පස්වැන්නේ කකුල් මාට්ටුව! | සිළුමිණ

පස්වැන්නේ කකුල් මාට්ටුව!

 ගිය අගෝස්තු මාසයේ පවත්වන ලද පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය බදාදා රාත්‍රියේ නිකුත් වීමත් සමඟ ඒ සම්බන්ධ අලුත් කතාබහක් ආරම්භ වී තිබේ. සමහරවිට එවැනි කතාබහක් ප්‍රතිඵල නිකුත් වූ සෑම වර්ෂයකම ඇති වන්නට ඇත. එහෙත් 1948දී මේ විභාගය පැවැත්වීම ආරම්භ කළ පසු ඒ සම්බන්ධ වැඩිම කතා බහක් සිදු වන්නේ දැන් විය හැකිය.

ජනප්‍රිය පාසල සඳහා දක්ෂ ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට ඇතුළත් වීමට අවස්ථාවක් සලසා දීමත් ආර්ථික වශයෙන් දුෂ්කරතා පවතින දක්ෂ දූදරුවන්ට ශිෂ්‍යත්ව ආධාරයක් ලබාදීමත් මේ විභාගය පැවැත්වීමේ අරමුණ විය. එය ආරම්භ වී සෑහෙන කලක් යන තුරු විභාගය පැවැත්වීමේ අරමුණු සිතූ ආකාරයෙන්ම ඉෂ්ට විය. ඒ අනුව ගම්බද ඉපිද දක්ෂ ලෙස පාසල් අධ්‍යාපනය හදාරන විශාල පිරිසකට ජනප්‍රිය පාසලකට ඇතුළත්ව ශක්තිමත් අධ්‍යාපනයක් ලබාගැනීමේ පහසුකම ලැබිණි. එසේම විභාගය සමත් වන දක්ෂ එහෙත් දුප්පත් දරුවන්ට ශිෂ්‍යාධාර මුදලක්ද හිමි විණි.

එහෙත් විභාගය පැවැත්වීමේ මුල් අරමුණු ගිලිහී ගොස් එය කුඩා දරුවන්ගේ මනස රෝගී කරන හා දරුවන් විභාගය සමත් කරවීම සඳහා මවුවරුන්ද අමතර පන්ති ගානේ රස්තියාදු කරවන විභාගයක් බවට පසුකාලීනව පරිවර්තනය විය. ඊට හේතුව වූයේ 1978 ආර්ථික ප්‍රතිසංස්කරණයන් සමඟ සමාජයේ මැද පන්තිය විශාල ලෙස පුළුල් වීමයි. මේ මැද පන්තියට විශාල අනන්‍යතා අර්බූදයක් තිබූ බැවින් සියලු කටයුතු දිශානති ගත කළේ ඒ අර්බුදය විසඳාගැනීම සඳහාය. එනිසා පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගයටද අනවශ්‍ය බරක් තබමින් දෙමවුපියන් උත්සාහ ගත්තේ තම දරුවන් කෙසේ හෝ මේ විභාගයෙන් සමත් කරවා ගැනීමටය. එසේ සමත් කරවාගෙන කොළඹ හෝ අගනාගරිකයක හෝ ජනප්‍රිය පාසලකට තම දරුවන් ඇතුළත් කරවාගැනීමටය.

එවැනි ජනප්‍රිය පාසලක තම දරුවා ඉගෙනගැනීමම මෙවැනි මැද පාන්තික පවුලකට ලොකු ශක්තියක් විය. එය ප්‍රචාරය කරමින් පවුලේ මහන්තත්ත්වය වර්ධනය කරගැනීම යහමින් සිදු කෙරිණි. එහෙත් ශිෂ්‍යත්ව විභාගයෙන් තම දරුවා සමත් කරවාගැනීම සඳහා මේ මැද පාන්තික දෙමවුපියන් දැරූ මහන්සිය නිසා බොහෝ සිසු දරුවෝ තම සුන්දර ළමා විය විනාශ කරගත්හ. ඔවුන්ට පරිසරය රස විඳීමට, ඇළේ දොළේ ඇවිද ජීවිතය සොයා යෑමට හා විවේකයෙන් බුද්ධිමය වර්ධනය සිදුකර ගැනීමට කාලයක් නොවීය. ඔවුන් පාසලේ, අමතර පන්තියේ හා නැවත ගෙදර-දොරේ මානසික පීඩනයෙන් යුතුව කාලය කාදැම්මේ විභාග සමත් වීමට විනා ජීවිතය සමත් වීමට නොවේ.

