මම දේශපාලන අතකොළුවක් වෙන්නෙ නෑ | සිළුමිණ

මම දේශපාලන අතකොළුවක් වෙන්නෙ නෑ

 මාස තුනක කාලයක් තනතුර හිස්ව තිබීමෙන් පසු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරට මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කෙරිණි. සයිටම් අරගලය ඇතුළු ඔහුට මුහුණ දෙන්නට සිදුව ඇති අභියෝගය ගැන විමසූ සංවාදයකදී ඔහු සිළුමිණ වෙත සිය අදහස් දැක්වූයේ මෙසේය.

ඔබ පසුගියදා වෛද්‍ය සංගමයේ නව සභාපති තනතුරට පත් වුණා. මේ තනතුර ඔබ බලාපොරොත්තුවෙන් සිටි එකක්ද?

මම කිසි දෙයක් බලාපොරොත්තුවෙන් සිටියේ නැහැ. අද වන තෙක් මම කිසිවකුගෙන් කිසිම තනතුරක් ඉල්ලලත් නැහැ; මේ වගේ පුවත්පත් සාකච්ඡාත් ඉල්ලල නැහැ. මම සුදුස්සා නිසයි මේ තනතුරට මාව පත් කළේ.

ඇතැම් අය මේ වන විට ඔබේ පත් කිරීමට එරෙහිව යම් යම් අභියෝග කරන්න පටන් ගෙන තියෙනවා. මේ අභියෝගවලට කොහොමද මුහුණ දෙන්නේ...?

ඒ අය කියන්නේ මොනවද කියලා මම අහන්න යන්නේ නැහැ. ඒ අයට බැහැ මට අභියෝග කරන්න. ඒ අයට පුළුවන් රෝගීන්ගේ ජීවිත පරදුවට තියලා සටන් කරන්න විතරයි.

ඒත් පසුගියදා ඔබට යම් අපහසුතාවකට මුහුණ දෙන්න සිදු වුණා. මේ පිටුපස සිටින්නේ කවුරුද?

එතැන හිටිය අය කවුරුන්ද කියලා මම දන්නැහැ. ඒත් එතැන හිටියේ වෛද්‍ය ශිෂ්‍යයෝ විතරක් නෙමේ කියලා මම දන්නවා. ඒක වුණේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරියේ. එදා මම ගියේ සීදූව විජය කුමාරතුංග රෝහලේ වාහනයෙන්. මම රියැදුරුට කියලා මෙහි රැස්වීමකට ගියා. එහි සිටි අය රියැදුරුට හරියට කරදර කරලා මම යන-එන තැන් අහලා තියෙනවා. ඒත් එයා පිළිතුරු දීලා නැහැ. මම එළියට එන කොට මේ අය හිනා වේගෙන ආවා. මේ අය මගෙන් ඇහුවා දැන් අපිට මොකද වෙන්නේ කියලා. මම ඒකට පිළිතුරු දෙන්න ගියේ නැහැ. පොලීසියේ අයත් හිටියා. මම වාහනයට නැග්ගා. පිරිසක් දුවගෙන ඇවිත් වාහනයට පයින් ගැහුවා. මම පස්සට ගියා. පොලීසියේ කෙනෙක් ඇවිත් අහනවා මගේ තනතුර මොකක්ද කියලා. මම කවුද කියලා මම ඒ අයට කිව්වා. මම කිව්වා මේක රජයේ වාහනයක්. මේකට හානි වෙලා කියලා. පස්සේ මම මේ සිදු වුණ දේ සෞඛ්‍ය ඇමැතිතුමාට කිව්වහම ඔහු කිව්වේ පොලිස්පතිට පැමිණිල්ලක් දාන්න කියලා. මම තවමත් කල්පනා කරන්නේ එය කරනවද නැද්ද කියලා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෝදනා කරනවා ඔබගේ පත් වීම අපක්ෂපාතීව සිදු නොවුණ බව...

