බ්‍රිතාන්‍ය වේදිකා නාට්‍ය බැබළවූ නාට්‍යවේදියා හැරල්ඩ් පින්ටර් | සිළුමිණ

බ්‍රිතාන්‍ය වේදිකා නාට්‍ය බැබළවූ නාට්‍යවේදියා හැරල්ඩ් පින්ටර්

අදෘශ්‍යාර්ධය

පශ්චාත් යුද කාලීන බ්‍රිතාන්‍ය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය බැබළවූ විශිෂ්ටයන් අතර හැරල්ඩ් පින්ටර් ප්‍රමුඛයෙකි. ඔහු ලෝ පතළ වූයේ වේදිකා නාට්‍ය පිටපත් හා සිනමා තිර පිටපත් රචකයෙක් ලෙස වුව ද ඔහුගේ ප්‍රතිභාව රංග ශිල්පියකු, අධ්‍යක්ෂවරයකු සහ කවියකු වශයෙන් ද දිස් විය. නිර්මාණ ක්ෂේත්‍රයේ ඔහුගේ පළමු ප්‍රවේශය සනිටුහන් වූයේ රංග ශිල්පියකු වශයෙනි. වැඩ කරන පන්තියේ දරුවකු ලෙස 1930 දී හැරල්ඩ් පින්ටර් මෙලොව එළිය දුටුවේ බ්‍රිතාන්‍යයේ හැක්නි ප්‍රදේශයේදී ය. ඔහුගේ පියා යුදෙව්වකු වූ අතර වෘත්තියෙන් ඇඳුම් මැසීමේ ශිල්පියෙකි. ඔහු පවුලේ එකම දරුවා විය. පින්ටර් පවුල පෘතුගාලයේ සිට බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූවන් ය. බ්‍රිතාන්‍යයේ හැක්නි ප්‍රදේශයේ තිබූ ඔවුන්ගේ ව්‍යාකරණ පාසලේ ඉගෙනුම ලැබූ පින්ටර්ට ජෝෂප් බ්‍රෙයර්ලි නම් තරුණ ඉංගිරිසි ගුරුවරයාගෙන් ලැබුණු මඟපෙන්වීම අනාගතයට විශාල පිටුබලයක් විය. බ්‍රෙයර්ලි අධ්‍යක්ෂණය කළ මැක්බත්, රෝමියෝ වැනි නාට්‍යවල චරිත නිරූපණය කරමින් පින්ටර් පාසල් සමයේදීම නළුවකු වූයේ ය.

දෙවන ලෝක සංග්‍රාමයේ බිහිසුණු බව පින්ටර් අත්විඳින්නේ කුඩා ළමයකු වශයෙනි. ජර්මානු හමුදා බ්‍රිතාන්‍යයට බෝම්බ දමන විට ඔහු 9 හැවිරිදි වියේ පසුවිණි. ජීවිතාරක්ෂාව වෙනුවෙන් පළා යාමට පවා ඔවුන්ට සිදුවිය. නිර්මාණකරුවකු ලෙසද ප්‍රබල යුද විරෝධියකු මෙන් ම මානුෂවාදියකු වීමට පින්ටර්ට බලපෑවේ මේ අත්දැකීම් ය. 17 හැවිරිදි වියේදී පාසල් අධ්‍යාපනය හමාර කළ පින්ටර් රංග කලාව පිළිබඳ රාජකීය ඇකඩමියෙන් හා කථනය හා නාට්‍ය පිළිබඳ මධ්‍යම පාසලෙන් ද රංග ශිල්පියකු ලෙස නාට්‍ය කලාව හැදෑරීය. 18 හැවිරිදි විය එළැඹි පසු ඔහු ද ජාතික සේවයට කැඳවිණි. යුද විරෝධියකු වූ ඔහු එහි ප්‍රතික්ෂේප කළේ ය. එසේ කිරීම වරදක් වූ බැවින් අධිකරණය හමුවේ පෙනී සිටීමට ඔහුට සිදුවිණි. නඩු විභාග 4 කට මුහුණදීමට ඔහුට සිදුවූ අතර සිරදඬුවමට ලක්වීමේ අවදානමක් තිබිණි. තමා වෙනුවෙන් තමා ම පෙනී සිටිමින් ඔහු මේ නඩුවලට ඉදිරිපත් විය. අන්තිමේදී ඔහුගේ පියා පවුම් 80ක දඩ මුදල ගෙවා දැමීම නිසා පින්ටර් සිරදඬුවමෙන් ගැලවිණි.

