මඟුල් නැකත වරද්ද ගත්තොත් මැරෙනතුරුම ගැලවුමක් නෑ | Page 2 | සිළුමිණ

මඟුල් නැකත වරද්ද ගත්තොත් මැරෙනතුරුම ගැලවුමක් නෑ

කුමන හෝ සුබ කාර්යයක් ආරම්භ කිරීමේ දී ඒ සඳහා සුබ මුහුර්ථයක් යොදා ගැනීම බහුතරයක් වූ ජනතාව සම්ප්‍රදායක් ලෙස අනුගමනය කරයි. උපන්දා සි‍ට කේන්දරය නොබැලූ අය ද ජ්‍යෙතිෂය පිළිබඳ කිසිඳු විශ්වාසයක් නොමැති අයද, තමාගේ හෝ තම පවුලේ කෙනෙකුගේ හෝ විවාහ නැකැත් විෂයෙහි වන චාරිත්‍ර වාරිත්‍ර සුබ මුහුර්ථ අනුවම සිදු කරන බව ප්‍රායෝගිකව දන්නා කරුණකි.

විවාහ නැකැත පලදීම කෙසේද යත් දෙදෙනා එකට ජීවත් වනතුරු එහි බලපෑම සෘජුවම ඔවුන් දෙදෙනාට බලපායි. කෙනෙකුගේ වියෝවක් හෝ දික්කසාදයක් වී දෙදෙනා දෙපොළක ජීවත් වනතුරාවට මෙම විවාහ නැකැතේ බලපෑම වක්‍රාකාරව හෝ ක්‍රියාත්මක වෙයි.

පොරොන්දම් පරීක්ෂාකර සමස්ත ගැළපීම සුබ වුවත් විවාහ අසාර්ථක වූ පිරිස් ද කිසිදු පොරොන්දමක් නොබලා විවාහ වී ජීවිතය අතිසාර්ථක කරගත් පිරිස් ද සමාජයේ ඉතා පැහැදිලිව හඳුනා ගත හැකිය. මෙවන් විටකදී ජ්‍යෙතිෂය හා යම් විරෝධයක්ද ගොඩනැඟේ. නමුදු ජන්මියාගේ උත්පත්ති බලය, පූර්ව වාසනා බලය හේතු කොටගෙන විවාහයෙන් පසු අතිසාර්ථක ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේ.

එවන් පිරිස් යම් කටයුත්තක් තම හිතුමතයට කිසිදු වෙලාවක් නොබලා කළ ද සාර්ථක ප්‍රතිඵල අත් වනුයේ එම වේලාවන් ඔහුට හෝ ඇයට නිරායාසයෙන් සුබ වේලාවක් බවට පත් වන හෙයිනි. ඒ ඔවුන්ගේ වාසනාව සහ භාග්‍ය (පෙර පින) හේතුවෙන් බව අවබෝධ කර ගත යුතු කරුණකි. නමුත් මේ දෙස බලා සිටින අයත් සුබ වේලාවක් නොබලා කටයුතු කරන්නට යාමෙන් අමාරුවේ වැටෙන්නට හැක.

විවාහයේ දී චාරිත්‍රානුකූලව සියලු වැඩකටයුතු සඳහා නැකැත් යොදා ගනී. නමුත් මඟුල් නැකැත් ලෙස ප්‍රබලතම නැකැත වශවෙන් අද ජ්‍යොතිර්වේදීන් බොහොමයක් ලබා දෙනුයේ විවාහය ලියාපදිංචි කිරීම සඳහාය. මේ දිනය බොහෝ විට පෝරුවේ චාරිත්‍ර සිදු කරනු ලබන දිනයට පූර්ව දිනයක් වෙයි.නමුදු දිනයට අදාළ මඟුල් නැකැත් ක්‍රියාත්මක වනුයේ මනමාලයා නිවෙසින් පිටත්වන නැකැත මූලික කර ගෙනය. එය ප්‍රධාන වන්නේ එතැන් සිට පෝරු මස්තකව තැලිපිළි, බුලත් හුරුලු දීම,ලියාපදිංචියෙන් පසු මනමාලිය කැඳවාගෙන ඒම හෝ මනමාලියගේ නිවෙසේ නතර වීම හෝ සිදුවන හෙයිනි. එසේ වූ මංගල නැකැත සියලු අංගයන්ගෙන් පිරිපූර්ණ විය යුතුය.

දැනට විවාහ මුහුර්ථ සෑදීමේදී භාවිතා නොකරන යෝගයක් 'ජාතක පාරිජාතයේ' මෙසේ දක්වා ඇත.

සම්භෝග කාලයෙහි හිරු කෙරෙන් සත්වැන්නට ගියා වූ කුජ-ශනි දෙදෙනා පුරුෂයා හට ද සඳුගෙන් සත්වැන්නට ගියා වූ ශනි-කුජ දෙදෙනා ස්ත්‍රියට ද රෝග පීඩා පමුණුවන බවයි. කුජ හා ශනි සමඟ එක්වූ රවි අතින් වැඩිපුර ග්‍රහයන්ට පෙනීමෙන් පුරුෂයා හට ද, සඳු මෙලෙස වීමෙන් ස්ත්‍රීන්ට ද මරණය සිදුවන බවයි.

මෙපරිදිම රවි, සඳු පාපකර්තරිය පදනම් කරගෙන මරණය වන අයුරු 'ලඝු ජාතකයෙහි' ද සඳහන් වෙයි.

කුමන හෝ ක්‍රියාවකට විපාක දීමට ඒ සඳහා මාර්ගයක් තිබිය යුතුය. එසේම විවාහයෙන් සුබ අසුබඵල ගෙනදෙන මාර්ගය නැකැත් වෙයි. පූර්වාචාරීන් දක්වා ඇති පරිදි විවිධ වූ දශා ක්‍රම අතුරින් වින්ශෝත්තරී දශා ක්‍රමය අනුව ඉතා නිවැරදි ලෙස කර්ම ඵල තීරණය කළ හැකිය. නමුදු මංගල නැකැත හා සැසඳෙන දශාවත්,හෝරාධිපතියා නියෝජනය කරන දශාවත්, ගැන වැඩි අවධානය යොමු කළ යුතුමය.

Comments