පුෂ්කින් රුසි­යානු හදවත | සිළුමිණ

පුෂ්කින් රුසි­යානු හදවත

ඉයුජිනි ඔනෙගින්, රුසියානු ජීවිතයේ අභිරමණීය චිත්‍රයක් විදහා දක්වයි. මුළාවෙන් මිදුණු සංශයවාදියකු වන ඔනෙගින්, ශාංගාරාත්මක නිදහස් මතධාරි කවියා වන ලෙන්ස්කිද, රුසියානු ස්ත්‍රිත්වයේ ගැඹුරු සහ ආදරණීය වන පැතිකඩක් වන තාත්යානා නමැති කතා නායිකාවද යන මොවුන්ගේ චරිත අමරණීයත්වයට පත් කරන කවියා, තම කෘතිය හඳන්වාදෙන්නේ, “මහාර්ඝ පරමාදර්ශයක්” හැටියටය. මේ සියල්ල අවශ්‍යයෙන්ම රුසියානු වන අතර, රුසියානු සමාජ හා භෞතික පරිසරය සමඟ අවියෝජනීය ලෙස බැඳී සිටින්නේ ද වෙයි. සම්පූර්ණ වශයෙන්ම පද්‍යයෙන් රචිත මෙම නවකතාව ඇරඹෙන්නේ, ශාන්ත පීටර්ස්බර්ග් නගරයෙනි. අනතුරුව, ප්‍රාදේශීය වතු යායක් මැදින් දිවෙන නවකතාව, මොස්කව් නුවරට පැමිණ, අවසානයේදී ශාන්ත පීටර්ස්බර්ග් නුවරින්ම නිමාව දකියි.

1823 දී පුෂ්කින් ඔඩෙස්සාවට මාරුකර යවනු ලැබුවේ, ඒ වන විට ඔහු පාලකයන්ගේ උදහසට ලක්ව සිටීමේ හේතුවෙනි. ඊළඟ වර්ෂයේදී රාජ්‍ය සේවයෙන් පහකරනු ලැබූ පුෂ්කින්, පුෂ්කෝව්හි පිහිටි තම මැණීයන්ගේ නින්දගමට පිටුවහල් කර යවනු ලැබීය. ඔහු විසින් බෝර්ස් ගොඩුනෝව් නමැති ඓතිහාසික ශෝකාන්ත නිර්මාණය ලියන ලද්දේ, 1824 - 1825 අතර කාලය තුළ, එහි ජීවත් වන අවධියේදීය. ශේක්ස්පියර් සම්ප්‍රදාය අනුගමනය කරන ලද මෙම කෘතිය ප්‍රකාශයට පත් වූයේ, ඉනුත් හය වසකට පමණ පසුවය.

මේ අවධිය වන විට රුසියානු ජාතික කවියා හැටියට ගොඩනගාගත් ප්‍රතිරූපය හේතුකොටගෙන, ඇලෙක්සැන්දර් පුෂ්කින් ජාතික මට්ටමේ බුද්ධිමතකුගේ තත්ත්වයට පත්ව සිටියේය. එපරිදිම, ඔහු රුසියානු ජනතාව අතර අතිශයින් ජනප්‍රියද වූයේය. පුෂ්කින්ගේ ඉමහත් ජනප්‍රසාදය සැලකිල්ලට ගත් පළමුවැනි නිකොලස් සාර් විසින්, 1826 දී ඔහුට සමාව දෙන ලද්දේය.

1827 දී ඔහු විසින් මහා පීටර් රජු ගැන නවකතාවක් ලිවීම ආරම්භ කරන ලද්දේය. සැබැවින්ම, ඔහුගේ ගද්‍ය ලේඛනය ආරම්භ වූයේ එම කෘතියෙනි. එතෙකුදු වුවත්, එය අවසන් නොකළ සාහිත්‍ය නිර්මාණයක් විය. එහෙත්, 1812 - 1825 අතර කාලයට අදාළ ඓතිහාසික සිද්ධීන් විෂයය කරගෙන ලියන ලද ගද්‍ය නිර්මාණවල කොටස් සංඛ්‍යාවක් නම්, සංරක්ෂණය කොට ඇත්තේය.

