“කැකිල්ලේ තීන්දුව” | සිළුමිණ

“කැකිල්ලේ තීන්දුව”

 පාණදුර ක්‍රීඩා සමාජය හා කළුතර කායවර්ධන ක්‍රිකට් කවය අතර පසුගිය ජනවාරි මාසයේ පැවැති ප්‍රමුඛ පෙළ ‘බී’ කොටසේ තරගයේ “අදහාගත නොහැකි” ප්‍රතිඵලය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ අසේල රැකව කමිටුවේ වාර්තාව පසුගිය දා නිකුත් වූයේ “කළු පැල්ලමක්” මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට එකතු කරමිනි. එම තරගයේ ප්‍රතිඵලය අදහාගත නොහැකි එකක් වූයේ ඇයි ද යන්න මඳක් විමසා බැලීම වැදගත්ය.

වසරේ ප්‍රමුඛ පෙළ ‘බී’ කොටසේ තරගාවලියේ ශූරතාවය තීරණය කිරීම සම්බන්ධයෙන් අතිශය වැදගත් වූ එම තරගයෙන් පාණදුර කණ්ඩායම ජය ගත්තේ නම් ‘බී’ කොටසේ ශූරයන් ලෙස ‘ඒ’ කාණ්ඩයට සුදුසුකම් ලැබීමේ හැකියාව ඔවුනට පැහැදිලිව හිමිව තිබිණි. 1924 තරම් ඈතට දිවයන ඉතිහාසයක් සහිත පාණදුර ක්‍රීඩා සමාජය 90 දශකය වන විට දේශීය ක්‍රිකට් පිටියේ ප්‍රධානතම තරගාවලිය තුළ නිරතුරුවම රැඳී සිටිමුත් වසර කිහිපයක සිට ඔවුනට “හෙනහුරා” ලබා තිබුණේ රටේ ප්‍රධානතම තරගාවලියේ ඉඩ අහිමි වෙමිනි. 2016 තරග වාරයට ඔවුන් සැරසුණේ එම අහිමි කීර්තිය යළි සොයා යෑමේ අරමුණිනි. හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක චාමර සිල්වාව නායකත්වයට පත් කරමින් සිදු වුණු එම මෙහෙයුම තුළ වැඩි මිලක් ගෙවමින් වෙනත් ක්‍රීඩා සමාජවලින් ක්‍රීඩකයන් ඇද ගැනීම ද සිදු කරන ලදී. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11ක් හා එක්දින ජාත්‍යන්තර තරග 75ක් පමණ ක්‍රීඩා කළ චාමර සිල්වා පිළිබඳව දේශීය ක්‍රිකට් ප්‍රජාව තුළ ඇත්තේ යහපත් වූ හැඟීමකි. අඩුවෙන් කතා කරන්නකු වූ ඔහු හිතහොඳ මිනිසෙකු ලෙස ක්ෂේත්‍රයේ නමක් දිනා සිටියේය. ඒ නිසාම චාමරගේ පෞද්ගලික මැදිහත් වීම තුළ හොඳ තත්ත්වයේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම පසුගිය තරග වාරයේදී පාණදුර පිල සමඟ එක් විය. ඔවුනගේ විශ්වාසය තවත් වැඩි වූයේ කණ්ඩායමේ පුහුණු කරන අංශය තුළ ද චාමර සිල්වා ඉහළ භූමිකාවක් හෙබවූ බැවිනි. ප්‍රමුඛ පෙළ ‘බී’ කොටසේ තරගාවලිය පළමු පන්තියේ තරගාවලියක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පිළිගන්නා අතර මේ මට්ටමේදී තරග කිහිපයක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව දේශීය ක්‍රිකට් තරගාවලිය නොපැවැත්වෙන සමයේදී එංගලන්තයේ ක්‍රීඩා සමාජයක් හා එක්ව ලීග් ක්‍රිකට් තරගාවලියට සම්බන්ධ වීමේ හැකියාව පහසුවෙන් ක්‍රීඩකයෙකුට උදාකර ගත හැකිය. ඒ අතින් මෙම තරගාවලිය වෘත්තිය මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන්නකු හට වැදගත්කමක් සහිත තරගාවලියකි.

