මා වටා ඉන්න පාඨකයන් මට විශාල අභිමානයක් | සිළුමිණ

මා වටා ඉන්න පාඨකයන් මට විශාල අභිමානයක්

ජයකොඩි සෙනෙවිරත්න උපහාර උලෙළ 10 දා සවස 3.00 කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වෙයි.

‘ආදර ගඟ ගලන දෑස’ ඔහුගේ ප්‍රථම නවකතාව ය. කෙටිකතාකරුවකු ලෙස ලේඛන දිවිය ඇරඹි ජයකොඩි සෙනෙවිරත්න නම් වූ ප්‍රවීණ ලේඛකයා පසු කාලීනව රමණි, සිත්තරකුට පෙම් බැඳ, මිහිඳුම් සළු, දෙමස්සිනෝ, උඩුමහල, මිනිස්සු, නිකිණි වැස්ස, අම්මයි දුවයි, ස්වර්ණ වර්ණ, නෙරළු උයන, ඇස්බැඳුම... ආදි වශයෙන් නවකතා 68ක් ලියන්නේ ය. ඒ අතර ආඬි හත්දෙනා, ලෝකෙට ලොක්කා යනුවෙන් ළමා කතා දෙකක් ද ලියන්නේ ය. කවුරුන් ඔහු ගැන කතා කළ ද නොකළ ද ඔහු ගෙවී ගිය කාලය තුළ තම කාර්යය කරගෙන ගියේය. ඒනිසා ම මේ ලේඛකයා පාඨකයන්ට බොහෝ සේ ආදරය කරන්නේ ය.

ලේඛකයන්ට තමන්ට ම කියා ආකෘතියක්, අනන්‍යතාවක් ඇත්තේ ය. ඒ නිසා ම ඔවුන්ගේ නිර්මාණ පාඨක සිතෙහි රඳා පවතින්නේ ය. යම් කෘතියක් කිය වූ සැණින් එහි ලේඛකයා කවුරු දැ යි කියන්නට පාඨකයෝ සමත් ය. දීර්ඝ කාලයක් තිස්සේ නවකතා ‍ක්ෂේත්‍රයේ රැඳී සිටින ජයකොඩි සෙනෙවිරත්න නම් වූ ලේඛකයාට ඇත්තේ ද එවැනි අනන්‍යතාවකි. බොහෝ විට ඔහුගේ නවකතාවලට පත්තර පිටුවල විචාර ලියවෙන්නේ නැත. පොත් එළිදැක්වීමේ උත්සව නැත. කෙසේ වෙතත් ජනතා සම්මානය නොඅඩුව ලබන ජයකොඩි සෙනෙවිරත්න නම් වූ ‍මේ නවකතා කරුවා පිළිබඳ මෙවර ‘සත්මඬල’ සංලාපය වෙන් වන්නේ විශේෂ හේතුවක් නිසා ය. ‍එනම්: සිය ලේඛන දිවියේ 68 වසරක් සමරන ඔහු මේ වන විට නවකතා පොත් 68ක් ලියා පළ කර ඇත්තේ ය. ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් මේ මස 10 වන දා සවස 3.00 කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වෙයි.

වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු වූ ජයකොඩි සෙනෙවිරත්නයන් වෘත්තියේ නියැළෙන අතරතුර නවකතා ලියන්නට පෙලඹූණේ ය. ඔහුගේ ලේඛන ජීවිතයට විශාල සහායක් ලැබෙන්නේ ලේක්හවුස් ආයතනයෙනි. අතීත මතකයන් සිහිපත් කරමින් ජයකොඩි සෙනෙවිරත්නයන් ලේක්හවුසිය පිළිබඳ ස්මරණ මතකයට නඟන්නේ ගෞරවයෙනි.

