වියළි කලාපීය වැව් වර්ග | සිළුමිණ

වියළි කලාපීය වැව් වර්ග

 වියළි කලාපය හරහා ගමන් කරන්නෙකු සාමාන්‍යයෙන් දකිනුයේ ඒ මේ තැන ඇති වැව් සමහරක් පමණි. ඒවා බොහෝ විට ගම් වැව්ය. ඉඳහිට ඒ තැනැත්තා දකින්නේ ඔලගම් වැවක් විය හැකිය. එහෙත් වියළි කලාපයේ භූවිෂමතාවය අනුව නිරන්තරවම එල්ලංගානුගත වැව්වල ස්ථානගතවීමේ නියත පිළිවෙලක් තිබේ.

එල්ලංගාවක උඩාවතේ සිට යටාවතට දිවෙන මුදුන් ඇළ (axis stream) හරහා සුදුසු ස්ථානවල බැඳි වැව් වලින් වැඩිම කොටස ගම් වැව්ය. එල්ලංගාවක් වන කුඩා නිම්නයේ දෙපස බෑවුම්වලින් ඇරඹි මුදුන් ඇළටම හෝ මුදුන් ඇළ හරහා බැඳ ඇති වැව්වලට හෝ එක්වෙන බෙහෙවින්ම තාවකාලික දියපාරවල් හරහා බැඳ ඇත්තේ ඔලගම් වැව්ය. එල්ලංගාවේ මුදුන් ඇළ හරහා බැඳ ඇති තරමක් ලොකු වැව්වල ජල පෝෂක පෙදෙස්වල බොහෝවිට එවැනි වැවක ජලගිළුම මායිම්වලට ආසන්නව බැඳ ඇත්තේ කුළු වැව්ය'. පිංවැව් බැඳ ඇත්තේ පන්සල් ආශ්‍රිතවය.

මෙම ගම් වැව්, ඔලගම් වැව්, කුළු වැව් සහ පිංවැව් වලට අමතරව ජලය රඳවා තබාගන්නා පුංචි දියකඩිති වර්ග දෙකක් ඇත. සාමාන්‍යයෙන් ඒවා "වැව්" වශයෙන් නොහඳුන්වතත් ඒවායින්ද වැව් වලින් ඉටුකෙරෙන සමහර සේවා සිදුවෙන බැව්ද අමතක නොකළයුතුය. බහුලවම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති "පතස්" නම්වන කුඩා දියකඩිති වල තැන්පත් කෙරෙන ජලය වගා කටයුතු සඳහා ගැනේ. එමෙන්ම, ඒවා අවට ඇති ගස් බෝග ප්‍රකෘතිමත් ලෙස පවත්වාගෙන යමින් ඒ අවට පරිසරවල කිසියම් සිසිලතාවයක්ද රඳවා තබා ගනී. මේ හා සමානම ජලය රඳවා ගැනීම සඳහා සෙසු වියළි කලාපීය ප්‍රදේශවල කැළෑ තුළ ඉහත කාල වලදී "ගොඩවලවල්" තනා නඩත්තු කර තිබිණ. මේ සියලුම උපක්‍රම යොදා තිබුණේ වියළි කලාපය හැකිතාක්දුරට 'විල්' නැතිනම් 'වැව් කලාපයක්' කොට මිනිසා ඇතුළු සියලු ජීවීන්ගේ මෙන්ම වෘක්ෂලතාදියේද පැවැත්ම තහවුරු කර තැබීම සඳහාය.

වියළි කලාපයේ වැව් නොතිබිණිනම් එහි මිනිස්වාසයක් නොපැවතින්නට ඉඩ තිබුණේයයි ආර්. ඩබ්ලිව්. අයිවර්ස් විසින් වර්ෂ 1899 දී කර ඇති සටහනින්ද පැහැදිලිවනුයේ වියළි කලාපයට වතුර කොතරම් වැදගත්වීද යන්නය. මෙය අයිවර්ස් පමණක් නොව ශත වර්ෂාධික කාලයක් තිස්සේ පෙරදවස රජවරුද මැනවින් අවබෝධ කරගෙන සිටිනිසයි ඔවුහු වැව් ආශ්‍රිත ජලසම්පාදනය කිරීමට නිරන්තරවම උනන්දුවෙන් ක්‍රියා කර ඇත්තේ.

