අම්මාගේ එකම ආශාව මගේ විවාහය දැකී­මයි | Page 2 | සිළුමිණ

අම්මාගේ එකම ආශාව මගේ විවාහය දැකී­මයි

සුමති සම්මාන උළෙලේ හොඳම ගායිකාව දිපිකා ප්‍රියදර්ශනී පීරිස්

සුමති ටෙලි සම්මාන උළෙලේ ‍වසරේ හොඳම ටෙලි නාට්‍ය තේමා ගී ගායනය වෙනුවෙන් හොඳම ගායිකාව ලෙස ඇය වේදිකාවට පිවිසෙනවාත් සමඟ එතෙක් වේලා නිසොල්මන්ව සිටි මුළු මහත් ප්‍රේක්ෂකාගාරයම අත් පොළසන් හඬින් පිරී ගියේය. ශාලාවෙන් නැඟුණ අත්පොළසන් හඬ බොහෝවේලාවක් යනතුරු පැවැතිණි. ඒ හඬින් හැඟී ගියේ සියල්ලෝම ඇගේ ජයග්‍රහණය අනුමත කළ බවයි. විසි දෙවැනි සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම ගායිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබූයේ ප්‍රවීණ ගායන ශිල්පී දීපිකා ප්‍රියදර්ශනී පිරීස් ගායන ශිල්පිනියයි.

ඈ පැමිණි ගමන් මඟ කටුකය. පාසල් වියේ සිටම ගායන කේෂත්‍රයට පිවිසි ඇය අද වන විට සාර්ථක ගමනක් පැමිණ සිටින්නීය . ඒ ගමනේදී ඇය ලද ජයග්‍රහණ බොහෝය. මේ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනිය සමඟ අප පිළිසඳරේ යෙදුණේ පසුගියදා ලද සම්මානය පිළිබඳවත් ඇගේ අලුත්ම ජීවිත තොරතුරුත් රසඳුන පාඨක ‍ඔබට ගෙන එන්නටය.

“මා ද ඔබම විය ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගයන්න කියලා මට ආරාධනය කළේ සහන් විජේසිංහ හා ගයනා සුදර්ශනී යුවල.මෙම ගීතයේ සංගීතය නිර්මාණය කළේ රංජිත් ප්‍රේමවීර කියන සංගීත අධ්‍යක්ෂවරයා. ඔහු මා සමඟ වැඩකළ පළමු වතාව මේ. ඔහු අපේ පරපුරේ කෙනෙක්. ඒ වගේම ඔහු ප්‍රතිභාපුර්ණ නිර්මාණ ශිල්පියෙක්. ගීතයේ පද රචනය කළේ ප්‍රවීණ ගේය පද රචක සුනිල් ආර්. ගමගේ මහතා. මෙම නාට්‍යයේ අධ්‍යක්ෂ ප්‍රේම කුමාර ජයවර්ධනයන්. මෙම ගීතය මට සුවිශේෂියි. මම ගීතය සාර්ථක වන්න මම මගේ උපරිම දායකත්වය ලබා දුන්නා. ඒ වගේම මෙම සම්මානය මට සුවිශේෂයි. කිහිපවරක්ම සුමති සම්මාන උළෙලට මා නිර්දේශ වී තිබෙනවා. නමුත් මෙවර තමයි මට හොඳම ගායිකාව ලෙස සම්මානය ලැබුණේ.” ඇය පවසන්නේ බොහෝ නිහතමානීවය.

ඇගේ ගී හඬ හැගුම්බරය. ඒ ගී හඬ අප අමුතුම ලොවකට ගෙන යන්නේය. ඇය එක රැයෙන් ජනප්‍රියත්වයට පත්වන්නේද ටෙලි නාට්‍ය ගීතයක් නිසාවෙනි. වසර ගණනක් ගෙවි ගියද ඒ ගීතය අදත් එක සේ ජනප්‍රියය. චිත්‍රපට ටෙලි නාට්‍ය හෝ වෙනත් සරල ගීයක් ගැයුවද පුදුමය නම් ඒ සියලු ගී රසික ජනයා ආදරයෙන් වැළඳ ගැනීමය. එමෙන්ම නාට්‍යයෙන් බැහැර වූ විට එහි තේමා ගී රසිකයා බොහෝ ආදරයෙන් වැළඳ ගත්තේය. 'දූවිල්ලෙන් සැදුන ලියේ බාල ලියේ බාල ලියේ',සඳ කැන් දහරින් දෙනුවන් තෙමිලා' ආදි ගී ඊට උදාහරණ වේ. අතීතය පිළිබඳ සිහිපත් කරමින් දිපිකා මෙසේ පවසන්නීය.

