ලේඛකයො හින්දයි මං ජීවත් වෙන්නෙ | සිළුමිණ

ලේඛකයො හින්දයි මං ජීවත් වෙන්නෙ

 අද තරම් දියුණු තාක්ෂණයක් නොතිබුණු, අදින් අඩසිය වසකටත් එපිට යුගයක අපේ රටේ දහතුන් හැවිරිදි ළමයෙක් පත්තරයක් මුද්‍රණය කළේය. එතෙකින් නොනැවතී පොතුත් මුද්‍රණය කළේය. ඒ ළමයා අද 74 හැවිරිදි වැඩිහිටියෙකි. විනෝදාංශයම, ව්‍යාපාරය කොටගත් ධනවතෙකි. ඉලක්කයක් හඹා ගිය මිනිසෙකි.ඔබ ලංකාවේ පොත් ක්ෂේත්‍රයේ දැවැන්තයා...අවුරුදු 55 ක් පොත් මුද්‍රණය කරපු, දැනට ක්ෂේත්‍රයේ ජීවතුන් අතර ඉන්න ජ්‍යෙෂ්ඨතමයා කියනවට ඊට වඩා කැමැතියි. මට වඩා පරණ කොම්පැනි දෙකක් විතර තියෙනවා. නමුත් ඒවා පටන් ගත්තු අය ජීවතුන් අතර නැහැ. මං, ජීවතුන් අතර ඉන්න ජ්‍යෙෂ්ඨයා වෙන්නෙ ඒ නිසා.

එතකොට ඔබ ඉන්න තැන ගැන මොකද කියන්නේ...

දැවැන්තකම කොහොම මැන්නත්, මං ඉන්නේ මිනිස්සුන්ගෙ හදවතේ. ඒක මට අනෙක් කොයි නිර්ණායකයටත් වැඩිය ලොකුයි. ඒවා කෝටි ගාණත් දුන්නත් සල්ලිවලට ගන්න බැරි දේවල්. කෙනෙක් හොඳ පොතක් හොයද්දී, ‘ආ මේක නම් දයාවංශ පොතක්’ කියලා අතට ගන්න කොට දැනෙන සතුට සල්ලිවලින් මනින්න පුළුවන්ද?. මිනිස්සු පොත් තෝරන තැන්වලදී මං ඔය අමිල සතුට අත්විදලා තියෙනවා.

අවුරුදු 55ක් කියන්නෙ පුංචි කාලයක් නෙවෙයි. කොහොමද නොවැටී ආවේ...

පොඩි රහසයි. නොවටිනා ගණන්වලට පොත් විකිණුවෙ නැහැ. ළමයකුට වුණත් කියවන්න පුළුවන් හොඳ පොත් මිස ලාභ හොයන අසැබි පොත් විකිණුවෙත් නැහැ. ‘කවුරුත් දන්න හොඳ මිනිහෙක්...’ විදියට බිස්නස් එක කළා. එච්චරයි.

මේ ව්‍යාපාරය ඉදිරියට යන්නෙත් ‘ෆැමිලි බිස්නස්’ එකක් විදියටම ද...

මට ඉන්නෙ පුතයි දුවයි. දෙන්නම විශ්ව විද්‍යාලෙ ගියා. පුතා උදිත දමින්ද, ඇමරිකාවේ විදුලි ඉංජිනේරුවෙක්. දුව කාංචනා, ඇමරිකාවේ පරිගණක ඉංජිනේරු‍වරියක්. ඒ දෙන්නට පොත් ප්‍රකාශනය ගැන ලොකු ආසාවක් නැහැ. ඒ ගොල්ලො ඇමරිකාවේ බොහොම සුඛිත මුදිත ජීවිත ගෙවනවා. මටයි නෝනටයි පුළුවන් තාක් ව්‍යාපාරය හොඳින් කරනවා. ඒ වගේ ම, දරුවො තරම් විශ්වාස බොහොම පැරැණි සේවක මඬුල්ලක් මට ඉන්නවා. ඒ අය තමයි ලොකු ම හයිය.

ඒ කියන්නෙ ජයකොඩි පරපුර ගැන බලාපොරොත්තුවක් නැද්ද...

