සංවර්ධන මාව‍තේ අලුත් ගමන යාන් ඔය | සිළුමිණ

සංවර්ධන මාව‍තේ අලුත් ගමන යාන් ඔය

මෙය පූර්ණ වශයෙන් මහා භාණ්ඩාගාරයෙන් මුදල් වැය කර සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතියකි.මහා භාණ්ඩාගාරය ඇමරිකානු ඩොලර් 350 වැය කිරිමට නියමිතය. විශාල ජල කඳක් එක්රැස් කිරීම වාසියක් මෙන්ම අවධානමකි.නවීන තාක්ෂණය භාවිතකරමින් ඉදිකිරීම් සිදුකර ඇති බව ද,රිච්ටර් මාපකයේ 8.5 වු භුකම්පනයකින් පවා මේ බැම්ම බිඳිය නොහැකි බවද,කිසිදු ලෙසකින් මේ වාන්දොරටු වලට අකුණු සැර නොවදින සේ ඉදිකිරිම් කළ බව ද පාලිත වික්‍රමතිලක මහතා පවසයි.

සීගිරියේ සිට පඹුරු ගස් වැව දැඩිරක්ෂිතය මැදින් ගලා එන යාන් ඔය වාහල්කඩ දී හරස් කොට සුවිසල් ජලාශයක් ඉදිකොට තිබේ. මේ මගින් පවුල් දාහතර දහසක් ප්‍රතිලාභ බුක්ති විඳිනු ඇත. මෙහි ධාරිතාව 169MCM වේ.වම් ඉවුර දිගේ වගාබිම් හෙක්ටයාර්4190ක් හා දකුණු ඉවුර යටතේ වගාබිම් අක්කර 1812ක් ද වගා කෙරේ. . දකුණු ඉවුර දිගේ ඉදිවන ඇළ කි.මී. 12ක් වන අතර දකුණු ඉවුර දිගේ ඉදිවන ඇළ කි.මි.22කින්ද යුතුය. මේ මහා ජලාශය ඉදි කිරීම සඳහා මුල්ගල් තැබුණෙ 2015 වසරේ දීය.

යාන් ඔය හරස් කොට ඉදිකරනු ලබන මහා ජලාශයෙන් නැගෙනහිර පළාතේ වැසියන්ගේ ජල පහසුව සැලැසෙන බව අසන්නට ලැබිණ. එය ප්‍රිතියට කරුණකි.එය ප්‍රීතියට කරුණක් වන්නේ එහි වැසියන් පානීය ජලය නොමැතිව පීඩා විඳින බැවිනි. නිකරුණේ ගලාගොස් මුහුදට වැටෙන ජලකඳ මිනිස් පරිභොජනයට යොමු කිරීම මේ මහා ව්‍යාපෘතියේ මුඛ්‍ය අරමුණයි.ඒ සමගම වසර තිහක මහා යුද සමයක දී ගමබිම් අතැර නොගිය යාන්ඔය අවට පඹුරු ගස් වැව , කිඹුල්පැටියාව, පෙත්තෑව, පුහු දිවුල වැසියන්ට ගම් බිම අතැර යන්නට සිදුවන බව ද කියැවෙන අසුබ ආරංචිය ලැබිණි.