“මම ක්ෂේත්‍රයට පිවිසිසෙන්නේ ආජුතපර ලාහිලා ගීතයෙන්. ඒ ගීතය ඇතුළත් වුණේ භාග්‍යා ටෙලි නාට්‍යයේ. මම චිත්‍රපට වලත් ගී ගයා ති‍බෙනවා. ඒ වෙනුවෙන් ඇගයීමට ලක්වී තිබෙනවා. මම කිසිම දවසක විශ්වාස කරන්නේ නැහැ චිත්‍රපටවලට ඉහළ ස්වර පරාසයක් ඇතිව ගීතය ගායනා කරන්න ඕනමයි කියලා. කටහඬක ඇති වැදගත්ම දේ තමයි සංවේදීත්වය.මම විශ්වාස කරන දේ ‍තමයි අපි ගයන ගීතය අනෙක් කෙනාට දැනෙන්න ඕන කියන එක. එතැනයි සාර්ථකබව තියෙන්නේ ගීයක. විශේෂයෙන්ම ගීයක් ගැයීමේදී, එය චිතුපටයකද ටෙලි නාට්‍යයකද, එහෙමත් නැත්නම් සාමාන්‍ය ගීතයක්ද කියන එක මට විශේෂත්වයක් නැහැ.මම ඒ ගීතය වෙනුවෙන් උපරිම දසායකත්වය දරනවා. මගේ කට හඬින් ඒ පදවලට තනු නිර්මාණයට උපරිම සාධාරණය ඉටුකරණවා.”

“කවිය ඔබ

තුන් තිස් පැයක්

නිදිවරා වෙහෙසි

සිත දෙගිඩියාවෙන්

තවම නොලියූ

කවිය ඔබ....,

ඇය ගයන්නීය . නිසල රාත්‍රියකදි මේ ගීපද සිත අතීතයට ගෙන යන්නේය. කොයි කාගේ සිතක වුව නොලීයූ කිවියක් තිබෙන්නට පුළුවන. ඇය ගයන්නේ අප හදතුළ ඇති ඒ සිතුවිලිය..කවිය ඔබ ප්‍රසංගය මේ වන විට රටවල් කිහිපයක පවත්වා ඇත්තේය.

“මේ වන විට කවිය ඔබ ප්‍රසංග වාර හයක් පවත්වා තිබෙනවා. මුල්ම ප්‍රසංගය පැවැත් වුණේ කැනඩාවේදී. පහුගිය කාලේ මම කවිය ඔබ ප්‍රසංගය සමඟ විදේශ ගතවෙලා හිටියේ. කැනඩාවේදී පැවැත්වුණ ප්‍රසංගයට ඉතා හොඳ පිරිසක් සහභාගි වුණා. හොඳ ප්‍රතිචාර ලැබුණා. මම බලාපොරොත්තු වෙනවා, ලබන වසරේදී මීටත් වඩා වාර ගණනාවක් පැවැත් වීමට.”

ඇයට බලාපොරොත්තුවක් ඇත්තේය. ඒ කවිය ඔබ ප්‍රසංගය සාර්ථකව ඉදිරියට ගෙන යාමය. මේ සියලු දේ අතර ඇය දරුවන් වෙනුවෙන් සංගීතය උගන්වන්නීය. එපමණකින් නොනවතින ඇය අලුත් පරම්පරාවේ ගී පද රචකයන්ට සංගීත ශිල්පීන්ට ද ඉදිරියට එන්නට අත දෙන්නීය.

ඉදිරියේදී අලුත් ‍ගී එකතුවක් එළිදැක්වීම ඇගේ අරමුණය. '

‘බුදු නෙතින් දකින්නට

මෙත් සිතින් සිතන්නට

ලෝ දනන් පුබුදුවන

සංගායනාවකට කාලයයි.‘

කරුණාරත්න විජේවර්ධන සංගීතවත් කළ මහින්ද ....... පද රචනා කළ මේ ගීතයේ රූප රචනා කර ඇත්තේ ජයන්ත චන්ද්‍රසිරිය. අන්තර්ජාලයේ යූ ටියුබ් ඔස්සේ නැරඹිය හැකි රසවිදිය හැකි මේ ගීතයට දිපීකා තම දායකත්වය ලබා දී ඇත්තේ බුදු දහම පිළිබඳ ඇති අප්‍රමාණ ගෞරවය නිසාය.

''ධර්මය රකින්නා ධර්මය විසින් ආරක්ෂා කරනු ඇත යන තේමාව මුල් කරගෙන තමයි මේ ගීතය නිර්මාණය කර තිබෙන්නේ. මේ ගීතය සඳහා ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. මේ කාලයට මෙමම ගීතය සුදුසුයි කියලා මම හිතනවා. ඒ හැරුණ විට මම අලුත් ශිල්පින් කිහිප දෙනකුගේම ගීත ගායනා කර තිබෙනවා. අලුත් ගී පද රචකයන්ගේ,සංගීතවේදීන්ගේ දායකත්වය ලැබූ ගී රැසක් ගයා තිබෙනවා. මේ ගී අන්තර්ජාලයට මුදාහැර තිබෙන්නේ. අලුත් ගීත සඳහා හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ වගේම තමයි සෝමවීර සේනානායකයන්ගේ එක ගෙයි මිනිස්සු ටෙලි නාට්‍යයේ තේමා ගීතය මෙන්ම සුජාත පුත්‍ර නාට්‍යයේ තේමා ගීතය ගායනා කරන්න ලැබුණා. අපේ අලුත් නිර්මාණ ගුවන් විදුලි නාලිකා වල ප්‍රචාරය නොවුණට අන්තර්ජාලය ඔස්සේ රසවිඳින්නට පුළුවන්.