ජනාධිපතිතුමා හා සෞඛ්‍ය ඇමැතිතුමා කරලා තියෙන්නේ හොඳ දේ තමයි. ජනාධිපතිතුමා හා සෞඛ්‍ය ඇමැතිතුමා තීරණය කරලා තියෙනවා මෙයට පත් කළ යුතු හොඳම පුද්ගලයා මම කියලා. මම අවුරුදු 20ක පමණ පළපුරුද්දක් ඇති මහාචාර්යවරයෙක්. අවුරුදු 8 ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විදියට වැඩ කරලා තියෙනවා. පුළුවන් නම් කියන්න මේ කාලයේ හිඟ වූ එකම ඖෂධයක් තියෙනවා නම්. මේ අවුරුදු 8ම එකම චෝදනාවකට හෝ භාජනය වුණා නම් කියන්න බලන්න. එදා හැම ඔසුසලකටම අපි බෙහෙත් සැපයුවා. එදා අපි පෞද්ගලික අංශයට විරුද්ධව සටන් කළා. ඒ වගේම විවෘත විශ්වවිද්‍යාලයේ කුලපති විදියට ජනාධිපතිතුමා මාව පත් කළා. මට ලැබුණු මේ දේවල් කියන්න ගියොත් එයට වෙනමම කාලයක් වෙන් කරන්න වෙනවා. ඒ නිසා මම ඔය කියන දේවල් අහන්න යන්නැහැ. මේ පත්වීම සෞඛ්‍ය ඇමැතිතුමා දුන්නේ, අනිවාර්යයෙන්ම ජනාධිපත්තුමාගේත් අගමැතිතුමාගේත් ආශීර්වාදය ලබාගෙනයි. මේ තනතුර මාස තුනක් හිස්ව තිබුණා. හේතුව කවුරුත් ගන්න කැමැති වුණේ නැති වීම. මෙය කරදරකාරි ආයතනයක් නිසා වැඩ කටයුතු කරන්න අමාරුයි. මම මේක බාර ගත්තේ ගොඩාක් කල්පනා කරලා.

ඔබ කියන්නේ මේ තීරණය ඔබේ තනි කැමැත්තට ගත් එකක් කියලද?

මගේ නෝනවත් දරුවොත් කැමැති වුණේ නැහැ මෙය භාර ගන්නවට. මගේ සහෝදරියන්, ඒ අයගේ දරුවන් මේ කිසිම කෙනෙක් කැමැති වුණේ නැහැ. මම මේ ගැන ඒ අයත් එක්ක වාද විවාද වුණාම ඒ අය කිව්වේ විවිධ දේ පත්තරවල ගියහම අපේ හිතටයි අමාරු කියලා. ඔයා නම් කළු ගලක් වගේ ඉඳීවි කියලා. හේතුව සයිටම්-එක ගැන විවිධ අය කරන මේ වැරදි වැඩ නිසා. මේ තර්කය මට බිඳින්න බැරි වුණා. මේ නිසා අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ආ විට මම තනි වෙනවා.

බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් ඉන්නවා, පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ඔබේ අදහස දැනගන්න...

පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන මම සතුටු වුණත් නැතත් ඒවා ලංකාවේ තියෙනවා. මෙය රජයේ ප්‍රතිපත්තියක්. මේ නිසා මගේ එකඟ වීම අදාළ වෙන්නැහැ.

ඔබ සයිටම් හිතවාදියෙක්ද කියා මම ඇසුවොත්...

මම කිසි කෙනකුට හිතවාදී නැහැ. මගේ හිතවාදීන් ඉන්නේ මගේ බිරිඳ, මගේ දුව, මගේ නංගිලා. ඒ අයට තමයි මම හිතවාදී. මොකද: මොනවා හරි වුණොත් ඒ අය මිස මට වෙන කවුරුත් නැහැ.

සයිටම් තිබිය යුතුද, නැති නම් වැසිය යුතුද? එසේත් නැති නම් යම් යම් ප්‍රතිසංස්කරණයන්ට භාජනය විය යුතුද කියා මම විමසුවොත්...

