මං ඔය දෙන්නව යෝජනා කළේ රට ගැන හිතලයි | සිළුමිණ

මං ඔය දෙන්නව යෝජනා කළේ රට ගැන හිතලයි

දේශීය දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයයි ලෝක දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයයි ගැන මට වැඩිය හොඳට නරේන්ද්‍ර දන්නවා. කතා කරන්න අවස්ථා එයි. නිවට නොවී ‍ රටේ අභිමානය ආරක්ෂා කරගෙන කොන්ද පණ ඇතිව කතා කරන්න.

පක්ෂ මහ ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිත රැස්වීමට සහභාගි වනු වස් නරේන්ද්‍ර මන්ත්‍රිවරයා හෝරාවකට ආසන්න ප්‍රමාදයකින් පැමිණීම ශාලාවෙන් පිටත රැඳී සිටි විවිධ මාධ්‍යකරුවන්ගේ උකුසු ඇසට ලක් වන්නට විය.

වේලාව නොවරදවා පක්ෂය මෙන් ම ජනතාවද සතුටු කිරීමේ ප්‍රතිපත්තියට හුරු පුරුදුව සිටින මන්ත්‍රිවරයා මෝටර් රථයෙන් පිටතට පය තැබුවේ තමා කෙරෙහි ම උපන් ලජ්ජා සහගත සිතිවිල්ලක් ද ඇතිවය.

රටවැසියා මෙන් ම ආණ්ඩු යාන්ත්‍රණයේ නියමුවන් වූ දේශපාලනඥයින් ද වේලාවට වැඩ කිරීම, ආකල්පමය වශයෙන් විශිෂ්ට ආචාර් ධර්මයක් ලෙස මාධ්‍ය හමුවේ තමා කරන අර්ථ කථන සිඳ බිඳ වැටුණේ තරුණ ගැහැනු පිරිමි දරුවන්ගේ ප්‍රශ්නවලට පැටලීමෙනැයි සිතෙන විට එය කාලය කා දැමීමකැයි නරේන්ද්‍ර මන්ත්‍රිවරයා සිතුවේ තමා කෙරෙහි ම උපන් උපහාසයකිනි.

ප්‍රතිරූප නිර්මාණ උදෙසා දේශපාලන වාග් සංග්‍රාමයන්හිදී අනවශ්‍ය පාණ්ඩීත්වයක් පෙන්නුම් කරන වදන් එකතු කර නොගන්නා මන්ත්‍රිවරයාගේ මුවින් පිටවන සෑම වචනයකට ම කාලානුරූප වටිනාකමක් ඇති බව පොදු මාධ්‍ය මතයක්ව පවතී. ඔහු කාලයට ගරු කරන්නෙකි. කාලයේ වටිනාකම රන්වලට සමාන කිරීම මෝඩ තර්කයකැයි ඔහු පවසයි.

එවන් දේශපාලනඥයෙකු මේ අර්බුදකාරී දේශපාලන සමාජයේ ස්වපාක්ෂික රැස්වීමකට හෝරාවක් ප්‍රමාද වීම මාධ්‍යයට ප්‍රශ්නයක් නොවුණේ නම් පුදුමයකි.

නරේන්ද්‍ර තමා වෙත දුව දුව එන මාධ්‍යකරුවන් දෙස බැලුවේ යටැසිනි. දන්නා හඳුනන අය වැඩිය. එහෙත් නොදන්නා සේ ප්‍රශ්න කිරීමේ දක්ෂතාව ඔවුන්ට ඇත.

“මන්ත්‍රිතුමා කවදාවත් නැතිව අද හුඟක් පරක්කුයි. පිම්මකටවත් ලෑස්ති වෙනවද?”

මන්ත්‍රිවරයා මහ හඬින් සිනාසුණේ මාධ්‍යකරුවන්ට සමච්චල් කිරීමට වුණත්, සියුම් කෝපයක් ද සඟවා ගෙන ය.

