අපේ වගවීම තිබිය යුත්තේ ජනතාව සමඟයි | සිළුමිණ

අපේ වගවීම තිබිය යුත්තේ ජනතාව සමඟයි

හේ මෙරට ජාතික ගුවන්විදුලි සේවයෙහි පූරකවරයකු විය. ඔහුගේ හඬෙහි ඇති වෙසෙස් බව නිසාම රාජ්‍යතාන්ත්‍රික හා ජාතික උත්සවවලට ඔහු නැතිවම බැරි අයකු විය. විවිධ තනතුරුවලින් පුදනු ලැබුවද නිහතමානීව සිය කාර්ය සිදු කළේය. නොසලකා හැරිය නොහැකි බැවින් තනතුරක් ලබාදී වරෙක ඔහු අකර්මණ්‍ය කර තැබුවද හේ නොසැලී සිටියේය. හේ වෙනකකු නොව ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වත්මන් අධ්‍යක්‍ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චිය. ජාතික ගුවන්විදුලියේ වර්තමානය පිළිබඳව අපි ඔහු සමඟ මෙසේ දොඩමලු වුනෙමු,

රටකට ජාතික ගුවන්විදුලි සේවාවක් අවශ්‍ය වන්නේ කුමන පදනමකින්ද?

ගුවන්විදුලිය ආරම්භ කරන අවධියේ තිබුණ තනි එකාධිකාරයට වඩා අද පවතින තරගකාරී මාධ්‍ය රටාව දෙස බලන කොට එදාටත් වඩා අද ජාතික ගුවන්විදුලි සේවාවක අවශ්‍යතාව දැඩිව ඉස්මතු වෙමින් පවතිනවා. ගුවන්විදුලි මාධ්‍ය පවත්වාගෙන යනු ලබන ක්‍රම දෙකක් තිබෙනවා. ඉන් පළමු වැන්න මහජන ගුවන්විදුලි සේවාවක් ලෙස කටයුතු කිරිම. අනෙක වානිජ ගුවන්විදුලි සේවාවක් ලෙස කටයුතු කිරීම. මේ භාවිතාවන් දෙක ඉතාම පැහැදිලිව මාර්කෝනි බ්‍රිතාන්‍යයේ මහජන ගුවන්විදුලිය පටන්ගන්න කොටත්, ඇමරිකා එක්සත් ජනපදයේ වාණිජ ගුවන්විදුලි සේවාවන් පටන්ගන්නකොටත් බෙදල ඉරිගහල වෙන් කරල ලෝකෙට පෙන්වා දී තිබුණා. ඒවගේම යුනෙස්කෝ සංවිධානයත් මේ සඳහා නිර්ණායකයන් අටක් හඳුන්වා දී තිබෙනවා.

මහජන ගුවන්විදුලියක පරමාර්ථය වෙන්නේ ජනතාවට නිවැරදිව, නිරවුල්ව හා මහජන සුභසිද්ධියට අදාළවන තොරතුරු සම්ප්‍රේෂණය කිරීමයි. වාණිජ ගුවන්විදුලියක පරමාර්ථය වෙන්නේ ලාබ ඉපයීමයි. ඒ සඳහා ඔවුන් ඕනෑම දෙයක් කරන්න ලෑස්තියි. නමුත් රටේ මහජනතාව මාධ්‍ය තුළින් බලාපොරොත්තුවන දේවල් ටිකක් තිබෙනවා. ඉන් ප්‍රධාන වෙන්නේ නිවැරදි හා සත්‍ය තොරතුරු දැනගැනීමයි. එලෙස තොරතුරු ලබාගැනීමේදී වඩා වගකීම් සහගතව ඒදේවල් දැනගැනීමට හැකි මාධ්‍යක් ඔවුන් අපේක්ෂා කරනවා. ඒ සඳහා ජනතාව නිතැතින්ම යොමු වන්නේ ජාතික ගුවන්විදුලිය වෙතටයි. ඒ පදනමින් ගත්තත් ජාතික ගුවන්විදුලියක අවශ්‍යතාව ජනතාවට ඉතාම වැදගත්.

