නිමා කරනු මිස වැඩ ඇති තමා අත පමාවට කරුණු මට වුවමනා නැත | Page 2 | සිළුමිණ

නිමා කරනු මිස වැඩ ඇති තමා අත පමාවට කරුණු මට වුවමනා නැත

ඉහත සඳහන් කියමනෙහි අයිතිකරු ශ්‍රී ජවහර්ලාල් නේරු මැතිඳුන් ය. ඇතැම් අය බෑ කියමින් වැඩ පැහැර හරිති. තවත් අය හා කියා වැඩේ බාරගෙන කෝඳුරු තෙල් ඇබින්දක් සොයමින් කල් මරති. කලාතුරකින් කෙනෙක් ඔව් කියා කාරිය බාරගෙන සිතුවාටත් වඩා හොඳින් එය නිමා කරයි. ජවහර්ලාල් නේරු මැතිඳුන්ගේ උක්ත කියමන මේ අවසානයට කී අයට අදාළ නොවේ.

තමා සතු කාර්යබාරය නිසි ලෙස ඉටු කරන පුද්ගලයා වීරයෙකි. ඔහු අන් සියල්ල පසෙක ලා තමා කෙරෙහිම විශ්වාසය තබා වැඩ කරගෙන යන විට බාධක පවා සාධක බවට පරිවර්තනය වේ. එහෙත් බොහෝ දෙනා වැඩ අතපසු කිරීමට හෝ පැහැර හැරීමට හෝ කේන්දරයට මුවා වෙන අවස්ථා අප දැක ඇත.

මේ කාලේ ටිකක් අසුබයි.... කෙනෙක් කියයි. ඒරාෂ්ටකේ නිසා පැත්තකට වෙලා ඉන්න එක හොඳයි, යැයි තවත් කෙනෙක් සිතයි. ඒ වැඩේ නොකර සිටින්නට කේන්දරයට මුවාවෙන ආකාර දෙකකි.

එහෙත් කෙනෙක් ඒරාෂ්ටක හෝ යම් අසුබ කල දසාවක් ගෙවන්නේ නම් ඔහු වෙනදාටත් වඩා වෙහෙස-මහන්සි වී ආහාර-සැප පහසුව නෙතකා ක්‍රියා කළ යුතුය. එය අපල දුරලන ප්‍රත්‍යක්ෂම ශාන්තිකර්මය බව මතක තබා ගත යුතුය.

සුබ විහරණය නොසලකා අහරක් නින්දක් හෝ නිස්කාංසුවක් හෝ නොලබා වැඩකරන පුද්ගලයාට ඇතැම් විට සමාජයෙන් නින්දා- අවලාද අපහාස-උපහාස යනාදියද එල්ලවේ. දුක් විඳිමින් කොතෙක් වැඩ කළත් සාධාරණ වේතනයක් පවා එම පුද්ගලයාට නො ලැබෙන්නට පුළුවන. එහෙත් ඔහු තමාට පැවැරණු කාර්ය බාරය නිසි ලෙස ඉටු කිරීමට අනවරත උත්සාහයක යෙදීය යුතුය. මෙවිට සිදුවන්නේ කුමක්ද? ඔහු බාර ගත් කාර්යය නිමාවන විට අපලයද ගෙවී ගොස් තිබීමය. අන්න එවිට ඔහුට තම අතීතයේදී කළ මෙහෙයට සුබ ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගනී. දුක් විඳීමෙන් තොරව නියම සැපක් ලැබිය නොහැකි බව ගැමියන් කියන්නේ මේ කථාව මනාව පසක් කොට ගෙන ඇති නිසාය.

සෙනසුරු ඒරාෂ්ටක කාලයක් නම් ප්‍රවීණ ජොතිෂවේදියෙක් තම සේවා දායකයාට යෝජනා කරන්නේ මහත්මයා දැන් ඉතින් ගෙයක් හදන්න පටන් ගන්න කියාය. ඒ කීමට අනුව අලුතින් නිවෙසක් ඉදිකිරීමට පටන් ගතහොත් ලත් තැනම මතුව එන්නේ බාධක හිරිහැරය.

මේ සියල්ල මැඬගෙන කුසට නොකා නිදි වරමින් කෙසේ හෝ නිවෙස ඉඳිකිරීමට වෙහෙසෙන පුද්ගලයාට සිදුවන්නේ තමා සතු කාලය සහ ධනය යන සියල්ලම මේ වෙනුවෙන් වැය කිරීමටය. මෙසේ වසර කිහිපයක් කායිකවද, මානසිකවද වෙහෙසෙන පුද්ගලයා තම අපල කාලයද ගෙවා දමයි. අපලය හමාර වන විට ඔහු නව නිවෙසක සාඩම්බර උරුමක්කාරයෙකි. අපල-සපල කර ගන්නේ එහෙමය. අපල දුරු කර ගැනීමට ඇති හොඳම පිළියම වන්නේ තමා සතු සියල්ල කැප කරමින් එ් වෙනුවට කිසිවක් බලාපොරොත්තු නොවී වැඩ කිරීමය. ජවහර්ලාල් නේරු තුමා උක්ත උපදේශනය දෙන්නේ ලෝකයද තමාද ලස්සන කරවන දිරියවන්ත මිනිසුන්ටය. වෙහෙස නොබලා තම අරමුණ ජය ගැනීමට වැඩකරන මිනිසා දුටු විට ග්‍රහයෝද පැකි‍ෙළති.

Comments