දෙමවුපියන්ගේ අභිලාශය පරිදි මේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීම සලකා බැලුවද සිසු දරුවන් එම දක්ෂතාව දක්වන්නේද දිවයින පුරා විෂමතාවකින් තොරව නොවේ. අධ්‍යාපන කලාප පදනමින් සලකන විට 2015 වර්ෂයේදී ශිෂ්‍යත්ව විභාගය සමත් වීමේ ප්‍රතිශත ඉලක්කම උපරිමය වන 18.19% යාපනයෙන් වාර්තා වන විට අවමය වන 2.37% වාර්තා වන්නේ මඩු අධ්‍යාපන කලාපයෙනි. විභාගය සමත්වීමේ ප්‍රතිශත ඉලක්කම 10% - 19% අතර වාර්තා වන කලාප කාර්යාල සංඛ්‍යාව 37ක් වන විට ප්‍රතිශත ඉලක්කම 10%ට අඩු අගයක් වාර්තා කරන කලාප කාර්යාල සඛ්‍යාව 61කි. මෙම දත්ත නිරීක්ෂණය කළ විට පැහැදිලි වන්නේ නාගරික හෝ අර්ධ නාගරික ප්‍රදේශයන්හි හෝ දරුවන් විභාගය සමත් වීමේ වැඩි නැඹුරුවක් පෙන්වන බවයි. දුෂ්කර දිස්ත්ත්‍රික්කවල පවා නාගරික අධ්‍යාපන කලාපයෙන් පෙන්වන සමත් ප්‍රතිශතය සාපේක්ෂව ඉහළය. එහෙත් ග්‍රාමීය අධ්‍යාපන කලාපයන්ගෙන් වාර්තා වන සමත් ප්‍රතිශතය සාපේක්ෂව අවම මට්ටමක පවතී.

ඉහළ ආදායම්ලාභි හා පහළ ආදායම්ලාභි පවුල්වලින් විභාගයට මුහුණදෙන දරුවන්ගේ දත්ත සලකා බැලූ විට ඉහළ ආදායම්ලාභී පවුල්වල දරුවන් විභාගය සමත් වීමේ ප්‍රතිශතය මුළු දිවයිනේම 17.04%කි. පහළ ආදායම්ලාභී පවුල්වලින් විභාගයට මුහුණදෙන දරුවන් විභාගය සමත් වීමේ ප්‍රතිශතය දිවයිනේම 6.39%කි. මේ දත්ත අනුව පැහැදිලි වන්නේ ශිෂ්‍යත්ව විභාගයේ වැඩි වාසිය හිමිව ඇත්තේ ඉහළ ආදායම් ලබන පවුල්වල දරුවන්ට මිස පහළ ආදායම් ලබන පවුල්වල දරුවන්ට නොවන බවය. බත් ඇති තැනටම කොස් කීවාක් මෙන් ඉහළ ආදායම් ලබන පවුල්වලට නිදහස් අධ්‍යාපන වරප්‍රසාද ලබාගැනීමේ වැඩි වාසිය තිබියදීත් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූවන්ට ලැබෙන වරප්‍රසාදයන්ද ලබාගන්නේ එම සමාජ තීරුවයි. මේ අනුව පැහැදිලි වන්නේ පස් වැන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ලැබෙන වරප්‍රසාද සාපේක්ෂව අඩු බවය.

අනෙක පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන දරුවන් මේ අධ්‍යායපන ක්‍රමය තුළ වඩා සාර්ථක වේයැයි ස්ථිරසාර සහතිකයක් කිසිවකුට ලබාදිය නොහැකිය. ඔවුන් සමහරවිට අපොස සා/පෙළදී අසාර්ථක වන අතර සමහර විට උසස් පෙළදී අසාර්ථක වේ. ශිෂ්‍යත්ව විභාගය අසමත් වූවන්ද පසුව කී විභාගයන් ඉහළින් සමත් වන බැවින් පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගය දරුවකුගේ අධ්‍යාපන ගමන් මඟ තීරණය කරන සාධකයක් නොවේ.

මේ විභාගය නිසා දරුවන්ට හිමි ළමා කාලය අහෝසි වන අතර පරිසරය හා බුද්ධිමය විවේකය අනුව ස්වයං අධ්‍යයනයට ඇති ඉඩකඩ ඇහිරේ. දරුවා විෂයයකට ඉලක්ක කළ වෙහෙසකර අධ්‍යාපනයකට තල්ලු කරන අතර එය ඔහු පීඩාවට පත් කරවයි. සමස්තයක් ලෙස ගත් විට ශිෂ්‍යත්ව විභාගය යනු අල්පයක් වූ දරුවන්ට වරදාන ලබාදීමට ලක්ෂ තුන ඉක්මවන සෙසු සිසු දරුවන් මානසිකව පීඩාවට පත් කරන අවස්ථාවකි. සමස්තයක් ලෙස සලකා බැලූ විට පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන්ගේ ජීවිතයට කිසිම වටිනාකමක් එකතු නොවේ.

දරුවන්ගේ පෞරුෂය ගොඩනංවන, ජීවිතය යනු කුමක්දැයි තේරුම් කරදෙන, පරිසරය සමඟ ජීවත් වන අන්දම කියා දෙන පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සමඟ පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගයද අහෝසි කරදැමිය යුතුය.

අබරන්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.