අලුත් මැතිවරණ ක්‍රමය ජාතික ආණ්ඩු ගමනට හොඳ පාරක් | සිළුමිණ

අලුත් මැතිවරණ ක්‍රමය ජාතික ආණ්ඩු ගමනට හොඳ පාරක්

 මේ රටේ යුද්ධයක් යළි ඇති වීම වළක්වාලමින් සිදු කරනු ලබන ව්‍යවස්ථා සංශෝධනය මර උගුලක් වන්නේ කොහොමද? මේ ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවය රකිමින් රට බෙදීම වළක්වමින් ලෝකයේ මේ දක්වාම නිර්මල බුදු දහම තිබෙන එකම රට ලෙසින් සලකන අපේ ර‍ටේ බුද්ධාගමට මේ දක්වා හිමිව තිබූ ස්ථානය වඩාත් වැඩි කරමින් ව්‍යවස්ථාව සකස් කෙරෙනවා.

පළාත්පාලන මැතිවරණය පවත්වන්නේ කවදාද, යන ප්‍රශ්නය මේ දිනවල දේශපාලන කරළියේ මෙන්ම සමාජයේ විවිධ පාර්ශ්වයන් අතර කතාබහට ලක්ව තිබෙනවා. ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණය කල් දමන බවට නැඟෙන චෝදනාවන්ට පිළිතුරු මෙන්ම 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් දක්වන අදහස් ගැන අද සිළුමිණ සමඟ කතා බහට එක් වන්නේ මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතායි.

පළාත් පාලන මැතිවරණය පවත්වන ස්ථිර කාල වකවානුවක් ගැන රජයට ප්‍රකාශ කරන්න හැකියාවක් නැද්ද?

මැතිවරණය ජනවාරි මාසයේ පවත්වන්න රජය පාර්ශ්වයෙන් අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරලයි තියෙන්නේ.

එහෙම වුණත් තවමත් ඇතැම් කාර්යයන් සපුරා නොමැති බවට චෝදනා නැඟෙනවා...

මේ සඳහා රජයේ පාර්ශ්වයෙන් කළ යුතු සියලු කටයුතු හෙට (09) වන විට සිදු කර අවසන් වනවා. ඒ අනුව මැතිවරණය අනිවාර්යෙන්ම ජනවාරි මස පවත්වන්නට හැකියාව තිබෙනවා.

පුංචි ඡන්දයවත් හරියට වෙලාවට තියාගන්න බැරි රජයක් කොහොමද රටක් පාලනය කරන්නේ යනුවෙනුයි විවේචන නැගෙන්නෙ?

පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ අලුත් ක්‍රමයකට. ඒ නිසා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න කාලයක් ගත වුණා. දැන් ඒ සියලු කටයුතු අවසන් වෙලයි ඇත්තේ. සීමා නිර්ණ කටයුතු අවසන් කරන්නම වසර කිහිපයක් ගියා. ඒවා රජයේ අඩු පාඩු නෙමෙයි. අනිත් එක මේ මැතිවරණය පවත්වන්නේ මිශ්‍ර ක්‍රමයකටයි.

මේ මිශ්‍ර ක්‍රමය ගේන්න හේතුව සොයා බලන්න. අපේ රටේ කලින්ම තිබුණෙ කොට්ඨාස ක්‍රමය එහි විශෘල අඩුපාඩු තිබුණා. උදාහරණයක් අරගෙන බැලුවොත් 1977 අවුරුද්දෙ ඡන්ද 29%ක් ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ධුර හිමිවුණේ 8යි. ඡන්ද ප්‍රතිශතය 6%ක් ගත්ත දෙමළ සන්ධානයට මන්ත්‍රී ධුර 17ක් හිමි වුණා. එතන සාධාරණයක් තියෙනවද? පසුව සමානුපාතික ක්‍රමය ආවා. ඒකෙත් අඩුපාඩු ගොඩත් තියෙනවා. ඒකටත් හොඳම උදාහරණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ම දෙන්න පුළුවන්. දොම්පේ ආසනය හැමදාම ඡන්දවලින් 65%ත් 70%ත් අතර ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නවා. ඒත් කවදාවත් දොම්පෙට මන්ත්‍රීවරයෙක් නැහැ. එතන ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනව කියන්න අමාරුයි. ඒ නිසයි මේ ක්‍රම දෙකම මිශ්‍ර කර ගනිමින් මිශ්‍ර ක්‍රමයක් යටතේ මැතිරවරණය පවත්වන්නේ.

මේ මිශ්‍ර ක්‍රමය නිසා මනාප තරගය අහෝසි වන බව පැවසෙනවා, මනාප ක්‍රමය නිසා ඡන්ද සටන් තිබෙන නමුත් එය අහෝසි වීමෙන් ජජනතාවට සැලසෙන සෙත කුමක්ද?

