කිව මැන දිවි අරුත | සිළුමිණ

කිව මැන දිවි අරුත

“සහතික වශයෙන් ම මම එකක් කියන්නම්. ලේඛනයේ හැම සිද්ධාන්තයක් ම රැවටිල්ලක්. හැම ලේඛකයෙක් ම තමාගේ රීතිය හෝ තමාට රීතියක් නැතිකම හෝ වර්ධනය කර ගන්නවා. කවුරුවත් ම නොදන්නා හේතුවක් මත, කොහොම හරි කතාවක් බිහි වෙනවා.”

මේ වදන් පවසන්නේ ආසියාවේ අපට සිටින මානව ක්‍රියාකාරකම් නිර්මාණකරණයට යොදා ගැනීමේ අපූර්ව කුසලතා පූර්ණ විශිෂ්ටතම නිර්මාණකරුවකු වන ආර්. කේ. නාරායන් ය. ඔහු ලෝකය තමාට පෙනෙන හැටි සාහිත්‍ය නමැති කැන්වස් රෙද්ද මත අපූරුවට සිත්තම් කරන්නේ ය. කුමන කාර්යයේදී බොරු කළත් සාහිත්‍ය නිර්මාණකරණයේදී බොරු කළ නොහැකි යැයි කීවේ ඇන්ටන් චෙකොෆ් ය. නාරායන් පිළිබඳ එය පැහැදිලි ව ම සත්‍යයකි.

නාරායන්ගෙන් විවිධ අය, විවිධ ප්‍රශ්න නඟති. ඔහු ඒවාට දෙන පිළිතුරු ද ඔහුගේ නිර්මාණ සේම අව්‍යාජ ය. ඔහුගේ ප්‍රබන්ධකරණය ගැන වරක් කිසිවකු නැඟූ ප්‍රශ්නයකට ඔහු දුන් පිළිතුර ද ඔහුගේ කෙටිකතා, නවකතා තරමට ම සරල ය.

“කතාවක් ලියන්නේ කෙසේදැයි කෙනකු මගෙන් ඇසුවොත් එය පහදා දෙන ආකාරය මා දන්නේ නැත. මට කිව හැකි එක ම දෙය නම් කතා ලියන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය හිස් වා තලයේදී, වෙළෙදාම්පොළේදී මයිසූරයේ වීදිවලදී මට ලැබුණු බව ය.”

සමහර ලේඛකයෝ නිර්මාණකරණයට වර්තමානයේ අත්දැකීම් නැතැයි කියති. අනතුරුව අතීතයේ ම කිමිදෙමින් ප්‍රතිනිර්මාණ ම කරති. සමහරු මහපොළොවේ පැළ නොවනා නිර්මාණ කරති. මේ සියල්ලට ම හේතුව ලේඛකයා සොබාදහමෙන්, තමා අවට සිටින පුද්ගලයන්ගෙන් වියුක්ත ව, වෙනස් ව ජීවත්වීම නොවේද?

නාරායන් මෙසේ ද කියයි.

‘මම ටිකක් කියවා ඇත්තෙමි. ලියන්නට වෑයම් කර ඇත්තෙමි. මා කළේ වැව අයිනේත්, උයන්වලත්, පාරවල් හා පටු මාවත් දිගේත් ඇවිදීම ය; අපේ නගරය අවට ඇති කඳු නැඟීමය. දවසේ සමහර අවස්ථාවලදී මම පොළට යන ගැහැනුන්, මිනිසුන් දෙස බලා සිටියෙමි. මා එසේ කළේ කතා ලියන්නට කරුණු අහුලා ගන්නට නොවේ. මිනිසුන් දෙස බලා සිට ආස්වාදයක් ලබා ගන්නට ය. කතා කියන්නකු දැන ගත යුතු කරුණක් ඇත. එනම් අනෙක් අය නවත්වන්නට කියන තෙක් ඉන්නේ නැතිව තමාගේ කතාව නැවැත්විය යුතු අවස්ථාව මොකක්දැයි දැන සිටීම ය.’

මේ අපූරු සටහන හමුවූයේ Under The Banyan Tree And Other Stories කෘතියේ පෙරවදනිනි. ලේඛකයාගේ ඒ අව්‍යාජ බව ලේඛනයෙන් පෙනේ. රන්සුනු ඇත්තේ පයට පෑගෙන දුවිල්ලේ ය; හමන මඳ සුළඟේ ය. එය තේරුම් නොගන්නාතාක් කල් ලේඛකයන් ලියන්නේ මිනිසුන්ට නොව නොපෙනෙන බලවේග වලට ය.

ආර්. කේ. නාරායන් ඉන්දියාවේ සිටිය ද ලිව්වේ ඉංග්‍රීසියෙනි. ඉංග්‍රීසියෙන් ලියූවේ ඔහු පමණක් නොවේ. මුල්ක් රාජ් ආනන්ද් නිර්මාණකරණයේ නිරත වූයේ ද ඉංග්‍රීසියෙනි. පෙරකී අත්දැකීම් හා ඒවා ලබාගත් ආකාර ගැන කතා කරද්දී මහපොළොවේ සුවඳ පවා ඉවකරන ලේඛකයන් මවුබසින් නොලියා ඉංග්‍රීසියෙන් ලියන්නේ මන්දැයි ඔබට වුව පැනයක් නැඟෙන්නට පුළුවන.

