නිදා ඉන්න කොටි අවදි කරන හැටි | සිළුමිණ

නිදා ඉන්න කොටි අවදි කරන හැටි

“දිවියා බඩගින්න වැඩි වුණාම එළිය තිබෙන තැනකට ඇවිත් මැරුණා වගේ වැතිරෙනවා. වඳුරන්ට මේක හරිම ප්‍රශ්නයක්. කුතූහලය දරාගන්න බැරි තැන වඳුරෙක් ඇවිත් දිවියගේ නැට්ටෙන් ඇදලා බලනවා. නෑ... කිසි හැලහොල්මනක් නෑ. ඊළඟට කකුලක් අතක් හොලවලා බලනවා මැරිලාවත්ද කියලා. ඒත් නෑ... ඉතින් රංචුවේ ඉන්න කුතූහලය තවත් වැඩිම වුණු එකෙක් ඇවිත් කනෙන් අදිනවාත් එක්කම තියුණු නියපොතු දික්කරගෙන පනින දිවියා අර ඕනෑ නැති ඕපදූප හොයන්න ගිය වඳුරව අල්ල ගන්නවා. ඒක දිවියන් බඩගින්නට කරන කපටි වැඩක්. ඒකට තමයි ගමේ කියන්නේ ‘නිකං නිදං ඉන්න කොටි ඇහැරව ගන්නවා’ කියලා. හැබැයි මේක මගේ නිරීක්ෂණයක් නම් නෙවෙයි. ගම්මු දැක්ක දෙයක්.”

හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා වඳුරන්ගේ අමනකම් ගැන කම්පා වෙමින් මෙසේද කීවේය:

“වඳුරු දඩයම දිවියන්ට ලේසි කරන්නේ වඳුරන්ගේ කුලප්පු වන ගතිය. දිවියෙක් බඩගින්නේ බිම සැරිසරනවා කියලා ඉව වැටුණු ගමන් උස් ගස් මුදුන්වල ඉන්න වඳුරන් නිකම්ම කලබල වෙලා අතු ඉති හොලවාගෙන එහෙට මෙහෙට පනින්න ගන්නවා. එතකොට දිවියා දැන ගන්නවා ඒ ගහේ වඳුරන් ඉන්න බව. සාමාන්‍යයෙන් ගොරවනවා වෙනුවට ගහ පහුරු ගාලා ප්‍රචණ්ඩකාරී හැසිරීමක් පෙන්වන දිවියාට බයේ ගස් මුදුන්වලින් එහාට මෙහාට කලබලෙන් පනිද්දි හයිය නැති අතු කොනක් අහු වෙන වඳුරෙක් බිමට වැටෙනවා. දිවියාගේ දඩයම ඉබේම හරියනවා. ඒ විතරක් නෙවේ. ඒ කලබලය ඇහෙන මිනිස් දඩයක්කරුවන්ටත් වඳුරු මොටෙක් එළාගන්න මේක බොහොම හොඳ අවස්ථාවක්. මොකද: වැද්දන්ට පමණක් නෙවේ, කලිසම ඇඳගත් මස් වැද්දන්ටත් වඳුරු මස් බොහොම රසවත් ආහාරයක් නිසා. හැබැයි වඳුරා ආරක්ෂිත සතෙක්. ඇති කිරීම, මැරීම, විකිණීම තහනම් බව අර ‘කලිසම් වැද්දො’ දන්නවා.”

වානර පවුලෙන් පැවතෙන ලොව පුරා පැතිරුණු විවිධ විශේෂ අතරින් අපේ රටේ දැකිය හැක්කේ විශේෂ තුනක් බව වෛද්‍ය අතපත්තු කියයි. ඒ මිනිසා, වඳුරා සහ රිළවාය.

“පොදුවේ වඳුරා කියලා සිංහලෙන් කීවට විද්‍යාත්මක නාමකරණයේදී උන් උප-විශේෂ හතරකට අයිතියි. එයින් එකක් රට පුරාම විසිර සිටියත් අනෙක් උන් ඇත්තේ එක් එක් පැතිවලට සීමා වෙලා. රිළවාගෙත් උප-විශේෂ තුනක් අපේ රටේ ඉන්නවා. මේ දෙගොල්ලන්ම සුරතලුන් හැටියට ඇති කරද්දි ජීවත් වෙන්නේ අවුරුදු හත-අටක් විතරයි. කැලේදී වුණත් අවරුදු දහයකට වඩා වැඩි ආයුෂක් මුන් වලඳන්නේ නෑ.

