදු, වැස්ස පායා හිරු එළිය වැටෙත්ම එම ප්‍රතිඥාව අමතක කරදමා යළිත් ඊළඟ මෝසම් සමයේදී ප්‍රතිඥාව යළිත් මෙනෙහි කර සිටිතැයි කතාවක් ජනවහරේ පවතී. අපි සියලු දෙනාම, එනම් සම්පත් පාලනය කරන්නෝත්, සම්පත් පරිහරණය කරන්නෝත් එක්වී මේ වඳුරු චර්යාවෙන් ඉවතට පැන නියං ආපදාවට, විශේෂයෙන්ම වැඩිවෙමින් පවත්නා දේශගුණ විපර්යාසවලට සදාකාලිකවම ඔරොත්තු දිය හැකි දිගු කාලීන සැලැසුමක් ඔස්සේ මෙරට නියං ආපදා අවම කිරීමට උත්සාහ කළ යුතුමය.

පුරාණ රජවරු තම රාජ්‍ය පාලනතන්ත්‍ර පුරාම නියං හානි අවමකර දමනු සඳහා දීර්ඝ කාලීනව සැලැසුම් කොට ඒවා ක්‍රියාත්මක කර ඇත. "වියළි කලාපය වැව් කලාපයක්" කොට රට ධානධාන්‍යයෙන් ආඪ්‍යමත් කිරීමට උත්සාහකර තිබිණි. එනිසයි මහා පරාක්‍රමබාහු රජතුමා කලින් මහසෙන් රජතුමා විසින් ඉදිකර තිබූ පදවිය වැව තවත් විශාල කොට එහි වෑකන්දේ ඇති ටැම් ලිපියේ "බන්දානි ගඟ වැව්, සිරිලකෙද කෙත්කරවා, සිසිල් දිය රඳවා, පැරකුම්බා නිරිඳු කෙළෙ මේ" (පදවිය) යනුවෙන් සඳහන්කර ඇත්තේ. ඒ අනුව යමින් අපිද එල්ලංගානුගත වැව් ආශ්‍රිතව පොළොව මතුපිටත්, භූගතවත් වතුර එක් රැස්කර තබමින් එම වතුර ගොවිතැන් කටයුතුවලට යොදා ගැනීමට උත්සාහ කළ යුතුව ඇත. කොතරම් අඩුපාඩු තිබුණත් අනාගතයේ පැවැතිය හැකි වර්ෂාපතන චර්යා කිසියම් ප්‍රමාණයකින්වත් නිගමනය කිරීමට හැකිවන නව තාක්ෂණ ක්‍රම දැන් අපට ලබාගත හැක. මේවා යොදාගැනීමේ අනුසාරයෙන් ඉදිරියේදී ඇති වියහැකි නියං ගැන විද්‍යාත්මක හෝඩුවාවල් කිසියම් ප්‍රමාණයක් විශ්වාසනීයත්වම ලබාගත හැකිවනු ඇත.

 

 

මෙවන් තාක්ෂණික දැනුමක් නොමැතිව අවම වශයෙන් ඉකුත් සියවස් දෙක තුනකදී මිනිසුන්ගේ අත්දැකීම් විකාශය කරගනු ලැබූ නියං හෝඩුවාවල්ද කිසිසේත්ම අමතක නොකළ යුතුය. ඒ හෝඩුවාවල් ගැන විද්‍යාත්මක පර්යේෂණ කෙරී නොමැත. එවන් පරීක්ෂණ පැවැත්වීම් තව තවත් ප්‍රමාද නොකල යුතුය. මේ ක්‍රම දෙකෙහිම, එනම් විද්‍යාත්මකව මෙන්ම පාරම්පරිකව ඉදිරියේදී ඇතිවිය හැකි නියං හඳුනා ගැනීම කළ යුතුය.

වෘක්ෂලතාදියේ ප්‍රබල වර්ධනය සහ ඒවායේ පැවැත්ම නියං හානි ඇතුළු ස්වාභාවික ආපදා අවම කරගැනීම සඳහා අත්‍යවශ්‍යය. මේ නිසයි ජපානයේ භූමිභාගයෙන් 75% වෘක්ෂලතාදියේ වර්ධනයට වෙන්කොට ඇත්තේ. ජපානයේ සියලු ආර්ථික හාස්කම් සිදුකර ඇත්තේ භූමියෙන් ඉතිරි 25% ප්‍රමාණය තුළය. මෙය අප විසින් ගතයුතු ප්‍රබලම සංවර්ධන සාධකයක් මෙන්ම ස්වභාවික ආපදා අවම කිරීමේ උපක්‍රමයකි. කැළෑ සංහාරය නිසා ඇතිවෙන පාංශු ඛාදනය, ජලාශවල රොන්මඩ එකතුව වැඩිවීම, වැව්වල ජල ධාරිතාව අඩුවීම, භූගත ජලය හීනවීම ආදී මේ සියල්ලටම වැරදිකරු මිනිසාය. ඔහු නියං හානි උත්සන්න කිරීමේ කොටස්කරුවකු වී ඇත. ඒ කැළෑ විනාශ ආරම්භ කිරීමේ පටන්ය.

