මහතලා සාහිත්‍ය කලා උත්සවය | සිළුමිණ

මහතලා සාහිත්‍ය කලා උත්සවය

මහතලා සාහිත්‍ය කලා මහෝත්සවය ලබන 11, 12, 13 යන දිනවලදී මාතලේ මහත්මා ගාන්ධි ශාලාවේදී පැවැත්වේ. ඒ පිළිබඳව සංවිධායකයන් දක්වන අදහස් ඇසුරෙන් මේ සටහන සැකසේ.

මාතලේ සාහිත්‍ය ප්‍රබෝධය තවත් ඔපවත් කරමු

• මාතලේ දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, තරුණ පරපුර, වැඩිහිටියන්, සාහිත්‍යකරුවන්, කලාකරුවන්, රසවතුන් සහභාගි කරගෙනයි මහතලා සාහිත්‍ය උත්සවය පැවැත්වෙන්නේ. මේ සියලු දෙනා එක්තැන් කරගැනීමේ විශේෂ අරමුණක් තියෙනවාද?

ඇත්තෙන්ම ඔව්. අපේ එකම අරමුණ මාතලේ ඇති වී තිබෙන සාහිත්‍ය ප්‍රබෝධය තවතවත් ඔපවත් කරගැනීමයි. ඒ වගේම පාසල් ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට මහතලා සාහිත්‍ය උත්සවයේදී ඔහුන්ගේ සහජ කුසලතා වැඩිදියුණු කරගැනීමට අවස්ථාව සැලසෙනවා. ජනවාර්ගික ප්‍රශ්න අපිට ඕනෑ නෑ. දෙමළ සාහිත්‍යයට මහතලා සාහිත්‍ය උත්සවයේ විශේෂ තැනක් වෙන් කළේ ඒ නිසයි.

• මාතලේ සාහිත්‍ය ප්‍රබෝධයට පරිසරයේ බලපෑමක් ඇති වුණා කියලා හිතන්න පුළුවන්ද...?

ඇත්තෙන් ම ඔව්... සාහිත්‍ය ප්‍රබෝධයටම නොවේ. ජීවිතයේ හැමදේකටම පරිසරය වැදගත්. ඇත්තෙන්ම පරිසරය පූජනීයයි. මාතලේ තියෙන්නේ සමශීතෝෂ්ණ වගේම ශුෂ්ක කලාපීය දේශගුණයක්. ජෛව විවිධත්වයත් වැදගත්. ලග්ගල එස්. රත්නායක ශුෂ්ක කලාපයේත්, පියදාස වැලිකන්නගේ වැනි ලේඛකයන් සමශීතෝෂ්ණ කලාපයේත් සාර්ථක නිර්මාණ කළ ලේඛකයන්. ඔවුන්ගේ නිර්මාණ කරණයට පරිසරය හොඳින්ම බලපාලා තියෙනවා.

පළාත් ආණ්ඩුකාරවරිය, ප්‍රධාන ලේකම්තුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය මාතලේ මහ දිසාපතිතුමාගේ නායකත්වය හා උපදේශකත්වය මාණ්ඩලික නිලධාරීන්ගේ සහාය, දේශපාලන නායකත්වයේ ආශීර්වාදය මහතලා සාහිත්‍ය උත්සවය සාර්ථක කරගන්න අතිශයින්ම ඉවහල් වුණා.

මාතලේ අතිරේක දිසාපති ඉෂාන් විජේතිලක


මාතලේ සාහිත්‍ය උලෙළට පෙර ගමන් ගිය මාතලේ සාහිත්‍ය කලා සංසදය

එක් දහස් නවසිය අසූ හතරේ සැප්තැම්බර් මස අට වැනි දින මාතලේ සාහිත්‍ය කලා සංසදය ශ්‍රී පුණ්‍යවර්ධන සමිති ශාලාවේදී උපත ලැබීය.‍ ඒ සමිති ශාලාව ඇත්තේ මාතලේය. සෑහෙන ඉඩකඩ ඇති තැනකි. එහෙත් පැමිණ සිටියේ ටික දෙ‍ෙනකි‍. එකල ඒ පිරිස අතර සාහිත්‍යකරණයට පිවිස සිටියේ මා පමණි. සෙස්සෝ සාහිත්‍ය කලාව ප්‍රිය කළාහු වූහ‍. එතැනදී සභාපති, ලේකම්, භාණ්ඩාගාරික තනතුරුවලට පිළිවෙළින් පියදාස වැලිකන්නගේ, කමල් අලහකෝන්, සිරිල් රත්නායක යන මහත්වරුන් තේරී පත් වූහ. අනතුරට සාහිත්‍යකරණයට පිවිස සිටී. තරුණයන්ට වගකීම භාරදී තනතුරුවලින් ඉවත් වූ බව ද කිව යුතුයි.