මොකද නැත්තෙ. මගේ දුවගේ පුතා, මගේ මුණුබුරා පොත් ගැන හරි උනන්දුයි. ‘මං කවදා හරි වෙන්න කැමැති කවුද’ කියලා ඉස්කෝලෙ ලියපු රචනාවටත් එයා ලියලා තියෙන්නේ, ‘දවසක මං මේ ලෝකෙ දක්ෂ ‘පබ්ලිෂර්’ කෙනෙක් වෙනවා!...’ කියලා. ඒ තමයි මගේ පොත් ලෝකෙ එක ම බලාපොරොත්තුව.

මුද්‍රණයට පොතක් ගනිද්දි ඔබ හිතන්නෙ කුමක්ද...

ඒ පිටපත ගැන මුලින් ම මම සතුටු වෙන්න ඕනේ. මොකද මම අච්චු ගහන හැම පොතක් ම මම කියවනවා. ඊට පස්සෙයි, අනුමත කරන්නේ. කුණුහරුප පොත් නම් පළාතෙ ගන්නෙ නැහැ. මගේ දරුවකුට කියවන්න පුළුවන් පොතක් විතරයි, මං මේ ර‍ෙට් අනෙක් දරුවන්ට කියවන්න දෙන්නේ. නම බාල්දු වෙන වැඩ මං කරන්නෙ නැහැ.

ඔබ ළඟ වැඩ කරපු කිහිපදෙනෙක් ම අද ජනප්‍රිය ප්‍රකාශකයෝ...

අතුල ජයකොඩි ඉන් ප්‍රධානයි. අතුල අවුරුදු දහතුනක් හිටියෙ මගේ ළඟ. මට තියෙන ලොකු ම කනගාටුව, මගේ ළඟ ඉන්න කල් එයාගෙ දක්ෂතාව අගය මට පෙනුණෙ නැහැ. එහෙම දැනුණ නම් මං අතුලට යන්න දෙන්නෙත් නැහැ. බලන්න අද ‘සූරිය’ නමින් අතුල ඉන්න තැන. මං ආශිර්වාද කරනවා. මට සතුටුයි. ආඩම්බරයි. ඒ වගේ ම දුකයි. ඒ දුක, අතුලව තියා ගන්න බැරිවුණු එක ගැන.

මේ බිස්නස් එක පහුකළ අමාරුම කාලය මතකද...

ඒකම තමයි අපේ හොඳ ම කාලයත්. 71 කැරැල්ල. රට පුරා ඇඳිරි නීතිය. සාප්පුව අරින්නෙ කොයි තරම් ටික වෙලාවකට වුණත් පොත් විකිණුනා හෝසෙට. භීෂණ සමයෙ. ඇඳිරි නීතිය දාපුවම මිනිස්සුන්ට ගෙවල් ඇතුළෙ කරන්න දෙයක් නැහැ. නවකතා පොත් අරන් යනවා. අප්‍රේල් 05 පිටවුණු, කුමාර කරුණාරත්නගේ ‘සිතට සිතක්’ පොත පිටපත් දහතුන් දාහක් එක මාසෙට විකිණුනා.

‍ෙමාකක්ද ඔබේ හැරවුම් ලක්ෂ්‍යය....

මගේ විවාහය. 1970 මගේ ම ඥාතියෙක් වෙච්චි දමයන්ති ජයකොඩි, මගේ බිරිඳ වෙනවා. ඇය එතෙක් නිරතව හිටි ගුරු වෘත්තියෙන් ඉවත් වෙනවා. පොත පතට ලේඛනයට උනන්දු කෙනෙක් බිරිය නොවුණා නම් මේ බිස්නස් එක මේ තරම් සාර්ථක වෙන්නෑ.

ඇයත් ලේඛිකාවක්...

ඔව්. ‘පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක්...’, ‘අපේ බුදු හාමුදුරුවෝ...’ ඇගේ මුල් ම කෘති. ඊ‍ට පස්සෙ ඇය පොත් ගණනාවක් ලියුවා.

එතකොට හැමදාම අනුන්ගෙ පොත් මුද්‍රණය කරපු ඔබ කවදාවත් පොතක් ලියුවෙ නැද්ද...

