ධර්මසේන හිමියන්ගේ සාහිත දැක්ම | සිළුමිණ

ධර්මසේන හිමියන්ගේ සාහිත දැක්ම

සද්ධර්මරත්නාවලී පරිකථා

 සිළුමිණ ශාස්ත්‍රීය මණ්ඩපය, ‘සත්මඬල’ අද සිට පැරණි දහම් මග විවරණය කෙරෙන ‘පරිකථා’ ඔබ වෙත රැගෙන එන්නෙමු. ඒ පරිකථා සද්ධර්මරත්නාවලී පරිකථාය. ‘පරිකථාව’ යන්නෙහි අරුත හාත්පසින් කරනු ලබන විවරණයයි. සිංහල ව්‍යාඛ්‍යානාවලියෙහි වැදගත්ම අංගය ‘පරිකථා’ වෙයි. පරිකථාවකින් මූලික කොට දැක්වෙන්නේ මූලග්‍රන්ථයක තෝරාගත් පදයකට හෝ කථා පුවතකට විස්තරාර්ථ දැක්වීමයි. විටෙක එය අපේ ඉතාම විශිෂ්ට වූ විචාර ක්‍රමයකි. පරිකථා කරුවා මුල් කථාව සිත් සේ විචාරයට ලක් කරයි. මහාචාර්ය ආනන්ද කුලසූරියට අනුව පරිකථාව යම් රචනාවක දුරවබෝධ පාඨවලට විස්තරාර්ථ දැක්වීමකි. ඒ අනුව පරිකථාව වැඩිදුර විස්තර කිරීමකි.

සම්භාව්‍ය සාහිත්‍ය කෘතියකින් අපේක්ෂිත පරමාර්ථ රාශියක් පැවති බව පැරණි පොතපත පරිශීලනයේදී තහවුරු වෙයි. එනම්

1. ධර්මඥානය පාඨකයා තුළ ඇති කරලීම

2. ශාස්ත්‍රීය ඥානය දියුණු කිරීම

3. ශ්‍රද්ධාදි ගුණ ධර්ම ගොඩනැඟීම

4. ආකල්ප සංවර්ධනය

5. රසාස්වාදය දියුණු කිරීම

6. ජීවිතාවබෝධය පෘථුල කරවීම

යන අරමුණු උපුටා දැක්විය හැකි ය. තෙවළා දහමෙහි පරිණත වූ ධ‍ර්මසේන හිමියන් තම ලේඛනය භාවිත කළේ උක්ත කරුණු සාධනය පිණිසය. ඒ බව පසක් කරනුයේ තම කෘතියෙහි දක්වන පහත සඳහන් අදහස තුළිනි.

“යම් කෙනෙක් නුවණ මදවත් කුසලච්ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දාන පින්කම්හි හැසිරෙන්නේ නම් එසේ වූ සත්පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්මරත්නාවලි නම් ග්‍රන්ථයක් කෙරෙමි.”

යන ප්‍රකාශය තුළ කතුවරයා තුළ පැවති උක්ත අරමුණ විශද කරලයි. එය ධර්මසේන හිමියන්ගේ සාහිත්‍ය චින්තනය ප්‍රකට කරවයි. නිහතමානී අල්පේච්ඡ දිවියක් ගත කළ ධර්මසේන හිමියෝ පොදු මානුෂීය දුබලතා හොඳින් අවබෝධ කරගත් ලේඛකයෙක් වූහ. ගැමියන්ගේ ‍මනෝමූලික දුබලතා වටහා ගත්තේ පරිණත මානව විද්‍යාඥයකුගේ ස්වභාවයෙනි. උක්ත ප්‍රකාශනය තුළ යහපත් දිවි ගෙවීමට කැමැත්තක් සහිත සාමාන්‍ය පොදුජනයා විෂය කරමින් ඔවුනට දහමින් උපදෙස් දීම කතාකරුවාගේ අරමුණ වූවා සේ ය.

