සතර සවිය සහ නෙළුම 23 | සිළුමිණ

සතර සවිය සහ නෙළුම 23

 වේදනාකාරී බාධාව අදෘශ්‍යමාන ආශීර්වාදයක් වෙයි

ම’විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ගණන හයකි. තිරගතවූ පිළිවෙළට මෙසේ ය. ‘මාතර ආච්චි’, ‘රජගෙදර පරවියෝ’, ‘ශ්‍රී මදාරා’, ‘සතර දිගන්තය’ ‘අධිෂ්ඨානය’ සහ ‘වදුල’ ය. ‘මාතර ආච්චි’ සහ ‘සතර දිගන්තය’ යන චිත්‍රපට දෙකෙහි සම නිෂ්පාදන වරයෙක් විය. ‘අධිෂ්ඨානය’ ම’ විසින් නිෂ්පාදනය කළ එකම චිත්‍රපටයයි. වදුල චිත්‍රපටය ආරම්භ කළේ අධිෂ්ඨාන චිත්‍රපටයට ප්‍රථමය. ‘සතර දිගන්තය’ හවුල් නිෂ්පාදනයකි. එම චිත්‍රපටය නිෂ්පාදනය කිරී‍ෙම්දී නිෂ්පාදකවරයාගේ ඇඟිලිගැසීම වැඩි විය. නිෂ්පාදනයක් සඳහා මුදල් යොදවන තැනැත්තා උසස් රසිකත්වයකින් යුක්ත නොවුවහොත් එමෙන් ම නම්‍යශීලී නොවුවහොත් ඒ නිර්මාණයට සිදුවන බාධා වලකා ගැනීමට නොහැකි වනු ඇත. නිර්මාණකරුවාට නිර්මාණ නිදහස ලබාදී තම අර්ථපතීත්වය පමණක් කළ යුතුය. ඇතැම් අය එසේ කටයුතු නොකිරීම උසස් නිර්මාණවලට බලපා ඇති බවට සිංහල සිනමාවේ සාක්ෂි බොහෝ තිබේ.

‘වදුල’ සිළුමිණ හිටපු කර්තෘ පියසේන නිශ්ශංඛ සූරීන්ගේ නවකතාවකි. නිශ්ශංඛ පවුල හා එදිරිසිංහ පවුල අතර පැවැති සමීප සම්බන්ධතාව පුදුමාකාර එකකි. ගසයි පොත්තයි වගේ ය. ප්‍රධාන හේතුව අපේ අයියා සහ අපේ ‍ලොකු මල්ලී (නිමල්) නිශ්ශංඛ මහතාගේ එක ම පුත්‍රයා වූ චන්ද්‍ර නිශ්ශංක මහතාගේ කළණ මිතුරෝ ය. සියනෑ කෝරළයේ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කරුවකු මෙන් ම ප්‍රධාන පුවත්පත් කලාවේදියකු වූ නිශ්ශංඛ මහතාගේ ‘වදුල’ නිෂ්පාදනය කරමු යන යෝජනාව ආවේ එම කෝරළයේ ම ව්‍යාපාරිකයකු වන මුණසිංහ මහතාගෙනි. මාද සියනෑ කෝළයේ ම අයෙකි.

තිර රචනය සඳහා ම විසින් තෝරා ගන්නා ලද්දේ ‘රසඳුන’ පුවත්පතේ නිර්මාතෘ ධර්මසිරි ගමගේ මහතා ය. එතුමා කලා ලෝකයේ කාගේත් වැඩිමහලු සොයුරා ය.

ධර්මේ අයියා මා ඇසුරු කරන්නේ මගේ තරුණ කාලයේ සිට ය. අත්තිකාරම් මුදල් දී ගිවිසුම අත්සන් කරන ලද්දේ බෙල්ලන්විල මහා විහාරයේ විෂ්ණු දේවාලය තුළදීය. ඒ ධර්මේ අයියාගේ අදහසක් අනුවය ය.

‘වදුල’ සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිත සඳහා මාලනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, රත්නාවලී කැකුණවල, දයා තෙන්නකෝන් හා ප්‍රැන්සිස් වන්නිආරච්චි තෝරා ගන්නා ලදි. උප ප්‍රධාන චරිතයක් ම’ විසින් ද නිරූපණය කරන්නට යෙදුණි. ඉතා ලස්සන ගැමි කතාවකි. මෙම නවකතාවේ උච්චම අවස්ථාව වන රන්මලී පැහැගෙන යෑම අවසානයේ අතීත ආවර්ජනයක් ‍ලෙස යෙදවීමට මට නිෂ්පාදකගෙන් අවසර නොලැබිණ. මට ඇතිවූ සිත්තැවුල අදත් එසේ ම ය. මා තුළ ඇතිවූ කම්පනය, දුක තරහක් බවට පත්විය.