වඳුරා සමාජශීලී සතෙක් නිසා, අපි වගේම රංචුවක ගැහැනු, පිරිමි, ළමා ළපටි වගේම නාම්බන් එකට ජීවත් වෙනවා. මේ අතරින් එක පිරිමි සතෙක් ප්‍රමුඛයාගේ භූමිකාව රඟපානවා. හැබැයි ඒ අභිජනන සමයෙදි පමණයි. ප්‍රමුඛයා සිතන්නේ රැළේ සෑම ගැහැනු සතෙක්ම අයිති ඌට කියලා. ඒ නිසා මුලින්ම සරු-මද තත්ත්වයට පත් වන ගැහැනු සතා තමන් සමඟ ආ යුතුයි. එහෙම ආදරෙන් බැඳුණොත් ආයේ වෙන ගෑනු දිහා බලන සිරිතක් වඳුරන්ගේ නෑ. මොකද: අනෙක් සතුන් වගේ එක් වරක් ලිංගිකව එක් වී සෑහීමකට පත් නොවන නිසා දෙන්නා හොඳ බැඳීමකින් ඉන්න ඕනෑ. හැබැයි එක සරු-මද වැඳිරියකට පිරිමි දෙන්නෙක් ‍පෙම්බඳින්න ගියොත් විශාල ගැටුමකට මුලක්. ගැටුම ඇරඹුණාට පස්සේ වැඳිරි ගැන නෙමෙයි ප්‍රශ්නෙ, වඩාත් ශක්තිමත් කවුද කියන එකයි. ඒ නිසා මාරාන්තික සටනක් බවට එය පත් වෙනවා.”

සොබා දහමේ රීතිය ශක්තිවන්තයාගේ පරපුර ඉදිරියට ගෙන යෑම හෙවත් උචිතෝන්නතිය බව වෛද්‍ය අතපත්තුගේ කතාවෙන්ද පැහැදිලි වේ. බොහෝ සටන්වල නිමිත්ත ගැහැනිය බවට පත් වුවත් එහි අවසාන අපේක්ෂාව වන්නේ මේ මිහිතලය මත තම පරපුරේ පැවැත්ම තහවුරු කිරීමයි. සතුන් ඒ සඳහා කරන ද්වන්ද්ව සටනකදී මිය යන්නේ ස්වාභාවිකවම දුර්වල එකා පමණි. එහෙත් මිනිසුන් ඒ සඳහා අවි අමෝරාගෙන යුද වැදුණු විට මිනිස් සංහතියට ඉතිරි වන්නේ අවිආයුධවලින් සන්නද්ධ වූවන් පමණි.

“වැඳිරියන් කීපදෙනකු සරු-මද තත්ත්වයට පත් වුණොත් ප්‍රශ්නයක් නෑ. අභිජනනයේදී ගැහැනු සතා වසඟයට ගන්න සමහර සතුන් වගේ නැටුම් ගැයුම් රංගන වඳුරන්ගේ නෑ; සිප වැලඳ ගැනීමකුත් නෑ. පොඩි ආදරණීය ස්පර්ශයක් සමඟ එකඟතාවක් ඇති වුණොත් රංචුව මැද්දෙම වලිගය පැත්තට ගන්න වැඳිරිය ලජ්ජා වෙන්නෙත් නෑ.