අවුරුදු හයක් තිස්සෙ ලියුවා. අන්තිමේ 2001 යන්තම් ඉවර කර ගත්තා. ‘සිංහලේ ජාතික සටන්’. ඒ තමයි මම ලියපු, ප්‍රථම හා එක ම ඓතිහාසික ග්‍රන්ථය.

පොතක් වෙනුවෙන් ඔබ නඩුත් කිව්වා නේද...

අපි පුංචි කාලෙ දිනමිණෙන් කියවපු ‘ඇඩ්ලින් විතාරණ’ ඝාතනය මගේ හිත හරියට කම්පා කළා. මගේ ආරාධනයට නිව්ටන් ගුණසේකර මහත්තයා ‘දඩ කෙළිය’ නමින් පොත ලියුවා. ඒත් ඇඩ්ලින්ගෙ දුව අපිට නඩු දැම්මා. ලක්ෂ දහයක් විතර වියදම් කරලා, අවුරුදු ගණනාවක් නඩු කිව්වා. අන්තිමේ අපි දිනුවා. හැබැයි පොත ගියෙත් නැහැ. මාව කම්පාවට පත් කළාට, මේ සමාජයට ඒ සිදුවීම ඒ තරම් දැනුණෙ නැහැ. ඒත් අදටත් ඇඩ්ලින් විතාරණ මරණය මාව කම්පාවට පත් කරනවා.

පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපතිවරයා විදිහට දැනෙන යමක් රටට කළා ද...

එංගලන්තයේ ජාත්‍යන්තර පොත් ප්‍රකාශකයින්ගේ සංගම‍යේ (IPA) සාමාජිකත්වය ගත්තා. ආසියා පැසිෆික් ප්‍රකාශකයින්ගේ සංගමයේ (APPA) පිහිටුවීමට මුල් වුණා. ජපානයේ ටෝකියෝ නුවර සමුළුවේදී ලංකාව වෙනුවෙන් අත්සන් කළේ මම. සභාපති වෙලා සිටි කාලයේ ලංකාව නියෝජනය කරමින් රටවල් විසිපහකට විතර යන්න වුණා.

පුංචි කාලෙත් ඔබ හිටියෙ දක්ෂයො ගොඩේ ද...

නැහැ. මාලිගාකන්ද ක්ලිප්ටන් බාලිකාවේ, තුනේ පන්තියේ හිටි එක ම පිරිමි ළමයා මං. හතරේ පන්තියේ ඉඳන් මං ආනන්දෙ. එහෙදිවත් මං ඉගෙනිල්ලට දක්ෂයෙක් වුණේ නැහැ. ඒ කාලෙ උසස් පෙළ කරන්න සම්මාන පහක් ඕනේ. පළමුවැනි පාර මට සම්මාන පහක් නැහැ. ඒ ලෙවල් කරන්න බැහැ. ඉතින් මං දෙපාරක් ඕ - ලෙවල් කළා. ඊට පස්සෙයි විද්‍යා අංශයෙන් උසස් පෙළ කළේ. හැබැයි මගේ අක්කලා දෙන්නයි අයියයි තුන් දෙනාම විශ්ව විද්‍යාලෙ ගියා.

මොනවද ඔබට තිබුණු ඉලක්ක... අරමුණු...

සුදු කබාය ඇඳලා නළාවක් පලඳගෙන යන දොස්තරලා දකිනකොට මටත් දොස්තර කෙනෙක් වෙන්න ඇත්නම් කියලා හිතුණා. ඒත් එක සිදුවීමකින් පස්සෙ ඒ ආසාව අමතක‍ වෙලා, මං අලුත් ආශාවක් අරමුණ පස්සෙ හඹා ගියා.

මොකක් ද ඒ සිදුවීම...