වාණිජ ගුවන්විදුලි සේවාවන් බොහෝවිට තොරතුරු සම්ප්‍රේෂණය කරන්නේ වාණිජ පරමාර්ථයක් ඇතිව. එහිදී මූලික අභිප්‍රාය වෙන්නේ කුමණ හෝ දෙයක් ප්‍රචාරය කර ග්‍රාහකයන් දිනා ගැනීම පමණයි. ඒ අය හිතනවා ග්‍රාහකයින් කැමති මේ මේ දේවල්වලට කියලා. එහෙම හිතලා කාලීන තොරතුරු විදියට ඔවුන් වාර්තා කරන්නේ හදිසි අනතුරක්, සියදිවි නසා ගැනීමක්, හොරකමක්, මීනීමැරුමක්, ස්ත්‍රී දූෂණයක්, උද්ඝෝෂණයක්, භීෂණකාරී තත්ත්වයක් ආදී දේවල්. මේ දේවල් පෞද්ගලික මාධ්‍ය තුළ නිරන්තරයෙන් විකාශනය කරන්නේ ඒ නිසයි. මේවා සමාජය තුළ පවතින විවිධ විලෝපනයන්. එනමුත් රටක ජනතාවට තවත් තොරතුරු අවශ්‍යයි. ඒ මිනිස්සුන්ගෙ ජීවිතය වඩාත් අර්ථවත් කර ගන්න, යහපත් කර ගන්න (Quality of Life) ඒ සඳහා අවශ්‍ය තොරතුරු තිබෙනවා. එතකොට මේවා කවුද ජනතාවට ලබාදෙන්නේ? කියන ප්‍රශ්නය අද අප හමුවේ තිබෙනවා.

උදාහරණයකින් පැහැදිලි කළොත්, අපි දන්නවා පත්වන සෑම රජයක්ම ජනතා සුභසිද්ධියට හේතුවන විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා කියල. නමුත් මේ සඳහා පෞද්ගලික මාධ්‍යක ඉඩවෙන්වෙන්නෙ ඉතාම සුළු වශයෙන්. ඇතැම් අවශ්ථාවක මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තියක් නොවන එහෙත් ජනතාවට වඩාත්ම වැදගත්වන ඵළදායී ප්‍රවෘත්තියක් තියෙන්න පුලුවන්. අන්න ඒ වැදගත් ප්‍රවෘත්තිය සොයාගෙන කවුද ජනතාව අතරට ගෙනියන්නේ. අන්න එතනදි තමයි ජාතික මාධ්‍යක අවශ්‍යතාව වඩාත්ම කැපී පෙනෙන්නේ.

නමුත් පසුගිය කාලය අරන් බැලුවොත් ජාතික මාධ්‍යයක් විදියට ඔබ ආයතනය ඒ වගකීම නිසි අයුරින් ඉටු කළාද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. විශේෂයෙන්ම මැතිවරණ සමයේ?

ඔබ මතු කරන කාරණාව ඉතාම වැදගත්. පසුගිය දශක කිහිපය අරන් බැලුවොත් අපිට පේනවා මේ ආයතන විශාලවශයෙන් දේශපාලනීකරණය වුණා. පසුගිය දශකය ගත්තොත් මෙය ඉතාම නින්දිතම අඩියකට වැටුණා. ඒක ජනතාවගේ භාෂාවෙන් කියනව නම් මුළුමණින්ම ආණ්ඩුවේ හොරනෑව බවට ජාතික මාධ්‍ය පත් වුණ යුගයක්. මේ තත්ත්වය මෙතෙක් පැවති ආණ්ඩු යටතේ අඩු වැඩි වශයෙන් සිදු වුණත්, පසුගිය රජය කාලයේ එම තත්ත්වය දරුණු වුණා.