මාස හතක් අටක් පමණ වන ගැබ් කාලයේදීවත්, පැටවුන් ලැබෙන මොහොතේදීවත් වැඳිරියට වඳුරාගෙන් හෝ රංචුවේ අනෙක් සාමාජිකයන්ගෙන් විශේෂ සැලකිල්ලක් ලැබෙන්නෙත් නෑ. ගස් බෙනයක හෝ අතු දෙබලකදී බිහි වන පැටවාගේ අත-පය මුලින් පණ නෑ. ඒත් අම්මා ඉපදුණු සැණින් බබාව තුරුලු කරගත් මොහොතේ සිට මාසයක් යන තුරුම අම්මගේ පපුව පෙදෙසේ ලෝමවල එල්ලී සිටීමටත් කිරි උරා බොන්නත් වඳුරු පැංචාට පුළුවන්. ඒ කාලය තුළ අම්මා මොන ගස් අත්තකින් පැන්නත් නොවැටී බදාගෙනඉන්න පැංචා දන්නවා. කාන්තාවකගේ තරම් පිරිපුන් නැතත් පියයුරු දෙකක් හා සමාන පිහිටීමක් වැඳිරියටත් තිබෙනවා. සමහර වෙලාවට නිවුන්නු ඉන්නත් පුළුවන්. ඒත් වැඩිපුර දකින්නේ තනි පැටියෙක් එල්ලගෙන යන අම්මලා තමයි. මාසෙකට විතර පස්සෙ ගස් අත්තකට යන්තම් ගොඩ වෙන්න තරම් අත-පය හයි වුණාට දලු කොළවල රහ පොඩ්ඩෝ දන්නෙත් නෑ, පුංචි සද්දෙටත් අම්මාගෙ තුරුල්ලට පනින්නයි බලාගෙන ඉන්නෙ. ඒත් මාස තුන-හතර වෙද්දී කිරිවලට අමතර රස කෑම තියෙනවා කියලා මේ බබාලා දැනගන්නවා. ඒ වෙද්දි ගස් අතුවල එල්ලී දල්ලක් කඩාගන්න තරමට අත-පයත් සවිමත් වෙලා. මේ ගොල්ලන් රංචුවේ වැඩිමලුන්ට වඩා තද පැහැයක් ගැනීම විශේෂයි. ඒත් මාස හයක් පමණ වෙද්දී මේ ලෝම වැස්ම සම්පූර්ණයෙන් හලලා අම්මාගේ වගේ ලෝම තට්ටුවකට හිමිකම් කියන්න පුළුවන් වෙනවා. හොම්බත් අතුල් සහ පතුල් හැරුණාම සිරුරේ සැම තැනක්ම ලෝමවලින් ආරක්ෂා වෙලා තිබෙන්නේ. වඳුරන්ගේ අත්වලට වඩා පාද දිගයි. අපේ වගේම ඇඟිලි පහක් තිබුණත් අතේ මහපටැඟිල්ල වර්ධනය නොවීම විශේෂත්වයක්. අව­ුරුද්දක් විතර වෙද්දී කරදඬු දික් වෙලා අම්මා ළඟම දැවටෙන ගතිය නැති වෙලා ස්වාධීනව කෑම බීම හොයා ගන්න වඳුරු නාම්බො පුරුදු වෙනවා. මේ අයගේ තවත් විශේෂත්වයක් තමයි කොතරම් ලෝම තිබුණත් කිසිම උකුණෙක් මැක්කෙක් නැතිව ඉතා පිරිසුදුවට ඉඳීම. හේතුව එකිනෙකාගේ උකුණන් බලා පීරා පිරිසුදු කරන පිළිවෙතක් මේ අයට තිබීම.”

‘ටෙම්පල් ට්රූප්ස්’ නමින් අප කා අතරත් ජනප්‍රිය වූ වඳුරන් පිළිබඳ වැඩසටහන කළ විදේශිකයා සමඟද වෛද්‍ය අතපත්තුගේ හිතවත්කමක් තිබේ.

“ආචාර්ය වුල්ෆ්ගැංග් ඩිටස්ට පොලොන්නරුවේ අය කීවේ ‘වඳුරු මහත්තයා’ කියලා. මොකද: අවුරුදු ගානක් මහන්සියෙන් ගල් විහාරය ළඟ කළ මේ වඳුරන් පිළිබඳ පටිගත කිරීම්වලට ඔහු ගියේ වඳුරු මුහුණක් පැලඳගෙන. ඔහු සිතුවා එහෙම ගියාම වඳුරන් හිතවත් වෙනවා කියලා. කොහොමත් වඳුරන් සමඟ ටික කලක් ගෙවද්දී උන් අපට හුරු වෙනවා. ඔහු වඳුරු පැටවුන්ට වැඩිහිටියන් පාඩම් කියා දෙන හැටිත් හොඳින් අධ්‍යයනය කළා. වඳුරු භාෂාවෙන් අදහස් හුවමාරු කර ගන්නත් ඔහුට යම් හැකියාවක් තිබුණා. ඒ කියන්නේ වඳුරන්ට වචන නැතත් තමන්ගේ අවශ්‍යතා යහමින් සන්නිවේදනය කරන්න පුළුවන්. අනතුරක් එහෙම දැනුණොත් තමන්ගේ රැළට පමණක් නොවේ, පැත්ත පළාතටම ඒ බව කියා ගෙන කෑ ගහ ගෙන යන පුරුද්දක් වඳුරන්ගේ තිබෙනවා.

