උදෑසන ආහාර මඟහැරීමෙන් ඇතිවන බලපෑම | සිළුමිණ

උදෑසන ආහාර මඟහැරීමෙන් ඇතිවන බලපෑම

උදෑසන ආහාරය රජෙක් වගේ ගන්න ඕන කියලා කතාවක් තියනවා. ඒ වුණත් වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුට උදෑසන ආහාරය මඟහැරෙනවා. විශේෂයෙන් කාන්තාවන්ට උදෑසන කාලයේ කරන්නට සිදුවෙන වැඩ රාජකාරීත් සමඟ උදය ආහාරය ගැනීමට සිදු වෙන්නේ නෑ. එසේ උදෑසන ආහාරය මඟහැරීමෙන් නොසිතන රෝග බොහොමයක් ඇති වෙන්න පුළුවන්.

හදවතට අගුණ වීම

ඇමරිකානු වෛද්‍යවරයෙකු වන ලිෂ් චර්චිල් තම පර්යේෂණ අධ්‍යනයන් තුළින් උදෑසන ආහාරය මඟ හැරීමේන් හෘදයාබාධ ඇතිවීමට හැකි බව සොයා ගෙන ඇත. එමෙන් ම හෘදයේ ධමනි සහ ශිරා ආශ්‍රීත රෝගාබාධ ඇති වීම සඳහා මුලික වන්නේ ද මෙම කාරණාව බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

දියවැඩියාව ඇති වීම

හාවඩ් විශ්ව විද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය අංශය මඟින් පවත්වන ලද සමීක්ෂණයක් මගින් මෙය තහවුරු කර ගෙන ඇත. අවුරුදු 06ක කාලයක් පුද්ගලයින් 46,289 ක් දෙනෙකු තම උදෑසන ආහාරය මඟ හැරීමේන් ඔවුන්ට දියවැඩියා තත්ත්වය වැළදී ඇති බව එහිදී අනාවරණය විය.තව ද උදෑසන ආහාරය මඟහැරීමේන් පිරිමින්ට වඩා කාන්තාවන්ට දියවැඩියාව ඇති වීමේ අවධානම වැඩි බව ද මෙම සමීක්ෂණය මඟින් තහවුරු විය.

සිරුරේ බර වැඩි වීම

විශේෂයෙන් ම සිහින් සිරුරක් හිමි කර ගැනීමට උනන්දුවක් දක්වන කෙනෙකුට උදෑසන ආහාරය මඟහැර සිටීම සුදුසු නොවේ. මෙමගින් සිරුරේ බර වැඩි වීමේ ප්‍රවණතාවය වැඩි වේ. බොහෝ දෙනෙක් ආහාර වේල් මඟහැර සිටින්නේ සිරුරේ බර පාලනය කර ගැනීමට සිතා ය. බටහිර වෛද්‍යවරුන් ප්‍රකාශ කරන අන්දමට එමගින් සිරුරේ බර තිබෙන ප්‍රමාණයටත් වඩා වැඩිවේ.

පිළිකා අවධානම

බොහෝ දෙනෙකු හිතන්නේ නැති වුණ ද උදෑසන ආහාරය දීර්ඝ කාලයක් මඟ හැර සිටීමෙන් පිළිකා අවධානමක් ඇති වීමට පුළුවන. ඇමරිකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනය මඟින් සිදුකළ පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ මෙමගින් ස්ථුලතාවය ඇති වීමට ද පුළුවන් බව ය. බටහිර රටවල්වල උදෑසන ආහාරය වෙනුවට ක්ෂණික ආහාරයක් උදෑසනත් දහවලත් අතර කාලය තුළ ගැනීමෙන් බොහෝ පුද්ගලයින්ට ස්ථුලතාවය වැළදී පසුකාලයේ දී පිළිකා තත්ත්වයන් හට ගෙන ඇත.

උදෑසන ආහාරයට ගත යුතු එළවළුවල අන්තර්ගත බීටා කැරොටීන් නම් වු ෂෝෂණ සංඝටකය අඩු වීමෙන් මෙම තත්ත්වය ඇති විය හැක. හිසකෙස් අග පැලීම, හිසකෙස් දුර්වර්ණ වීම වැනි හිසකෙස් ආශ්‍රීත ව්‍යාකූල තත්ත්වයන් උදෑසන ආහාරය මඟ හැරීම නිසා ඇති විමට පුළුවන. බටහිර වෛද්‍යවරුන් ප්‍රකාශ කරන ආකාරයට කාන්තාවන්ගේ රූපලාවන්‍යට එමඟින් මහත් බලපෑමක් ඇති කරනු ලබයි.

මදාරා මුදලිගේ 

අන්තර්ජාලය ඇසුරිණි

Comments