මේ සියලුුම වැව් අතුරෙන් ගමක මිනිසුන්ට වඩාත්ම වැදගත්වනුයේ "ගමේ වැව්"ය. සමහරවිට ගමේ වැවට වඩා විශාල වැවක් තම පරිසරයේ තිබුණත් ඔවුන් ගමේම වැව් සලකන්නේ 'මහ වැව' වශයෙන්ය. මුළු ගමේම ජීවනෝපාය වැඩි වශයෙන් ගමේ වැව සමග බැඳී ඇති හෙයින් එයට සලකන්නේ මහත්ම ගෞරවාකාරයෙනි. එනිසාම ඔවුන් ඔලගම් ආදී වැව්වලට වඩා කෘතගුණශීලීව සලකන්නේ ගමේ වැවටයි. ඔවුන් විසින් සියකැමැත්තෙන්ම ගමේ වැව රැක බලාගෙන තිබූ අතර එය වඩාත් සුරක්ෂිතව රැක බලා ගැනීමට සියලු දෙවිදේවතාවුන්ගේ පිහිට පතන ලදි. මොවුහු වඩාත්ම පිහිටි පැතුවේ අයියනායක සහ පුල්ලයාරේ (ගණදෙවි) යන දෙවිවරුන්ගෙන්ය.

අනාදිමත් කාලයක සිටම වැවට අධිගෘහිත දේවතාවුන්වහන්සේ වශයෙන් සලකා ඇත්තේ අයියනායක දෙවියෝය. වැව මෙන්ම ගමද ආරක්ෂාකරදීමේ හැකියාව අයියනායක දෙවි සතුව ඇතැයි යන විශ්වාසය මත වැවේ වැඩිම ජල තෙරපීම ඇති මුදුන් ඇළ හරස්කොට වෑකන්ද බැඳ ඇති කොටස, ගම්මු සැලකුවේ 'අයියනියකමුණ' වශයෙනි. සාමාන්‍යයෙන් අයියනායක දෙවියන්ට බාරවීම් සහ බාර ඔප්පුකර සිටීම සඳහා වූ කුඹුක් ගසද පිහිටුවා තිබුණේ වෑකන්දේ මෙම අයියනායකමුණෙහිය. වන සත්ත්වයින්ගෙන් බෝග රැකදීමේ සහ ගමේ ගවයින් රැකදීමේ වැඩි හැකියාව ඇති දේවතාවුන් වහන්සේ ලෙස සලකා ඇත්තේ පුල්ලෙයාරේ දෙවියන්ය. මේ නිසා අයියනායක දෙවි වෙනුවෙන් 'මුට්ටි නැමීමේ' මංගල්‍යයද, පුල්ලේයාරේ දෙවි වෙනුවෙන් සහ සෙසු දෙවිදේවතාවුන් වෙනුවෙන් 'කිරි ඉතිරීමේ' මංගල්‍යයද නොවරදවාම කර ඇත. අද වුවද බොහෝ ගම් වල මේ සේවාවන් සිදු කෙරෙත්.

ගමේ වැව ලොකු වුවත් කුඩා වුවත් එය සැලකුවේ ගමේ ලොකු අම්මා වශයෙනි. සියලු 'ඔලගම්ද' සලකා ඇත්තේ ගමේ 'පුංචි අම්මලා' ලෙසටය. ඒ අනෙකක් නිසා නොව සාමාන්‍ය ජන ජීවිතයේදී වුවද අම්මා කෙනෙකුට ඇතැම්විට පුංචි අම්මලාගෙන් කිසියම් ආධාරයක් ලැබිය හැකි බැවිනි. ගමේ මහවැව යටතේ වැඩ කර ඇති කුඹුරු වලට කිසියම් ආකාරයකින් වතුර මුර එකක් හෝ දෙකක් මදි වුවහොත්, බොහෝ අවස්ථාවලදී ඒ අඩුපාඩුව අකාමකා දමා ගැනීමට හැකිවූයේ ඔලගම් වැව්වල රඳවා ඇති වතුරෙනි. ගැමියන් සතු ගවයින්ට මෙන්ම වනගත සත්ත්වයින්ට බීමට වතුර සැපයුණේද මේ 'ඔලගම්' වැව්වලනි. එය එසේ කළ හැකිවූයේ සාමාන්‍යයෙන් 'ඔලගම්' වැවක් යටතේ කුඹුරු අක්කර තුන හතරකට වඩා අස්වද්දා නොමැති වූ නිසාය.

