අතහරින්නේ බලාගෙන යි! | සිළුමිණ

අතහරින්නේ බලාගෙන යි!

බස් නැවතුම දෙස බලන්න! එය කඩි ගුලකට සමාන ය. එහි යනෙන දෙනෝ දාහකට මෙලෝ සිහියක් නැත. ඔවුන්ගේ හැම චලනයක් ම තමන් දෙසට ම නැමී ඇත. මිනිසුන් ස්වකීය යන්ත්‍ර තුළ ගිලී ඇති සේ ය. එම යන්ත්‍ර පවා දුවන්නේ අමාරුවෙන් උපයා - සපයාගත් බලශක්තියෙන් ය. ඉතින් අනෙකා ගැන මෙනෙහි කරන්නේ කෙසේ ද? එහෙත් කවියා මේ ශානරයට අයත් නැත. ඔහු රස්තියාදු ගසයි. ඕපා - දූප සොය යි. සියුම් නිරීක්ෂණ කරයි. සංකල්ප හදයි. යන්ත්‍ර හෝ බලශක්ති හෝ කවියාට ප්‍රශ්න නො වේ.

මේ කිවිඳිය රහස් පරීක්ෂකයකු සේ බස් නැවතුමට රිංගයි. නැවතුම් පරිශ්‍රයෙහි අහු - මුලු කරා ඇගේ නිරීක්ෂණ ඇස දුවයි. අත්හරින ලද ප්‍රේමවන්තියෝ සුසුම් ලති. අත්හරින ලද ප්‍රේමවන්තයෝ හදවත් උගුලා දමති. දිගට ම කොතැනත් - කවදත් සිදුවන්නේ එක ම දේවල් ය. උක්ත නයින් බලන කල; සෑම නැවතුමක ම අත්හැරීම් තිබෙන්නට පුළුවන. වැටුණු - විසිරුණු හා අංශු බවට පත් වූ හදවත් තිබෙන්නට ද පුළුවන. එය අප ජීවත්වන ලෝකයේ යථා ස්වාභාවය නො වේ ද?

කිවිඳියගේ නිරීක්ෂණය ඉන්ද්‍රජාලික ය. ඒ අනුව ඇයට තුන් - කල් දැක්ම පහළ වී තිබේ. තාර පොළොව යට රුධිරය ගලා යනු ඇය දකී. එහි ම විසිරී අංශු බවට පත් වූ හදවත් ද ඇය දකී. මේ වනා හී මිනිස් හැඟීම් - දැනීම් විනිවිද දැකීමකි. ආදරය, ජීවිතය හා ලෝකය පිළිබඳ පර්යාලෝකනයක් මේ ප්‍රබන්ධය ඔස්සේ උකහා ගත හැකි ය.

කිවිඳිය කාංචනා අමිලානි ය. ඇයගේ ‘බූමරංගය ඔබේ ඇස් දෙක’ කාව්‍ය සංග්‍රහයෙන් ප්‍රබන්ධය උපුටා ගැනිණි. එහි සිරස පවා විවිධාර්ථවත් ය. 2017 සාහිත්‍ය මාසයේ එළිදැක්වුණු එම කෘතිය සංවාදයට ගත යුතු කාව්‍ය සංග්‍රහයක් සේ හැඟී යයි. එහි එන ඇතැම් රචනා දේශ සීමාවකින් තොරව සේ ම කාල නිර්ණයකින් තොරව විඳින්නට පුළුවන. “රෝස මල්” නම් මේ කවිය ද එබන්දකි.

කාංචනා ගේ කවි කලාව ඇයට ම ආවේණික රටාවකින් යුතු ය. සම්භාව්‍ය සම්ප්‍රදායයෙන් ඇය ලබන දෙයක් නැති තරම් ය. ඒ අතින් බලන විට කාංචනා තරමක් හිතුවක්කාරී ය. එහෙත් හිතුවක්කාර කවීන් ළඟ ඇති ගොරෝසු රළු ගතිය ද, ප්‍රහාරාත්මක ගතිය ද මේ රචනා තුළ නැත. කාංචනා හැමකල්හි ම සුන්දරත්වයක් හෙවත් රමණීයත්වයක් මවන්නට උත්සුක වෙයි. ඇය සහෘදයා ඉදිරියේ බෝම්බ පුපුරුවා හරින්නේ නැත. බර අවි පාවච්චි කරන්නේ ද නැත. ඒ වෙනුවට ඇය සහෘදයා කොනිත්තයි. තදේට ම කොනිත්තයි.

