එක්සිය සැත්තෑපස් වස් සපිරි පරමධම්මචේතිය මහ පිරිවෙන | සිළුමිණ

එක්සිය සැත්තෑපස් වස් සපිරි පරමධම්මචේතිය මහ පිරිවෙන

වසර දෙදහසකටද වැඩි කලක් අඛණ්ඩවැ, අවිච්ඡින්නවැ පැවැති ලංකාවේ බුද්ධ ශාසනයත් බෞද්ධ අධ්‍යාපනයත් විදේශ ආක්‍රමණ ආදි හේතු නිසා අතිශයින් පරිහානිගතවැ පවතිද්දී වැලිවිට අසරණ සරණ සරණංකර නාහිමියෝ ප‍හළ වූහ. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයත් උට්ඨාන වීර්යයත් නිසා යළිදු මෙරට ශාසනයේ දීප්තිය ඇති විය. බෞද්ධ අධ්‍යාපනයද ප්‍රබෝධවත්වැ නැඟී ආයේය. ධර්මශාස්ත්‍ර අධ්‍යාපනය අනුක්‍රමයෙන් ලක්දිව පුරා පැතිර යන්නට විය.

මේ ප්‍රබෝධයේ ප්‍රතිඵල ලෙසින් බෞද්ධ පාරිවේණිත සම්ප්‍රදායයේද පුනරුත්ථානයක් සිදු විය. ඒ අනුව බිහි වුණු මෙරට ප්‍රථම නූතන පරිවේණාස්ථානය නම් රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙනයි. එය පිහිටුවා වදාළෝ වලානේ ගණාචාර්ය සිද්ධාර්ථ නායක ස්වාමීහුය.

සිද්ධාර්ථ හිමිපාණන්ගේ ධර්මවිනයධරත්වයත් භාෂා ශාස්ත්‍ර වෛශාරද්‍යයත් ලක්දිව පුරා පැතිර යන කල්හි උන්වහන්සේගේ ඒ මහනීය සේවාව වඩාත් ශක්තිමත්වැ, ප්‍රබලවැ කරනු පිණිස උපස්ථම්භක වීමේ අභිලාෂයෙන් ජෙරානිටුස් සෙනෙවිරත්න, තෙදෝනිස් ප්‍රේරා ජයසූරිය, දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි ආදී ප්‍රභූන් කළ ආරාධනයෙන් උන්වහන්සේ රත්මලානේ රමණීය භූමි භාගයෙක තැනූ පොල් අතු ආවාසයෙක 1841දී වස් වුසූහ. පසුවැ ලංකාවේ ප්‍රථම නූතන පරිවේණස්ථානය ජගත් කීර්තියට පත් මහා බෞද්ධ අධ්‍යාපන ආයතනය වූ පරමධම්ම චේතිය පරිවේණස්ථානය බවට පත් ව‍ූයේ මේ කුඩා ආවාසයයි. එකල්හිම, කුඩා මලසුන් ගෙයක්ද ආවාස කාමර දෙකක්ද මෙහි තනන ලදි.

සිද්ධාර්ථ නාහිමිපාණන්ගේ අප්‍රතිහත ධෛර්යයත් දෘඪ උත්සාහයත් නිසා පුස්තකාලයයක් කුටි සතෙකින් සමන්විත අභිනව ආවාස මන්දිරයත් කුටි 21 සහිත වූ ශිෂ්‍ය නිවාස ‍තුනෙකින් යුතු දැකුම්කලු ගොඩනැඟිල්ලත් තනා 1861දී විවෘත කරන්නට හැකි විය.

මෙසේ ලංකා සම්බුද්ධ ශාසනයට අමරණීය සේවාවක් කළ වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්වාමීන්ද්‍රයෝ 1868 පෙබරවාරි 17 වැනි දින අපවත් වී වදාළහ.

