තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

ශලිනිගේ සංවේදී කවිය

හැමදාමත් ජීවිතේ ළඟ තියාගන්න කැමැති දේවල් ඒ විදිහටම ළඟ තියාගන්න අපි කාටවත් ලැබෙන්නෙ නැහැ. ලෝක ධර්මයට අනූව නම් හැම දෙයක්ම මොහොතින් මොහොත වෙනස් වෙනවා. නැතිවෙලා යනවා. අපේ සිතුම් පැතුම් ජීවිත වුණත් එහෙමයි. ඊළඟ මොහොතෙ මොනව වෙයිද කියල කාටවත් කියන්න බැහැ. ඒ විදිහට කවුරුත්ම නොසතුව විදිහට ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන්ගේ හදිසි සමුගැනීම සිදු වුණේ පසුගිය සතියේ දියි. මේ ප්‍රශ්නය හමුවේ කම්පනයට හා දුකට පත්ව සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා පසුගිය සතියේ මේ සිද්ධිය පදනම් කරගෙන සංවේදී කවි පෙළක් ද රචනා කර ෆේස් බුක් හි සටහන් කර තිබූ අයුරු සමාජ ජාලා වෙබ් අඩවි වාර්තා කර තිබුණා. මේ ඇය සටහන් කළ බව පැවැසෙන සංවේදී කවි පෙළයි.

 

හිමි වේවා...හමු වේවා...අහිමි නොවේවා... ලෝකයේ කාටත්...

 

ඉක්මන් වුණා වැඩිද මන්දා කියා සිතුණා දස දහස් වාරයක්

නික්ම යන්ට සිතුවෙ ඇයි නුඹ ලොවට දැන් එය ප්‍රශ්නයක්

 

නු‍‍ඹේ දුක නැහැ කෙනෙක් ඇසුවේ වැරැදි නෑ නුඹ රත්තරං

අපේ පවකට හමු වුණේ අප අයිති වූ පසු ඇයට නම්

 

ඇගේ ලොව තුළ නුඹ කුරුටු ගෑ පැරැණි ගී හරි රස ඇතී

ඇයත් දන්නැති මාත් දන්නැති ලොවට ඔබ අප ගෙන යන්නැති

 

අසීමිත ප්‍රේමයක් වපුරා මගේ හද නුඹ ගත් හැටී

මුලාවක් වුව ඔබේ ප්‍රේමය සදාකල් මිය දෙන්නැතී

 

හැරගියත් නුඹ යළි නෙඑන ලෙස තරහ වෙනු බෑ කිසි දිනේ

මුළු ලොවම අද නගන හඬ යට තනිව පිළිතුරු නැහැ අනේ

 

සසරෙ මතු දින කිසිම දේකට ඉක්මන් නොවී ඉනු මා වගේ

දරනු බැරි වුව දරා ගනු නුඹ මග ඇරුණු මා සිත වගේ

 

හීනවල හිද කියන හැඟුමන් අදත් මට මී පැණි වගේ

රැවටුවත් නුඹ එදත් මාසිත ආදරෙයි මං පණ වගේ

 

නාඩා ඉනු නුඹ සැනසෙන්න දැන් එයයි නුඹ ඉක්මන් කළේ

ලොවේ ගැරහුම් දරා ගන්නම් ඔබේ නමින් මියැදෙන වෙලේ

 

පරාජිත නොව නුඹ විදපු දුක ලොව නුඹේ විනිසුරු නොවේ

නිදාගනු ප්‍රිය ලොවෙන් හැංගී සැනසීම ගෙන මා එන දිනේ

-ශලිනි


 බර්ට්‍රම් ගේ අලුත්ම පොත් දෙක

රූපවාහිනී මාධ්‍ය කලාව නව ‍මාවතකට ගෙන ගිය ප්‍රවීණ කලාකරුවෙක් ලෙස බර්ට්‍රම් නිහාල් හඳුන්වන්න පුළුවන්. ඔහු අතින් නිමැවුණු අපූරු ටෙලි සිතුවම් ඊට කදිම සාක්ෂියක් වෙනවා. පසුගිය දිනවල ඔහු රූපවාහිනියට නැඟු ගම්පෙරළිය වසර 30 කට පසු නැවත විකාශය වූවා. මේ නිසා බර්ට්‍රම් ගේ හැකියාවන් හා ප්‍රවීණත්වය පිළිබඳ නැවත කතිකාවක් ප්‍රේක්ෂකයන් අතර ඇති වූවා. කෙසේ නමුත් මේ දිනවල බර්ට්‍රම් ගේ නවතම තොරතුරු මොනවාද කියලා අපි විමසා බැලුවා.

‘‘මේ දවස්වල වැඩිපුරම මගේ කාලය කැපවී තිබෙන්නේ මගේ ‘බර්ට් ඩිජිටල් ඕඩියෝ විෂුවල්’ ආයතනයෙන් නිර්මාණය වන වාර්තා චිත්‍රපට හා වැඩසටහන් කිහිපයක් වෙනුවෙන්.

ඒ වෙනුවෙන් මහන්සි වෙන අතරම ‍මම රචනා කළ ‘සංඥාර්ථ වේදය’ කෘතියත් ප්‍රකාශනය සඳහා සූදානම් කර තිබෙනවා.

මෙය ලංකාවේ රූපවාහිනී කලාව හදාරන හැම දෙනාටම වැදගත් කෘතියක් වෙනවා.

