බැසිල්ගේ පාපෝච්චාරණය | සිළුමිණ

බැසිල්ගේ පාපෝච්චාරණය

 ගෙවීගිය සතියේ දී කොළඹ අගනාගරිකයේ කතාබහට ලක්වූ ප්‍රධානම මාතෘකාවක් වූයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ යාපනය සංචාරයයි. එහිදී යාපනය ජනතාව ඇමතූ හිටපු අමාත්‍යවරයා අතිශය වැදගත් දේශපාලන කාරණා දෙකක් පවසා තිබුණි. එක් කාරණාවක් වන්නේ ආරක්ෂක හමුදාව සංවිධානාත්මකව යුද අපරාධ නොකළත් ආරක්ෂක හමුදාවේ පුද්ගලයන් අපරාධ කරන්නට ඇති බවය. දෙවැන්න වන්නේ තමන් රාජ්‍ය බලය ලබාගත් පසුව දෙමළ ජනතාවගෙන් පවරාගෙන ඇති ඔවුන්ගේ ඉඩම් නැවත දෙමළ ජනතාවට ලබාදෙන බව ය.

සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලකයන් අවස්ථාවාදීව අසත්‍ය ප්‍රකාශ කරන්නට රුසියෝ ය. ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රකාශයත් අවස්ථාවාදීව සිදු කළ පට්ටපල් බොරු කතාවක් ලෙස පහසුවෙන්ම බැහැර කළ හැකිය. විශේෂයෙන් අලුත් දේශපාලන පක්ෂයක් ගොඩනගා ගෙන රාජ්‍ය බලය ලබා ගන්නට යන බැසිල් රාජපක්ෂට දෙමළ ජනතාවගේ සහාය අමතක කරන්නට නොහැකිය. කවුරු කොහොම වර්ගාවාදීව කතා කළත් සියලු ජාතිකත්වයන්ගේ සහායක් නොමැතිව රාජ්‍ය බලය ගන්නටත් රාජ්‍ය බලය පවත්වාගෙන යන්නටත් අපහසු ය. ඒ නිසා බැසිල් රාජපක්ෂ ද අලුත් වටයකින් බොරු කියන්නට පටන් ගත් අවස්ථාවක් ලෙස මෙය හැදින්වීම තාර්කික ය.

එහෙත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කුමන අරමුණකින් මෙම ප්‍රකාශය කළ ද ආණ්ඩු විරෝධී ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පවුරු පදනම් සුනු විසුණු කළ අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. ඒකාබද්ධ විපක්ෂය තම දේශපාලන පදනම සකස් කර ගන්නේම වර්ගවාදය මත ය. ජාතිකත්වයන් අතර සංහිදියාව ඔවුන්ට විෂය නොවන කාරණාවකි. එනිසා යුද්දයට පවරා ගත් දෙමළ ජනතාවගේ ඉඩම් අවම වශයෙන් යුද්දය අවසන් වී ඇති අවස්ථාවක දී පවා යළි පවරාදීමට ඔවුන් අකැමැතිය. කොටි සංවිධානයේ බිල්ලෙක් මවා පාමින් කොළඹ අගනාගරික දේශපාලනයේ පටන් ඈත එපිට සිංහල බෞද්ධ ජනමනස දක්වා පසුගිය කාලය පුරා ඔවුන් හොල්මන් කළේ යළි නැගිටින කොටි සංවිධානයක් ගැන කියමිනි. ඒ නිසා ජාතික ආරක්ෂාවේ නාමයෙන් යුද කඳවුරු අත්‍යවශ්‍ය බව ද එනිසා දෙමළ ජනතාවගේ ඉඩම් යළි පවරා දීම නොකළ යුතු බව ද ඔවුන්ගේ තර්කය විය. එහෙත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයට වඩා දේශපාලන වශයෙන් මෝරා ඇති බව ඔහුගේ යාපනය ප්‍රකාශයෙන් පෙනේ.

යුද්දය අවසන් වීමෙන් පසුව තවදුරටත් යුදමය ප්‍රවේශයකින් ජාතික ප්‍රශ්නය දෙස බැලීම දේශපාලනික වශයෙන් මේරූ ක්‍රියාවක් නොවේ. යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාව තම කේන්තිය හා අභිලාශයන් ප්‍රකාශ කළේ පසුගිය ජනාධිපතිවරණයේ දී ය. ඔවුන් මහින්ද රාජපක්ෂට එරෙහිව පොදු අපේක්ෂකයාට සාතිශය බහුතර බලයක් ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ තවදුරටත් දෙමළ ජනතාව ප්‍රධාන දේශපාලන ප්‍රවාහයෙන් කොන් තැබීම අවදානම් බවය. දෙමළ ජනතාවට අවශ්‍ය වූයේ අහිමිව ගිය තම දේශපාලන අයිතිවාසිකම් යළි ලබා ගන්නට ය. ඔවුන් උපන් බිමේ උරුමය යළි තහවුරු කර ගන්නට ය. ඒ නිසා ඔවුන්ට පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය අවශ්‍යම කරුණක් විය.