කැබිතිගොල්ලැවෙන් පදවිය පාරේ කහට ගොල්ලෑව හන්දියට පැමිණි අපි වාහල්කඩ D4 හන්දියට පැමිණෙද්දී අප පිළිගැනීමට සිටියේ පුරාවිද්‍යා කැණීම් හා ගවේශන අංශයේ නිලධාරින් ය. ඔවුන්ගෙන් ලද තේ කෝප්පයෙන් සප්පායම්ව අපි මේ සුවිසල් ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත්වන පුරාවිද්‍යාත්මක අගයෙන් යුත් ස්ථාන හා ස්මාරක නැරැඹීමට ගියෙමු. යාන්ඔය හරස් කොට බඳිනු ලබන ප්‍රධාන බැම්මේ දිග කිලෝ මිටර 2.34කි. සැදලි බැමි වල දිග කි.මී. 3.58වේ. මේ සුවිසල් බැම්ම මගින් යාන්ඔය සීමා වී වෙන්ව තිබූ ත්‍රිකුණාමලය හා අනුරාධ පුර දිස්ත්‍රික්ක වෙන්කෙරේ. මේ වේල්ල හේතුවෙන් ඇස් මායිමේ පෙනෙන කඳු වලල්ල මැදිකොට විශාල ජලාශය ඉදිවනු ඇත. ඒ මහා ජල කඳට හෙක්ටයාර් 4100ක භුමියක් යට වේ. මෙහි ප්‍රධාන වේල්ල යකිනිබැඳි කන්දේ සිට වෙහර බැඳිකන්ද දක්වා වූ අතර සැඳලි බැමි හතරක් විය. එම වේලි ගල්බුද්ධා කන්ද,ලබු කන්ද, මිල්ලෑව කන්ද යාකොට ඉදිවී තිබිණ. හතරවැනි වේල්ල උන්නතාංශ හා සමානවේ. එම වේල්ල වැවේ ජලය මුදා හැරිමේ ස්වභාවික හදිසි දොරටුවක් ලෙස ක්‍රියා කරන බව නේවාසික ඉංජිනේරු (යාංඔය දකුණු ඇල)ප්‍රගිත් වැලිවිට මහතා පැවැසීය.

අපට හමු වූ බොහෝ දෙනෙකුගේ අදහස වුයේ යාන් ඔයේ ජලය වාහල්කට හා අවට ජනයාට ප්‍රති ලාභ නොදීමයි. එහෙත් උග්‍ර වකුගඩු රෝගී ගනත්වයකින් යුතු වාහල්කඩ හා අවට ප්‍රදේශයට මේ ව්‍යාපෘතිය මගින් පානීය ජලය ලබා දීමට නියමිත බව යාන්ඔය නියොජය ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත වික්‍රම තිලක මහතා පවසයි. දැඩි හිරු රශ්මියක් ඇති මේ ප්‍රදේශය මිරිදිය මත්ස්‍ය වගාව ඉතාම සුදුසු බැවින් වසරකට මාළු පැටවුන් ලක්ෂ දෙකක් යාන්ඔය ජලාශයට මුදා හැරිමට අපේකෂිත බව ද ඉන්වාර්ෂිකව මෙට්‍රික් ටොන් 120000 ක මත්ස්‍ය අස්වැන්න කි ලබා ගැනීමට අපේක්ෂිත බව ද එමගින් ප්‍රදේශයේ ජනයාගේ ප්‍රෝටීන අවශ්‍යතවෙ සපිරිය හැකි බව ද ගණනය කර ඇත.

1958 ජල සම්පාදන හා සංවර්ධන යෝජනාක්‍රම යටතේ ඉදිකිරීමට සැලැසුම් කරන ලද මේ ව්‍යාපෘතිය මීට වඩා විශාල බිමක් අත්පත් කර ගනී. එවක මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත්තේ ද ත්‍රිකුණමලය නගරයට පානීය ජලය සැපැයීම හා කෘෂි කාර්මික සංවර්ධනයයි. මේ ව්‍යාපෘතිය මගින් ජයන්ති වැව කරා ජලය රැගෙන යනු ලබයි. ඉන් ඒ ආශ්‍රිත එල්ලංගාව හා වගා බිම් පෝෂණය වේ. මේ මගින් පදවිය ගොවි ජනපද‍යේ වගා බිම් සඳහා ජලය සැපැයීමට නියමිතය. එබැවින් පදවිය ගොවි ජනපදය සශ්‍රික වේ.

මෙතෙක් දඹුල්ල කරා රැගෙන ගිය කෘෂි නිෂ්පාදන යාන්ඔය බැම්ම මතින් පහසුවෙන් ත්‍රිකුණාමලයට රැගෙනයාමට ඔවුන්ට හැකිය. යාන්ඔය බැම්ම මතින් ඉදිවන මහා මාර්ගය අඩි 20ක් පළලින් යුතුය. එය රටේ සංවර්ධනය නව මගක් ඔස්සේ රැගෙන යනු ඇත.