තෙදින තරගයක් ලෙස මේ වසරේ ජනවාරි 23, 24, 25 දිනවලදී පැවැති මෙම තරගයේ ප්‍රතිඵලය පාණදුරට පමණක් නොව කළුතර කායවර්ධන කණ්ඩායමට ද වැදගත් විය. සරවනමුත්තු කුසලාන තරගාවලිය තෙක් පහළට ඇද නොවැටී තවදුරටත් පළමු පන්තියේ ක්‍රිකට් තරගාවලිය තුළ රැඳී සිටීමටනම් ප්‍රමාණවත් ලෙස ලකුණු රැස් කරමින්, පළමු ඉනිම තුළ ඔවුන් පාණදුර පිල සම්පූර්ණයෙන්ම දවා ගත යුතුව තිබිණි. ඒ ආකාරයට අනාගතය සම්බන්ධයෙන් මෙම තරගය දෙපිලටම දෙයාකාරයෙන් වැදගත් වී තිබිණි. කෙනෙකු සිටින තැනින් ඉහළට යෑමට සැරැසෙද්දී අනෙකා තම පැවැත්ම රැක ගැනීම වෙනුවෙන් සටනට පිවිසුණේය. තරගය පවත්වන දින පවා වෙනස් කරමින්, එකළොස් වන පැයේ පවත්වන ස්ථානය තීරණය කළ තරගය ජනවාරි 23 දා ඇරැඹුණේම සැක කටයුතු පරිසරයක් මධ්‍යයේය. සාමාන්‍යයෙන් තරගකාරී ක්‍රීඩාවක් තුළ එවැන්නක් අපේක්ෂා කළ නොහැකි වුවද මෙම ක්‍රීඩා සමාජ දෙකේ බලධාරීන් අතර වූ සමීප සම්බන්ධය තුළ එය එතරම් පුදුම විය යුතු තත්ත්වයක් නොවීය.

2005 වසරේ සිට 2015 වසර තෙක් පාණදුර ක්‍රීඩා සමාජයේ සභාපති ධුරය දැරූ රවීන් වික්‍රමරත්න මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට්හි සහකාර ලේකම්වරයා ලෙස කටයුතු කරන මුත් අදටත් එම ක්‍රීඩා සමාජයේ අප්‍රකාශිත ප්‍රධානියා ඔහුය. පාණදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි සිසුවකු වන රවීන් තරගවාර හතරක් පාණදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමු පන්තියේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූමුත් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ ඔහු වඩාත් ප්‍රකට වූයේ පරිපාලකයෙකු ලෙසය. ශ්‍රී ලංකාවේ “ක්‍රිකට් දේශපාලනය” තුළ රවීන් දිගටම රැඳී සිටියේ තිලංග සුමතිපාල පාර්ශ්වය සමඟය. පාණදුර ක්‍රීඩා සමාජයට කෙසේ වෙතත් එම සම්බන්ධය පුද්ගලිකව රවීන්ට නම් හැම අතින්ම වාසිදායක එකක් විය. තිලංග, ටෙලිකොම් සභාපති ධුරයේ වැඩ කරන සමයේ ඉන්දියාවේ අලගප්පා විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු යැයි කියන රවීන්ට ටෙලිකොම් ආයතනයට සම්බන්ධ ආයතනක ඉහළ වගකීමක් ලබා දෙන ලදී. තමන් කෙරෙහි තැබු විශ්වාසය ඉහළින්ම සුරැකෙමින් බලය ගිලිහුණු පසු ද රවීන්, තිලංගව තනි නොකළේය. 2016 වසරේදී තිලංග යළි ක්‍රිකට් මහා පුටුවට පැමිණීමෙන් පසු රවීන් තම ස්වාමියාගේ “හයිය” අතට ගනිමින් ඉතා බලවත් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ තම ආධිපත්‍ය පතුරන්නට විය.