“රෝස මල්” ප්‍රබන්ධය සියුම් විග්‍රහයකට ලක් කළහොත් විශේෂතා කිහිපයක් හඳුනා‍ගත හැකි ය.

(I) සංක්ෂිප්ත භාවය

(II) රූපණය හා ධ්වනිය

(III) උත්ප්‍රාසය

(IV) නම්‍යශීලී සරල - භාෂාව

සමස්ත නිර්මාණය සඳහා ම භාවිත වී ඇත්තේ සීමිත වචන සංඛ්‍යාවකි. ගණනින් ගතහොත් වචන තිස්හයකි. ඒ සෑම වචනයක් ම ආධිපත්‍යයක් උසුලයි. සෑම වචනයකින් ම පාහේ කතාන්දරයක් - දෙකක් එළියට පනී. ධ්වනියක් පහළ වෙයි. එය සිදුවන්නේ වචන ගළපන ආකාරයට අනුව ය. “diction” ලෙස එය ඉංග්‍රීසි කවි සමයෙහි දැක්වේ. කාංචනා බස් නැවතුමට ද ජීවයක් දෙයි. ඒ අනුව නැවතුම හැඟුම්බර වෙයි.

බස් නැවතුම ප්‍රස්තුතයක් වූ එක්තරා කෙටිකතාවක් සිහියට නැ‍ඟේ. 1967 දී විදුදය සරසවියේ සිංහල අංශය විසින් මෙහෙයැවන ලද කෙටිකතා තරගයේ දෙවන ස්ථානය ඊට හිමි වී තිබිණි. ප්‍රබන්ධයේ නම “ධාවන තරගය” යි. එහි එන උපාධි අපේක්ෂකයා හෙවත් කථකයා තරුණියකගෙන් බස් නැවතුමට එන්නැ’යි ඉල්ලා සිටී. ඒ නාට්‍යයක් නැරඹීම සඳහා ය. ඔහුට එදින ම නිබන්ධයක් ලියා අවසන් කිරීමට තිබේ. තරුණයා යථෝක්ත තරුණිය පිළිබඳ සිහින මවමන් පුස්තකාලයට යයි. සෙසු සගයෝ ද එහි සිට නිබන්ධය ලියති. ඔවුන’තර ඇත්තේ තියුණු තරගයකි. මේ තරගය නිසා ම නිශ්චිත වේලාවට බස් නැවතුමට යෑම කථකයා අතින් ගිලිහෙයි. පැය ගණනාවක් බස් නැවතුමෙහි රස්තියාදු වන තරුණිය වෙනත් තරුණයකු කැටුව නාට්‍යය නැරඹීමට යයි. එම තරුණයා කථකයාගේ මිතුරෙකි. පසුව බස් නැවතුමට යන කථකයාට සියල්ල දැනගන්නට ලැබේ. අපට මනමේ කතාව සිහිපත් වෙයි. මේ කතාවේ දී ද බස් නැවතුමට ජීවයක් ලැබේ. (රචකයා සිරිනිමල් ලක්දුසිංහ ය.)

පුරාතන කවි සමය ප්‍රේම වෘත්තාන්තවල පසුබිම ලෙස යොදා ගත්තේ දියකෙළි, උයන්කෙළි, දඩකෙළි, මධුපානෝත්සව හා ලියගොමු ආදිය යි. එහෙත් ලෝකයේ පරිවර්තනයත් සමඟ එය වෙනස් විය. විශේෂයෙන් නාගරීකකරණය නිසා ජීවිතය ස්පර්ශ කරන ස්ථාන වෙනස් වී ඇත.