“මේ කියන කාලයේ මම සේවය කළේ මාතර තිහගොඩ ප්‍රදේශයේ. ඒ වෙන කොට මම ‘ආදර ගඟ ගලන දෑස’ පොත ලියලා පළ කරලා තිබුණේ. මට මතක හැටියට ඔහු ඩබ්ලිව්.ඩී. ෆොන්සේකා විය යුතු යි. ඔහු එවකට ලේක්හවුස් ආයතනයේ අලෙවි ප්‍රවර්ධක නිලධාරියා. ඔහු මාතර සංචාරය කරන අතරතුර මාව හොයාගෙන ආවා. ඔහු මට ඇවිත් කිව්වා ‘සිළුමිණ’ කර්තෘ සුබසිංහ මහත්මයා කිව්වා කියලා ‘සිළුමිණ’ පත්තරයට නවකතාවක් ලියන්න කියලා. මම පුදුම වුණා! සිළුමිණට නවකතාවක් ලියන එක පොඩි පහේ වැඩක් නොවෙයි. මම බොහෝ ම ආශාවෙන් මාස දෙක තුනක් ඇතුළත නවකතාවක් ලිව්වා. ඒ කතාවේ නම ‘රමණී’. දවසක් මම සුබසිංහ මහතාට කතාව ගිහිල්ලා බාර දුන්නා. ‍‘අපි මේක කියවලා බලලා කියන්නම්’ කියලා එතුමා මට කිව්වා. සති කිහිපයක් ගෙවිලා ගියා. කිසි ම තොරතුරක් නැහැ. අහන්නත් බැහැ නේ... දවසක් මම පත්තරයක් ගන්න ‘වීනස්’ පොත් සාප්පුවට ගියා. එතන ලොකු පෝස්ටරයක් ගහලා තිබුණා, ලොකු අකුරෙන් ලියලා තිබුණා ජයකොඩි සෙනෙවිරත්න ලියූ නවකතාව ලබන සතියේ සිට ‘සිළුමිණ’ පුවත්පතේ කොටස් වශයෙන් පළ වෙනවා කියලා. ඊළඟ සතියේ ඉඳලා කියපු විදිහට ම කතාව පළ වුණා. නමුත් පත්තරය දුටුවා ම මට කණගාටුවක් ඇති වුණා. මොක ද: මම ලියපු කතාව නොවෙයි පළ වී තිබුණේ. මගේ කතාවේ පිටු හැත්තෑදෙකක් යන තුරු එහෙන් මෙහෙන් ගත් කොටස් තමයි පත්තරේ පළ වී තිබුණේ. මම ලියපු රසවත් දේ ඒ කතාවේ නැහැ. මම ‘සිළුමිණ’ කන්තෝරුවට ගියා. සුබසිංහ මහත්තයා කාමරේ හිටියා. මම එබිලා බැලුවා. ඔහු මාව දැකලා කිව්වා මම හිතුවා ජයකොඩි එයි කියලා. මං ඇහුවා ‘මගේ කතාව නොවෙයි නේ අර ගිහින් තියෙන්නේ?’ කියලා. සුබසිංහ මහත්තයා බොහෝම සන්සුන්ව කියනවා.‘ජයකොඩි, පත්තරවල කොටස් වශයෙන් කතා ලියද්දි ගැම්මක් තියෙන්න ඕන. අපි හැත්තැදෙවන පිටුවෙන් පටන් ගත්තේ. එතැනින් පස්සේ දිගට ම යන්නේ ජයකොඩිගේ කතාව. කපන්නේ නැහැ’ කියලා කිව්වා. සුබසිංහ මහත්තයා මගේ කතාව දීලා තිබුණේ උපකර්තෘ කෙනෙකු වු පර්සි ජයමාන්න මහත්තය‍ට. මම ඒ බව දැනගත්තේ පසුව. කතාව දිගටම පළ වුණා. ‘රමණි’ නවකාවේ කොටස් විසිපහක් විතර පළ වෙන කොට සිළුමිණෙන් ලියුමක් එනවා තවත් නවකතාවක් ලියන්න කියලා... මම සිළුමිණට ලියපු දෙවන නවකතාව තමයි ‘පර වුණ මල්’ කතාව.”

ජයකොඩි සෙනෙවිරත්නයන් සිළුමිණට නවකතා ලියන්නට පෙර සිට ම ‘නවයුගය’ පුවත්පතට කෙටිකතා ලියන්නට වූයේය. එවකට ‘නවයුගය’ පුවත්පතේ කර්තෘ ලෙස කටයුතු කළේ ශ්‍රීලාල් හික්කඩුව මහතාය. කොහොම වුවත් ඉන් පසු ඔහු බොහෝ පුවත්පත්වලට කොටස් වශයෙන් නවකතා ලියන්නට වූයේ ය. ඔහුගේ නවකතා ජනප්‍රිය වන්නට විය.