තමන්ගේ නියෝජිතයා තෝරා පත් කර ගන්න කිසිම බාධාවක් නැහැ. මනාප ක්‍රමය නිසා රටේ දේශපාලනය පිරිහුණා. මන්ත්‍රීවරායෙක් වෙන්න කෝටි 50ක් 60ක විතර මුදල් වැය කළ යුතු තත්ත්වයක් ආවා. කොයිතරම් වැදගත් අවංත දේශපාලඥයෙක් වුණත් මුදල් නොමැති නම් දේශපාලනෙයේ මුලට එන්න ඔහුට හැකියාවක් තිබුණෙ නෑ. මේ නිසා මනාප ක්‍රමය සදහටම ඉවත් කළ යුතු වෙනවා. එවිට ජනතාවට වගකියන, සමීප මන්ත්‍රීවරයෙක් පත් වේවි.

මේ නව ක්‍රමය අනුව අපේක්ෂකයන් තෝරා පත් කර ගැනීමේදී ගැටලු ඇති වන්නේ නැද්ද?

අපේක්ෂකයකන් 10000ක් විතර ඉල්ලුම් කරන බව පේනවා. නමුත් ඒ සියලු දොනට අපේක්ෂකත්වය දෙන්න බැහැ. තෝරා පත් කරගෙන ඉහළම සුදුසුකම් ඇති අයටයි අපේක්ෂකත්වය ලබා දෙන්නේ. ඒක ගම් මට්ටමේ සිටම සිදු කළ යුතු වනවා. කොහොම වුණත් චක්‍රෙල්ඛවලින් සුදුස්සන් තෝරන ක්‍රමයක් නැහැ.

වර්තමාන දේශපාලන ක්‍රමයේ වැරැදි හදා ගන්න උත්සාහ කළත් නව ක්‍රමයේත් අඩු පාඩු ඇති වෙයිද?

එක පාරටම සියල්ල වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. සැබෑ ජනතා නියෝජිතයන් කවුද කියන එක තෝරා ගැනීම ඡන්ද දායකයාට මෙන්ම පක්ෂයේත් වගකීමක්. සමාජයේ කාලීන අවශ්‍යතා මතයි අපේක්ෂකයන් තෝරා පත් කර ගත යුත්තේ. අද ජනතාව භෞතික සංවර්ධන කටයුතු වලින් එහා යන දේ ගැන සොයා බලනවා. මධ්‍යම පාන්තිකයන් ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම නිදහස ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.

මේ මැතිවරණ ක්‍රමය අනුව ජාතික ආණ්ඩු සංකල්පයට වෙන බලපෑම කෙබඳුද?

මේ මැතිවරණ ක්‍රමය ජාතික ආණ්ඩු සංකල්පයට හොඳ පාරක් වන බව විශ්වාසයි. ඒ කියන්නෙ පක්ෂ එකතුවෙලා වැඩ කරන්න පොළඹවන මැතිවරණ ක්‍රමයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

ඔබ කියන්නේ ප්‍රාදේශීය සභා නගර සභාවලත් ජාතික ආණ්ඩු සංකල්පය අනුව කටයුතු කළ හැකි බවක්ද?

මම ඒකට හොඳ උදාහරණයක් දෙන්නම්. මේ දක්වා තිබුණු ක්‍රමවේදය අනුව ප්‍රාදේශීය සභාවක සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත් වෙන්නේ වැඩිම සභිකයන් තෝරා ගන්නා පක්ෂයෙන්. උදාහරණයක් හැටියට ගත්තොත් යම් සභාවක සභිකයන් 30ක් තෝරා පත් කර ගන්නවා නම් යම් පක්ෂයක සභිකයන් 12ක් පත් වි අනෙක් පක්ෂ වලින් සභිකයන් 10ක් 8ක් ආදී වශයෙන් පත් වී ඇත්නම් සභිකයන් වැඩි පිරිසක් පත් වූ පක්ෂයටයි සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත් කිරීම කළ හැකි වන්නේ. නමුත් නව මැතිවරණ ක්‍රමය යටතේ සභාවට පත්වන සභිකයන් සංඛ්‍යාවෙන් අඩක් ඒ කියන්නේ සභිකයන් 30ක් සිටී නම් එයින් අනිවාර්යෙන්ම 15ක් යම් පක්ෂයක පත්වුවහොත් පමණයි ඔවුන්ට සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත් කර ගත හැක්කේ. එසේ නොමැතිව සභිකයන් 12ක් 13ක් හෝ 14ක් හෝ පත් වුවහොත් සභාවේම කැමැත්තෙන් තමයි සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත් කර ගත යුත්තේ. මේ ක්‍රමවේදය එක්ව වැඩ කරන අයට හොඳ පාරක් බව මා කිව්වේ එම නිසයි. සභාවේ විශ්වාසයක් නැති තැනැත්තාට අනෙක් පක්ෂවල කැමැත්ත ලැබෙන්නේ නැහැ. එම නිසා ගම් මට්මේ සිටම ජාතික තලයක් දක්වා යන්න මේ මැතිවරණ ක්‍රමය හොඳ පාරක්.