පවුලේ එකම දරුවා වීම නිසා ඔහු හැදී වැඩුණේ තනිව ම ය. ඔහු මිතුරන්ගේ ඇසුරට ද නො ගියේ ය. හැක්සහි පිහිටි නිවස පිටුපස ගසක් යට හිඳගෙන සිතින් වවාගත් මිතුරන් සමඟ කතා කිරීමේ පුරුද්දක් පින්ටර්ට තිබිණි. යුද්ධය මෙන් ම මේ හුදෙකලා බව ද ඔහුගේ නිර්මාණ ජීවිතයට බලපෑ බව පැහැදිලි වේ.

විසි හැවිරිදි වියට එළැඹෙන විට පින්ටර් කවි සිය ගණනක් රචනා කර තිබිණි. කෙටි ගද්‍ය රචනා කිහිපයක් මෙන් ම The Dwarfs නම් ස්වයංචරිතාපදානමය නවකතාව ද රචනා කර තිබිණි. මේ නවකතාව ප්‍රකාශයට පත් වන විට ඔහු හැට හැවිරිදි වියට එළැඹ සිටියේ ය.

වේදිකා නාට්‍ය රංග ශිල්පියකු ලෙස කටයුතු කාලයේදී පින්ටර් ප්‍රකට වූයේ ඩේවිඩ් බැරන් යන නමිනි. The Caretaker, The Birthday Party, The Betrayal, The Homecoming ඇතුළු නාට්‍ය 29 ක් ඔහු රචනා කර තිබේ. ඔහුගේ චිත්‍රපටවල ඔහු කුඩා චරිත නිරූපණයේ ද යෙදුණේ ය. තිර පිටපත් රචකයකු ලෙස ඔහු ජීවිතයේ විශාලම අභියෝගය 1990 ගණන්වල මුල් භාගයේදී බාර ගත්තේ ය. ඒ; ෆ්‍රාන්ස් කෆ්කාගේ The Trial සිනමාවට ගෙන ඒමයි. එම ඉල්ලීම ඔහුගෙන් කෙරුණු විට ඔහු එය එක හෙළා ම පිළිගත්තේ ය. පසුකලෙක ඔහු ඒ ගැන පැවසුවේ, මේ අවස්ථාව තමාට ලැබෙන තුරු 45 වසරක් ම බලා සිටි බවය. පින්ටර්ගේ නිර්මාණ ජීවිතයට කෆ්කා ගෙන් ලද ආභාසය කැපී පෙනේ. පින්ටර් ගේ The Birthday Party හා කෆ්කාගේ The Trail නවකතාව අතර බොහෝ සමානතා ඇති බව ඇතැම් විචාරකයෝ පෙන්වා දෙති. පින්ටර්ගේ තිරරචනයෙන් හා ඩේවිඩ් ජෝන්ස්ගේ අධ්‍යක්ෂණයෙන් The Trail 1993 දී තිරගත විණි. ඩේවිඩ් ජෝන්ස් යනු පින්ටර්ගේ Betryal චිත්‍රපටයේ ද අධ්‍යක්ෂවරයා ය.

හැරල්ඩ් පින්ටර් පාසල් වියේ පටන් ම දැඩි ක්‍රිකට් ලෝලියෙකි. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළිණි. එහෙත් ඔහු ඊට වඩා කළේ ක්‍රිකට් තරග නැරැඹීම ය. ක්‍රීඩාව පිළිබඳ බොහෝ පොත පත ද ඔහු කියැවීය. තමන් ජීවිතයේ ප්‍රිය කළ දේවල් අතර ක්‍රිකට් ද ඇති බව ඔහු පවසා තිබේ. මීට අමතරව ක්‍රීඩකයකු ලෙස ඔහු ධාවන තරගවලට ද සහභාගි විය.

වේදිකා නළුවකු ලෙස කටයුතු කළ සමයේ ඉන් ඉපැයූ ආදායම ප්‍රමාණවත් නොවීම නිසා ඔහු වේටර්වරයකු, හිම පිරිසිදු කරන්නකු, තැපැල් පියුම් කෙනෙකු ආදී රැකියා කිහිපයකට වරින් වර නියැළී තිබේ.