ඉන් අනතුරුව එක දිගටම ඔහු විසින් ලියන ලද කතා පහක්, ඉවාන් බෙල්කින්ගේ කතාන්දර යන හිසින් එකම තේමාවක් යටතේ ගළපන ලදී. රුසියානු සමාජයේ හැම තලයකටම අයත් වන පුද්ගලයන් පිළිබඳව මනා අවබෝධයෙන් යුතුව මුලින්ම සාහිත්‍ය නිර්මාණය කරන ලද ලේඛකයාද ඔහු විය. වහල් තත්වයේ ජීවත් වූ වැඩවසම් ගොවීන්ගේ ජීවන තත්වය, ඔහුගේ සියුම් මනස කලඹවාලීය. ගෝර්යුකිනෝ ගම්මානය, ඩුබ්රොව්ස්කි සහ කපිතාන්ගේ දියණිය යන කෘතීන්හිලා, එකී ගොවි ජනතාවගේ ජීවිතය විවරණය කිරීමට ඔහු වෑයම් කෙළේය. 1832 දී ප්‍රකාශයට පත් වුණු ඩුබ්රොව්ස්කි කතාව, රුසියානු ඉඩම්හිමි පැලැන්තියේ චර්යාවන් විවරණය කරන අතරම, වහල් ගොවීන්ගේ ජීවිතයද විවරණය කරන්ට ගත් ව්‍යායාමයක් විය. මෙම කෘතිය මඟින් රුසියානු ඉඩම් හිමි පැලැන්තියේ ජීවන රටාව ට්‍රොයේකුරෝව්ගේ චරිතය මඟින්, “බිහිසුණු අවංකභාවයකින්” යුතුව පුෂ්කින් විසින් විවරණය කොට ඇතැයි සුප්‍රකට සාහිත්‍ය විචාරක බෙලින්ස්කි කියා සිටියේය.

පුගචේච් කැරැල්ල පසුබිම් කොට පුෂ්කින් ලියන ලද කපිතාන්ගේ දියණිය නමැති කෘතිය 1836 දී පළ විය.

කපිතාන්ගේ දියණිය (1836) නමැති සුප්‍රකට කතාවෙහිලා පුෂ්කින් විෂයය කරගත්තේ, 1773 - 1775 අතර කාලය තුළ හටගත් ගොවි ජනතා නැඟිටීමය. මෙම කෘතියේ වීරයා වශයෙන් නිර්මාණය වන පුගචේච්ගේ ඓතිහාසික චරිතය, පුෂ්කින් විසින් තියුණු ලෙස විවරණය කොට ඇත්තේ, දාසභාවයට විරුද්ධව කැරලි ගැසූ, අතිශයින්ම නිර්භීත බුද්ධිමත් සහ මානුෂික ගති ලක්ෂණවලින් හෙබි සැබෑ නායකයකුගේ චරිතයක් හැටියටය. නවකතාව ගැන දීර්ඝ විචාරයක් කළ සුප්‍රකට බෙලින්ස්කි මෙ‍ෙස් කියා සිටියේය.

“මේ වූකලී පුෂ්කින්ගේ ඉයුජිනි ඔනෙගින් කතාවට සාමාන්‍ය ගද්‍ය නිර්මාණයකි. මෙහිලා පුෂ්කින් විවරණය කරන්නේ දෙවැනි කැතරින් රැජිනගේ පාලනය සමයයි. එහි පාලන සමයට අදාළ බොහෝ දර්ශන, අතිශයින්ම අවංකභාවයෙන්ද ශිල්පීය නිපුණතා­ෙවන්ද චිත්‍රණය කොට ඇත. සැබැවින්ම, ඒ නම්, පරිසමාප්තිය පිළිබඳ ප්‍රාතිහාර්යක් වැන්න.”