මේ ප්‍රශ්නය ඔබ මගෙන් විමසිය යුතු නැහැ. සයිටම් පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයා. එයා මිලියන 600ක් දුන්නා ණයක් විදියට. ඒ කියන්නේ මෙය හැදුවේ එදා රජය. මෙය සම්පූර්ණයෙන්ම කටයුතු කළේ රජයේ ආයතනයක් විදියට. මේ නිසා එම්බීබීඑස් උපාධිය දෙන අවස්ථාව වන තෙක් රජයේ නීතිරීති අනුගමනය කර නීත්‍යනුකූල ආකාරයෙන් පැවැත්වූ ආයතනයක්.

ඒත් එංගලන්ත වෛද්‍ය සභාව පවා මෙය නොපිළිගන්නා තත්ත්වයකට පත් වුණා...

එංගලන්ත වෛද්‍ය සභාවට මම ගරු කරනවා. අපේ වෛද්‍ය සභාවේ පනත අවුරුදු 25කට පෙර General medical councilවල ආකෘතියක්. ඒත් GMC ආයතනයේ පනත අවුරුදු දෙකකට වරක් අලුත්වැඩියා වෙනවා. නමුත් අපේ පනත කෞතුක වස්තුවක්. එය අවුරුදු 25ක් පරණයි. මේ නිසා මෙය සංශෝධනය විය යුතුයි. GMC එකෙන් දුන් දෙය අපිට අදාළ වෙන්නැහැ. සයිටම් ආයතනයෙන් එම්බීබීඑස් උපාධිය ලබාගත් කාන්තාවක් ඉල්ලා තිබුණා ඇයව ලියාපදිංචි කරන ලෙස. එය ප්‍රතික්ෂේප කළා, අපේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව. ඒ නිසායි ඒ අය එහෙම ප්‍රකාශයක් දුන්නේ. ඔය කෑගහන්නේ කිසිම දෙයක් දන්නේ නැති අය.

සයිටම් එංගලන්ත වෛද්‍ය සභාව පවා පිළිනොගන්නා මොහොතකදි සයිටම් සම්බන්ධ අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කළ යුතුයි පවසන එකම පුද්ගලයා ඔබ කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. එය ඇත්තක්ද?

ඒ අය කොහොමද මම කරන එක දන්නේ. මම කරන්න හදන්නේ මොනවද කියලා ඒ අය දන්නවද? හැමදේටම පිළිගත හැකි සාක්ෂි තියෙන්න ඕනෑ. ඕනෑ කෙනකුට මට චෝදනා කරන්න පුළුවන්.

ඔබ ජාතික ලැයිස්තුවෙන් දේශපාලන තරග බිමට පිවිසි ‍කෙනකු නිසා මේ තනතුර දැරීමට සදාචාර සම්පන්න නැහැ කියලා චෝදනා කරනවා...

ජාතික ලැයිස්තුවෙන් දාන්නේ දේශපාලනය නැති අයයි. ඉතින් මේ අය කියන දේවල් ඇයි මගෙන් අහන්නේ. මේවා පහළ බාලාංශයේ කතා. මේ වගේ සරල කාරණා දන්නේ නැති අය යවන්න ඕන මොන්ටිසෝරි. මේ මනාප ක්‍රමය අනුව මේක බලු පොරයක් වෙලා. මට එක් ඇමැති කෙනෙක් කිව්වා පාර්ලිමේන්තු ඡන්දයට ඇවිත් දිනන්න නම් ආරම්භයේදීම රුපියල් මිලියන දෙකක් වියදම් කරන්න ඕනෑ කියලා.

ඖෂධ සමාගමකට සම්බන්ධයි කියලා ඔබට චෝදනාවක් තියෙනවා. මෙයට පිළිතුරක් දුන්නොත්...

මගෙන් අහන්නේ ඇයි? ඒ ගොල්ලන්ගෙන්ම අහන්න. මම ඖෂධ සංස්ථාවේ සභාපතිකම භාර ගත්තේ 1994 සැප්තැම්බසර් මස 1 වැනිදා. 93 ගිණුම් මම බැලුවා. මේ වන විට ඖෂධ සංස්ථාව තිබුණේ පාඩු ලබන තත්ත්වයේ. මම 2002දි අස් වුණා. එවිට අපේ ලාභය මිලියන 230 යි. එහෙම කළේ කාටවත් ගැති වෙලා නෙමේ. මම සේනක බිබිලේගේ පාමුල ඉගෙනගත් කෙනෙක්. එතකොට කොහොමද චෝදනා කරන්නේ මම මේවාට සම්බන්ධ කෙනෙක් කියලා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස ඉදිරියේදී ඔබ වෙනස්කම් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවාද?