සමිති සමාගම් ඇති කරනවාට වඩා පවත්වාගෙන යෑම අතිශයින් දුෂ්කර කාර්යයක් බව කවුරුත් දනිති. ඉන් වඩා දුෂ්කර වන්නේ ලේඛක සංවිධාන සහ කලා සංවිධාන පවත්වාගෙන යෑම යැයි මට සිතේ. මන්දයත් ඒවායේ සාමූහික වෘත්තිය බැඳීමක් නැති බැවින් ය. විශේෂයෙන් සාහිත්‍යකරණයේ පැත්තකට වී හුදෙකලාව කළ යුතු කාර්යයක් මිස සාමූහිකව කළ හැකි දෙයක් නොවේ. අනෙක් අතට ඔහු හෝ ඇය එම කාර්යයෙහි නිරතවන්නේ ජීවන අරගලයකට ද මුහුණ දෙමිනි‍. දිවයිනේ ප්‍රසිද්ධ සාහිත්‍යධරයන් ගෙන්වා අපි ඔවුන්ව දිරිමත් කළෙමු. පසු කලෙක අප සමඟ එක් වූ කේ.බී. මානෑවයන් ද අපේ සංසදයට විශාල ශක්තියක් ගෙන දුන්නේය. ඔහුත් මාත් ලැබූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඊට පිටුවහලක්ද විය. එහි ප්‍රතිඵලය වූයේ අපේ සාමාජික සාමාජිකාවන් අතරින් කිහිප දෙනෙකුම රාජ්‍ය සම්මානයෙන්ද, විජේවර්ධන සහ ගොඩගේ සම්මානයෙන්ද, කලාභූෂණ සම්මානයෙන්ද පිදුම් ලැබීම යි.

ඊට ප්‍රධානතම හේතුව වූයේ අපේ ලේඛක ලේඛිකාවන් සල්ලිකාරයන් නොවීමයි. එය අපට පමණක් නොව ලොවටම පොදු දහමකියි මට සිතේ. සරස්වතී (සරසවි දේවිය) සහ සිරියාවතී (ශ්‍රියාකාන්තාව) ලේඛකයකු සමඟ හෝ කලාකරුවකු සමඟ සහජීවනයෙන් යුතුව කල් ගෙවන්නට කැමැත්තක් දක්වන්නේ කලාතුරකින් වීම යැයි නොකිව යුතුද, ඒ කෙසේ වුවද සාහිත්‍ය පොදු ජනතාවක් පාසල් දරුවනුත් අතරට ගෙන යෑමේ අදහස අපි අත්නොහ‍ළෙමු. මුදල් සොයාගත හැකි මං ගැන කල්පනා කළෙමු. අවසානයේ සංසදය ගත් තීරණය වූයේ දිසාපති කාර්යාලයත්, නගර සභාවත් සහාය සොයා බැලීමයි. වැඩේ කිරිගහට ඇන්නා වාගේ හරි ගියේය. දිසාපතිතුමාත් එකල සිටි නාගරික කොමසාරිස්තුමාත් සාහිත්‍යයට හා දරුවන්ට ළැදියෝ වූහ. ඒ නිසා කච්චේරියේත් නගර සභාවේත් සහාය ඇතිව ඉකුත් වසරේ දින තුනක සාහිත්‍ය උත්සවයක් ඉතා සාර්ථක අන්දමින් පැවැත්වීමට අපට පුළුවන් විය. එතැනදී උසස් නිලධාරි මහතුන්ගෙනුත්, අදාළ කාර්යාලයන්හි සේවයේ නියුතු මහත්ම මහත්මාවන්ගෙනුත්, සංසදය මෙහෙයවන අපේ සහෝදරයන්ගෙනුත් ලත් සහාය අපි බෙහෙවින් අගය කරමු. ඉන් ලත් සාර්ථකත්වයෙන් වඩාත් දිරිමත්ව සිටින අපි 2017 සාහිත්‍ය උත්සවය සඳහා කලාප අධ්‍යාපන කාර්යාලවලද සහාය පතමු. මෙදා පැවැත්වෙන්නේද දින තුනක සාහිත්‍ය උත්සවයකි. ‘මහතලා සාහිත්‍ය කලා උලෙළ’ නමින් හැඳින්වෙන්නේ එයයි.

පියදාස වැලිකන්නගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.