මිහින්තලය කටු සෑයේ ප්‍රාර්ථනා පාරාදීසය | සිළුමිණ

මිහින්තලය කටු සෑයේ ප්‍රාර්ථනා පාරාදීසය

නටබුන්ව ඇති කටුසෑය

දෙනෝදාහක් යන එන මහ මඟ පසෙක පිහිටා තිබුණද මේ පුද බිමේ එතරම් කලබලයක් නැත. මේ පින්බිම වටා වැවී ඇති විසල් තුරු මුදුන් මෙබිමෙහි මොහොතක් නැවතී යන්නට ආයාචනා කරන්නා වැනිය. ඓතිහාසික මිහින්තලය පුදබිම පෙනෙන මානයේ පිහිටි ඉපැරැණි කටුසෑය බොහෝ දෙනෙක් නොදන්නවා ඇත. මිහින්තලා ආරාම ඉදිකිරීම සඳහා භාවිත කරන ලද කම්හල් උපකරණ සහ ආයුධ තැන්පත් කර මෙම ස්තූපය ඉදිකර ඇති බව ජනප්‍රවාදයේ සදහන්වේ. 19 වැනි සියවසේ මුල්භාගයේ ස්තුපය ආශ්‍රිතව කරන ලද කැණීම්වලදී ක්‍රි.ව. 8 - 9 සියවස්වලට අයත් සිංහල හා සංස්කෘත භාෂාවෙන් ලියු මහායාන සුත්‍ර පාඨ ඇතුළත් තඹ තහඩු හමුවී ඇත. මෙහි වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලට අනුව මහායාන සම්ප්‍රදායට අයත් ස්තුපය ප්‍රමුඛ කරගත් අනුරාධපුර යුගයට අයත් විහාර සංකීර්ණයක් බවට තහවුරු වී ඇතැයි යන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිගමනයයි.

එහෙත් තවත් සමහරකුටනම් සිය අනේකවූ දුක්ඛ දෝමනස්සයන් මුදා හැර ප්‍රාර්ථනා ඉටුකරන පාරාදීසයක් බවට මේ හුදකලා ස්ථානය පත්ව ඇත. රටේ විවිධ ප්‍රදේශවලින් දිනකට මෙතැනට එන දෙතුන් සීයක් දෙනා සිය අනේකවිධ දුක්ඛ දෝමනස්ස හිස් අවකාශයට මුහුකරන ස්ථානයක් බවට මෙම නටබුන්ව ඇති චෛත්‍ය බිම පත්ව තිබේ. මිහින්තලය පියගැට පෙළට ගොඩවන්නට මත්තෙන් මෙහි පැමිණ යෑම ඇතැමකුගේ සිරිත වී තිබේ. කුමක් හෝ නොපෙනෙන බලවේගයක පිහිට සිය ජීවිත වෙත සැලසේවිය යන්න ඔවුනගේ විශ්වාසයයි.

පෙම්වතුන්, විශ්ව විද්‍යාල සිසුන්, විවාහ අපේක්ෂකයින්, පවුල් ආරවුල් ඇත්තවුන්, රැකියා අපේක්ෂකයින් මෙකී නොකී බොහෝදෙනෙකු මහත් වු විශ්වාසයෙන් මෙහි එන යන බව ප්‍රදේශවාසීහූ පවසති. පහන් දැල්වීමට සැකසු යකඩ ආකෘතිවල ගැට ගසන ලද පඩුරු කාසි දහස් ගණනක් මෙතැනට යන එන්නකුට දැකගත හැකිය. මෙහි එනයන බැතිමතුන් ප්‍රමාණය දැන ගැනීමට එය හොඳ සාක්කියකි.

පලතුරු වට්ටි පුජාව, කිරි ඉතිරවීම, පොල් ගැසීම ආදිය මෙහි නිතර සිදුවෙයි. දේව යාතිකා ආදිය ද නොඅඩුව ඇසේ. යාතිකා පැවැත්වීම සඳහාත්, සැනසිලි වාක්‍ය පැවසීම සඳහාත් මෙතැන ආවතේවකරුවෝ දෙදෙනෙක් වෙති. ඉන් අ‍යෙක් රතු වතින්ද අනෙක් කෙනා සුදු වතින් ද සැරසී සිටිති.