මේවා පිළිතුරු නැති ප්‍රශ්න වුව ද, අදට ද ලෝතලයට යා යුතු අපේ ලේඛකයන් සිංහලය නිසා ම මේ පුංචි දේශයට කොටුවී යැයි සිතෙන තර්කය අනුව නම්, ඔවුන් ඉංග්‍රීසියෙන් ලේඛනයේ නිරත වීම හොඳ යැයි සිතේ. එහෙත් ඉංග්‍රීසිකාරයෝ, නාරයන්ලාගේ ඉංග්‍රීසිය පිළිගන්නට මැළිකමක් දැක්වූහ. ඒ ගැනද විවිධ මත ඇත. කොතරම් හොඳින් ඉංග්‍රීසිය ප්‍රගුණ කළත් එය තම මවු භාෂාව තරම් බුහුටි ව භාවිත කළ නොහැකි යැයි මතයක් තිබෙන්නේ ඒ නිසා ය. ඊ. එම්. ෆොස්ටර් වැනි විචාරකයන්, ලේඛකයන් පවා මුල්ක් රාජ් ආනන්ද් ගේ ඉංග්‍රීසිය මෙන් ම නිර්මාණකලාව ද අගය කළ බැව් කොහේදී හෝ කියවා ඇති බැව් මගේ මතකයට නැඟේ.

The Untouchable නම් නවකතාව කියවන ඕනෑම කෙනකුට මුල්ක් රාජ් ආනන්ද් නම් ලේඛකයාගේ නිර්මාණ දිග, පළල දැනෙන්නට පටන් ගනී. වැසිකිළි සෝදන කොලුවකු ප්‍රධාන චරිතය කරන මුල්ක් රාජ් එමඟින් සමාජ තලය ම ප්‍රශ්න කරයි. බාබා නම් දහඅට වියැති තරුණයාගේ මුවට මුල්ක් රාජ් නංවන මේ අදහස් බලන්න:

‘උන් හිතනවා ඇති අපි ජරාව කියලා. මොකද අපි උන්ගේ ජරාව පිරිසිදු කරන නිසා’

ඔහුගේ චින්තනයේ දිග පළල ගැන කියන්නට වෙන වදන් කුමට? මුළු ඉන්දීය චින්තනය ම ලේඛකයා වදන් ද්විත්වයකට ගොනු කරයි. බොහෝ ලේඛකයන්ගේ නිර්මාණවල චින්තනයක්, දාර්ශනිකත්වයක් නැත. ඒවා මහපොළොවේ ස්පර්ශ කරන්නේ කුමන ස්තරය ද යන්න ගැන සඳහනක් නැත. එබැවින් ම ඒවා මිනිස් හදවත් වලින් බොහෝ ඉක්මනින් නික්ම යයි.

මුල්ක් රාජ් ම 1936 දී පළ කළ ‘කූලි’ නම් නවකතාවේ සවුදාගේ මුවට නංවන මේ වදන් බලන්න:

‘ලෝකයේ ඉන්නේ මිනිස්සු වර්ග දෙකයි. පෝසත් මිනිස්සු, දුප්පත් මිනිස්සු. ඒ දෙගොල්ලො අතරේ සම්බන්ධයක් නෑ. පෝසත්, බලවත්, කීර්තිමත් මිනිස්සු නැති බැරි මිනිස්සුන්ට විරුද්ධ ව යුද්ධ ප්‍රකාශ කරලා ලෝකය තමන් අතට ගන්නවා. ඒ ගොල්ලා කරන්නේ හොරකමක්, මංකොල්ලයක්.’

මීට වඩා දෙයක් පවතින සමාජ ක්‍රමය වෙනුවෙන් කිව හැක්කේ කාටද? නවකතාවෙන් කෙරෙන ජීවන විවරණය ගැන කියන්නට අපට වැඩි දුර යෑමට අවශ්‍ය වූයේ නැත. ඒ අසල්වැසි ඉන්දියාවෙන් ම ඊට පිළිතුරු ලැබුණු නිසා ය.

නාරායන්ලා, මුල්ක් රාජ්ලා, අරුන්දතී රෝයිලා, කමලා දාස්ලා තරම් ජීවිතය කියවා ගන්නන් සිටින රටක් වීත් ඉන්දියාව මෙතරම් කුලමල කරගහගෙන සිටින්නේ ඇයි දැයි කියා ඔබට ප්‍රශ්නයක් මතු වීමට ඉඩ ඇත. කවුරුන් කෙසේ කීවත් ජීවන වියමන ගොඩනැඟෙන්නේ එක එක අයට අභිමත පරිදි ය. ලේඛකයාට කළ හැක්කේ ජීවිතය විවර කර දීම පමණී.

[email protected]

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.