පින්ටර් දේශපාලන ක්‍රියාධරයකු ලෙස ද කැපී පෙනේ‍. ඔහුගේ නිර්මාණ තුළින් ද ඔහුගේ දේශපාලන දැක්ම පිළිබිඹු විය. ඔහු ඇමෙරිකානු විරෝධියකු වූ අතර වාමවාදියකු විය. දෙවන ලෝක යුද්ධයේ කම්පනය දැනුණු අයකු ලෙස ඔහු න්‍යෂ්ටික අවිවලින් තොර ලොවක් දැකීම සඳහා නිරායුධකරණ වැඩපිළිවෙළට සහාය දැක්වීය. එමෙන් ම දශක ගණනාවක් ම වර්ණ භේද විරෝධී ව්‍යාපාරයේ සහායකයකු විය. සිය ජීවිතයේ අවසන් 25 වසර තුළ ඔහුගේ නිර්මාණවලින් පමණක් නොව ඔහු කළ දේශන සහභාගි වූ සම්මුඛ සාකච්ඡා ආදියෙන් ද වඩාත් පිළිබිඹු වූයේ ඔහුගේ දේශපාලන දැක්ම යි. පින්ටර් කියුබානු සහයෝගිතා ව්‍යාපාරයේ ද ක්‍රියාකාරී සාමාජිකයෙකි. එහි හිඳිමින් කියුබාව මත පණවා තිබූ ඇමෙරිකා සම්බාධකවලට එරෙහි ව ඔහු හඬ නැඟීය. 2001 වසරේදී ‍ඔහු යුගොස්ලාවියාවේ හිටපු ජනාධිපති ස්ලොබොදාන් හට සහාය දක්වමින් ඉදිරියට ආවේ ඔහුට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වූ විට ය.

ස්ලොබොදාන් වෙනුවෙන් සාධාරණ නඩු විභාගයක් පැවැත්විය යුතු බවට ඔහු තවත් කලාකරුවන් ද සමඟ හඬ නැඟී ය. 1991 ගල්ෆ් යුද්ධයට, කොසොවෝ යුද්ධය අතරතුර 1999 දී නේටෝව යුගොස්ලාවියාවට එරෙහිව සිදු කළ ගුවන් ප්‍රහාරවලට, 2001 දී ඇමෙරිකාව දියත් කළ ඇෆ්ගන් යුද්ධයට සහ 2003 දී සිදු කළ ඉරාක ආක්‍රමණයට හැරල්ඩ් පින්ටර් දැඩි ලෙස එරෙහි විය. බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් මෝඩයකු ලෙස හැඳින්වූ ඔහු ඇමෙ‍රිකා ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ පාලනය නාසි ජර්මනියේ පාලනයට සමාන බව කීවේ ය. වසර 2005 දී සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය පිරිනැමුණු අවස්ථාවේ ඔහු කළ දේශනය ඓතිහාසික එකකි. ඔහුගේ දේශපාලන දෘෂ්ටිය එහි මනාව ගැබ්ව ඇත. පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් ප්‍රතිකාර ලබමින් සිටි නිසා නොබෙල් ත්‍යාගය බාර ගැනීමට යාමට වෛද්‍යවරු ඔහුට ඉඩ නොදුන්හ. ‍රෝහලේ සිටිමින් ම ‘කලාව, සත්‍යය සහ දේශපාලනය’ මැයෙන් ඔහු කළ දේශනය පටිගත කළ අතර නොබෙල් සම්මාන ප්‍රදාන වේදිකාවේදී එය විකාශනය කෙරිණි. පින්ටර් වෙනුවෙන් සම්මානය බාර ගත්තේ ඔහුගේ කෘති පළ කළ ෆේබර් ඇන්ඩ් ෆේබර් ප්‍රකාශන ආයතනයේ ස්ටෙපාන් ජේජ් ය.

වසර 2008 දෙසැම්බර් 31 වැනිදා කෙන්සාල් ග්‍රීන් සුසාන භූමියේදී හැරල්ඩ් පින්ටර් සදාතනිකව නින්දට ගියේ ය. එම අවමංගල්‍යය පෞද්ගලිකව සිදු කෙරිණි. ආගමික වතාවත් සිදුවූයේ නැත. ඔහුගේ නිර්මාණ අතරින් තෝරාගත් ඡේද 8 ක් කියවන ලදී.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.