මිහින්තලය ආරාමය ඉදිකිරීම සඳහා භාවිත කරන ලද කම්හල් උපකරණ සහ ආයුධ තැන්පත් කර මෙම ස්තුපය ඉදිකර ඇති බව ජනප්‍රවාදයේ සදහන්වේ. 19 වැනි සියවසේ මුල්භාගයේ ස්තුපය ආශ්‍රිතව කරන ලද කැණීම්වලදී ක්‍රි.ව. 8 - 9 සියවස්වලට අයත් සිංහල හා සංස්කෘත භාෂාවෙන් ලියු මහායාන සුත්‍ර පාඨ ඇතුළත් තඹ තහඩු හමුවී ඇත. මෙහි වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලට අනුව මහායාන සම්ප්‍රදායට අයත් ස්තුපය ප්‍රමුඛ කරගත් අනුරාධපුර යුගයටඅයත් විහාර සංකීර්ණයක් බවට තහවුරු වී ඇතැයි යන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිගමනයයි.

මානසික සැනසීම සොයා මෙහි පැමිණි ඇතැමුන්ට සිය අපේක්ෂා ඉටු වූ අවස්ථා ගැනද මෙහි යනඑන්නන් හා කළ කතාබහවලදී දැන ගන්නට ලැබිණි. රැකියා බලාපොරොත්තු ඉටුවීම, විවාහ අපේක්ෂා ඉටුවීම, විභාග ජය ලැබීම ආදිය පිළිබඳ ඔවුහූ තතු පැවසූහ. අතැම් අය මෙහි පැමිණ ගිය පසුව එතෙක් පැවැති කරදරවලින් නිදහස් වූ බවද පවසති. අලුතින්ම ගත් යතුරු පැදියේ, මෝටර් රථයේ යතුරු පලතුරු වට්ටි මත තබා පේ කිරීමට ද සමහරෙක් මෙහි එති. එවැනි දසුන් මෙබිමට නුහුරු නොවේ.

කටු සෑය පිළිබඳ කතා කරද්දී අපට කීමට තවත් දෙයක් ඇත. ඒ මෙහි ආ ඇතැමුන් මෙහිදී සැනසිල්ලක් ලැබ ඔවුන් රැගෙන ආ අපද්‍රව්‍ය ඔහේ නිදැල්ලේ අතහැර ගොස් තිබීමයි. එලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම් නිසා මේ පුණ්‍ය භූමියට සිදුවන විනාශය ගැන ඔවුන්ට හැඟීමක් නොතිබීම කනගාටුවට කරුණකි.

දෙවියන් යදිමින් ගහන පොල්, පුජාවන් සඳහා තබන පලතුරු වට්ටි ආදිය එකතු කරගෙන යන්නට සැදී පැහැදී සිටින පිරිසක් ද මෙහි වෙති. කිරි උතුරා දෙවියන් උදෙසා තැබූ ගොටුවෙහි කාසි ඇහිලීම, යහමින් අතට අහුවෙන පඬුරු ලිහා ඒවායේ ඇති කාසි ගැනීම මෙහි එන ඇතැමුන්ගේ දින චර්යාව වී තිබේ. එය ඔවුන්ට යන්තමින් ජීවිතය ගැටගසා ගන්නට ප්‍රමාණවත් ආදායමකි. එසේම මෙතැනට පැමිණෙන බැතිමතුන්ට අයිස් ක්‍රීම්, කඩල ගොට්ටක් හා පලතුරු ආදිය විකුණා දෛනිකව අතට කීයක් හෝ උපයා ගන්නා කීපදෙනෙක් ද මෙහි වෙති.

යාචකයන් දෙතුන් දෙනෙක් ද දැන් මෙතැනට ඇදී එති. මෙනයින් බලන කල නොපෙනෙන දෙවියන්ගේ පිහිට හා සැනසීම පතා මෙහි පැමිණෙන්නන් නිසා අසරණයින් කිහිපදෙනෙකුට හෝ ජීවත් වීමට මඟක් පෑදී තිබීම සතුටට කරුණකි.

මේ පුද බිමේ මෙලෙසින් පුද පුජා පැවැත්වීම කවදා කවරෙකු විසින් අරඹනු ලැබුවේ ද යන්න ගැන නිවැරැදි තොරතුරක් දන්නා කෙනකුද මෙතැන නැත. එහෙත් දැන් දැන් මෙහි එන යන පිරිස වැඩිවී ඇති බව නම් ප්‍රදේශවාසිහූ පවසති. සෙත් ශාන්ති මෙන්ම නේක ප්‍රාර්ථනා සහ විශ්වාස මෙරට සාම්ප්‍රදායික ජන සමාජය හා බැඳී පවතී. නුතන සමාජ පරිසරය තුළ ද සමහරෙකු තමාගේ යහපත මෙන්ම අනෙකාගේ විනාශය නොපෙනෙන දෙවියන් අභිමුව ආයාචනය කරන්නට පෙලඹෙනුයේ දෙවරක් නොසිතාමය. දෙවියන් එකම දේව සභාවක හිඳ අයෙකුට යහපතත්, තවෙකෙකුට අයහපතත් සලසනුයේ කෙසේද යන්න පහසුවෙන් වටහා ගත නොහැක්කකි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.