නෙළුම් විල | සිළුමිණ

නෙළුම් විල

හිච්චි මහත්තයා

හක්මණ ආසනය දෙණියායේ රත්නපුර, මන්සන්ධියේ සිට කිරිළිපනේ - මොරගල - කිරිපිටිය - ඌරුබොක්ක - දම්පහළ - මාරවිල - මුලටියන - දෙයියන්දර හරහා හක්මණ වළකඩ ඈත කඳුකර ගම්මාන දක්වා විහිදෙන්නේ ය.

ආරිය බුලේගොඩ නැගෙනහිර මොරවක්කෝරලයේ සංවිධාන මධ්‍යස්ථානය කරගෙන සිටියේ උඩුමුල්ලවත්තේ හිච්චි මහත්තයාගේ නිවෙස ය.

ඒ කාලයේ මේ නිවෙස පැරණි පන්නයේ සුවිසල් එකක් විය. මුළු මහත් නැගෙනහිර මොරවක්කෝරලයේ ම තරුණ සමිති නියෝජිතයෝ මසකට වරක් මේ නිවෙසට රැස්වූහ.

ඔවුන් එන හැම දවසේ ම ඔවුනට මදි නොකියන්නට ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීමේ ආර්ථික ශක්තියක් හිච්චි මහත්තයා සතු විය.‍

තේ රබර් වතු හිමියකු මෙන් ම කුඹුරු හිමියකු ද වූ හිච්චි මහත්තයා නිරහංකාර පුද්ගලයෙක් විය.

පොල් ටිකක්, දෙල් ටිකක් වත්තෙන් කඩා ගත් හිච්චි මහත්තයා වී මල්ලක් කොටවාගෙනැවිත් මඤ්ඤොක්කා පඳුරක් දෙකක් උගුල්ලා යසට පිස අර පිරිසට බඩ කට පුරා කන්න දුන්නේ ය.

මේ හුටපට නිසා දෝ හිච්චි මහත්තයාගේ එජාප සොයු‍‍රෝ ඔහු හා විරසක වූහ. හිච්චි මහත්තයාගේ දේශපාලන මිතු­ෙරා් ද එලොව ගොසිනි. අර්ඩ් අබේවර්ධන, ආරිය බුලේගොඩ, ප්‍රේම් නානායක්කාර, ඩැනී අබේවික්‍රම, ඩැනී හිත්තැටියගේ ඈ සියල්ලන්ම එලොව ය. මෙලොව තනිව සිටින්නේ හිච්චි මහත්තයා පමණය.

පත්තරය ගෙන එනු පිණිස සැරයටිය අනිමින් හපුගහවෙල කඩයට ගොඩවෙන හිච්චි මහත්තයාට ‘හිඳගන්නැ’යි කියා අසුනක් පනවන මාතර හාමිනේ තේ එකක් ද හදා දෙන්නීය. තේ එක බී සමුගෙන පත්තරය කිහිලි ගන්නා ගෙන ආයෙත් සැරයටිය බිම අනිමින් ගෙදර එන හිච්චි මහත්තයා මුළු දවස පුරාම එය කියවන්නේ ය.

එකම දියණිය රේණුකා නෝනා දහසක් වැඩ කටයුතු අස්සේ පියාගේ දුක සැප ද බලන්නීය.

හිච්චි මහත්තයා අසනීප වී ඇතැයි යන ආරංචිය ලද මම ඔහු බැලීමට කරාපිටිය රෝහලට ගියෙමි. විපරම් කර බලන විට හිච්චි මහත්තයා වාට්ටුවේ ඇඳක නිදාගෙන සිටියේ ය.

මා හෙමීට එහි ළං වන විට හෙදිය මා වැළැක්වූවා ය.

“එයා කූද්දන්න එපා!”

මම ආපසු කොරිඩෝවට ගියෙමි. එතැන ලෙඩුන් බැලීමට ආ ඥාතීහු සිටියහ.

“සමහර ලෙඩ්ඩුන්ට නින්ද යන්න බේත් දීල තියෙන්නෙ. අවදි වුණොත් වේදනායි. ඒකයි.”

හිච්චි මහත්තයාට පිළිකාවක් ඇතැයි වෛද්‍යවරුන් කියා ඇත.

“එයා මගෙ බාප්ප” මම හෙදියට කීමි.

ඇය විමතියෙන් මෙන් මදෙස බැලුවා ය.

කිරුළපනේ, පියදාස මුණසිංහ මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.


ටොෆී දවටනය

දිගු කලක් ඉතාලියේ වැඩ කළ මා මිතුරා සිය පවුල ද සමඟ ආපසු ලංකාවට ආවේ නැවත එහි නොයනු පිණිස ය.

ළඟදී දවසක ඔහු මා බලන්නට ආවේ ය. ඒ ඔහුගේ කුඩා පුතු ද සමඟ ය.

අප කතා බහ කරමින් සිටියදී ඒ පුතු අවට නරඹමින් සිටියේ ය.

දරුවා විටෙක සිය කලිසම් සාක්කුවෙන් ටොපියක් අතට ගන්නවා මම දුටිමි.

පරිස්සමින් එහි දවටනය ගැලවූ ඔහු ටොපිය මුවෙහි ලා ගෙන දවටනය නවා සාක්කුවෙහි ලා ගත්තේ ය.

එය මගේ සිත් ගත්තේ ය.

මා මෙය නෙළුම්විලට ලීවේ අපේ දරුවන්ටත් ඉන් යමක් ඉගෙනගත හැකි වේති’යි සිතූ නිසා ය.

හලාවත, ඇම්.ඩබ්ලිව්. අනුර ශාන්ත පීරිස් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුෙරනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.