පූර්ණ කැළයක් වර්ධනය කිරීමට අවුරුදු 20 ක්වත් ගතවේ. එබැවින් අපේ නියං හානි අවම කිරීම සඳහා අපි යායුත්තේ විසි අවුරුදු සැලැස්මකටය.

ඒ කාලය තුළදී එක් අතකින් කැළය ක්‍රමයෙන් වර්ධනය වෙවී යද්දී කැළෑ වැවීමටත්, භූමත සහ භූගත ජල රැස්කිරීම වැඩි කිරීමටත්, ඇති ජලය නාස්තියෙන් තොරව ගොවිතැන් කටයුතු සහ ගෙදර දොර සියලු ජල අවශ්‍යතා සපුරා ගැනීමටත්, වගා කරන භෝගවලින් ආදායම මෙන්ම ඒවාහි ඵලදායීතා වැඩි කිරීමටත්, සත්ත්ව පාලන කටයුතු වර්ධනය කිරීමටත්, මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය ජෛව විවිධත්වයේ ජීවීන්-ජීවීන් අතර, ජීවීන්-ගහකොළ අතර මෙන්ම අජීවී-අජීවී ආදී වස්තූන් අතරත් ඇති සහ-සම්බන්ධතා කඩා බිඳ නොදමමින් නියං විපක අවම කෙරෙන සැලැසුමක් සකසා, එය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යය.

මේ දිගුකාලීන සැලැසුමට අයත් ක්‍රියාත්මක කිරීම් අවධි හතරකට හෝ පහකට පමණ සිටින සේ පෙළගැස්විය හැකිය.

මෙවැනි සැලසුමක් නොමැතිනම් ගොවි ජනතාව නියං වලින් ලබන පීඩා සහ ඒවායින් ලබන පාඩු චිරස්ථීනවම නැති කළ නොහැකිය.

රටේ දුගීබව නැතිකළ නොහැකිය. අද සිදුවන්නේ දුගී බවේ කඩ ඉමෙන් යාන්තමින් ඉහළට ගොස් ඇති මිනිසුන් පවා නියඟයක් පැමිණි විට යළිත් දුගී බවේ කඩයිමෙන් පහළට වැටීමය. ඊළඟ සරුසාර අවුරුදු කිහිපය තුළදී ඔවුහූ යාන්තමින් හිස ඔසවා දුගීබවේ කඩයිම ඉහළට තරණය කලත්, කවදා හෝ ඊළඟ නියඟයේදී යළිත් පහළ වැටේ. මෙය ඉපිද මැරී, යළි ඉපදී, යළි යළිත් මැරෙමින් උපදිමින් යන න්‍යායක් බවට දැන් පත්වී ඇත.

යෝජිත විසි අවුරුදු සැලැසුම සැකසීමේ වගකීම ආපදා කළමනාකරණ අමාත්‍යාංශය අධීක්ෂණය යටතේ අලුතින් වැඩසටහන් කළමනාකරණ ඒකකයක් ස්තාපනය කර සිදුකිරීම වඩාත් ගැළපේ. නව වැඩසටහන් කළමනාකරණ ඒකකය යටතේ සැලැසුම් සැකසීමේදී අමාත්‍යාංශය යටතේ පවතින කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත්, ජාතික සහන සේවා මධ්‍යස්ථානයත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් එමෙන්ම ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයත් එක්වන්ව එක්සිත්ව එක් අරමුණක් පෙරදැරිව කටයුතු කිරීම අගනේය. මීට අමතරව මේ විසි අවුරුදු සැලැස්ම සෑදීමේදී ආධාර උපකාර ලැබිය හැකි රජයේ අනෙකුත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන මෙන්ම රාජ්‍ය නොවන සහ පෞද්ගලික ආයතනත් හඳුනාගෙන ඒවයින් අවශ්‍ය සහාය ලබාගත යුතුය.

සැලැසුම්කරණයට දෙතුන්දෙනකුගෙන් යුතු කමිටුවක් සෑහේ. එහි මූලිකත්වය දිය යුත්තේ නියං ආපදාව පිළිබඳ දිගුකලක් පර්යේෂණ පවත්වා, ඒ පර්යේෂණ කලඑළි දැක්වූ අයකුටය. දත්ත එක් රැස්කිරීම සඳහා අවශ්‍ය නිලධාරි සංඛ්‍යාව තීරණය කිරීම සහ ඔවුන්ගේ සුදුසුකම් තීරණය කිරීමේ නිදහස එම කමිටුවට තිබිය යුතුය. මේ සැලැසුම්කරණයේ සීමාවක් සහ කාලසටහනක් නිගමනය කිරීමේ පූර්ණ නිදහසද කමිටුව සතුවිය යුතුය.

ආචාර්ය එම්.යූ.ඒ. තෙන්නකෝන්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.