නමුත් ඒකෙන් මම අදහස් කරන්නෙ නැහැ ජාතික මාධ්‍ය තුළින් ආණ්ඩු කරන කියන දේවල් වාර්තා නොකළ යුතුයි කියලා. එහෙම නොකරනව නම් කොහොමද ජනතාව ඒ දේවල් දැන ගන්නේ. අපි උදාහරණයකට ගනිමු ආණ්ඩුවෙන් සුළුපරිමාණ ව්‍යවසායකයින්ට සහන පෝලී ක්‍රමයක් යටතේ හෝ පොලී රහිතව හෝ ණය මුදලක් දෙනව කියල. මේ පිළිබඳව ජාතික මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කළ යුතුයි. නැති නම් කොහොමද ඔවුන් මෙය දැනගන්නේ. පෞද්ගලික මාධ්‍යක එවැනි කරුණක් ප්‍රචාරය කළත් ඒ ඉතාම සුළු වශයෙන්. එමගින් ජනතාවට පුළුල් අවබොධයක් ලබාගන්න බැහැ. එහෙම කරනව නම් ඒ සඳහා වෙනම මුදලක් වැය කර දැන්වීමක් පළකිරීමට ආණ්ඩුවට සිදු වනවා. එවිට ඒ සඳහා වැය කරන්නට සිදු වන්නේ මහජන මුදල්. ඒ නිසා ආණ්ඩුවේ හොරනෑවක් නොවී ජනතාවට වැදගත් ආණ්ඩුව සිදු කරනු ලබන මහජන සුභසිද්ධියට අදාළවන දේවල් ප්‍රචාරය කිරීම අපේ වගකීමක්. එය එකොහෙත්ම ආණ්ඩුවට කඩේ යාමක් වන්නේ නැහැ. අපි පසුගිය කාලයේ ජාතික මාධ්‍ය තුළින් දැක්කේ එවැනි භූමිකාවක් නෙවෙයි. ඊට හාත්පසින්ම පරස්පර විරෝධී පිළිවෙතක්. අපි ඒ තත්ත්වය තේරුම් අරන්, විශේෂයෙන්ම නව සභාපතිතුමාත් මමත් අධ්‍යක්ෂක මණ්ඩලයත් වෙනස්කම් ගණනාවක් ආයතනය තුළ ඇති කර තිබෙනවා.

තරගකාරී සමාජ වටපිටාවක ජීවත්වන ජනතාවක් විදියට ඔවුන්ට පොතක් පත්තරයක් බලන්න තියෙන නිදහස අඩුයි. මේ නිසා ඔවුන් තොරතුරු ලබාගන්නේ යන එන මඟතොටේදි. ඒ කියන්නෙ ඔවුන්ගේ සිතන අවකාශ පුරවන්නේ ශ්‍රව්‍ය ද්‍රෘෂ්‍ය මාධ්‍යයන්. ඊට ඍජුව බලපෑම් කළ හැකි එක් මාධ්‍යයක් වෙන්නේ ගුවන්විදුලිය. නමුත් අපිට පෙනෙන්නේ හරසුන් වාගාලාපවලින් මේ අවකාශය අරක්ගෙන තිබෙන ආකාරයයි?

ඔබ ඉතාම වටින ප්‍රශ්නයක් මතු කළේ. අපි බසයක ගියත් මහමඟ රැඳී සිටියත් අප අවට විකාශනය වන ගුවන්විදුලි නාලිකා අපට ශ්‍රවණය වනවා. ඔබ කියන හිතන අවකාශයට බලපෑමක් වෙන්නෙ මේ ශ්‍රවණය වන වැඩ සටහන් හරහායි. ගුණාත්මක හා යහපත් පරිවර්ථනයකට ශ්‍රාවකයා එමඟින් යොමු නොවනව නම් එතන ගැටළුවක් තිබෙනවා. නමුත් ජාතික ගුවන්විදුලිය විදියට අපි අපේ වගකීම බැරෑරුම්ව තේරුම් අරන් කටයුතු කරන්න බොහෝ සෙයින් කැප වෙනවා. ඒ නිසා තමයි අදටත් හරවත් වැඩසටහනක් ගීතයක් අහන්න පාසල් දරුවන්, විශ්වවිද්‍යාල සිසුසුසුවියන්, වැඩිහිටියන්, විවිධ වෘත්තිකයන් ගුවන්විදුලිය සුසර කරන්නේ. ඒක අපි කියල කරපු දෙයක් නෙමෙයි. අපේ වැඩසටහන්වල ගුණාත්මක භාවය නිසා සිදු වන දෙයක්. නමුත් මේ තත්ත්වය ලාබ ඉපයීම අරමුණු කරගත් ගුවන්විදුලි නාලිකා තේරුම් අරන් කටයුතු කරනවද කියන එක ප්‍රශ්න කළ යුතු වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන් කැමති අදහසක් මතයක් ඉදිරිපත් කරන්න නිදහස තිබුණ පලියට කටට එන ඕන දෙයක් කියන්න ඕන කියල ඒකෙන් කියවෙන්නේ නැහැ. ඒවගේම වාචාල කම තිබුණ කියල හොඳ පූරකවරයෙක් වරියක් වෙන්නේ නැහැ. ඊට හොඳ පුහුණුවක් අධ්‍යනයක් අවශ්‍යයි.