කමලා රාජපක්ෂ අපේ සිංහල ගුරුතුමී අපි ලවා රචනාවක් ලියෙව්වා. ‘වෙසක් සැරසිල්ල’ මාතෘකාවෙන් ලියපු ඒ රචනාව ගුරුතුමී හුඟක් අගය කළා. මාවත් අරන් අනෙක් පන්තිවලට ගිහින් ඒ රචනාව ළමයින්ට ඇහෙන්න කියෙව්වා. එතැනින් නොනැවතී, ඉස්කෝලෙ ‘සිංහල දරුවා’ සඟරාවෙත් පළ කළා. එදා තමයි මං දැක්කෙ, මගේ නම, කොහේ හරි තැනෙක මුද්‍රණයෙන් පළ වෙලා තියෙනවා. තමන්ගෙ නම පත්තරේක පළ වුණාම ළමයකුට දැනෙන සතුට. විස්මය එදා මං අත්වින්ඳා. හිතට ආවේ අමුතු ම ප්‍රබෝධයක්. ජවයක්. අදත් මං මගේ නම, කොහේ හරි තැනෙක දකින්න ආසයි.

ඒ ප්‍රබෝධය ඔස්සේ ඔබ තබන පළමු පියවර කුමක් ද...

හැම පත්තරේක ම තිබුණු ‘ළමා පිටු’ වලට ලියන්න ගත්තා. ඒත් එක ලිපියක් පළ වෙන්න සෑහෙන කලක් යනවා. ‘පත්තරේක යමක් දාගන්න මොනතරම් අමාරුද...’ මට හිතුණා. මම ම පත්තරයක් ගහනවා. එහෙම හිතපු හයේ පන්තියේ මම, 1956 ඇසළ මාසේ ‘සිසුමිණ’ නමින් මාසික ළමා පත්‍රයක් පටන් ගත්තා. මිල සත 10 යි. එහෙම බලද්දි වයස 13 දි, පත්තරයක් අච්චු ගහපු ලෝකෙ එක ම ළමයත් මං වෙන්න ඇති.

අම්මා තාත්තට පුතා ගැන ආඩම්බර ඇති...

ඒ දෙන්නා හිටියෙම තරහෙන්. කළේ ම විරුද්ධකම්. ‘අම්මලා මාව ඉස්කෝලෙ යැව්වෙ ඉගෙන ගන්න මිසක් පත්තර ගහන්න නෙවයිනේ.’ කියන සිතුවිල්ල මං හරියට ම තේරුම් ගත්තෙ පස්සෙ කාලෙක. කොහොම වුණත් මංගල කලාපෙන් ම ‘සිසුමිණ’ හමාර වුණා.

ඔබ අත්හැරියෙ ඔබේ ඉලක්කය...

නැහැ. ටික කලකට මං දෙමවුපියන්ට ඇහුම්කන් දුන්නා. 1960 වසරේ ඕ ලෙවල් කළාට පස්සෙ ආපහු මගේ ඔළුවට ආවේ පත්තරයක් කරන අදහස. 1961 පෙබරවාරි 4 වැනිදා, ලංකාවට නිදහස ලැබිලා දහතුන් අවුරුද්දක් සපිරෙන මොහොතෙ, ‘හෙළබිම’ මංගල කලාපෙ එළිදක්වලා, මං මගේ ගමන ආයෙ අරඹනවා. නිකම් නෙවෙයි, පිටපත් විසිදාහක් විකුණපු ලංකාවේ ජනප්‍රියම සහ එකම ළමා පුවත්පත විදියට වාර්තාවක් තබමින්. ප්‍රේමකීර්ති ද අල්විස්, ඒ.ඩී. රංජිත් කුමාර, නිව්ටන් ගුණසේකර, නීල් විජේරත්න, සිරි කහවල, චන්ද්‍රලතා සේනානායක ඒ කාලෙ හෙළබිම ට ලියපු ආධුනික ළමා ලේඛක ලේඛිකාවෝ.

අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු වටිනා දේ මොනවද...

නිහතමානි වෙන්න! කියන ජීවිත පාඩමයි, සාධාරණ වෙළෙඳාමයි. ‘හෙළ බිම’ පත්තරෙන් මං හොඳට සල්ලි හෙව්වා. පියනුත් මම, සංස්කාරකත් මම. දැන්වීම් හොයන්නෙත් මම. මට මොනතරම් වෙළෙඳ දැන්වීම් ලැබුණ ද කිව්වොත් පත්තරේ පිටපත් විසි දෙදාහකුත් වික්කා. ඒ ආදායමෙන් EN 2957, ඔස්ටින් කාර් එක ගත්තා. තාත්තා නැති දවසක් බලලා ඒක එළවාගෙන ඉස්කෝලෙත් ගියා. එදා හවස ගෙදර ආවම තාත්තා මට ගැහුවා. ‘උඹ තව ම ඉස්කෝලෙ යනවා. නැති ළමයින්ට ලොකු කම් පෙන්වන්නද කාර් එකෙන් ගියේ...’ තාත්තා එදා මට දුන්නෙ, මොන ‍ෙද් තිබුණත් නිහතමානිව ජීවත් වෙයන්! කියන ජීවිත පාඩම.