“පිම්මකට ලෑස්ති වෙනවද? මාර ප්‍රශ්නයක්. හිතුවද මං වඳුරෙක් රිළවෙක් කියලා. මං මේ මහ පොළොවෙ පය ගහලා ඉන්න මිනිහෙක්. ගස් උඩ ඉන්න කෙනෙක් නෙමේ.”

“රටේ වෙන දේවල්වල හැටියට නිකමට වගේ හිතෙනවා ඔබතුමාටත් ආණ්ඩුව රහ වැටිලද....”

මාධ්‍යකරුට ප්‍රශ්නය අසා නිම කිරීමට මන්ත්‍රිවරයා ඉඩ දුන්නේ නැත.

“අනේ මේ පත්තර මහත්වරුන් මගෙන් අහන මෝඩ ප්‍රශ්න? ආණ්ඩුව රහ වැටිලද? ගොං කතාවක්නෙ? මම ආණ්ඩුව කනවද? ආණ්ඩුව කන අයගෙන් ඔය වගේ ප්‍රශ්න අහන්න ඕන. පත්තර කලාව රටකට වැදගත් වගේ ම වගකීමක් තියෙන මාධ්‍ය ක්ෂේත්‍රයක්. ගමේ ගොඩේ, නාන තොටේ, සුපර් මාකට් එකේ, ස්විමිංෆූල් එකේ කරන ඕපා දූප ප්‍රශ්න කලබැගෑනි මේ වගෙ ස්ථානවල ගේන්න එපා. මඳිකම අපිට නෙමේ. ඔයගොල්ලන්ට.”

නරේන්ද්‍ර මාධ්‍යකරුවන්ගෙන් නිදහස ලබා ශාලාවේ පිවිසුම් දොර වෙත ගොස් ආපසු හැරී බලා ඔවුන්ට හස්තාචාර දැක් වූයේ හිනැහෙමිනි. ඔවුන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ රැස්වීම අවසානයේ දේශපාලනඥයින් පිරිස පිටතට පැමිණෙන තුරුය.

රැස්වීම් ශාලාව තුළ සිදු වෙන්නේ ආණ්ඩු යාන්ත්‍රණය පෙරළා දැමීමට ක්‍රමෝපායයන් තෝරා බේරා ගැනීමකැයි සිතන සමහර මාධ්‍යවේදීහු ඒ ක්‍රමෝපායයන් මොනවාදැයි සැක හැර දැනීමේ පිපාසයෙන් පෙළෙති.

නරේන්ද්‍ර මන්ත්‍රිවරයා ක්ෂණිකව සිත ඇතිව නැතිවන දහසක් සිතුවිලි හා ගැටෙමින් ශාලාවට ප්‍රවිෂ්ට වූයේ ඈත මෑත වට පිට ද වේදිකාව දෙස ද බලමිනි. පක්ෂ නායකකාරකාදීන් කීප දෙනෙක් වේදිකාවේ අසුන් ගෙන සිටියහ.

“නරේන්ද්‍ර මන්ත්‍රිතුමා, මෙහාට මෙහාට.”

අසුන් ගෙන සිටියෙක් නරේන්ද්‍රට කතා කළේ ඔහු අසලින් අසුන් ගන්වා ගැනීමටය. නරේන්ද්‍ර ඔහු වෙත ගියේය.

“හොඳට ම පරක්කු වෙලා නේද? අපි ඒත් බැලුවා කවදාවත් නැතිව මොකද කියලා...”

නරේන්ද්‍ර සිනාසෙමින් ඔහුට යාබද අසුනෙහි හිඳ ගත්තේය.

“මොනවද ලොකු ලොක්කො කියන්නෙ?”

අනතුරුව ඔහු ඇසුවේ පිළිතුරු අපේක්ෂාවෙන් ම නොවේ.

“නරේන්ද්‍ර මන්ත්‍රිතුමාට ආයෙත් විදේශ සංචාරයක් ලැබෙන්න වගෙයි. ආරංචි නැද්ද?”

