සාහිත්‍යයට නිර්වචනයක් | සිළුමිණ

සාහිත්‍යයට නිර්වචනයක්

Indian Folklife නම් වාර ප්‍රකාශනයට What is Sahit in Sahitya යන හිසින් ලිපියක් සපයන ප්‍රවීණ මලයාලම් ලේඛක පී.සචිතානන්දන් (ආනන්ද්) එහි මෙසේ සඳහන් කරයි:

‘මේ අවස්ථාවේ දී මට නෝමැඩික ගෝත්‍රයක් පිළිබඳ කතන්දරයක් සිහිපත් වේ. මේ ගෝත්‍රිකයෝ තමන් යන යන තැන සිය ගෝත්‍රියේ පූජනීය පාඨ ග්‍රන්ථය රැගෙන ගියෝ ය. එහෙත් ඔවුන්ගේ දිගු ගමන් නිසා එහි බස ද පාඨිත ද ඔවුන්ට අමතක විණි. ඔවුහු කෙමෙන් කෙමෙන් නූතන ශිෂ්ටාචාරයට නතු වූහ. එනයින් ඔවුන්ගේ අතීතය ඔවුන්ට අමතක වූ අතර තමන්ගේ පූර්වය පිළිබඳ සිහියට නඟා ගැනීම කළ නොහැක්කක් විය. තමන් ගමන ඇරඹුවේ මන්ද‚ කොතැනින්ද‚ කවදාද යනාදී කරුණු සාහිත්‍යය ගැන කතා කරනවිට අප මුහුණ දෙන ගැටලුව ද එසේ ම ය. අපි පසුගිය සියවස්වල දී අපේ බස දියුණු කැර ගෙන අදහස් ප්‍රකාශ කිරීම වර්ධනය කැර ගෙන ඇත්තෙමු. අපි සාහිත්‍ය රටා ගැන සාකච්ඡා කරමු. සම්භාව්‍යවාදය‚ අරුමැසිවාදය‚ ව්‍යුහවාදය‚ නව්‍යවාදය‚ පසුනව්‍යය වාදය ගැන කතා කරමු. එහෙත් සාහිත්‍යය යනු නිශ්චිතව ම කුමක් ද? එහි ස්වරූපය කෙසේ ද?’

literature යන්න litera ලතින් යන වදනින් භින්න වූ බව පෙර සඳහන් කරන ලදී. එසේ නම් සාහිත්‍යය යනු ලිඛිත දෙයක් විය යුතු ය. ඉන් කරුණු දෙකක් ඉස්මතු වේ. පළමුවැන්න නම් ලිඛිත ඕනෑම දෙයක් සාහිත්‍යය ද යන්නයි. දෙවැන්න ලිඛිත නොවන සාහිත්‍යයක් තිබිය නොහැකි ද යන්නයි. ලිඛිත ඕනෑම දෙයක් සාහිත්‍යය නම් a + b = 25 යන වීජීය ප්‍රකාශනය ද සාහිත්‍යය විය යුතු ය. එහෙත් මේවා නිසරු කතා බව අපි දැන් දනිමු. දෙවැන්න නම් සාහිත්‍යය ලිඛිත ම විය යුතු ද යන්නයි. සාහිත්‍යය යනු ආත්ම ප්‍රකාශන බවත් ඒවාට අකුරුවලින් සෑදෙන වචන සහ ඒවායෙන් නිර්මිත වාක්‍ය තිබිය යුතු නොවන බවත් ලොව පුරා ශාස්ත්‍රවන්තයන් විසින් කලක පටන් ම පෙන්වා දෙනු ලැබේ. ඒ මතයට අනුව චිත්‍ර ද සිනමා පට ද සාහිත්‍යය ගණයට අයත් ය. ඒවා දෘශ්‍ය සාහිත්‍යය වේ. සාහිත්‍යය ශ්‍රව්‍ය ද විය හැකි බව ඉන් අදහස් කෙරේ.

ඒ කාරණය සත්‍ය බව වැටහෙන්නේ‍ ´ඒවං මේ සුතං’ යන්න ගැන මෙනෙහි වන විට ය. සූත්‍ර පිටකයේ එන බොහෝ සූත්‍ර ඇරඹෙනුයේ ඒ වැකි කඩෙනි. එහි සිංහල අරුත වනුයේ ´ මා විසින් මෙසේ අසන ලදී’ යන්න ය. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන තෙක් මේ සූත්‍ර රැක ගෙන ආයේ මුඛ පරම්පරාවෙනි. එය ප්‍රථම ධර්ම සංගායනාව දක්වා පරම්පරා කිහිපයක් ආපස්සට යන ගමනකි. සංගායනාවට සහභාගි වූ අන්‍ය භික්ෂුන් හමුවේ මේ සූත්‍ර මතකයෙන් කීවේ ධර්මභාණ්ඩාගාරික ලෙස පිදුම් ලැබූ ආනන්ද මහ තෙරුන් වහන්සේ විසිනි. එතැන් සිට අකුරුවලට පෙරළන තුරු ම ඒවා තමාට වඩා ජ්‍යෙෂ්ඨ බහුශ්‍රැතයකුගෙන් අසන ලද්දක් මැ වූ හෙයින් දිගින් දිගට ම ඒ පාඨය එසේ ම ආයේ ය. ලිඛිත පාඨ බවට පෙරළෙන තුරු ම ඒවා පැවැතියේ කිසිවකුගේ ස්මෘතියේ බවත් එහෙත් පාඨිතය නොනැසී පැවතුණ බවත් මෙයින් පැහැදිලි ය.