සිදුකරන ලද අසාධාරණය වෙනුවෙන් මම මගේ හඬ දැඩි ලෙස ප්‍රහාරයක් ලෙසින් ඉදිරිපත් කළෙමි. මගේ ප්‍රකාශය අධ්‍යක්ෂවරයාගේ සහ නිෂ්පාදකවරයාගේ සම්බන්ධය පුළුල් කිරීමට සමත් විය. සාර්ථක චිත්‍රපටයක්. ‘වදුල’ අති සාර්ථක එකක් බවට පත් කිරීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේ ය.

මේ වේදනාකාරී බාධාව මට අදෘශ්‍යමාන ආශිර්වාදයක් විය. “මම කොහොම හරි තනියම නිර්මාණයක් කරනවා යන” ධනාත්මක අධිෂ්ඨානය සිත තුළ තහවුරු කර ගත්තෙමි.

එතැන්පටන් ඒ සඳහා ම මම උත්සුක වූයෙමි. නිෂ්පාදකවරයා සමඟ ඇතිවූ සිත්තැවුල නිසා නිෂ්පාදන කටයුතු ප්‍රමාද වීම සිදු විය. රූපගත කිරීම් නැවතුණි. කරන ලද දර්ශන මා සංස්කරණය කොට එම චිත්‍රපටයේ කටයුතු නිම කළෙමි. ඒ අතරතුර ‘අධිෂ්ඨානය’ චිත්‍රපටයේ නිර්මාණයට අවශ්‍ය කටයුතු සම්පාදනය කළෙමි.

‘වදුල’ ට කලින් ‘අධිෂ්ඨානය’ චිත්‍රපටය තිරගත විය. ශ්‍රී ලංකාවේදී ‘අධිෂ්ඨාන’ චිත්‍රපටය ප්‍රදර්ශනයට ප්‍රථම ජර්මනියේදී සහ එංගලන්තයේදී ප්‍රදර්ශනය කිරීමට තරම් මම ශක්තිමත් වූයෙමි.

ම’විසින් කරන ලද උසස් ම චිත්‍රපටය ‘අධිෂ්ඨානය’ බව විචාරක හා රසික මතය විය. OCIC සිනමා සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපට දෙක ලෙසින් නිර්දේශිත වූයේ සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මියගේ “ගැහැනු ළමයි” චිත්‍රපටය සහ ‘අධිෂ්ඨාන’යයි. එම වසරේ හොඳම චිත්‍රපටය වූයේ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය වුවද, හොඳම තිර රචනය සහ හොඳම සහාය නළුවා යන සම්මාන දෙක ම දිනා ගත්තේ ‘අධිෂ්ඨාන’ චිත්‍රපටය විසිනි.

‘අධිෂ්ඨාන’ චිත්‍රපටයේ ආරම්භය දුෂ්කර විය. මැද කාලය සුන්දර විය. අග කාලය ඉතා කටුක විය. දයා ආනන්ද රණසිංහ මගේ මිතුරෙකි. ඔහු පුවත්පත් කලාවේදියෙකි. අප දෙදෙනා නිතර හමුවන මිතුරන් ය. හමුවන විට කතාකරන මාතෘකාව සිනමාව මිස වෙන විෂයක් නොවේ.

මේ හමුවීම් වලදී දයාට එංගලන්තයට ගොස් පදිංචි වීමට අවශ්‍ය බව පැවසුවේ ය. ඒ සඳහා වීසා ලබා ගැනීමට මුදල් අවශ්‍ය විය. ඒ බව මට ඔහු ප්‍රකාශ කළේ ය. කෙසේ හෝ මගේ මිතුරාට අවශ්‍ය මුදල් සොයා දිය යුතුය යන සිතුවිල්ලේ මම නිමග්න වූයෙමි. දිනක් දයා, තමා විසින් රචනා කරන ලද තිර නාටකයක් ජාතික චිත්‍රපට සංස්ථාවෙන් අනුමත කර ඇති බව කීවේ ය.