කළුතර කායවර්ධන ක්‍රිකට් කවය තුළ ද ක්‍රිකට් විධායක සභාව නියෝජනය කරන දෙදෙනෙකු සිටී. ඒ අනුර වීරසිංහ හා අරුණ ද සිල්වා යන අයය. එසේ එකම තැනක වැඩ කිරීම තුළ තරග පවත්වන දින හා ස්ථානය එකොළොස් වැනි පැයේ වුවද අන්‍යෝන්‍ය එකඟත්වයෙන් තීරණය කර ගැනීමේ හැකියාවක් පහසුවෙන් හිමිව පැවැතිණි. දිගින් දිගටම පසුබිමට අදාළ කාරණා පිළිබඳ කථා කෙරුම මේ සටහන පමණට වඩා දීර්ඝ කරන බැවින් 2017 ජනවාරි 23 වැනිදා ඇරැඹි මෙම තරගය වෙත දැන් ඔබව රැගෙන යෑමට කැමැත්තෙමි. මෙම තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළේ ජයන්ත ද සිල්වා හා ගාමිණි සිල්වා යන මහත්වරුය. තරග තීරකවරයා වූයේ අසූව දශකයේ දකුණු පළාතේ සිටි දක්ෂතම දකුණත් වේග පන්දු යවන්නෙකු වූ ෂිහාබ්ඩීන් ෆවුමිය. කාසියේ වාසිය උරගා බැලීමේදී එය කැරකුණේ පාණදුර පිලට වාසිදායක ලෙසය.

තරගය ජය ගත යුතුව තිබූ නිසාවෙන්ම කාසියේ වාසිය දිනා ගනිමින් චාමර සිල්වා ප්‍රතිවාදී කණ්ඩායමට “තණතීරුවේ සංගීතය” හා පළමුව මුසු වන ලෙස ඇරැයුම් කළේය.

තරගය පළමු දිනය නිමාවට පත්වූයේ කඩුලු අටක් දැවී ලකුණු 362ක් කළුතර කායවර්ධන කණ්ඩායම පන්දුවාර 94ක් තුළ ලබා ගනිමිනි. දෙවන දිනයේ තවත් පන්දු වාර නවයක් ක්‍රීඩා කරමින් ලකුණු 27ක් එකතු කරගත් කළුතර පිල සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු ගණන ලකුණු 390ක් විය. දෙවන දිනයේ තේ පානයට ළංවෙද්දී වර්ෂාව ඇද වැටෙන්නට වූ අතර ඒ වන විට පාණදුර කණ්ඩායම පන්දුවාර 45ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී 180ක් රැස්කර තිබිණි. මුල් දින දෙකෙහි ක්‍රීඩාව ගලා ගිය ආකාරය හා කාලගුණික බලපෑම් මැද සම්පූර්ණ ජයග්‍රහණයක් ලබා ගැනීම පාණදුර පිලේ සීමාවෙන් බොහෝ ඈතට ඒ වන විට ගමන් කර තිබිණි. ජනවාරි 24 වැනිදා රාත්‍රියේ “කුමන්ත්‍රණය” කරළියට පැමිණියේ ඒ අනුවය. තරග ප්‍රතිඵලය වෙනස් කිරීම පිළිබඳ එම කුමන්ත්‍රණයේ සැලැස්ම පිළිබඳව පාණදුර ක්‍රීඩා සමාජයේ ඉහළම බලවතෙකු චාමර සිල්වාව දැනුවත් කළ මොහොතේ ඔහු එය එකහෙළා ප්‍රතික්ෂේප කළ බව දැනගන්නට ඇත. මතුපිටින් මූල්‍යමය ගනුදෙනුවක් මෙහිදී පෙනෙන්නට නොමැතිමුත් තරගයක ප්‍රතිඵලය වෙනස් කිරීමට යෝජනා කිරීම යනු වක්‍රාකාරයෙන් තරග පාවාදීමකට යෝජනා කිරීමකි. ජාත්‍යන්තර තලයේ සෑහෙන අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකු ලෙස එවැනි තත්ත්වයකදී චාමර සිල්වා කළ යුතුව තිබුණේ තමන්ට කළ එම යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්හි දූෂණ විරෝධි විමර්ශකයන්ව දැනුවත් කිරීමය. නමුත් කිසියම් හෝ හේතුවක් මත ඔහු එය සිදු කළේ නැත.