“ඒ කොහොමද? නිවාඩුවක් ගත කරන්නද?”

“අපොයි නැහැ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්න හැටි පෙරදිග රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීලට උගන්වන්න බටහිර නායකයින්ට ඕන වෙලා. පරණ න්‍යාය පත්‍රවල නව සංශෝධනයක්.”

මන්ත්‍රිවරයා නරේන්ද්‍රට විදෙස් සංචාරයේ අග මුල සුලමුල පහදා දෙන්නට විය.

ප්‍රධාන දේශපාලන පක්ෂ ලෙස පිළිගත් පක්ෂ තුනක මන්ත්‍රිවරු හය දෙනෙකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමකට ලෝක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයකින් සුවිශේෂි ආරාධනයක් ලැබී ඇත්තේ කථානායකතුමන් මඟිනි. ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ම ආරක්ෂා කර ගැනීමේ විශේෂ අවධානයක් ලොව පුරා ව්‍යාප්ත කිරීමේ අභිලාෂයක් ලෝක පාර්ලිමේන්තු සංවිධානයට ඇත. ඉනුත් ආසියානු කලාපයේ බොහෝ රටවල ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ සහිත ආණ්ඩු යාන්ත්‍රණ බිඳ වැටෙමින් පවතින බව ඔවුන්ගේ පිළිගැනීමයි.

බිඳ වැටෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදය නගා සිටුවීම පිළිබඳ මහා සාකච්ඡා සම්මේලනයට, තම පක්ෂය විසින් තෝරා ගෙන ඇත්තේ නරේන්ද්‍ර බව මිතුරු මන්ත්‍රීවරයා කීවේ ඔහු ගේ දකුණත ගෙන තදින් මිරිකමිනි. ඒ සුබ පැතුමකි.

“මට ඔයා කියන කතාව හරියට වැටහුණේ නැහැ.”

මිත්‍ර මන්ත්‍රිවරයාගේ වචන තේරුම් ගත නොහැකි ලෙසින් නරේන්ද්‍ර ඇසුවේ සඟවා ගත් උපහාසයක් ඇතිවය.

“දැන් අපි ද ගිහින් බටහිර ඇත්තන්ට ප්‍රජාතන්ත්‍රවාදය ගැන දේශන තියන්නෙ? එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් තියෙන්නෙ කොයි රටේ ද? කොයි ග්‍රහ ලෝකෙ ද?”

ඔහු ඇසුවේ පුදුමය ව්‍යාජයක් නොවෙන්නට තරම් ප්‍රවේශමෙනි.

“මොනවද නරේන් මන්ත්‍රිතුමා. තමුන්නාන්සෙට හැමදේ ම විහිළු? මේක විහිළුවක් නෙමේ. ඇත්තක්. අපි සේරම කැමති වුණා නරේන්ද්‍ර මන්ත්‍රිතුමාට ඒ අවස්ථාව දෙනවට. ඔයා දේශපාලන වශයෙනුත් මධ්‍යස්ථ කෙනෙක්නෙ.”

“කවුද යන අනිත් මන්ත්‍රි?”

“ඒ ගැන තමා සාකච්ඡා කරන්නෙ. අපේ පක්ෂෙ නූනත් ලොක්කා තදින් ම යෝජනා කරනවා රුක්නාද් අරුණාචලම්...”

“න්... නැහැ.”

“නැහැ නෙමේ ඔව්.”

නරේන්ද්‍ර ඉන් පසු ප්‍රශ්න ඇසුවේ නැත. රුක්නාද් නොබෙදුණ රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින්නෙකි. වැඩිහිටි ජාතියකින් වෙන්වී කුඩා ජාතියක් ලෙස කුඩා ප්‍රදේශයක පාලනයකට නතුවී හුදකලා මිනිසුන් වීමේ අනාගත අවදානම දකින්නෙකි.

