සිනා කතා | සිළුමිණ

සිනා කතා

කේන්ති යන්නෙ නැද්ද

‘‘මට නං මේ ජාත්‍යන්තර දින පේන්ඩ බැහැ. ඕවා කිසි වැඩකට නැති, අපිව අමාරුවේ දාන බොරු වැඩ ‘‘ තමා වෙත පැමිණි ඩෙන්සිල් විසින් පිරිනැමූ ආරාධනා පත්‍රය කියැවීමෙන් අනතුරුව මොහොමඩ් නානා කීවේ කේන්තියක් පෙන්වමිනි.

‘‘ඇයි බොස් එහෙම කියන්නෙ. ජාත්‍යන්තර වැඩිහිටි දිනයයි, ළමා දිනයයි දෙකම එකට යෙදිලා තියෙන හින්දා මේකෙ විශේෂත්වයකුත් තියෙනවානෙ. ඉතින් ඇයි බොස් ජාත්‍යන්තර දින පේන්ඩ බැහැ කියල කියන්නෙ. ‘‘ ඩෙන්සිල් ඇසුවේ මොහොමඩ් නානාගේ ප්‍රතිචාරය පිළිබඳව විමතිය පළකරමිනි.

‘‘ඇයි බං මගේ වයිෆ් ඩ්‍රයිවර් එක්ක පැනලා ගියේ ජාත්‍යන්තර කාන්තා දිනයක් දවසකනෙ‘‘ මොහොමඩ් නානා කීවේ කෝපයෙන් දත්මිටි කමිනි.

සිතුවිල්ලක තරම

‘‘උඹ දැන් පැය දෙක තුනක් තිස්සේ පොත් ප්‍රදර්ශනය බැලුවනේ.ඒත් උඹේ අතේ එක පොතක්වත් නැහැනෙ. ඇයි උඹට පොතක් පතක් මෙතැනින් මිලදී ගන්ඩ හිතුණේ නැත්තෙ.‘‘ පොත් ප්‍රදර්ශන භූමියේ වූ අවන්හලකින් තේ කෝප්පයක රස බලමින් සිටි වසන්ත , බන්දුල දෙස බලා විමසුවේ තරමක විමතියකිනි.

‘‘ නෑ...... එතකොට මේ පොත් ප්‍රදර්ශනය කරල තියෙන්නෙ විකුණන්ඩත් එක්කද? ඒක මම දන්නෙ නැහැනෙ.මම හිතුවේ ප්‍රදර්ශනය කියල තියෙන්නේ පොත් පෙන්නනවා විතරයි කියලනෙ‘‘ බන්දුල කීවේ තම කට මෙන්ම දෑස් ද අයා ගනිමිනි.

හරි නේන්නං

‘‘මම දැක්කා ප්‍රොෆෙසර් ඉරිදා පත්තරේකට කියල තියෙනවා සාර්ථකත්වය උදෙසා කැපවීම අත්‍යවශ්‍යයි කියලා‘‘ තම හිතවත් ප්‍රකට මහාචාර්යවරයකු හමුවීමට ගිය සරත් ඔහු සමඟ ආගිය තොරතුරු කතාබස් කරමින් සිටියදී පැවසීය.

‘‘ඉතින් මම කිව්ව දේ හරි නේද සරත්‘‘ මහාචාර්යවරයා තම හිතවතා දෙස බලා සිනාසෙමින් ඇසිය.

‘‘ අපොයි ...හරි නේන්නං. එහෙම කැපවුණු හින්දනෙ ප්‍රොෆෙසර්ට වයසට ගිහිල්ලත් අයෙත් කසාදයක් බඳින්න පුළුවන් වුණේ.‘‘

ඒක තමයි හොරේ

අලුත බැන්ද ජෝඩුවක් ඉන්න ගෙදරක කාමරේ ජනේලෙ කිට්ටුව තියෙන අල්ලපු වත්තේ පොල් ගහකට නැගපු මිනිහෙක් පොල් කඩන එක පැත්තකින් තියලා ගහ මැද ඉඳන් අර ජෝඩුවගෙ පෙම්බස් වලට ඇහුම්කන් දීලා ඉන්නකොට පොල්ගහෙන් වැටිලා කොන්ද කඩාගෙන කියල මේ පත්තරේ තියෙන්නෙ. සාලයේ පුටුවක දිග ඇදී පත්තරයක් කියවමින් සිටි ශාන්ති සාලයේ කෑම මේසය ඉදිරිපිට වාඩි වී කිසිවක් ලියමින් සිටි තම සැමියා දෙස බලා කීවාය.

“ඔය බලපංකො යෝදියේ ඉතින් පොල්මිල මේ තරං ගණන් යන එක අහන්නත් දෙයක්ද ? තම ලිවීම නැවතූ චන්ද්‍රසිරි කීවේ පරළ වෙමිනි.

සරණාගතයෙක් ද..?

රෝහිණී, ඔයා තනියම ජීවත් වුණාට හොඳට ගෙයක් දොරක් තියාගෙන කාටවත් අත නොපා ජීවත්වෙන කෙනෙක් නේ. ඉතින් එහෙම කෙනෙක් කොහොමද අනේ.. සරණාගතයෙක් වෙන්නේ ? පෝ දින ගමේ විහාරස්ථානයේ සිල් සමාදන් වී සිටි රූපවතී උදේ දානය වළඳමින් සිටියදී තමා අසලින් යන්නට ආ රෝහිණී දෙස බලා ඇසුවේ කම්මුලට සුරත තබා කම්පා වෙමිනි.

මොකක් ? සරණාගතයෙක් ? ඔය උදේ දානෙත් එක්ක රූපවතී අක්කෙ උඹට අමු කැවුණාවත්ද ? මං කොහොමද බං සරණාගතයෙක් වෙන්නේ ? රෝහිණි කීවේ තම කෝපය මැඩගැනීමට දැඩි උත්සාහයක් දරමිණි.

“ඒක තමයි අනේ මමත් හිතුවේ. එහෙම වෙන්න පුළුවන් යැ. ඒ වුණාට පසුගිය දවස්වල රෝහිණියා සරණාගතයෝ කියලා ටී.වී එකේ දිගටම කිව්වා නොවැ. රූපවතී කීවාය.

අපිට බැරි මොකද?

කොහොමද අනේ දැන් අපි මිනිස්සු ඉස්සරහට ගිහින් වෙදකං කරන්නේ. ඔච්චර ලොකු විභාග මගඩියක් බොහොම සැලසුම් සහගතව කරලා. මහ බාල විදියට අපේ පුතාවත් ඒකට ඈදාගෙන. ඒ ළමයගෙ අනාගතේ විනාස කළේ මේ අපියි කියල මිනිස්සු අපේ මූණට කෙළ ගහන්ඩ වුණත් බැරි නෑ. දොස්තර නෝනා තම සැමියා හට කීවේ මූණ කළුකර ගනිමිනි.

“පිස්සුද ළමයෝ, දැන් ඔය පට්ට හොරකම්වලට චෝදනා එල්ලවුණු අපේ දේශපාලඥයෝ මිනිස්සු ඉස්සරහට ඇවිත් ජනතාව වෙනුවෙන් කතා පවත්වන්නේ. මිනිස්සු ඒවට අත්පුඩි ගහල හුරේ දාන්නෙ. ඉතින් අපිට විතරක් බැරි මොකද ජනතාව අතරට ගිහින් ලෙඩ්ඩුන්ට බේත් කරන්ඩ“. දොස්තර මහතා කීවේ සැහැල්ලු ලෙස සිනා සෙමිනි. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.