38 හැවිරිදි තරුණ දරුවන් සිටින පියෙකු ලෙස ඇතැම් විට ඔහු අනවශ්‍ය කරදරයකට මැදිවීමට අකමැති වූවා විය හැකිය. සැබැවින්ම එම දුෂ්කර මොහොතේ ඔහු සතුව ඉතිරිව තිබුණේ සීමිත විකල්ප කිහිපයක් පමණි. ඉන් එකක් තෝරාගත් ඔහු උදරාබාධයක් යැයි කියමින් තුන්වැනි හා අවසාන දිනයේ තරගය මඟ හැරීමට කටයුතු කළේය. එසේ කියමින් ක්‍රීඩාංගණයටවත් 25 වැනිදා ඔහු පැමිණියේ නැත. තරගයේ තුන්වැනි දිනයේ පෙරවරු 11.45 වන විට ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද වැටෙන්නට වූ අතර ඒ වන විට පාණදුර කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 399ක් ලබා සිටියේය. ක්‍රීඩාංගණයේ පැවැති අයහපත් තත්ත්වය නිසාවෙන් තේ පානයෙන් අනතුරුව යළි ක්‍රීඩාව ඇරැඹුණු මුත් දිනය නිමාවට පෙර යැවීමට තවත් ඉතිරිව තිබුණේ පන්දු වාර 43ක් පමණී.

සම්පූර්ණ ජයග්‍රහණයක් පිළිබඳව සුළු හෝ බලාපොරොත්තුවක් පැවැතියේ නම් පාණදුර පිල ඒ මොහොතේ තරගය නතර කළ යුතුව තිබුණමුත් ඔවුහු දිගටම පන්දුවට පහර දීම සිදු කළහ. ඒ කළුතර කායවර්ධන කණ්ඩායමට සිය කණ්ඩායම සම්පූර්ණයෙන් ‍දවා ගැනීමට ඉඩ ලබාදීමේ අරමුණින් විය යුතුය. චාමර සිල්වා ක්‍රීඩාවට එක් නොවූ බැවින් කළුතර පිලට දවා ගත යුතුව තිබුණේ කඩුලු 9ක් පමණි. එදින පාණදුර පිලේ බිඳ වැටුණු කඩුලු 9න් කඩුලු 4ක්ම දැවී ගියේ ස්ටම්ප් කිරීම නිසාය. පාණදුර ක්‍රීඩකයන් කෙතරම් ‘පරිස්සමින්’ ක්‍රීඩා කළා ද යන්න ඉන් පෙනී යයි. තරග ජයග්‍රහණයක් ගැන කිසිසේත්ම බලාපොරොත්තුවක් තබාගත නොහැකි පසුබිමක ලකුණු 33ක් පසුපසින් හිඳිමින් දෙවැනි ඉනිමේ ක්‍රීඩාව ආරම්භ කරද්දී කළුතර කායවර්ධන ක්‍රීඩකයන් කළ යුතුව තිබුණේ පිතිකරණ පුහුණුවක් සඳහා එය අවස්ථාවක් කර ගැනීම වුවත් දෙවැනි ඉනිම ආරම්භයේ සිටම ඔවුන් අත දිගහැර පහර දෙන්නට විය.

පන්දු වාර 22.5 දී සියලු දෙනා දැවි ලකුණු 197ක් ඔවුන් රැස් කළේ ටැක්සි මීටරයක් කර කැවෙන්නාක් මෙනි. එම ලකුණුවලින් ලකුණු 146ක් පැමිණ තිබුණේ හයේ හතරේ පහරවල්වලිනි. පන්දු 137ක් තුළ කඩුලු 10ක් බිඳ වැටෙද්දී ඉන් තිදෙනෙක්ම දැවී ගොස් තිබුණේ ස්ටම්ප් කිරීම මඟිනි. තරග ජයග්‍රහණය සඳහා පන්දු 90ක් තුළදී ලකුණු 165ක ඉලක්කයක් පාණදුර පිලට එල්ල වූ අතර පන්දු 8ක් ඉතිරිව තිබියදී කඩුලු 7ක් පමණක් දැවී ඔවුන් එය පහසුවෙන් සම්පූර්ණ කර ගත්තේය. දෙවැනි ඉනිමේදී පාණදුර ක්‍රීඩා සමාජයේ පිතිකරුවන් ක්‍රීඩා කළ පන්දු 82න් පන්දු 30කදීම ඔවුන් හතරේ හා හයේ පහරවල් රැස්කර තිබිණි. එම තරගය නැරැඹු අපගේ මිතුරෙකු පසුව සඳහන් කළ ආකාරයට කළුතර ක්‍රීඩකයන් පන්දු පිටිය සකසා තිබුණේ හයේ හතරේ පහරවල් සඳහා රිසි සේ ඉඩකඩ ලබා දෙමිනි.