එහෙත් දකුණේ දේශපාලනයේ අවස්ථාවාදීන් දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රකාශය කියවා ගත්තේ බෙදුම්වාදයට වරමක් ඉල්ලන ක්‍රියාවක් ලෙස හඳුන්වමිනි. එනිසා යුද්දය අවසන්ව අවුරුදු බොහෝ ගණනක් ගෙවී ගිය පසුව ද ජාතිකත්වයන් අතර සාමග්‍රියක් සඳහා වූ සංහිදියාමය දේශපාලන ව්‍යාපෘතිය නයාට අඳුකොළ මෙන් විය. ඒකාබද්ධ විපක්ෂය තම අහිමිව ගිය දේශපාලන බලය කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ යළි ලබා ගැනීමේ චිරස්තීන දේශපාලනයක යෙදී සිටිනවා මිස ලාංකික ජාතිය වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට අංශුමාත්‍රයක මහන්සියක් දරන්නේ නැත. එනිසා සම්මුතික ආණ්ඩුව දෙමළ ජනතාවට දිගු කළ මිත්‍රත්වයේ හස්තය නිරීක්ෂණය කළේ බෙදුම්වාදයට උඩ ගෙඩිදීමක් ලෙසිනි.

මහින්ද රාජපක්ෂගේ දස වසරක පාලනයේ දේශපාලනය තුළ ඇත්තටම බෙදුම්වාදයට උඩ ගෙඩි දීම් මෙන්ම ඔහුගේ ගෝලයන්ට එසේ හැඳින්විය හැකි සංහිදියාත්මක දේශපාලන පියවරයන් ද ගැනුණි. 2005 දී ජනාධිපතිවරණයෙන් ජයග්‍රහහණය කිරීම සදහා කොටි සංවිධානය ලවා දෙමළ ජනතාව ඡන්දය පාවිච්චි කිරීමෙන් වලකා ගැනීම එවැනි එක් අවස්ථාවකි. එහිදී කොටි සංවිධානයට අල්ලස් වශයෙන් මුදල් ලැබුණ බව ප්‍රසිද්ධ රහසකි. ආණ්ඩුවේ රාඩා ආයතනය හරහා සිදුවූ එම ගනුදෙනුව ගැන තවමත් පරීක්ෂණ අවසන් වී නොමැත. එම ක්‍රියාවලිය බෙදුම්වාදයට උඩගෙඩි දීමක් ලෙස හැදින්වීමට තරම් ඒකාබද්ධ විපක්ෂයට පිට කොන්දක් නොමැත.

එහෙත් විමල් වීරවංශ ඇතුළු දැඩි වර්ගවාදීන්ගේ විරෝධය මත උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මහින්ද රාජපක්ෂ ගත් පියවර සංහිදියාවට ගමන් කළ දේශපාලන ගමනේ අතිශය වැදගත් අවස්ථාවක් විය. එවකට ආණ්ඩුවේ වර්ගවාදී රොත්තම ඊට එරෙහි වෙද්දී බටහිර රටවල හා විදෙස් සංවිධානයන්ගේ අභිලාශයට එරෙහිව යෑමට මහින්ද රාජපක්ෂට නොහැකි වුණි. කාගේ බල කිරීම මත සිදුවුවද මහින්ද රාජපක්ෂ විසින් ඒ අවස්ථාවේ ගත් ඒ නිර්භීත පියවර ඇගයිය යුතු බව අනිවාර්යෙන් කිව යුතුය. එහෙත් ඒකාබද්ධ විපක්ෂයට ඒ දේශපාලන තීන්දු තීරණ ගැන විචාරාත්මක ඇගයීමක් නොමැත.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යාපනයේ කරන ලද සංචාරය හා එහිදී ඔහුට මුහුණ දෙන්නට සිදුවූ භෞතික දේශපාලන කාරණා සමාජයට වැදගත් වන්නේ මේ සංදර්භය තුළ ය. ඒකාබද්ධ විපක්ෂය දකුණේ දේශපාලනය තුළ වර්ගවාදය අවුස්සමින් ජාතිකත්වයන් අතර සංහිදියාවට එරෙහි වෙමින් නැතිවූ බලය ලබා ගැනීමට වෙර දැරුවද මේරූ දේශපාලනයකට එවැනි බොළඳ හැසිරීම් අදාළ වන්නේ නැත. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කි පරිදිම බැසිල් රාජපක්ෂගේ ස්ථාවරය දේශපාලනිකව පවතින යථාර්තයයි. රාජිත සේනාරත්න සතියේ මාධ්‍ය හමුව අමතමින් කීවේ සාගරයෙන් එහා ලෝකයක් තියෙන බව බැසිල් රාජපක්ෂ දන්නා බවයි. එය ගෝඨාභය නොදන්නා නිසා 2015 දී මහින්ද රාජපක්ෂ පරාජය වූ බව හේ සදහන් කළේ ය.

කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙමළ ජනතාව අතර බරපතල පිළිගැනීමක් තිබුණි. එම පක්ෂගේ ජාතිකවාදී ආර්ථික ප්‍රතිපත්තිය ඊට හේතුව වන්නට ඇත. ඒ නිසා 1982, 1988 වැනි කාල පරිච්ඡේදයන්හි දී දෙමළ ජන කැමැත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණි. ඉන් අනතුරුව ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ලිබරල් දැක්ම නිසා විශාල පිළිගැනීමක් ඈට ලැබුණි. එහෙත් 2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂගේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී දෘෂ්ඨිය නිසා දෙමළ ජනතාව එම පක්ෂයෙන් ඈත් වුණි. 2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට යාපනේ දිස්ත්‍රික්කයේ පාවිච්චි කළ මුළු වලංගු ඡන්ද වලින් 74.42%ක් ලැබෙන විට එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂට ලැබුණේ පාවිච්චි කළ මුළු වලංගු ඡන්ද වලින් 21.85%ක් පමණි. ඒ සංඛ්‍යාව රඳවා තබා ගැනීමට හැකිවූයේ ඊපීඩීපී සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දගේ සහාය මහින්ද රාජපක්ෂට ලැබුණ නිසාය. ඒ ඡන්ද ප්‍රමාණය පවා ඊට මාස හතක් ඉක්ම ගිය තැන පැවැත්වූ මහා මැතිවරණයේ දී බරපතල ලෙස වෙනස් විය. දෙමළ ජාතික සන්ධානය යාපනය දිස්ත්‍රික්කයේ භාවිතා කළ මුළු වලංගු ඡන්ද වලින් 69.12%ක් ලබා ගන්නා විට එක්සත් ජනතා නිදහස් සංධානය ලබා ගත්තේ 5.76%කි. ඊපීඩීපී සංවිධානය 10.07%ක් ලබාගෙන තිබුණි. ඇත්තටම එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට යාපනයේ දී නායකත්වය දීමට ශ්‍රීලනිපයේ තරුණ යාපනය සංවිධායකවරයා සිටිය දී පවා එය දිනා ගත්තේ එක්සත් ජාතික පක්ෂයටත් වඩා අඩු ඡන්ද සංඛ්‍යාවකි. මහින්ද රාජපක්ෂට යාපනයේ දෙමළ ජනතාව අතුරින් යම් කැමැත්තක් ලැබුනා නම් ලැබුණේ කුල ප්‍රශ්නය වැනි අවශේෂ හේතු නිසා දෙමළ ජාතික සංධානයෙන් ගැලවී ඊපීඩීපී සන්ධානය වටා සිටින ජන කොටස් නිසාය. යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයේ දී බැසිල් රාජපක්ෂට ඔල්වරසන් දෙන්නට ආවේද ඊපීඩීපී සංවිධානය වටා සිටින දෙමළ ජනතාව යැයි රාවයක් පවතී.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ළඟ අත්වැසියකු වන විශ්ව විද්‍යාල ආචාර්ය මහින්ද පතිරණ තම ෆේස්බුක් සටහනක අවධාරණය කර තිබුණේ දෙමළ ජනතාවට මහප්‍රාණ අයිතිවාසිකම්වලට වඩා අවශ්‍ය වන්නේ ඔවුන්ට ජිවත්වීම සඳහා වන රැකියාවක්, ඉන්නට හිටින්නට නිවසක් හා යන්නට එන්නට මගතොටක් බවය. මේ කතාව ඇත්තටම බැසිල් රාජපක්ෂගේ දෙමළ ජනතාව සම්බන්ධ ප්‍රවේශය දැයි කිව නොහැක. එහෙත් එවැනි ප්‍රවේශයක් දෙමළ ජනතාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පළමු අවස්ථාව හෝ අවසන් අවස්ථාව මෙය නොවේ. ඊපීඩීපී සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මේ ලියුම්කරු සමග වරක් ප්‍රකාශ කළේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය රැකියාවකට, නිවසකට, පාරකට ලඝු කරන්නට තැත් කිරීම ඔවුන්ට කරන අපහාසයක් බවයි.