මම මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕන අපේ ගීත වලට රූප රචනය කරලා ඒ ගී රසිකයන් අතරට ගෙන යන අන්තර්ජාලයේ සහෘදයන්ට. අද බොහෝ ගුවන් විදුලි නාලිකා වල ප්‍රචාරය වන්නේ හරසුන් ගීත .බොළඳ ගීත. මේ ගැන ජන මතයක් ගොඩ නැගෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. මම හැම විටම මා තෝරා ගන්නා පද රචනා ගැන සැලකිලිමත් වෙනවා. කලාකරුවන් හැටියට අපි අපේ රටේ ජනතාවට වගකිව යුතුයි.අපි අමතන්නේ පේ රසිකයන්ගේ හදවත් වලට. මම හොඳ නර්මාණ කරුවන්ට ආරාදනය කරනවා. එන්න ඇවිත් අපත් සමඟ එක් වන්න කියලා. හොඳ නිර්මාණ එළි දැක්වීමට. පද රචකයන්ට ,සංගීතඥයන්ට ආරාධනය කරනවා අලුත් ගමනක් යන්නට, හොඳ නිර්මාණ කරන්නට එක් වන්න කියලා.”

ඇය ගයන්නීය . ඒ රසිකයන් වෙනුවෙනි. සුබාවිත ගී කලාවට, රසික සිත් සතන්වලින් බැහැර නොයන ගීත රැසක් දායාද කර ඇති ඇය සිය ජීවිතයම කලාව වෙනුවෙන්ම කැප කර ඇත්දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන.

ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා සිනාසෙන්න

ආදරේට කොණිත්තලා පෑල දොරින් පැන දුවන්න....

රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න....

පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න....

ඇගේ ගී හඬ ඇසෙන විට ඇගේ මේ තනිකඩ ජීවිතය කවදා නිමාවේදැයි යන ප්‍රශ්න මසිතේ මතුවේ.

ඈ හමු වූ ඒ සන්ධ්‍යාවේ මේ ගැන විමසිය යුතුය. මම හඬ අවදි ක‍ළෙමි.

තනිකඩ ජීවිතයට තිත තියන්නට දැන් කාලය හරි නේද?

එය හැඟුම්බර මොහොතක් වුවාය. බොහෝ වේලා නිහඩව සිටි ඇය පසුව ඒ නිහඬ බව බින්දාය.

“මට මගේ ජීවිතේ හැමදේම ලැබුණේ මගේ අම්මා නිසා. අම්මගෙ ලොකුම බලාපොරෝතුව වු‍ණේ මම සාර්ථක වෙනවා දකින්නයි. අද අම්මා මා ගැන සතුටු වෙනවා. නමුත් ඒ හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව ඉටු කිරිමයි දැන් මගේ එකම අරමුණ.මම විවාහ වෙනවා දකින එකයි දැන් මගේ අම්මගෙ එකම ආශාව. ”විවාහ වෙන්න හිත ගිය කෙනෙක් ඉන්නවාද ? මම ඇය විමසිමි., නැතැයි හඟවමින් ඇය හිසින් සන් කළාය.

“අපිව ජීවත් කරන්නේ ආදරය. මට මේ රටේ රසිකයන්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා. ජීවත් වීමට ආශාව ඇති වෙන්නේ ආදරය නිසා. ඒ නිසා ආදරය නැතිව මේ මිහිපිට කිසිවකුට ජීවත් වෙන්න බැහැ කියලා මම විශ්වාස කරනවා. මම බුදු දහමට ළැදි කෙනෙක්.. මාව අගයන මාව තේරුම් ගන්න මනුෂ්‍යත්වයට ගරුකරන ආදරණීය කෙනෙක් කොහේ හෝ ඇති. එහෙම කෙනෙක් ඉන්න‍වා නම් ඔහුට පුළුවන් මට යෝජනාවක් ගෙන එන්න. මම එහෙම යෝජනාවක් එනතුරු බලාගෙන ඉන්නවා.“

ඇය ආරාධනා කරන්නීය. මේ ඇය පුවත්පතකින් මෙවැනි ආරාධනයක් කළ ඇගේ සිත මෙතරම් විවෘතව පැවැසු පළමු අවස්ථාව වන්නේය. ඇගේ පමණක් නොව රටට වටිනා දියණියක් දායාද කළ ඒ මවගේ ද පැතුම ඉක්මනින් ඉටුවේවායි රසඳුන ප්‍රාර්ථනා කරන්නෙමු. 

Comments