රටක් සමාජයක් ඉදිරියට යන්නේ දියුණු ආකල්පවලින් පෙහොසත් වුණොත් පමණයි. ඒ සඳහා මේ අවකාශය වගකීමකින් අපි යොදාගන්නවද කියන ප්‍රශ්නය අපි අපෙන්ම ඇසිය යුතුයි. මොකද ඕනෑ තරම් අද රටේ ගුවන් විදුලි නාලිකා ටෙලිවිෂන් නාලිකා තිබෙනවා. නමුත් අපි අහන්න ඕන මොකක්ද කියල අපට තීරණය කරන්න ලැබෙන අවස්ථාවෙදි අපි තෝරගෙන තියෙන්නෙ හරිදේද කියල අපි අපෙන්ම අහන්න ඕන.

නමුත් අද බොහෝදෙනා පෙළඹිලා ඉන්නේ කටකම සිරියාවක් නැතිව දෙඩවන හිස් වගාලාපවලට කන්දිගෙන ඉන්නයි. අපි කැමති වුණත් අකමැති වුණත් බස්වලින් අපට ඇහෙන්නේ ඒ දේවල්. මේක යි අහන්න ඕන කියලා අපට ඔවුන්ට බල කරන්න බැහැ. නමුත් අපිට මේ අය දිනා ගන්න යමක් කළ හැකියි නේද? නව පාලකයින් විදියට මොනවද ඒ සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග?

ඇත්තටම කියන්න සතුටුයි වත්මන් සභාපතිවරයා ඉතාම සහයෝගයෙන් කටයුතු කරන අනෙක් අයගේ අදහස්වලට ඇහුම්කම්දෙන නිරන්තරයෙන් දැනුමින් යාවත්කාලීනවන පුද්ගලයෙක්. ඔහු සමාජ මාධ්‍ය ජාල හරහා විශේෂයෙන්ම මුහුණු පොත, ට්විටර්, බ්ලොග්..වගේ දේවල් එක්ක වැඩ කරන කෙනෙක්. ඒ නිසා තරුණ සමාජයේ සිතුම් පැතුම් ගැන හොඳ ඉවක් ඔහුට තිබෙනවා. අපි දෙන්නා කතා බහ කරල අධ්‍යක්ෂමණ්ඩලයේ අදහස් උදහස් විමසල අලුත් වැඩසටහන් කිහිපයක්ම සිටි එෆ් එම් සේවය හරහා හඳුන්වා දුන්නා. ‘කැෆේ කයිවාරු’, ‘ඔන්ලයින් ජීවිතේ’, ‘පරමාධිපත්‍ය’, ‘අහස්ගව්ව’, ‘කලාබර හැන්දෑව’...ඉන් සමහරක්.

‘කැෆේ කයිවාරු’ කියන වැඩසටහන ෆේෂ් බුක් එකේ ඇතැම් අය තබන වැදගත් සටහන් ප්‍රකාශ උපයෝගී කරගෙන ඒ පිළිබඳව විමසමින් සිදු කරන වැඩසටහනක්. ‘ඔන්ලයින් ජීවිතේ’ කියන වැඩසටහනින් කරන්නේ ෆේෂ්බුක් එකේ ලියන නිසදැස්, කවි, සාහිත්‍ය, කලාව,දේශපාලනය ආදී නොයෙක් දේ පිළිබඳව ඇගයීම. ‘අහස්ගව්ව’ කියන්නේ චිත්‍රපට ගැන අලුත් විදියේ වැඩ සටහනක්. මේ සියලු වැඩ සටහන් අපි අලුතින්ම නිර්මාණය කරපුවා. මේ හරහා අපිට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.