සංහිඳියාව යනු මිනිසාට මිනිසා දක්වන ගෞරවයේ සහ විශ්වාසයේ අර්ථ නිරූපණයක් සේ ශ්‍රී ලාංකික දේශපාලන සමාජයට ඒත්තු ගැන්වීමට උත්සාහ දරණ තරුණ දේශපාලනඥයෙකි.

ප්‍රජාතන්ත්‍රවාදය දේශීය වශයෙන් දකුණටත් උතුරටත් නැගෙනහිරටත් බස්නාහිරටත් සමාන විය යුතු මෙන් ම ලෝක දේශපාලනය තුළ පෙරදිගටත් අපරදිගටත් සමාන විය යුතු බවට හඬක් නංවන්නෙකි.

“නරේන් මන්ත්‍රිතුමා නිකමටවත් මගෙන් ඇහුවෙ නැහැනෙ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉගෙන ගන්න මේ සැරේ යන්න තියෙන රට ගැන.”

“බටහිර සත්කාරක රටක් වෙන්නැති. යන්න සිද්ධ වුණොත් යන එන තැන් ගැන කියාවිනෙ.”

“සැකයි වගේ?”

“නැතුව? සතුරෝ නම් ගෙයි ම ඇත කියලා ජේසුස්වහන්සෙ දේශනා කරලා තියෙනවා.”

“යන්නෙ ස්විට්සර්ලන්තෙට.”

“හ්ම් හොඳයි.”

දෙහෝරාවක් ඉක්ම ගියේය. සභාවේ වැඩ කටයුතු අවසන් විය. තේ පැන් සංග්‍රහය පැවති ශාලාවට ගිය නරේන්ද්‍ර වට කර ගත් කිහිප දෙනෙක් ප්‍රමාදයට හේතු ඇසූහ. රුක්නාද් අරුණාචලම් සමඟ ස්විට්සර්ලන්තයට පියාසර කිරීමට ඇති කැමැත්ත විමසූහ.

නරේන්ද්‍රගේ පිළිතුරු වගකීමෙන් ‍තොර විය. ඒ ඔහු ගේ අහංකාර පැවැත්මේ ස්වභාවය යැයි කෙනෙක් තව කෙනෙකුට කොඳුරා කීවේ ද රහසිනි.

“නරේන්ද්‍ර මන්ත්‍රිතුමයි රුක්නාද් මන්ත්‍රිතුමයි අඹ යහළුවෝ. එයාගෙ අක්කා කෙනෙක්ගෙ දුවෙක් විවාහ වෙන්න ඉන්නෙ රුක්නාද් එක්ක කියලා ෆේස්බුක් එකේ තිබුණා.”

“ෆේස් බුක්වල තියෙන සමහර මහාවංශ බොරුවල හැටියට ඒ කතාව කුඩාවංශ බොරුවක් වෙන්නැති?”

තේ පානය අතරේ බොහෝ අදහස් මත එකිනෙකා හා බෙදා ගැනීම සිදුවෙද්දී නරේන්ද්‍ර නිහඬව සිටියේ සතියක් රටින් බැහැරවීම ඉන්ද්‍රජිත්ගේ ගමනට කෙසේ බලපාද්දැයි සිතමිනි.

ඔහු බී හිස් කළ තේ කෝප්පය සේවකයෙකු අත තැබුවේ තමා දෙස බලමින් එන පක්ෂ නායකගේ ලේකම්වරයා සොයන්නේ තමාදැයි සැකයෙනි.

“සර්ට ලොකුසර් කතා කළා.”

වහ වහා පැමිණි ලේකම්වරයා නරේන්ද්‍රට කීවේ සැකය වැරැදි නැතැයි පවසන්නට මෙනි.

“හ්ම්. යමු”

පක්ෂ නායකයා වෙත ගිය නරේන්ද්‍ර ඔහුගේ ඉඟියකින් ඔහු අසල පුටුවේ හිඳ ගත්තේ ය.

‘අද ටිකක් පරක්කු වුණා නේද?”

පක්ෂනායකයාගේ පළමු පැනය එය විය.