මෙහිදී කතාකරුවා බුදුදහමේ ගැඹුරු ධර්ම කොටස් විවරණයට වඩා ජනයාගේ ශ්‍රද්ධා භක්තිය දියුණු කිරීමට හේතු වන කුසලයේ අනුසස් හා අකුසලයේ ආදීනව හා කර්ම විපාක ආදියත් සාමාන්‍ය ගැමි ජනයාට විෂය වන ලෙසින් ඉගැන්වීමට හේතු වන ලෙසින් තම කතා වස්තු පෙළ ගස්වා ගත්තේ ය. “ශාසනාභිරතියට උපදෙස් නිසා නන්ද මහ තෙරුන් වහන්සේගේ වස්තුව කියමු”, කලහ කිරීමෙන් අසමගි නිසා වන බොහෝ ආදීනව ද කලහ නොකිරීමෙන් සමඟි වීම නිසා වන බොහෝ අනුසස් ද හඟවන පිණිස කොසඹෑ නුවර වහන්දෑගේ වස්තුව කියමු” යනාදී ලෙස කතා වස්තු ගොඩ නඟා ගැනීමෙන් ඒ බව තහවුරු වෙයි.

මෙම කතා වස්තු සඳහා මූලාශ්‍රය ලෙස පාලි ධම්මපදට්ඨකථාව යොදා ගන්නා අතර, එහෙත් කතුවරයා දක්වන්නේ ‘පාලි ක්‍රමය හැර අර්ථ පමණක් ගෙන අප කළා වූ මෙම ප්‍රබන්ධයෙහි’ යනුවෙන් මූලාශ්‍ර කෘතියෙන් අර්ථය පමණක් ගෙන එහි කතා රීතිය බැහැර කර නව ප්‍රබන්ධ ලෙසින් සැකසූ බව ය. එහිදී ධර්මසේන හිමියන් සතුව පැවති ස්වාධීන සාහිත්‍ය චින්තනය පදනම් කොට නවතම ධර්ම ප්‍රබන්ධයක් ගොඩනැඟීම අරමුණු කර ගෙන තිබෙයි.‍ එබැවින් කතා වස්තු තෝරා ගැනීමේදී සමාජ ප්‍රගතිය මෙන් ම පොදුජන රුචිය කෙරෙහි ද උන්වහන්සේ සැලකිලිමත් වූහ.

ධර්මසේන හිමියන්ගේ බස් වහර සම්බන්ධයෙන් මාර්ටින් වික්‍රමසිංහයන් දක්වන්නේ ධර්මදේශකයන්ගේ භාෂාව කථා කීමට ඉතා උචිත බසක් ලෙස සකස් කරන ලද්දේ සද්ධර්මරත්නාවලිකාර ධර්මසේන ස්ථවිරයන් විසින් බවයි. කථා කීමෙහි ධර්මසේන හිමියන් තරම් ශූරයෙකු පැරණි සිංහල ගත් පරපු‍ෙර් නොසිටි බවත් ගැමි වහර ද ගැමි ජීවිතය ද ඇසුරින් සකස් කොට ගත් අපූරු රීතියක් සද්ධර්මරත්නාවලියෙන් දැකිය හැකි බව වික්‍රමසිංහයන්ගේ මතයයි. අමාවතුර හැර නවකතාවයෙන් කියවිය හැකි අනෙක් සිංහල ගද්‍ය ග්‍රන්ථය සද්ධර්මරත්නාවලිය බව කියා සිටින වික්‍රමසිංහ ප්‍රතිභාවෙන් තෝරා ගත් කථා වස්තු දේශජ කවිත්වයකින් හා විවේක බුද්ධියෙන් රචනා කළ බව ද සඳහන් කරයි. ගද්‍යයට ඉතාම උචිත රීතිය සද්ධර්මරත්නාවලී කථා රීතිය බව බොහෝ විචාරකයන්ගේ මතය වෙයි.