කුඩා වුවත් ඉහත සඳහන්කල 'කුළුවැව්' වලින්ද විශාල සේවයක් ඉටුකෙරිණ. විශාල හෝ මධ්‍ය ප්‍රමාණයේ හෝ වැවක ජල පෝෂක ප්‍රදේශවල සිට වේගයෙන් ගලා එන දිය පාරවල් මගින් ගෙන එනු ලබන රොන්මඩ අවහිර කොට තබා, එම රොන්මඩ මංඩි කුළුවැව්වල රඳවා තබමින් තරමක්වත් පැහැදිලි වතුර පමණක් පහල වැවට යැවීමේ වැදගත් කාර්යය ඉටුකරන්නේ කුළුවැව්ය. ඒ හේතු කොට ගෙන පහල මහ වැව, රොන් මඩෙන් පිරීයෑම සීමාකිරීම එම වැවේ දිගුකාලීන පැවැත්මට බෙහෙවින්ම ඉවහල් විණ. ගමේ පන්සලට අයිති 'පිං වැව' විහාර වාසි සියළු දෙනාගේම ජල අවශ්‍යතා පමණක් නොව වන්දනාමාන කිරීමට පන්සලට එන ‍මෙන්ම සතර පෝයට සිල් සමාදන් වන සැදැහැතියන්ට ස්නානය කිරීමටත් මුහුණ කට සෝදා පිරිසිදුවීමටත් බෙහෙවින්ම වැදගත්ය. පවත්වාගෙන යනු ලැබූ ගොඩවලවල් සත්ත්වයින්ගේ පිපාසය සංසිඳුවීමටත් එමෙන්ම ඒවා අවට ඇති වෘක්ෂලතාදියේ වර්ධනයටත් අවශ්‍යම වූ ඒවාය. ගොඩ වළවල් වල මනා පැවැත්මක් පැවති සෑම අවස්ථාවකදීම වන සත්ත්වයින් ආහාර සහ බීමට වතුර පතා ගම් වැදීම අවමව පැවතිණ.

අතීතයේදී කුඹුරුවලට ජල සම්පාදනය සඳහා වැව් බැඳීමට ප්‍රමුඛත්ව දී ඇති බැව් සත්‍යයකි. එහෙත් එම වැව් බැන්දේ කුඹුරුවලට වතුර සැපයීමටම පමණක් නොවන බැව්ද අප විසින් සිතෙහි තබාගතයුතුය. ඉහත විස්තර කළ පරිදි මිනිසා ඇතුළු සකල වියළි කලාපීය, ජීවීන්-ජීවීන් අතරත් අජීවී-අජීවී වස්තු අතරත් ජීවීන් සහ අජීවී වස්තු අතරත් සුසංයෝගික මෙන්ම, චිරශ්තීන පැවැත්ම ඉතා දර්ශනවාදීව පෙරදැරි කරමින් අතිශයින්ම පරිසර හිතකාමී වැව් බැඳ ඇති බැව් අප විසින් නිරන්තරවම මෙනෙහි කළ යුතුව ඇත. වැව් දෙස අපි ආපසු හැරී බැලිය යුත්තේ සැහැල්ලු ලෙස නොව ඒ මහඟු දර්ශනයට අනුභූතවය.

ආචාර්ය එම්. යූ. ඒ. තෙන්නකෝන් 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.