විශේෂයෙන්ම, අවසාන දිනයේ ක්‍රීඩාව එල්ලේ තරගයක මට්ටමට වැටී තිබුණේ පන්දු වාර 59 කදී ලකුණු 603ක්, එදින පිතිකරුවන් රැස්කර තිබූ බැවිනි. එක් පන්දු වාරයකට ලකුණු 10.28ක් රැස් කිරීම යනු පළමු පෙළ තරගයකදී කෙසේ වෙතත් කනිෂ්ඨ මට්ටමේ පාසල් තරගයකදී හෝ අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකි. සාමාන්‍යයෙන් මෙවැනි තරගයක පැයක් තුළ පන්දු වාර 16ක් 17 ට වඩා යැවීම අසීරු වුවත් පාණදුර පිලේ දෙවැනි ඉනිමේ අවසාන මිනිත්තු 20 තුළ පන්දු ඕවර 13ක් පමණ ප්‍රතිවාදීන් යවා තිබිණි. තරග ප්‍රතිඵලය කල් තියා සැලැසුම් කළ එකක් බව පෙන්වීමට ඊටත් වඩා තවත් සාක්ෂි අවශ්‍ය නොමැති තරම්ය.

අත්තනෝමතික ආකාරයට කෘත්‍රිමව ලබාගත් මෙම තරග ප්‍රතිඵලය නිසා එදින ක්‍රීඩාවට එකතු වූ කණ්ඩායම් දෙකම ගොඩගිය මුත් ඉන් වඩාත් අසීරුතාවයට පත් වූයේ වරාය අධිකාරියේ කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායමය. පාණදුර පිල ලැබු දිනුම නිසා ප්‍රමුඛ පෙළ ‘බී’ කොටසේ ශූරයන් බවට පත්වීම වෙනුවෙන් වරාය කණ්ඩායම තබා තිබූ බලාපොරොත්තු බිඳ වැටුණු අතර ගුවන් හමුදා කණ්ඩායම සරවනමුත්තු කුසලාන තරගාවලිය තෙක් එය පහළට ඇද දමන ලදී.

ඉතා අස්වාභාවික ආකාරයෙන් මෙම තරගයේ ප්‍රතිඵල වෙනස් කිරීම සම්බන්ධයෙන් වරාය අධිකාරි කණ්ඩායම පසුව කළ පැමිණිල්ලක් මත මේ පිළිබඳව සොයා බැලීමට ත්‍රීපුද්ගල කොමිසමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කළ අතර නීතිඥ අසේල රැකව, හිටපු නියෝජ්‍ය පොලිස්පති ජයන්ත පරණාතල හා සරත්චන්ද්‍ර ලියනගේ එහි සාමාජිකයන් ලෙස කටයුතු කරන ලදී. ඔවුන් විසින් පැවැත්වූ විමර්ශනය මත පදනම් වෙමින් මෙම තරගයේදී විෂමාචාරයක් හා ක්‍රීඩාවේ ජීව ගුණයට නොගැළපෙන හැසිරිමක් ප්‍රදර්ශනය කළ බව කියමින් කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයන්ට හා පුහුණුකරුවන්ට තරග තහනමක් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මේ වන විට පනවා තිබේ.

මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළ චාමර සිල්වාට ද වසර දෙකක තරග තහනමක් පනවමින් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම තහනම් කර ඇත. චාමර සිල්වාට එසේ බෙදද්දී මෙම සැලසුමේ මහ මොළකරුවන් ලෙස කටයුතු කළ ක්‍රීඩා සමාජ දෙකෙහි ඉහළ බලධාරින්ට හෝ ක්‍රීඩා සමාජවලට එබඳු තහනමක් පැනවීමට නිර්දේශ ඉදිරිපත් නොකිරීම විමතිය දනවන කරුණකි. මේ වරද වෙනුවෙන් ක්‍රීඩා සමාජ දෙකකට පනවා ඇත්තේ දඩ මුදලක් පමණි.