ලොව පුරාණතම දර්ශනය ලෙස සැලකෙන වේද ද එසේ ය. එය ගුරුන්ගෙන් අසන (ශ්‍රැත) සහ දෙවියන් විසින් තමන් අමතා පවසන ලදුව තමන්ගේ මතකයෙන් කියන (ස්මෘත) යන ලෙසින් දෙ ආකාරයකි. මේවා ග්‍රන්ථාරූඪ කරන ලද්දේ චන්ද්‍ර ගුප්ත මෞර්ය රජ සමයේ බැව් පැවසේ.

බයිබලය පවා එලෙස කටවහරින් ආවකි. එහි අඩංගු කතන්දර ගොන්න සිව් ලොව දිග් විජය කළ සයිරස් අධිරාජ සමයේ (ක්‍රි.පූ 600 - 530) පැපිරස් පත්වලට ගන්නට ඇති බව ස‍ඳහන් ය.

සාහිත්‍යයට නිර්වචනයක් සෙවීම සඳහා වන ගවේෂණය නිරන්තරයෙන් ගමන් කොට තිබෙන මාර්ගයක් මෙනි’යි කිව හැකි ය. ගමනාන්තය කරා ළඟාවීම අපහසු වන අතර තෘප්තියක් ලැබී ඇත්තේ කලාතුරකිනි.බොහෝ උත්සාහ කොට ලබා ගන්නා ලද නිර්වචන පුළුල් මෙන් ම අපැහැදිලි ද වන අතර අනිවාර්යයෙන් ම කාලයත් සමග වෙනස් කම්වලට බඳුන් වන බව නියත ය.

සාහිත්‍යය යනු කිසියම් විෂයයක් ප්‍රස්තුත කැර ගනිමින් ඒ විෂයයෙන් බැහැර නොවෙමින් වන ලිවීමක් ලෙස අර්ථ දැක්වීමක් ඇත. තවත් අර්ථ දැක්වීමකට අනුව විශේෂ විලාසිතාවකට අනුව හෝ තෝරා ගන්නා ලද විෂයයක් යටතේ ලියන ප්‍රකාශිත ලේඛනයක් සාහිත්‍යය වෙයි. ඒ අනුව පුවත් හසුන්,නාමාවලි සුචි යනාදියත් සාහිත්‍යය ගණයට ඇතුළත් කළ යුතු ද යන පැනය මෙහි දි පැන නැඟේ. විෂය පථය පුළුල් වුව ද සාහිත්‍යය යන්නේ අරුත එහි දී පටු වේ. මන්දයත් ප්‍රකාශිත ලේඛන යන ප්‍රවර්ගයට එය විශේෂයෙන් ඇතුළත් කැරෙන හෙයිනි. එමගින් ඉහත සවිස්තරාත්මකව ඇතුළත් කැර ඇති වාචික සාහිත්‍යය ඉන් බැහැර කෙරෙන හෙයිනි.

එන්කාටා විශ්වකෝෂයට අනුව සාහිත්‍යය යනු මැනැවින් තෝරාගත් වචන සමුහයක් භාවිතයෙන් ආඛ්‍යානමය ස්වරූපයෙන් කතන්දරයක් ඉදිරිපත් කිරීමයි. කතන්දරයේ චරිත අතර ගැටුම් තිබිය යුතු අතර කලාත්මක ලෙස පෙළ ගස්වන ලද සංකල්ප රූප මගින් චිත්තවේග මෙන් ම සංකල්පනා ද ඉදිරිපත් කරන්නේ විය යුතු ය.

ඉන් පැහැදිලි වන වැදගත් කාරණය නම් සාහිත්‍යය සිය පරිකල්පනය භාවිත කරමින් පාඨකයා විනෝදවත් කිරීම සහ ඔහුට උපදෙස් දීම කරන බවයි. තවදුරටත් ඉදිරියට යන්නේ නම් පාඨකයා ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යෑම සාහිත්‍යයෙන් සිදු කරයි. මෙහි දී පාඨකයා වෙනුවට රසිකයා යන්න වඩා සුදුසු පදයයි. රසිකයා තුළ කම්පනයක් සහ විස්මයක් ඇති කරමින් මොහොතකට ඔහු යථාවෙන් ඔබ ස්ථානගත කිරීමට හැකියාවක් තිබීම සාහිත්‍යයයේ විශේෂ ගුණයකි. සාහිත්‍යය යනු එසේ කරන දෙයක් ලෙස අර්ථ දැක්විය හැකි ය. මේ අර්ථ දැක්වීම තුළ සාහිත්‍යයයේ සියලු ලක්ෂණ හා ගුණාංග ඇතුළත් නොවුණ ද එය පුළුල් එකකි. මෙහි ඇති විශේෂය නම් සාහිත්‍යය යනු ලිඛිත පඨිතයක් ම විය යුතු ය යන සාම්ප්‍රදායික මතිය එය බැහැර කිරීමයි. එහි දී වචනවල වැදගත් බව ඉස්මතු කොට නොමැත. එහෙත් මේ අදහස ඉදිරිපත් කරන අය සාහිත්‍යයට ස්වීයමය වූ රචනා විලාසිතාවක් මෙන් ම සිය කාරියේ අරමුණ සාක්ෂාත් කැර ගැනීම සඳහා ප්‍රවේසමෙන් වචන තෝරාගෙන පරිහරණය කළ යුතු බව ද ව්‍යංග­්‍යයෙන් පෙන්වා දෙයි. මෙය සත්‍යයක් වුව ද සෑම ආකාර සාහිත්‍යයකට ම එය අදාළ කර ගැනීම පහසු නොවේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.