ඇත්තටම දෙමළ ජනතාවගේ අභිලාශය රැකියාවක්, නිවසක් හෝ මහාමාර්ගයක් නම් ඒවා ලබා ගන්නට තිබූ හොඳම අවස්ථාව පසුගිය මහින්ද රාජපක්ෂ යුගයයි. විදේශ රටවලින් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ලැබුණ ආධාර හා ණය විශාල වශයෙන් දෙමළ ජනතාව වෙත පොම්ප කරද්දීත් ඔවුන් පළමුව ආ උතුරු පළාත් සභා මැතිවරණයේ දී සාතිශය බහුතරය ලබාදුන්නේ දෙමළ ජනතා සංධානයට ය. ඒ කියන්නේ දෙමළ අභිලාශයන් කතිකාචාර්ය මහින්ද පතිරණ කියන්නාක් මෙන් සරල හා සුගම නොවන බවයි. දෙමළ ප්‍රශ්නය රටේ ජාතික ප්‍රශ්නය බවට තැන් මාරුවෙන්නේ ද එය තේරුම් ගැනීමට සිංහල දේශපාලනයට ඇති නොහැකියාව නිසාය. තවදුරටත් සිංහල බෞද්ධ දේශපාලනයට දෙමළ ප්‍රශ්නය කිසිසේත්ම තේරුම් ගත නොහැක. එවැනි අවකාශයක දෙමළ ප්‍රශ්නය විසඳීම සඳහා ඔවුන්ගෙන් දායකත්වයක් ලැබේ යැයි සිතීම විහිළුවකි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට දෙමළ ප්‍රශ්නය ඇත්තටම තේරුම් ගන්නට අවශ්‍යම නම් ඊට වඩා බරපතල ලෙස මහන්සි වන්නට සිදුවේ. එහෙත් මේ මොහොත තුළ ඔහු යාපනයේ සංචාරය කිරීමෙන් පසුව කළ ප්‍රකාශය අතිශයෙන් වැදගත් ය. විශේෂයෙන් සම්මුතික ආණ්ඩුව ජාතිකත්වයන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා දරණ ප්‍රයත්නයේ දී දකුණේ වර්ගවාදීන් නගන හඬ උපහාසයට ලක් කිරීමක් දැන් හෝ නොදැන ඔහුගෙන් සිදු වුණි. එය මේ බරපතල අවස්ථාවේ දී අතිශයෙන් වැදගත් ය.

යුද්ධය අවසන් වී දෙමළ ජනතාවගේ මිනිස් අයිතිවාසිකම් පිළි ගනිමින් ඔවුන් ජාතික දේශපාලනයට සම්බන්ධ කිරීමට සම්මුතික ආණ්ඩුව දරණ වෙහෙසේ දී ප්‍රවේශයක් ලෙස ජාතිකත්වයන් අතර සංහිදියාව අත්‍යවශ්‍ය කාරණාවකි. ඒ සෑම විටම ඊට එරෙහිව අවි අමෝරා ගන්නා සිංහල බෞද්ධවාදී ඒකාබද්ධ විපක්ෂ දේශපාලනයට දැන් අලුතින් සිතන්නට කාලයයි. ඔවුන් හැමදාමත් මග අරින ප්‍රශ්නය වන්නේ මහින්ද රාජපක්ෂ දේශපාලනය මහ ජනතාවගෙන් පරාජය වූයේ ඇයිද යන්නයි. බැසිල් රාජපක්ෂ ඊට කදිම උත්තරයක් යාපනයට ගොස් දෙමළ ජනතාව අතර හිඳිමින්ම ලබා දී ඇත. දැන් දේශපාලනය පටන් ගත යුත්තේ කොතැනින්දැයි ඒකාබද්ධ විපක්ෂයත් මහින්ද රාජපක්ෂත් ජනතාවට පැහැදිලි කළ යුතුය.

කේ.ජී.පිලිප් ශාන්ත.
[email protected]

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.