ජල පහසුව ලැබිමෙන් සංවර්ධනකාර්යය ඉක්මන් වන ත්‍රිකුණාමලය ගොවියාට ඉහළ ආදායමක් ගෙනදෙනු ඇත. ත්‍රිකුණාමලයේ පිහිටි ගැඹුරු රමණීය වරාය රටේ සංවර්ධනය

වේගවත් කර ගැනිමට භාවිත කළ හැකිය. මේ හරහා සංචාරක ව්‍යාපාරය දියුණුකිරීම ද අපේක්ෂිතය. ප්‍රීමා පිටි කම්හල, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි, ක්‍රියාකාරි ලෙස අර්ථිකයට දායක කර ගැනිමෙන් ගොවියාගේ නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලැබිමට මෙන්ම,ඔවුන්ගේ ජීවන තත්වය නඟා සිටුවීමට ද හේතුවේ.

ඕනම නව ව්‍යාපෘතියකදී මෙන් මෙහිදී අවාසි ද සිදුවේ.යාන්ඔයට යටවන බිමෙහි වු කුඩා ගම්මාන හයකි. ඔවුන්ගේ ගොවි බිම් හා නිවාස මේ ජලාශයට යට වේ.

අවතැන්ව පවුල් සංඛ්‍යාව 219කි. මේ වැසියෝ කිසි ලෙසකින් රජයට බරක් නොවු හ. එබව සනාත කළේ යාන් ඔය නියෝජජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත වික්‍රමතිලක මහතා ය.

ජලයට යට වු නිවෙස් හිමි සෑම පවුලකටම රුපියල් ලක්ෂ 8ක වන්දියක් හා ගොඩින් අක්කර 1ක් හා මඩින් අක්කර11/2 ලබා දීමට නියමිතය. අනුපවුල් ලෙස හඳුනා ගත් පවුල් 65ක් වෙනුවෙන් ද රුපියල් 120000ක් හා නිවෙස ඉදිකර ගැනීම සඳහා ඉඩම් අක්කරයක් ද ලබා දීමට නියමිතය. මේ අනුව ඉදිවන ගම්මාන දෙක වන ඕමාරකඩ හා කජුවත්ත නගරාසන්න බැවින් එම වැසියන්ගේ ජන ජීවිතය බහසු වනු ඇත. ගමට අවශ්‍ය ජලය, විදුලිය, මහාමාර්ග,පාසැල් හා පන්සල් ඉදිකර දිමට නියමිතය.

මේ ගම්මාන දෙකට අමතරව මල්පෝරුව නමින් ගමක් ඉදිවෙමින් පවතී.එය ජනයාගේ ඉල්ලීම මත ඉදිවන්නක් බැවින් ද වන සංරක්ෂණයෙන් සිමිත බිමක් නිදහස් කර ඇති බැවින් ද, මේ ගම්මානය ව්‍යාපෘතියට අයත් නොවන බැවින් ද මේ ගම්මානයට අවශ්‍ය සියලු පහසුකම සලසා දීමට රජය බැඳී නැති බව නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ වරයා පවසයි. එහෙත් මානුෂීය කටයුතුතක් සේ සලකා ඔවුන්ට අවශ්‍ය සේවය ලබා දීමට කටයුතු කෙරේ.

මෙය පූර්ණ වශයෙන් මහා භාණ්ඩාගාරයෙන් මුදල් වැය කර සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතියකි.මහා භාණ්ඩාගාරය ඇමරිකානු ඩෙලර් 350 වැය කිරිමට නියමිතය. විශාල ජල කඳක් එක්රැස් කිරීම වාසියක් මෙන්ම අවධානමකි.නවීන තාක්ෂණය භාවිතකරමින් ඉදිකිරීම් සිදුකර ඇති බව ද,රිච්ටර් මාපකයේ 8.5 වු භුකම්පනයකින් පවා මේ බැම්ම බිඳිය නොහැකි බවද,කිසිදු ලෙසකින් මේ වාන්දොරටු වලට අකුණු සැර නොවදින සේ ඉදිකිරිම් කළ බව ද පාලිත වික්‍රමතිලක මහතා පවසයි.

ටෙක්ලා පද්මිණී කාරියවසම්
සේයා රූ- දුෂ්මන්ත මායාදුන්නේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.