බස් නැවතුම, ස්ටේශම, මුහුදු වෙරළ, ටියුෂන් පන්තිය පෙම්වතුන් සම්මුඛ වන ස්ථාන ලෙස ද ඔවුන්ගේ ගනුදෙනු සිදුවන මධ්‍යස්ථාන ලෙස ද සැලැකිය හැකි ය. ඒවා එක වර්ගයකට අයත් ය. අවන්හල්, අඳුරු සිනමා ශාලා, හෝටල් කාමර තවත් වර්ගයකට අයත් මධ්‍යස්ථාන ලෙස සැලැකිය හැකි ය. කිවිඳියගේ අවධානයට ලක් ව ඇත්තේ පළමු ගණයේ මධ්‍යස්ථානවල සිදුවන ශීලාචාර හා විනයගරුක ප්‍රේම වෘත්තාන්ත යැයි කියන්නට පුළුවන. එහෙත් ඒවා පවා සාහසික ලෙස අත්හැරෙයි. බිඳ වැටෙයි.

50, 60, 70, 80 දසකවල තුන්වන ලෝකයේ කවිය දෙස බලන විට එහි කැපී පෙනෙන ලක්ෂණ දෙකක් පවතී. පළමුවන්න සමාජය මුහුණ දෙන සත්‍යය යථාරූපී ලෙස නිරූපණය කිරීම ය. දෙවන්න හෘදයාංගම හෝ ආවේගශීලී හෝ භාෂාවකින් විරෝධාකල්ප ඉදිරිපත් කිරීම ය.

ඉන්දියාවේ කමලාදාස් ගේ සිට චිලියේ නෙරූඩා දක්වා ගිය ද පලස්තීනයේ අබුසල්මාගේ සිට දකුණු කොරියාවේ තිමි චියා දක්වා ගිය ද මේ ලක්ෂණ දෙක දැකිය හැකි ය. අදටත් ආසියානු, අප්‍රිකානු, ලතින් අමෙරිකානු තරුණ කවීන්ගේ වැඩි නැඹුරුව ඇත්තේ විරෝධා’කල්ප දෙසට බව පෙනී යයි. කාංචනා සමාජයේ ඇති තතු හෙළිදරව් කරන්නේ වුව විරෝධා’කල්පවලට යන බවක් පෙනෙන්නට නැත. ඇය දේශපාලන දෘෂ්ටියකින් යමක් දෙස බලන්නේ ඉතා කලාතුරකින් ය.

කවියට අනුව ප්‍රබල සිදුවීම් කිහිපයක් පවතී. ප්‍රබල යැයි කියූව ද ඒවා වචන ඔස්සේ උත්කර්ෂයට නංවා නැත. කාංචනා වචන පරෙස්සමට ගළපමින් ටිකක් කියයි. එහෙත් එයින් හුඟාක් දේ හැ‍ඟෙයි.

(I) ප්‍රේමයේ බිඳ වැටීම

(II) හදවත අංශුබවට පත්වීම

(III) ලේ දහරා ගලා යෑම

(IV) රෝසමල් වින්දනය

ප්‍රේමයේ බිඳවැටීම යනු තරුණ ජීවිතවල හැරවුම් ලක්ෂ­්‍යයකි. මීට මාස කිහිපයකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයයෙහි සහකාර කථිකාචාර්යවරියක් කෝච්චියට බෙල්ල තබා දිවි නසා ගත්තා ය. හේතුව බිඳවැටුණු ප්‍රේමයක් යළි සිහිගැන්වීම ය. ඇගේ අත්හැරුණු ප්‍රේමයේ ආදරවන්තයා දිවි නසා ගැනීමට පෙර දින දැක තිබිණි. මේ සිදුවීම ඔස්සේ රූපණය වන්නේ වෙන්වීමේ ශෝකය යි. හුදෙකලාව, ශෝකය, අපේක්ෂාභංගත්වය අත්හැරීම හා බිඳ වැටීම් ඔස්සේ ඇති වන්නට පුළුවන. කිවිඳිය ඒවා දෙස උපේක්ෂාවෙන් බලයි. ආදරය වෙහෙසකරය, එය වේදනාවෙන් පිරී ඇත. ආදරය උදෙසා කැපකිරීම් කළ යුතුය වැනි හැඟීම් ද කාංචනාගේ කවි ඔස්සේ මතු වෙයි. එහෙත් ඒ මතුපිට අර්ථය යැයි කියන්නට පුළුවන. මෙහි දැක්ම ඇත්තේ ‍රෝසමල් වින්දනය තුළ ය. එය උත්ප්‍රාසයකි.