මෙම තරගයේ අවසාන ප්‍රතිඵලය කල් තියා මේ ආකාරයෙන් විය යුතු යැයි අවශ්‍යතාවයක් තිබී ඇත්තේ එහි ඉහළ නිලධාරින්ට බව බැලු බැල්මටම පෙනී යයි. පාණදුර ක්‍රීඩා සමාජයේ බලවතකු වන රවීන් වික්‍රමරත්න වර්ෂාව නිසාවෙන් තුන්වැනි දිනයේ ක්‍රීඩාව ආරම්භ කිරීම පමා වෙද්දී ඒ පිළිබඳව තරග විනිසුරුවන්ගෙන් විමසීමට තරම් හදිස්සි වී තිබේ. අනතුරුව වික්‍රමරත්න තරග තීරක ෆවුමිට ඇමැතුමක් ගෙන තරගය ඉක්මනින් ආරම්භ කිරීමට ඇති හැකියාව විමසමින් එම දුරකථන මන්ත්‍රණය සඳහා හිටපු ජාත්‍යන්තර විනිසුරු ටී. එච්. විජයවර්ධනව ද ‘කොන්ෆරන්ස් කෝල්’ ඔස්සේ සම්බන්ධ කරගෙන ඇත.

විජයවර්ධන මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් හා අනුයුක්තව විනිසුරුවන් පුහුණු කරන්නෙකු ලෙස කටයුතු කරයි. මේ සියල්ලෙන් පෙනී යනුයේ පමණ ඉක්මවා බලපෑමක් රවීන් වික්‍රමරත්න මෙහිදී සිදුකර ඇති බවය. අසේල රැකව කොමිසම සිය නිර්දේශ ඉදිරිපත් කරද්දී මේ කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම ගැටලු සහගත බව පැවැසීම අසාධාරණ නොවන්නේ එවැනි සන්දර්භයක් තුළය. චාමර සිල්වා, හසන්ත ප්‍රනාන්දු හා චරිත බුද්ධික වැනි හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පමණක් නොව තම ප්‍රථම පළමු පෙළ තරගයට ක්‍රීඩා කළ අශාන් ප්‍රනාන්දු හා නිමේෂ් කාරියවසම් වැනි තරුණ ක්‍රීඩකයන්ද මෙම තරග තහනම නිසා අමාරුවේ වැටි තිබේ. ඔවුන් එසේ අසීරුවට පත්වෙද්දී මෙම කුමන්ත්‍රණයේ මහා මොළකරුවන් නිදැල්ලේ පසුවීම විමතිය දනවනසුලුය.

තරග පාවාදීම සම්බන්ධයෙන් ඉඳහිට නැ‍ඟෙන කෙඳිරිලි මිසක ක්‍රීඩාවේ ජීව ගුණයට හානිකර මෙවැනි අප්‍රසන්න සිදුවීම් අපේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ මෑත කාලයේ වාර්තා නොවූ තරම්ය.

ඉන්දියාවට හා පාකිස්තානයට සාපේක්ෂව බලන කල ඒ පිළිබඳ සතුටු විය හැකි ස්ථානයක අප පසුවූ මුත් මෙම අප්‍රසන්න සිදුවීම ඒ සියල්ල වෙනස් කිරීමට සමත්ව තිබේ. සුපැහැදිලිවම එය, දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිරූපය බරපතළ ලෙස විනාශ මුඛයට ඇද දමා තිබේ. එවැනි පසුබිමක් තුළ සිය අන්තේවාසිකයන්ව බේරා ගනිමින් තවත් පිරිසක් බිල්ලට දෙමින්, ක්‍රියාමාර්ග ගැනුම වෙනුවට දූෂණයට, වංචාව, සැබැවින්ම විරුද්ධව නම් හා ක්‍රීඩාවට ආදරය කරන්නේ නම් යමෙකු කළ යුත්තේ මෙය නරක පූර්වාදර්ශයක් බවට පත්වීමට ඉඩ නොදී, මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා, මෙම අපකීර්තිමත් සිදුවීම තුළ බිඳ වැටුණු රටේ ක්‍රිකට් පිළිබඳ කීර්තිනාමය යළි ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු කිරීමය.

චාමර ලක්ෂාන් කුමාර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.