මෙය මම රචනා කළේ මගේ ශාස්ත්‍රපති උපාධි නිබන්ධනය උදෙසායි. එය කෘතියක් ලෙස එළිදැක්වීමට ලැබීම සතුටක්්‍. ඒ වගේ ම මම අලුත්ම නවකතාවක් රචනා කරමින් සිටිනවා. මේ හැම දේම ඉදිරියේදී මගේ රසිකයන් අතට පත් වේවි. ’’


පාඨක ආදරයේ තරම

ජීවත්ව හිටියත් නැතත් කලාකරුවන්, මාධ්‍යවේදීන් ගැන නිතරම විවධ පුවත් අහන්නට දකින්නට ලැබෙනවා. ඒ ඔවුන් ළඟ තිබෙන ගුණ යහපත්කම් නිසයි. දිවංගත ධර්මසිරි ගමගේ සූරීන් දැයෙන් සමුගෙන වසර දහතුනක් ගත වුණත් ඔහු පිළිබඳ ගුණ සුවඳ මතකය අප කා අතරත් එලෙසම රැදී තිබෙනවා. කෘතහස්ත කලාකරුවෙකු, ජේෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ද වන ධර්මසිරි ගමගේ විද්වතාණන් රසඳුන අතිරේක යේ නිර්මාතෘවරයා ද වෙනවා.

මේ අපූර්ව සෞන්දර්යවාදියා ගැන කතාබහ කරත් දී රසඳුන අතිරේකයේ පළමු සංවත්සරයේ දී සිදු වූ අපූරු සිදුවීමක් අපිට දැන ගන්නට ලැබුණා. ඒ 1997වසරේ නොවැම්බර් මාසයයි. රසඳුන පළමු වර්ෂ පූර්ණය යෙදී තිබුණේ අඟහරුවාදා දිනෙකයි. සෑම අඟහරුවාදා දිනෙකම රසඳුන පිටු සකසන දිනය බැවින් කර්තෘ මණ්ඩලයේ සියල්ලන්ම දවස ගත කළේ කාර්ය බහුලවයි.

සාමාන්‍යයෙන් මාධ්‍ය සමඟ කිසිවක් සඟවනු බැහැ කියන කියමන පසක් කරමින් ප්‍රවීණ ජායාරූප ශිල්පියෙක් වූ ප්‍රියන්ත හෙට්ටිගේ රසඳුන වර්ෂ පූර්ණය පිළබඳ කාර්ය බහුල හැමදෙනාටම මතක් කර සිටියා. අවසානයේ ධර්මසිරි ගමගේ මහතා තීරණය කළේ කර්තෘ මාණ්ඩලිකයන්ට පුංචි පහේ සාදයක් පැවැත්වීමටයි.

මේ සාදය පැවැත් වුණේ එවකට ලේක්හවුස් මාධ්‍යවේදීන් අතර ජනප්‍රිය 'ප්‍රෙස් කල්බ් 'හිදියි. පැයකට දෙකකට සීමා වූ මේ සාදය අවසානයේ ලේක්හවුස් ආයතනයට එන එන්නට සූදානම් වන විට විශාල වරුසාවක් නොසිතූ ලෙස කඩා වැටෙන්න පටන් ගත්තා. තෙමෙමින් පත්තර කන්තෝරුවට යන්නත් නොහැකියි.

ඉතින් කරන්නට දෙයක් නැති නිසා කට්ටියම මෙතැනට වී සිටියා. මේ බව දුටු එහි එක් සේවකයෙක් ධර්මසිරි ගමගේ සූරීන් ළඟට පැමිණියා ' සර් , රසඳුන කියන්නේ හරිම ෂෝක් පත්තරයක්. ඒක හැමදාම අපි කියවනවා.

සර් හමුවීමත් සතුටක්. මේ මේසවලට හයි කරලා තියෙන මේ කුඩ දෙක අරගෙන යන්න කියලා කුඩ දෙක ගලවලා ධර්මසිරි ගමගේ මහතා අතට දුන්නාලු . කර්තෘ මාණ්ඩලිකටන්ට නොතෙමී පත්තර කන්්තෝරුවට යන්නට හැකි වුණා. එදා ධර්මසිරි ගමගේ වැනි ‍ප්‍රවීණයන්ට මොනතරම් පාඨකයන් ගෞරව කරනවාද? අදටත් ඔවුන් ගැන සිහිකරන්නේ අපමණ භක්තිය කින් නොවේද?


 නිරෝෂා ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණයට

නිරෝෂා විරාජිනී කිව්වම ඇය කවුරුත් හොඳින් හඳුනනවා. නිරෝෂා ලංකාවේ ගීත කලාවේ සිටින ප්‍රවීණතම ගායිකාවක්.

ඇයට සංගීතය හැමදාමත් අපූරු අත්දැකීම් ගොන්නක එකතුවක් වුණා. මේ වතාවෙ නිරෝෂා සංගීතය ඔස්සේ අලුත්ම පියවරක් ඉදිරිපිට තැබූ පුවතක් අපිට දැනගන්නට ලැබුණා.

ඒ තමයි ඇය පළමු වතාවට ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂවරියක ලෙස දොරට වැඩීම. මීට පෙර ඇය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයෙන් ඉදිරියට ගියා. නි‍රෝෂා හා හාපුරා කියා ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂවරියක ලෙස දොරට වඩින්නේ මාධ්‍යවේදිනී බුද්ධිනී ජයවර්ධන ලියූ ‘මේ මමයි’ නවකතාව ඔස්සේ පුංචි තිරයට නැඟුණු ‘මේ මමයි’ ටෙලිනාට්‍ය තේමා ගීතයට සංගීතය අධ්‍යක්ෂණය කරමින්. සංගීත කලාව ඔස්සේ ඉදිරියට ම යන නිරෝෂා විරාජිනීට තවතවත් ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණයට හැකි ‍බව කියා අපිත් සුබ පතමු.‍ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.