එතකොට අම්මගෙන්...

මරදානෙ මේ පොත් සාප්පුව තියෙන තැනයි, එදා අපේ ගෙදරත්. ඒ ගෙදර ම එක කෑල්ලක බොහොම සුළුවෙන් ලී බඩු බිස්නස් එකක් පටන් ගත්තු මගේ තාත්තා, දවසක මරදානෙ ලොකු ම ධනවතා වෙනවා. ඒ මගේ අම්මගෙ ධෛර්යය සහ වෙර වීරිය නිසා. තාත්තා සහිරා කොලේජ් එකේ ඉංග්‍රිසි මාස්ටර්. තාත්තා එනකල් අම්මා තමයි, උයලා පිහලා, දරුවන්ගෙ වැඩත් කරලා ලී බඩුත් විකුණන්නේ. ඒ ධෛර්යවන්ත කමයි, ඒ සාධාරණ වෙළෙඳාමයි මගේ ජීවිතය පුරාමත් තිබෙනවා.

ඔබ, ඔය කියන තරමට ම සාධාරණ ද...

මාත් එක්ක වැඩ කරපු කිසි ම ලේඛක‍යෙක් මට දොස් කියලා නැහැ. ලේඛකයන්ගෙ මුදල්වලට මං වංචා කරලත් නැහැ. ‘මං නිසායි ලේඛකයො ජීවත් වෙන්නෙ’ කොයි ම වෙලාවකවත් මං එහෙම කියන්නෑ. ‘මං දියුණු වුණේ ඔවුන් නිසා...’ මං හිතන්නෙ එහෙමයි.

ඒත් සමහර ප්‍රකාශකයො ලේඛකයන් රවටනවා. රහසිගතව නැවත මුද්‍රණය කිරීම් කරනවා. ලේඛකයාගේ කොටස දෙන්නෑ. මේ ගැන ඔබේ අදහස...

ඇත්ත ම කතාව, මොන තරම් මහන්සිවෙලා පොතක් ලිව්වත් ලේඛකයාට දෙන්නේ සියයට දහයයිනේ. ඒකටත් වංචා කරනවා නම්, ඒ ව්‍යාපාරයට යා දෙන්නෑ.

සමාගමේ ආරම්භය කොතැනද...

1962. මං උසස් පෙළ කර‍නකොට මගේ මිත්‍ර නිමල් ආරියවංශ, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. මගේ ‘හෙළ බිම’ පත්තරෙත් ජයට ම යනවා. නිමල් තමයි මට යෝජනා කළේ, ‘අපි පොතුත් ගහමු...’ කියලා. එයාගෙ ‘සාහිත්‍ය සංග්‍රහය’ තමයි, හා හා පුරා කියලා මුද්‍රණය කළ පොත. එතැන ඉඳලා නොනවත්වා පොත් ලැබෙන්න ගත්තා. ඒ වෙනකොට මං දෙපාරක් ම උසස් පෙළ කරලා, තාත්තගෙ වෛද්‍ය විද්‍යාල සිහිනෙත් මං විනාශ කරලා. ‘වියදං කරන්නම් - උඹ එංගලන්තෙ පලයන්...’ තාත්තා කියපු මේ කතා ඔක්කො ම ප්‍රතික්ෂේප කරපු මං තාත්තගෙ ලී බඩු සාප්පුවෙ වැඩට යනවා. ඒ ගමන් ම පොතුත් ගහනවා. ටික කලක් යද්දි ‘හෙළබිම ප්‍රකාශකයෝ’ නම අයින් කරලා මං මගේ ම නමින් බිස්නස් එක පටන් ගන්නවා. ඒ 1965, පී.ඇම්. ජයතිලකගේ ‘ගිනිදැල්’ නවකතාව මුද්‍රණය කරමින්. එක මාසෙන් ඒ පොත විකිණෙනවා. ලාබෙත් හොඳයි.