ඉන් පසුවැ හික්කඩුවේ සුමංගල, වලානේ ධම්මානන්ද, සූරියගොඩ සුමංගල, වලානේ සට්ඨිස්සර, ආචාර්ය කලාසූරී මාපලගම විපුලසාර, මඩපාත ධම්මසාර යන හිමිවරු පරමධම්මචේතිය පරිවේණස්ථ විහාරාධිපති ධුරය දැරූහ. සට්ඨිස්සර නාහිමියන්ගේ සමයෙහිදී පිරිවෙන් වෙහෙරෙහි චෛත්‍ය ප්‍රතිෂ්ඨාපනය, පරිවේණාචාර්ය භික්ෂු පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීම ආදි වැදගත් කටයුතු ගණනක් සිදු කැරිණි.

වෙසෙසින් සඳහන් කළ යුත්තේ මාපලගම විපුලසාර අවදියයි. අන්තර්ජාතික කීර්තියට පත් ශ්‍රේෂ්ඨ ධර්මදූතයකු හා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය ද නිර්මාණය කළ ශ්‍රේෂ්ඨ කලාකරුවකු වූ උන්වහන්සේ නිසා පරමධම්මචේතිය පිරිවෙන ලෝක ප්‍රකට විය. නව ගොඩනැඟිලි තැනැවීම, පැරැණි ගොඩනැඟිලි පිළිසකර කිරීම, සංස්කරණ සම්මේලන පැවැත්වීම ආදියෙන් පිරිවෙනෙහි භෞතික - අභෞතික උන්නතිය පිණිස ඉතා උත්කෘෂ්ට සේවාවක් විපුලසාර නාහිමියන් අතින් ඉටු විය.

උන්වහන්සේගේ සිසු මාඉටිපේ ආචාර්ය විමලසාර නාහිමිපාණන් විහාරාධිපති ධුරයට පත් වීමෙන් පසු පෙර පැවැති දීප්තිය යළිදු පිරිවෙන කරා පැමිණි බව දක්නා ලැබේ. පිරිවෙන මුල් කොටගෙන උසස් සේවා රැසක් ඉටු කරන උන්වහන්සේ එහි එක්සිය සැත්තෑ පස් වන සංවත්සරය වෙනුවෙන්ද කටයුතු රැසක් ඉටු කරමින් එය උත්කර්ෂවත්වැ සැමැරූහ.

ආචාර්ය විමලසාර නාහිමිපාණන්ගේ උදාර සංකල්පයක් පරිදි, පරමධම්ම චේතිය පිරිවෙනට අයත් පැරැණිම ගොඩනැඟිල්ල (යට කී පරිදි වලානේ සිද්ධාර්ථ නාහිමියන් මුලින් වැඩ සිටි ආවාසය) මුළුමනින් පිළිසකර කොට නොබෝදා යළි විවෘත කරන ලදි. මෙය පරමධම්මචේතිය පිරිවෙනට පමණක් නොව, ලංකා බුද්ධශාසනයටම ඉතා වැදගත් කටයුත්තක් වන්නේ එහි පවත්නා උත්කෘෂ්ට ඓතිහාසික අගය නිසාය.

රත්මලානේ ආවාසය, පරමධම්මචේතිය පිරිවෙන බවට පත් කරන්නට, විද්‍යෝදය, විද්‍යාලංකාර දෙ-මහ පිරිවෙන අරඹන්නට, ලංකාවේ ප්‍රථම පරිවේණාචාර්ය භික්ෂු අභ්‍යාස විද්‍යාලයය අරඹන්නට සාකච්ඡා පැවැත්වී ඇත්තේ මෙහිදී බව නිසැක ය. එමතුද නොව, කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව පිහිටුවන්නට, ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනය, ලෝක බෞද්ධ සංඝ සම්මේලනය වැනි ශ්‍රේෂ්ඨ සංවිධාන අරඹන්නට පිඹුරුපත් සැකැසුණේ එදවස මේ ගොඩනැඟිල්ලෙහිදීම බවට කවර සැකයක්ද? මෙ‍සේ සලකන කල මේ ගොඩනැඟිල්ල මෙසේ පිළිසකර කොට විවෘත කිරීම ඓතිහාසික සිද්ධියක් සේ සැලැකිය යුතුය‍.

රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙන ප්‍රගතියේ ඉහළටම ගොස් බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල් කඩවැ වැජැඹේ වායි පතමු.

ශ්‍රීනාත් ගණේවත්ත 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.