කිසිවකුට එය විකුණා මුදල් ලබා ගැනීමට හැකිදැයි යන ප්‍රශ්නය මතු විය. විදුලියක් මෙන් මගේ සිතට ඒ තිරකථාව වහා කියවිය යුතු යැයි තහවුරු විය. ඒ තිර නාටකය වෙන එකක් නොව ‘අධිෂ්ඨාන’ යයි. මගේ සිත තදින් බැඳ ගත්තේ ය. එහෙත් සංශෝධන කිහිපයක් කළ යුතු බවත්, දෙබස් තවදුරටත් පෝෂණය කළ යුතු බවටත් කළ යුතු ය ය න්න සිත තුළ කිඳාබැස්සේ ය. මෙම තිරනාටකය මිලදී ගැනීමට ඒ මොහොතේ මා සතුව මුදල් නොවී ය.

මගේ මිතුරකු සොයා ගොස්, ඔහුට අවශ්‍යතාව පවසා ණයට මුදල්ගෙන දයාට දී තිර නාටකයේ අයිතිය මා වෙත පවරා ගත්තෙමි.

දයා ආනන්ද රණසිංහයන්ට එංගලන්තය බලා යාමට ඔහුගේ නිර්මාණශීලීත්වය උපකාර විය. මිතුරකු වශයෙන් ඔහුගේ අවශ්‍යතාවය ඉටුකරදීඹටත් මට හැකි විය.

මගේ බිරියට අයත් ඉඩමක් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට උකස් කොට මුදල් ලබා ගත්තෙමි. බිරියගේ පියාණන් වන ආදරණීය බී.පී, කාරියප්පෙරුම මහතාගෙන් තවත් අවශ්‍ය මුදල් ලබාගතිමි.

රූපගත කිරීම් සිදු කරන ලද්දේ පැල්මඬුල්ල රජමහා විහාරය සහ ඒ අවට ප්‍රදේශවලදීය. වර්තමාන ශ්‍රී පාදස්ථානයේ නායක හිමිපාණන් වන අතිපූජ්‍ය බෙංගමුවේ දම්මදින්න හිමිපාණන් මෙම චිත්‍රපටය නිෂ්පාදනයේ දී කළ අනුග්‍රහය අති මහත් ය. ප්‍රධාන චරිත නිරූපණය කරන ලද්දේ ජේ.එච්. ජයවර්ධන, සුගත් සමරකෝන් සහ නදීකා ගුණසේකර විසිනි.

සුගත් සමරකෝන්ගේ ප්‍රථම සිනමා රඟපෑම ‘අධිෂ්ඨාන’ චිත්‍රපටයෙනි. උප ප්‍රධාන චරිතයන් සඳහා විමල් කුමාර ද කොස්තා, තිස්ස උඩංගමුව, රන්මලී ගුණසේකර, ලොයිඩ් වාකීස්ට, රින්ස්ලි වීරරත්න, රත්නා සුමනපාල, මියුරි සමරසිංහ, නවනන්දන වි‍ෙජ්සිංහ, රාජා සුමනපාල, නෙළුම් කළුබෝවිල, වේහැල්ලේ පියතිලක, රංජිත් දයානන්ද තෝරාගන්නා ලදී. ළමා චරිත සඳහා දර්ශන පනන්ගල, කසුන් මදුරසිංහ සහ විද්‍යා ද සේරම් ය. කැමරා අධ්‍යක්ෂණය චන්ද්‍රලාල් මනමේනද්‍රගෙනි. වේෂ නිරූපණය ඩේරික් ද සිල්වා ය.

සහායක වූයේ චන්ද්‍රසිරි රාජපක්ෂය. සංස්කරණය ජයතිස්ස දිල්ලිමුණු ගෙනි. සහාය අධ්‍යක්ෂවරයා වූයේ රංගන ශිල්පී ජෝ ලිවේරා ය. කලා අධ්‍යක්ෂණය ජෝ දඹුලුගල සමඟින් බන්දුල ඇල්පිටිආරච්චි විසිනි. සංගීත අධ්‍යක්ෂවරයා වශයෙන් මා තෝරා ගත්තේ අන්ධ සංගීතඥයකු වූ වී. හේමපාල පෙරේරා ය. සංගීතය මෙහෙයවන ලද්දේ ප්‍රථම වතාවට මර්වින් පෙරේරා ය. ගී පද රචනා රෝහණ වෙත්තසිංහ සහ තලංගම ප්‍රේමදාස ගෙනි.

පසුබිම් ගායනා සුනිල් එදිරිසිංහ ගෙනි. ම’විසින් ‘මාතර ආච්චි’ චිත්‍රපටයෙන් හඳුන්වා දුන් මගේ සොයුරු සුනිල් එදිරිසිංහයන් පළමු වරට ජනාධිපති සම්මානයකින් හොඳම ගායකයාට හිමි සම්මානය ලද්දේය.

 

ලබන සතියට 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.