“ඔව් සර්. සමාවෙන්න.”

“හරි. හරි. ස්විස්ගමන ගැන දන්නවනෙ? ඔයාලා රුක්නාද්ලා එකතුවෙලා ප්‍රබල හඬක් නංවන්න සූදානම් වෙන වැඩ පිළිවෙළට මං කැමතියි. නරේන්ද්‍ර. දේශීය දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයයි ලෝක දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයයි ගැන මට වැඩිය හොඳට නරේන්ද්‍ර දන්නවා. කතා කරන්න අවස්ථා එයි. නිවට නොවී ‍රටේ අභිමානය ආරක්ෂා කරගෙන කොන්ද පණ ඇතිව කතා කරන්න. රුක්නාද්ටත් ඒ ගැන පහදලා දෙන්න. දෙන්නා එකමතයක ඉන්න ඕන. රටකින් රටකට ගිහින් පක්ෂ දේශපාලය ගැන එක වචනයක් කතා කරන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදයේ එක් අංශු මාත්‍රයක් විතරයි පක්ෂය. මං මේ ගමනට ඔය දෙන්නව යෝජනා කළේ පක්ෂය ගැන හිතලා නෙමේ රට ගැන හිතලා.”

නරේන්ද්‍ර නිහඬව සවන් දුන්නේය. පක්ෂ නායකයා මාතෘභූමියේ ගෞරවය හා අභිමානය ගැන දැඩිව සිතන්නෙකි. මවුබිම තුළදී වුවද ඔහු වැඩි වශයෙන් කතා කරන්නේ පක්ෂය ගැන නොව මවුබිම ගැනය.

විවිධ සාකච්ඡා සම්මේලන සඳහා විදේශ ගතවන දේශපාලනඥයින් සර්ප හැවක් වන් පක්ෂය සිතින් ඉවත් කර ශ්‍රී ලාංකිකයෙකු මෙන් එවැනි සම්මේලනවලට සහභාගීවීමේ වටිනාකම ඔහු පාක්ෂික මන්ත්‍රිවරුන්ට පමණක් නොව කිසියම් තීරණාත්මක අවස්ථාවන්හිදී අනෙක් තරුණ මන්ත්‍රිවරුන්ට ද පහදා දීමට පසුබට නොවෙන්නකි.

“නරේන්ද්‍ර ඔයාට කතා කරන්න අවස්ථාවක් ලැබුණත් නැතත් රුක්නාද්ට කතා කරන්න තියෙන අවස්ථාව නැති කරන්න කාටවත් ඉඩ දෙන්න එපා. යන හය දෙනා ම එක මතයක ඉන්නවා මිසක් මෙහෙදි වගේ මරා ගන්න ලෑස්ති වෙන්න එපා. ඔයා වැඩිහිටියෙක්. ඔය තරුණ කොල්ලො එක මිටියකට ගන්න ඔයාට පුළුවන්.”

“සර් එතකොට දෙමළ මුස්ලිම්?”

“නරේන්ද්‍ර දෙමළ මුස්ලිම් මන්ත්‍රීලත් මේ රටේ පුරවැසියො නේද? පොඩි පොඩි ප්‍රශ්න තිබුණට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියල ම කියන්න බැහැ. ඒ අයට කියන්න රට වශයෙන් මිසක් ජාතියක් ආගමක් කුලයක් වශයෙන් කතා කරන එක අපිට රටට පාඩුවක් කියලා.”

නරේන්ද්‍ර හිස වනා නායකයාට එකඟ විය. පිටරටකට ගොස් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉගෙනගැනීමේ ඕනෑකමක් පොදුවේ මෙරට වැසියන්ට නැතැයි නරේන්ද්‍රගේ ද තීරණය විය. ප්‍රජාතන්ත්‍රවාදී යයි හඬ නංවන බොහෝ බටහිර ප්‍රමුඛ රටවලට වඩා ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී යැයි කීමට තවමත් හැකියාව ඇත.

ලබන සතියට

Comments