කාංචනා පළමුව සහෘදය සිත්හි හුදෙකලාව, ශෝකය හා වේදනාව සටහන් කරයි. දෙවනුව එය සමහන් කොට ප්‍රහර්ෂයක් මතු කරයි. ශාකුන්තලයෙහි රීතිය ද එය ම ය. ඍෂිවරයකුගේ ශාපයක් නිසා දුෂ්‍යන්ත රජුට තම පෙම්බරිය හඳුනාගැනීමට නොහැකි වෙයි. එය ප්‍රේක්ෂකයාට ද දරාගත නොහැකි වේදනාවකි. පසුව ශාපය ගෙවී යයි. ප්‍රේමවන්තයෝ එක් වෙති. ශෝකයෙන් පසු සතුට එයි. රොමියෝ - ජුලියට් යන්නේ එහි අනෙක් පැත්තට ය. කිවිඳිය ශාකුන්තලයේ රීතියට සමීප යැයි කියන්නට පුළුවන. කවියේ පද ලාලිත්‍යය ද ඊට නිදසුන් ය.

දෑත, දෑස, හදවත යන වචන කවි සමයේ දී ධ්වනිපූර්ණ වෙයි. “ඔබ මා අතැ’ර වෙන නුවරක ගිය දවස”, “මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා”, “සිත ඔබ පාමුල රඳවා” වැනි ගේය පදවලින් ඒ බැව් සනාථ වේ. මෙහි එන අතක් අත්හැරී ඇත යනු මුළු ජීවිතය ද, සාකල්‍ය ආත්මය ද ලෙස සැලැකිය හැකි ය. එවිට අත්හැරීමට ලක්ව ඇත්තේ අත පමණක් නො වේ. ඉන් මතු වන්නේ බලවත් ශෝකයකි. වේදනාවකි. අන්තිමට ශෝකයත් රසයකි.

කාංචනා ව්‍යවහාරික කථන භාෂාවේ ඇතැම් වචන හා යෙදුම් සිය නිර්මාණය සඳහා යොදා ගන්නේ අපූරු ලෙස ය.

“ඉතා ගැඹුරට කැන්නොතින් හෙම

තාර යට ලේ ගලනු දැකියැකි

අංශු විදිහට විසිරි පැතිරුණු

නේක පැහැ හදවත් ම දකිතැක”

කැන්නොතින්, දැකියැකි, දකිතැක කවි සමයට නුහුරු ය. එහෙත් කිවිඳිය එම වචන භාවිත කර ඇත්තේ නොගැළපීම ගැළපීමක් බවට පත්කරමින් ය. ඊශ්‍රායලයේ යෙහුඩා අමිචිගේ “A Pity We Were Such a Good Invention” නම් සංක්ෂිප්ත කවිය අප සිහියට නැ‍ඟේ.

“They amputated

Your thighs off my hips

As far as I’m concerned

They are all surgeons All of them

මේ කෙටි ප්‍රබන්ධය අවසන් කර ඇත්තේ ජීවිතයට යම් අවකශායක් හා අපේක්ෂාවක් ඉතිරි කරමින් ය. “We even flew a little” කාංචනා ද සිය නිර්මාණය අවසන් කරන්නේ ජීවිතයට අපේක්ෂාවක් එකතු කරමින් ය. “සැම පෙමකම රෝස මල් ඇත” ‍අපේ හිත රිදෙන්නේ මේ කිවිඳියට දේශපාලන දැක්මක් නැති එක ගැන ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.