ධර්මසේන යතිවර සාහිත දැක්ම අන්‍ය ගද්‍ය කරුවන්ට වෙනස් වූවකි. ඊට ‍හේතුව තමන් තෝරා ගත් කථා වස්තු ග්‍රන්ථ ඥානයෙන් නොව තමා අත්දුටු ජීවන දර්ශනය තුළින් වර්ණිත කරලීමයි. ගැමියන් සමඟ ජීවත් වීමෙන් ලද පරිඥානය උන්වහන්සේ ඉතා සාර්ථක ලෙස තම කථා වස්තු ගොඩ නඟා ලීමට භාවිත කළහ. සද්ධර්මරත්නාවලියෙහි කථා වස්තුන්හි නවීන බවට හේතු ව‍ූයේ තමන් ඇසූ දුටු දේ උපමාවන් උදෙසා යොදා ගත් නවීන ශිල්ප ක්‍රමයෙකි. ව්‍යවහාරිත ලෝකය පිළිබඳ උන්වහන්සේගේ උසස් දැනුම ඔස්සේ නිපදවා ගත් උපමාවන් දඹදිව බණ කථා සිංහල ගැමි කථා බවට පත් කළේ ය. පහත උපමාවලිය තුළින් කතුවරයාගේ සමාජ ඥානය ප්‍රකට කෙරෙයි.‍

 

* පැළය නැගී මුහු කරන කලට බිජුවට ඇට දිරා නැතිවන්නා සේ

* වස්තු සොයා වෙළෙඳාම් ගියවුන් වෙළෙඳාමට මැදිව සිසනින් එන්නා සේ

* වි‍ෙර්චනයෙන් දුර්වල වූ ශරීරයක් ස්නේහජානයෙන් සතපවන්නාසේ

* දරුවන් වැදීමේ දුක් නිසා වඳ බෙහෙතක් කන්ට සිතන්නා සේ

* සමහර විෂයක් නැඟි කලට දෂ්ට කළ සර්පයා ලවාම උරවන්නා සේ.

* මගුලෙන් හෙළා ලූ කප උගුළුවන්ට බැරියා සේ

* අධෝමුඛ නකතින් ශාස්ත්‍ර පටන්ගත්තා සේ

මෙවැනි දහස් ගණනක් උපමා තහවුරු කරන්නේ ගැමි ජන දිවියේ සෑම අංශයක් කෙරෙහිම උන්වහන්සේ දැන සිටි බවයි. තමන් කියන දේ අතිශයින් පැහැදිලි කරලීම සඳහාත්, සිත්හි කාවැද්දීම සඳහාත්, හාස්‍යයෙන් යුතුව යමක් දක්වා අසන්නන් පිනවීම සඳහාත්, ඇතැමුන් උපහාසයට ලක් කරලීම සඳහාත් උපමාව සහ පිරුළ ප්‍රබල ශිල්ප ධර්මයක් බවට පත් කළෝ ධර්මසේන හිමියෝ ය.

සුරංගනා කථා නොව බුද්ධකාලීනව සමාජයේ ජීවත් වූ චරිත තෝරා බේරා ගනිමින් කථා පෙළ ගැස්වූ ආකාරය ද ධර්මසේන හිමියන්ගේ කථා රීතියෙහි කැපී පෙනෙන ලක්ෂණයකි.

* ගෙරි මරා කන එකකුගේ වස්තුව

* සිවුරු හළ එකෙකුගේ වස්තුව

* අනර්ථ විචාළ බමුණන්ගේ වස්තුව

ආදී ලෙස දේශීය ජන රීතියට අනුව කථා නම් කිරීමෙන් ද ධර්මසේන හිමියන්ගේ ස්වාධීන චින්තනය පළ වෙයි. එමෙන් ම කථාවක් අරඹන පිළිවෙළ මෙන් ම අවසන් කරන පිළිවෙළ ද උන්වහන්සේට ම ආවේණික රීතියකි.

“තවද අකුසලින් දුරු වන්නවුන්ට අකුසල්හි‍ ආදීනව දක්වනු සඳහා චුන්ද නම් හුරු වැද්දාගේ වස්තුව දක්වමු” යනුවෙන් කතාවක් ඇරඹීමට මාතෘකාවක්, තබා ගන්නා කතාකරුවා කථාව අවසන් කරන්නේ

“එහෙයින් සත්පුරුෂයන් විසින් අකුශලින් දුරුව කුසල්හි පිහිටා චිත්ත ශුද්ධිය කටයුතු” යනුවෙනි. මේ අනුව පැහැදිලි දේශජ කතා කලාවක් සිංහල සාහිත්‍යවංසට හඳුන්වා දුන් අසහාය ගත්කරුවා ධර්මසේන හිමියන් බව පැහැදිලි ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.