කපිතාන්ගේ දියණිය නවකතාවෙහිලා විවරණය කරන ලද පූගචේච්ගේ ජීවිතයත්, ඔහු නායකත්වය දුන් ගොවිජන කැරැල්ලත් පිළිබඳ කරුණු අධ්‍යයනය සඳහා පුෂ්කින්, කසාන් ඔරෙන්බර්ග් සහ කැරැල්ල පැතිර ගිය සෙසු ප්‍රදේශවලද චාරිකා කොට ඇත. පුෂ්කින් මෙම නවකතාව ලියන්නට තීරණය කර ඇත්තේ, 1833 ජනවාරි මාසයේදීය. කැරැල්ල ගැන නවකතාවක් ලියන්නට අදහස් කළ හෙතෙම, පුගචේච් සමඟ මිත්‍රත්වයෙන් සිටි රදලයකුගේ චරිතයද එයට මැදි කර ගන්නට අදහස් කර ඇත. නවකතාවේ වීරයා වන පුගචේච් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නට, කපිතාන්ගේ දියණිය නවකතාවට පිවිසෙන්නේ, ඒ අයුරිනි. 1836 ඔක්තෝබර් 25 වැනිදා, ස්වකීය නවකතාව ප්‍රසිද්ධ ලේඛන බලධාරියාව සිටි කෝර්සාකෝව්ට ඉදිරිපත් කරමින්, පුෂ්කින් විසින් අපූරු කාරණා කිහිපයක්ද හෙළිදරවු කර ඇත.

“මෙම නවකතාවේ මෙරනෝවාගේ නම, කාල්පනික එකකි. මගේ නවකතාව පදනම්ව ඇත්තේ, මවිසින් මවන ලද නිලධාරියකු පිළිබඳ පුරාවෘත්තයක් මතය. ස්වකීය රාජකාරිය පැහැර හළ මෙම නිලධාරියා, පුගචේච්ගේ විප්ලවවාදී කණ්ඩායම්වලට බැඳී ඇත. කෙසේ වෙතත්, අවසානයේදී ඔහුගේ මහලු පියා අධිරාජනියගේ දෙපා මුල වැඳ වැටී සමාව ඉල්ලීම හේතුවෙන්, නිලධාරියාට සමාව ලැබී ඇත. ම‍ෙග් නවකතාව කොතරම් දුරට සත්‍යයෙන් ඈත් වී තිබේදැයි ඔබට වැටහෙනවා ඇත.”

පුෂ්කින් පුවත් පාලකයාට එසේ පැවසුවද, මෙම නවකතාවෙහිලා දෙවැන කැතරින් රැජිනගේ චරිතය විදහා දක්වන්නේ, සියුම් උත්ප්‍රාසයෙන් යුතුවය.

කපිතාන්ගේ දියණිය, පුෂ්කින් විසින් අරඹන ලද යථාර්ථවාදී රුසියානු ගද්‍ය සාහිත්‍යයේ විශේෂ කෘතියක් හැටියට සමකාලීන කතුවරුන් විසින් පිළිගෙන තිබුණි. “නිසැකයෙන්ම මෙම නවකතාව, හොඳම රුසියානු ආඛ්‍යානය වෙතැ”යි පැවසුවේ නිකොලායි ගොගොල්ය.

ඉවාන් පෙත්‍රෝවිච් බෙල්කින්ගේ කතාන්තරවලට - වෙඩිල්ල, හිම කුණාටුව, අවමංගල්‍ය කටයුතු කළමනාකාරයා, තැපැල් මහතා සහ ගැටිස්සියක් වූ මැතිනිය යන කතා අයත් විය.

මෙම ලේඛකයා විසින් ලියන ලද කෙටිකතා සංඛ්‍යාවද අනල්පය. ඉනුත් ඉස්කෝප්ප රැජින නමැති නිර්මාණය අතිශයින් චිරප්‍රසිද්ධය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.