කොහොමටත් ඔබ පුංචි කාලෙ පටන් සල්ලි හොයන්න රුසියෙක්...

ඔව්. මං මුදල්වලට කැමැතියි. හැබැයි මට උපයන්නයි ඕනේ. ‘ගිනිදැල්’ පොතෙන් මට රුපියල් අටදාහක් ගෙව්වා. මට ඒක හුඟක් දැනුණා. මං තව තවත් මුදල්වලට ගෞරව කළා. ආසා කළා. ඒක මට කියලා දුන්නෙ මගේ තාත්තා.

පොත් නිසා ජීවිතයට ලැබිච්ච දේ මොනවද...

දැන් මට වයස 74 යි. ඒකෙන් අවුරුදු 55 ක්ම මං ගත කරලා තියෙන්නෙ පොත් ප්‍රකාශනය වෙනුවෙන්. මොනවද මට ලැබිලා නැත්තෙ... සතුට.. මිල මුදල්... යසස... කීර්තිය... මිනිසුන්ගෙ ආදරය... පිළිගැනීම. මේ සේරම පොත් නිසා.

මොනවද ඔබ කැමැති පොත්...

ජයසේන ජයකොඩි මහත්තයගේ පොත්වලට මං හුඟක් කැමැතියි. අස්වැන්න, අමාවැස්ස... ඒ අතරින් විශේෂයි. කේ.ජී. කරුණාතිලක මහත්තයගේ ‘බිම්ගෙයි සිරකරුවා’ ටත් මං කැමතියි. පුංචි කාලෙ කියවපු හොඳම පොත තමයි, ටී.බී. ඉලංගරත්නයන්ගෙ ‘අඹ යහළුවෝ’. අඹ යහළුවොයි, කැලෑ හඳයි කියවපු වාර ගණන මටවත් මතක නැහැ.

පොත් ඔබට බිස්නස් එකක් විතරද...

මේක ව්‍යාපාරයක් තමයි. හම්බ කරන්නෙත් මේකෙන්. නමුත් කෝටි ගණන් ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරයකට වඩා තෘප්තියක් හැඟීමක් මේ බිස්නස් එකේ තිබෙනවා. මම තාත්තගේ ලී බඩු සාප්පුව දියුණු කළා නම්, කතා දෙකක් නැහැ, අද වෙන‍කොට මරදානේ ලොකු ම ලී බඩු සාප්පුව ම‍ගේ. කෝටි ගණන් ලාභත් ලබයි. හැබැයි ජනාධිපතිවරු - අගමැතිවරු හමුවීම්, පාඨක සමාජ ඇසුර, මිනිසුන්ගේ ආදරය පිළිගැනීම... මේ මොකුත් නැහැ. හැඟීම් එක්ක බැඳුණු මේ සෑම කාරණාවක් ම මගේ ජීවිතයට ලැබුණෙ පොත් නිසා.

පොත් ඔබේ ජීවිතයට කළ බලපෑම මොකක්ද...

මං සංවේදි මනුෂ්‍යයෙක් වුණා නම්. ඒ පොත් නිසා. පොත් මට කළ ලොකු ම බලපෑම තමයි, මාව සතුටින් ජීවත්වන මනුෂ්‍යයෙක් බවට පත් කිරීම. කවුරු හරි ගහන්න ආවත් මං පරාජය බාර ගන්න චරිතයක්. වයස 14 දි පන්තියේ අමරසේන කියලා ළමයෙක්. මාත් එක්ක රණ්ඩුවට ආවා. ‘මං උඹට ගහනවා...’ කියාගෙන පැන්නා. අනෙක් ළමයිනුත් බලා ඉන්නවා. එයාගෙන් පාරක් කෑවොත් මං කුඩු වෙනවා. තත්පරයක් ගියේ නැහැ, මාත් ක්‍රියාත්මක වුණා. ‘උඹ ගැහුවොත් මට කරන්න තියෙන්නෙ එක දෙයයි....’ කිසි කලබලයක් නැතිව මං කිව්වා. ‘ඇයි උඹ මට මොනවා කරන්නද...’ අමරසේන මගෙන් අහනවා. ‘උඹ කරපු මෝඩ ක්‍රියාවට මං උඹට සමාව දෙනවා. එච්චරයි.’ මං කිව්වා. ළමයි හිනාවෙන්න ගත්තා. අමරසේන යන්න ගියා. ප්‍රශ්නෙ එතැනින් ඉවරයි.

