මේ අලුත් අස්වනු නෙළීමට සූදානම් විය යුතු කාලයයි | සිළුමිණ

මේ අලුත් අස්වනු නෙළීමට සූදානම් විය යුතු කාලයයි

ක්‍රීඩා කෞශල්‍යයන්ගෙන් පරිපූර්ණ වූ ලාංකේය දූපුතුන් ගමින් - නගරයට, නගරයෙන් - පළාතට සහ පළාතෙන් - ජාතික තලයට ඔසවා තබන ලාංකේය පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා මහා මංගල්‍යය වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. තිස් තුන්වැනි වරටත් පැවැත්වෙන මෙකී තරගාවලිය නිමාවට පත්වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා මහා මංගල්‍යයට වාර්තාගත සහභාගිත්වයක් සටහන් කරමින් හතළිස් දහසකට ආසන්න පිරිසක් තරග බිමට පිවිස සිටිති.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල යනු නිසි කළමනාකාරීත්වයකින් ක්‍රියාත්මක කර ගන්නේ නම් හොඳ දෙවැනි පෙළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකර ගත හැකි ප්‍රතිලාභවලින් පිරිපුන් තැනක් බව අමතක කළ යුතු නෙවේ. ක්‍රීඩා විෂය පන්ති කාමරයෙන් පිට විෂයක් ලෙස අනිවාර්යය කරන්නට වෙර දරන බලධාරින්ට මෙයම කදිම තෝතැන්නකි. එමෙන්ම මෙහිදී කිසිවකුත් අමතක නොකළ යුතු ප්‍රධාන කරුණ මේ දැයේ දූ දරුවන්ගේ ක්‍රීඩා තරගාවලියක් බවය.

තම තමන්ගේ ජනප්‍රියත්වය, උසස් බව ඉහළින් තබා ගැනීමට කිසිවකුටත් බාධාවක් නොමැති නමුත් මේ දරුවන් ඉදිරියේදී නම් තමන් පැලැඳ සිටින කබායට අගෞරවයක් නොවන ආකාරයට බුද්ධිමත්ව කටයුතු කිරීම නම් සිහිපත් කළ යුතු යැයි නොසිතමු. අවම පහසුකම් යටතේ පුහුණුව ලබමින් කරන දුෂ්කර ව්‍යායාම අවසානයේ මේ සමස්ත ලංකා පාසල් තරගාවලියේ ජය හෝ පරාජය සම සිතින් භුක්ති විඳීමට මේ බාලක - බාලිකාවන්ට ඇවැසි සියලුම අවස්ථාවන් හා පහසුකම් උදාකර දීම සැමගේ යුතුකම විය යුතුය.

මේ අලුත් අස්වනු නෙළීමට සූදානම් විය යුතු කාලයයි. ක්‍රීඩාවට ලැදි කාගේ කාගෙත් ඒකරාශිවීමකින් අලුත් ක්‍රීඩා සංස්කෘතියකට පය ගැසිය යුතු කාලවකවානුවකි. ඒ සඳහා මේ ගෙවෙන නිමේෂය පවා අත් නොහැර ප්‍රයෝජනයට ගන්නේ නම් ක්‍රීඩාව ගැන අද කෙසේ වෙතත් හෙට බොහෝ සොඳුරු දෑ අකුරු කරන්නට ඉඩකඩ විවරවනු ඇත. මෙකී සමස්ත ක්‍රීඩා තරගාවලියේ පිපෙන මල් කැකුළු හෙට ලාංකේය ක්‍රීඩා කෙත සුවඳවත් කිරීමට පෝෂණය කිරීමට ප්‍රමාණවත්ය.

ඒ සඳහා නායකත්වය දෙන්නට බලධාරින් පසුබට නොවන්නේ නම් හෙට මේ මල්කැකුළු දසතම සුවඳවත් කරනු නියතය. ඒ සඳහා මේ දූපුතුන්ගේ පිටුපසින් නොව කොන්ද කෙළින් තබා ගෙන මොවුන් ඉදිරියෙන් සිට ගැනීමට, ගමන් කිරීමට බලධාරීන් වගබලා ගත යුතුය. බලධාරින් ගැන මේ දූදරුවන් තුළ පවතින්නා වූ විශ්වාසය පලුදු නොවීමට වගබලා ගැනීම ද ඔවුන්ගේ පරම යුතුකමකි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.