ඔහු හුදු ප්‍රේමකතා කරුවෙක් නොවූයේය. ඔහුගේ කතාවලට පාදක වූයේ මේ මහපොළොව මත පය ගසා ජීවත් වන මිනිසුන් ය. ඔවුන්ගේ හැඟීම් දැනීම්ය, ජීවත් වන්නට දරන උත්සාහයන්ය. ආදරය, සෙනෙහස, ප්‍රේමය, දුක, කඳුළ සියල්ල ඔහුගේ නවකතාවලට විෂය වූයේ ය. එනමුදු ඔහුගේ නවකතාවල පොත්වල පිටකවරය සහ නම දුටු විට එය ප්‍රේමකතාවක් යැ යි කෙනකුට සිතෙන්නේ ය. එයට හේතුවක් ඇතැයි ජයකොඩි සෙනවිරත්නයන් පවසන්නේ හිනැහෙමිනි.

“ඒ කාලේ මාර්කට් වුණේ ඒ වගේ නම්. මගේ පළමු පොත ‘ආදර ගඟ ගලන දෑස’. ඒ පොතේ අන්තර්ගත වුණේ 56 අවුරුද්දේ බණ්ඩානායක මහතාගේ ජයග්‍රහණයට පසු රටේ ඇති වූ වෙනෙස. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වීම ආදි දේ තමයි පොතට ඇතුළත් වුණේ. මට මතකයි ඒ කාලේ එක්තරා ලේඛකයෙක් පොතක් ලිව්වා ‘ මුළු හදින් මම ඇයට පෙම් කොට’ කියලා. ඉන් පසුව තවත් ලේඛකයෙක් පොතක් ලිව්වා ‘අනාගත පෙම් සිහින මැව්වෙමි’ කියලා. ඉතින් ඒ කාලේ තිබුණේ එහෙම රැල්ලක්. ඒ රැල්ලෙන් බැහැර වීමට අපට පුළුවන්කමක් තිබුණේ නැහැ. මගේ පොත්වලට නම් යෙදුණෙත් ඒ විදිහට.”

ඔහු දිගින් දිගට ම ලියන්නට වූයේ ය. ඔහුගේ ඇතැම් නවකතා රුපවාහිනී ටෙලි නාට්‍යවලට නැඟුණේ ය. කුමාරිහාමි, නොමැරෙන මිනිස්සු, දහස් ගව් දුර, අනුත්තරා ඉන් සමහරකි. සුනිල් ආරියරත්නයන් ‘මිහිදුම් සළු’ චිත්‍රපටය නිර්මාණය කරන්නේ ජයකොඩි සෙනෙවිරත්නයක් ලියු කතාවට ය. පසුකාලීනව නවකතාකරුවකු ලෙස ප්‍රකට වුව ද ඔහු චිත්‍රපට තිර රචනය පිළිබඳ හදාරා ඇත්තේ ය. ඔහු සිහි කරන්නේ ඒ අතීතය යි.

“මට මතක හැටියට ඒ එක්දහස් නවසිය හැත්තෑව අවුරුද්ද. පුවත්පතක දැන්වීමක් පළ වෙලා තිබුණා රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ තිර රචනය පිළිබඳ පාඨමාලාවක් පැවැත්වෙනවා කියලා. මමත් ඉල්ලුම් පත්‍රයක් දැම්මා. ඒ අනුව මාවත් පාඨමාලාව සඳහා තේරුණා. මේ පාඨමාලාවේ ප්‍රධානියෝ තමයි ඩී.බී. නිහාල්සිංහ, පියසිරි ගුණරත්න හා වි‍ජේරත්න වරකාගොඩ යන අය. මට මතකයි මේ පාඨමාලාවේ ඉගෙනගන්න ටී.බී. ඉලංගරත්න මහත්තයත් ඇවිත් හිටියා. ඒ කාලේ ඔහු පාර්ලිමේන්තු යනවා. කණ්ඩායමේ තිස්දෙනෙක් විතර ඉන්න ඇති. පාඨමාලා කාලය මාස හයයි. පාඨමාලාවේ ආදර්ශ තිර රචනයක් ලියන්න තිබුණා. මම තිර රචනයක් ලිව්වා ‘දරුවෝ’ කියලා. ඒ තිර රචනය හොඳ එකක් කියලා තේරුණා. එයින් කෙටි චිත්‍රපටයක් කෙරුණා. චිත්‍රපට සංස්ථාවෙන් තිර රචනා පුස්තකාලයක් ආරම්භ කෙරුණා. තිර රචනා සංස්ථාවට බාර දෙන්න කියලා තිබුණේ. ඒ අනුව තමයි මම ‘මිහිදුම් සළු’ තිර රචනය ලියලා සංස්ථා පුස්තකාලයට බාර දුන්නේ. හොඳ ම තිර රචනය ලෙස තේරුණ ‘මිහිඳුම් සළු’ තිර රචනයට රුපියල් දාහකත් ලැබුණා. පසුව සුනිල් ආරියරත්නයන් මිහිඳුම් සළු තිර රචනය චිත්‍රපටයට නැඟුවා.”