මරදානෙ ව්‍යාපාරිකයකුට, ඔය ක්‍රමය හැම වෙලාවෙ ම සාර්ථක වෙන්නෑ....

මට නම් සාර්ථකයි. මේක මරදානෙ මරියකඩේ. මේකෙ නැත්තෙ කවුද... කප්පම් කාරයොම මොනතරම් ඉන්නවද. ඒත් පුංචි කාලෙ ඉඳලා අවුරුදු 74 ක් තිස්සෙ හැදුණු වැඩුණු තැන නිසාද මංදා අද වෙනකල් කිසි කෙනෙකුගෙන් අපිට නම් කරදරයක් නැහැ. මිනිස්සු අනන්තවත් එනවා උදව් ඉල්ලගෙන. ඉල්ලන ගාණම නෙවෙයි වුණත් දෙනන් පුළුවන් කීය හරි දෙනවා. හිස් අතින් යවන් නෑ. මරදානෙ චොප්පෙ එක්කත් සෙල්ලම් කරපු මට, කොයි මට්ටමේ මිනිසුන් එක්ක වුණත් ගනුදෙනුව එතරම් අමාරු දෙයක් නෙවෙයි.

ඒ කියන්නෙ චොප්පෙ, ඔබේ මිත්‍රයෙක්...

එයා අපිට වඩා වැඩුමල්. අපි පුංචි කාලෙ සෙල්ලම් කරන්න ගෙදර මිදුලක් නැහැ. ඉතින් අපි යනවා ‘වයිට්’ පාක් එකට. එයත් එනවා අපි එක්ක වේවැල් සක්ක බෝල ගන්න. එයාගෙ තාත්තා මනුවෙල් අයියා, වැඩ කළේ අපේ තාත්තා ළඟ. ඒ නිසා අපිට සැලකුවා. ඒ කාලෙත් එයා චණ්ඩියෙක්. ඒ වුනාට මට නම් එහෙම දැනිලා නැහැ.

ඔබ‍ ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කරනවද...

නැහැ, මගේ තාත්තා නක්ෂත්‍රය හොඳට ම හදාරපු කෙනෙක්. ඒ වුණාට සත පහකට ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කළේ නැහැ. දේවාලවලට ගියේ නැහැ. කතරගමට පූජා වට්ටි තිබ්බෙ නැහැ. ‘කිසි දෙවියෙක් ළඟට උඹ යන්න ඕනෙ නැහැ. පස් පවින් වැළකිලා ජීවත් වෙයන්! එතකොට දෙවියො උඹ ළඟට ඒවි...’ තාත්තා කියපු ඒ දේ මං මගේ ජීවිත ‍තේමාව තරම් අදත් සුරකිනවා.

ඒ කියන්නෙ ඔබට ලග්නයකුත් නැහැ...

මං මිථුන ලග්නෙ. ඒ වුණාට කේන්දර බැලිලි, වෙලාවල් බැලිලි මගේ ජීවිතයේ නැහැ. අපි කරපු එකම දේ බුදුන් වැඳීම.

අන්තිමට කියන්න මොකක්ද ඔබේ ජීවිතයෙන් කෙනෙකුට ගන්න තියෙන ආදර්ශය...

ඔබට යමක් අවශ්‍ය නම් එය හඹා යන්න. මොන තරම් බාධක ගැටලු ආවත් පසුබෑ යුතු කාල තිබුණත් ඉලක්කයට යන තුරු ඒ උත්සාහය අත්නොහරින්න. මගේ ජීවිතය පුරාම තිබුණෙ මේ හඹා යෑම. මං මගේ විනෝදාංශයෙන් ධනවතෙක් වුණේ එහෙමයි.

ඉනෝකා පෙරේරා බණ්ඩාර
[email protected]

ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.