පනත වෙනස් නොකර මේ දේවල් වෙනස් කරන්න අමාරුයි. අපේ පනතේ තිබෙන නීති රීති රෙගුලාසිවලට අපි ගරු කළ යුතුයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන්ගේ ආශීර්වාදය මම මුලින්ම ගන්නවා. ඒ ගොල්ලන්ගේ පොදු අදහසට විරුද්ධව කිසි දෙයක් මම කරන්නැහැ. ඒ වගේම මම ස්වාධීනව කටයුතු කරනවා. මේ රටේ මොනම දේශපාලනඥයකුටවත් මම යටත් වෙන්නැහැ කියලා මම පොරොන්දු වෙනවා. වෛද්‍ය සභාවේ බහුතරයක් යම් අදහසක් දරනවා නම් සභාපති විදියට මට බලතල නැහැ ඊට විරුද්ධව කටයුතු කරන්න. හැමෝගේම අදහස්වලට මම ගරු කරනවා. රජයේ ප්‍රතිපත්තිවලට ගරු කරන අතරම දේශපාලන අතකොළුවෙක් බවට පත් වෙන්නැහැ කියලා මම කියන්න ඕනෑ.

සයිටම් අරගලයට අවසානයක් දකින්න ඔබගේ යම් වැඩ සටහනක් තියෙනවද?

සයිටම් ප්‍රශ්නයේ විසඳුම අද පැහැදිලිවම රජය භාර ගෙන තියෙනවා. මීට දින කිහිපයකට පෙර හර්ෂ ද සිල්වා ඇමැතිතුමා රැස්වීමක් තියලා කිව්වා ජනාධිපතිතුමා හා අගමැතිතුමා තමන්ට බලය පවරලා තියෙනවා මේ ප්‍රශ්නයට සාධාරණ තිරසාර විසඳුමක් හොයන්න කියලා. එතැනදි ඇමැතිතුමා කිව්වා අපි හැම තැනටම කතා කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට කතා කරන්න විතරයි කියලා. එම නිසා මෙයට සහයෝගය දෙන්න කියලා. අවම ප්‍රමිතීන් සකස් කරලා තව සති දෙක-තුනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. පසුව එය රටේ නීතිය වෙනවා. රජය විසින් සයිටම්-එකට බෙහෝම සැර ලිපියක් යවලා තියෙනවා මීට පස්සේ රජය දන්වන කල් කිසිම කෙනකු බඳවාගන්න බැහැ කියලා. අපි හැම එකටම විරුද්ධ වෙන්න හොඳ නැහැ. මේ නිසා මේ ප්‍රශ්නයට අපිට ඇඟිලි ගහන්න දෙයක් නැහැ.

නව තනතුරු අමතක කර ඔබේ සුපුරුදු වෘත්තීය ජීවිතය ගැන කතා කළොත්...

මම සුපුරුදු පරිදි ලෙඩ්ඩු කිහිප දෙනෙක් බලා-කියාගෙන ඉන්නවා. මගේ ජීවිතයේ අංක එක එයයි. මම නොමිලයේ බොහෝ සේවා රටටත්, මගේ වෘත්තියටත්, දරුවන්ටත් කළා. අද ඒ ඇති මට සතුටු වෙන්න. බුදුහාමුදුරුවෝ කියලා තියෙනව නේ මරණ මොහොතේදී චුති සිත පහළ වෙනවා කියලා. ඉතින් මගේ බලාපොරොත්තුවත් ඒ වගේ හොඳ චුති සිතක් පහළ වේවා කියලා.

සුභාෂිණි ජයරත්න
ඡායාරූප - විමල් කරුණාතිලක 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.