දීර්ඝ කාලයක් තිස්සේ නවකතා ‍ක්ෂේත්‍රයේ රැඳී සිටින ජයකොඩි සෙනෙවිරත්නයන්ගේ තවත් එක් විශේෂත්වයකි. හැට අට වසරක් තිස්සේ ම ඔහුගේ නවකතා පොත් ප්‍රකාශයට පත් කරන්නේ එක ම ප්‍රකාශන ආයතනයකි.

“මාත්, දයාවංශ ජයකොඩි මහතාත් අතර නොබිඳෙන විශ්වාසයක් තියෙනවා. ඔහුගේ ගනුදෙනු ඉතා විශ්වාස වන්තයි. ලේඛකයකු හැටියට මමත් ප්‍රකාශකයකු හැටියට ඔහුත් අතර ඒ විශ්වාසය බොහෝ වටිනවා. ඒ නිසයි මම වෙනත් ප්‍රකාශකයන් සොයා නොගියේ...”

දැන් ඔහු දවස ගෙවන්නේ විවේකයෙනි. ඔහු පදිංචිව සිටින්නේ කොළඹින් ඈත ය. එනිසා වෙනත් ලේඛකයන් මෙන් ඔහු කොළඹ පැවැත්වෙන සාහිත්‍ය උත්සවවලදී දකින්ට නැත. එමෙන් ම ඔහුගේ පොතපත පිළිබඳ විචාර ලියවෙන්නේද නැති තරම්ය. එය එසේ වුව ද ඔහුගේ ලේඛන ජීවිතය අතරමඟ නතර වූයේ ද නැත. ඔහුගේ කතාවලට මේ සා අත්දැකීම් සම්බාරයක් කොහෙන් ලැබුණේ දැ යි ‍ඔහුගේ කෘති කියවන විට නිතැතින්ම සිතට නැඟෙන්නකි.

“මම අවුරුදු තිස් එකක් ‍රාජකාරියේ නියැළුණු කෙනෙක්. රැකියාව සමඟ මම බොහෝ පළාත්වල පදිංචිව සිටියා. ඒ ඒ ප්‍රදේශවලදී ලැබූ අත්දැකීම් බොහෝයි. ඒ වගේම මම මේ වටපටාවේ අත්දැකීම් ලබනවා. අද නිකුත් වන හැම පොතක් ම මිලට ගන්න බැරි වුණත් පැරණි නවක ලේඛක භේදයක් නැතිව මම කාගේ වුණත් නිර්මාණ කියවනවා... අපි පාසල් යන කාලේ රස වින්දේ කියෙව්වේ විශ්ව සාහිත්‍යය. මේ හැම දෙයින් ම තමයි මගේ ලේඛනය පොහොසත් වුණේ. තවත් දෙයක් කියන්න ඕන මම කවදාවත් විචාර ලියන්න කියලා කාටවත් කියලා නැහැ. කවුරු හෝ මගේ පොතක් කියවලා විචාරයක් ලියලා පුවත් පතක පළ කළොත් ඇරෙන්න. මම විශේෂයෙන් ම සිහිපත් කරන්න ඕනෑ අපි ලියන්න පටන් ගත්ත මුල් කාලයේ හිටපු පුවත්පත් කලාවේදීන්ට. ඔවුන් ඒ කාලේ අලුත් ලේඛකයන් දිරි ගැන්නුවා.

කොහොම වුවත් ඔහුගේ නවකතා කියවීමට ‍තවමත් පාඨකයෝ රැසක් සිටින්නාහ. බොහෝ විට ජයකොඩි සෙනෙවිරත්න සූරීන් පොතක් ලියූ විට ඒ පොත පුදන්නේ ද පාඨකයන්ට ම වීම තවත් විශේෂත්වයකි.

“මගේ හිතේ කිසිම කනගාටුවක් නැහැ. මම නවකතා ලිව්වා. ඒ කතා පාඨකයෝ ඉතා ආදරයෙන් බාර ගත්තා. මම දෙපයින් නැඟී සිටි ලේඛකයෙක්. මා වටා ඉන්න පාඨකයන් මට විශාල අභිමානයක්.” 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.