“ඕළු ඇට වගේම වද මල් කන්නත් වඳුරන් හරිම ආසයි. අපි සම්පූර්ණයෙන්ම ශාක භක්ෂක කියලා හිතුවට ඔය මෙරු, සමනල්ලු, සලබයො වගේ සත්තු වඳුරු අහර ‘මෙනු-පතේ’ රසවත් අංග. ඒකට ඉඳහිට කුරුලු බිත්තරත් අයිති වෙනවා. අපේ වගේම දත් තිස් දෙකක සැලැස්මක් තමයි තිබෙන්නේ. වැඩුණු වඳුරෙක් අඟල් 32ක් පමණ දිග ඇඟක් දරද්දි, වැඳිරියකට අඟල් 28ක් පමණ දිගක් තමයි ලැබෙන්නේ. උන්ගේ වලිගත් අඩි එකහමාරකට වඩා දිගයි. වැඳිරියක් රාත්තල් පහළොවක් විතර බර වෙද්දි වඳුරෙක් ඒ වගේ දෙගුණයක් විතර බරයි. කවදාවත් ගෙයක් නොහැදුවට අපි වගේම රෑට නිදියනවා.

“දකුණු ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් ඉන්න නිසා මෙයාලා අපට අවේණික නෑ. විද්‍යාත්මක පදනම කොහොම වුණත් ගැමියන් වඳුරන්ගේ ස්වභාවය අනුව වර්ග හතර නම් කරන්න පුරුදු වෙලා තිබෙනවා. හෝටන් තැන්නේ පමණක් දකින්න ලැබෙන්නේ මහ වඳුරා. ‘බෙයා මංකි’ කියන නිසා දැන් වලස් වඳුරා කියලත් සමහරු හඳුන්වනවා. මුගේ ලෝම සීතලට ඔරොත්තු දෙන විදිහට අඟල් 4-5ක් දිගට වැඩිලා කැරලි ගැහිලා තිබෙන නිසා සාමාන්‍ය වඳුරෙකුට වඩා ලොකුවට පේන්නේ. ගස් මුදුන්වල විතරක් දකින්න ලැබෙන මේකා ඈතට හරියට වයසක උන්දෑ කෙනෙක් ගහක නැඟලා වගේ පේන්නේ. රට පුරා විසිරී ඉන්න සාමාන්‍ය වඳුරාට බොහොම සමාන නිසා බෙන්තර ගඟෙන් එහා ඉන්න කළු වඳුරා වෙන් කර ගන්න අමාරුයි. හැබැයි ටිකක් තද කළු පාටයි.

“මේ වඳුරන් අම්බලන්ගොඩ පැත්තට හරි කරදරයක් වුණා. ළමයින්ව හපන්න, බත් මුට්ටි පිටින් උස්සගෙන යන්න පටන් ගත්තා. අපි ගම්මුන් රැස් කරලා රංචුවම අල්ලන්න ක්‍රමයක් හැදුවා. කෙහෙල් ගෙඩි දාලා උගුල් අටවලා එකා බැගින් අල්ලලා විශාල කූඩුවක් ලීපටිවලින් හදලා ඒකට අල්ලන එකා ගානේ දාලා රංචුවම කොටු කර ගත්තා. පස්සේ ගාල්ලේ කන්නෙළිය රක්ෂිතයට ලොරියක පටවාගෙන ගිහින් අතහරින්න පටන් ගත්තා. වඳුරන් අපේ කරේ නඟිනවා හරි ජරමර අස්සේ අපිට මිනිස් කටහඬවල් ඇහෙන්න ගත්තා. බලද්දි රක්ෂිතය අවට කට්ටිය පොලු මුගුරු අරන් එනවා, බළන්ගොඩ වඳුරො අපට එපා කියලා. හම්මේ... පස්සේ රක්ෂිතයේ උන්ට ඉන්න, කන්න, බොන්න ඕනෑ තරම් දේවල් තියෙන නිසා ගම් වදින එකක් නෑ කියලා බොහොම අමාරුවෙන් තේරුම් කරලා යාන්තම් ගුටි නොකා බේරුණා.” 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.