මනාප නොමැති නිසා අපේක්ෂකයින් තේරී පත්වන ආකාරය ගැන සඳහන් කළොත් ?

තමන් නියෝජනය කරනු ලබන පක්ෂයේ ලාංඡනයේ නැතහොත් පක්ෂයට ලැබෙන සෑම ඡන්දයක්ම අදාළ කොට්ඨාසයේ අපේක්ෂකයා ලබා ගන්නා ඡන්ද වලට සමාන වනවා. එම නිසා සෑම ඡන්ද දායකයකුම පක්ෂයට ලබා දෙන ඡන්දය තම කොට්ඨාසයේ අපේක්ෂකයාට දෙන ඡන්දය සේ සැලකිය හැකි අතර, අපේක්ෂකයා වෙනුවෙන් මනාප ඡන්දය පාව්චිචි කිරීමක් සිදු වන්නේ නැහැ.

කාන්තා අපේක්ෂිකාවන් ඉදිරිපත් කිරීම සම්බන්ධව මේ සංශෝධනයේදී කතා කළා. අනිවාර්ය සංඛ්‍යාව කොපමණද ?

ක්‍රම දෙකකින් අපේක්ෂිකාවන් ඉදිරිපත් කළ යුතුයි. කොට්ඨාස ලේඛනයෙන් ඒ කියන්නේ මුලු අපේක්ෂක සංඛ්‍යාවෙන් සියයට 10 හා පොදු ලේඛනයෙන් එනම් අපේක්ෂක සංඛ්‍යාවෙන් සියයට 50 ක් වන පරිදි ඉදිරිපත් කළ යුතු වෙනවා

කාන්තා අපේක්ෂිකාවන් ඉදිරිපත් කළ හැකි උපරිම සංඛ්‍යාක් ගැන සඳහන් වෙනවාද ?

හැකියාවක් ඇති නම් සහ අවශ්‍යතාවයක් තිබේ නම් සියයට සීයක්ම කාන්තා අපේක්ෂිකාවන් කොට්ඨාස මට්ටමින් හා පොදු ලේඛනයෙන් ඉදිරිපත් කළ හැකියි.

තරුණ අපේක්ෂකයින් ඉදිරිපත් කිරිම පිළිබද තිබෙන තත්ත්වය කුමක්ද ?

30% ක් තරුණ අපේක්ෂකයින්ගේ නාම යෝජනා කළ හැකි බව සඳහන් කර ඇතත් එය අනිවාර්යය කර නැහැ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය ජනාධිපතිතුමා වෙත අවුරුදු 18 - 35 අතර, තරුණ අපේක්ෂකයින් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කළ යුතු යැයි යෝජනා කර තිබෙනවා. කාන්තාවන් ඉදිරිපත් කිරීමේ දී අවුරුදු 18 - 35 අතර, තරුණියන් ඉදිරිපත් කළ හැකි නම් තරුණ සහ කාන්තා නියෝජනය යන කරුණු දෙකම අපේක්ෂිකාවන් තුළින් ඉටු කර ගත හැකි වනවා.

පක්ෂවලින් කාන්තා සභිකයින් තේරීපත් වන ආකාරය කෙසේද ?

පළාත් පාලන බල ප්‍රදේශයේ තරග කරන ලද සියලුම පක්ෂ අතුරින් සියයට 20 ට වඩා අඩුවෙන් හා සභිකයින් තිදෙනෙක් ලබාගත් පක්ෂවල ඡන්ද ඉවත් කොට, ඉතුරු පක්ෂ ලබා ගත් ඡන්ද ප්‍රමාණය අදාළ පළාත් පාලන ආයතන සඳහා තේරීපත් විය යුතු අවම කාන්තා මන්ත්‍රීධුර සංඛ්‍යාවෙන් බෙදා ලැබෙන පිළිතුරු මත, ඒ ඒ පක්ෂ විසින් තෝරා පත් කළ යුතු කාන්තා මන්ත්‍රී ධුර සංඛ්‍යාව පිළිබදව මැතිවරණ කොමසාරිස් විසින් දැනුම් දීමක් කරනු ලබනවා . ඒ අනුව අදාළ පක්ෂ විසින් කාන්තා මන්ත්‍රීවරියන් පත් කළ යුතුයි.

මේ මැතිවරණ ක්‍රමය පළාත් සභාවටත් ගෙන එනවා, මහ මැතිවරණයටත් ගෙන ඒමක් සිදු වෙයි වගේ, ඒ ගැන දැන්ම සූදානම්ද?

‍ගහ මරා ගන්නා මේ මැතිවරණ ක්‍රමය වහාම නතර කළ යුතුයි. එකම පක්ෂයේ අය අතර පවා සිදුවන ඝට්ටනයන් මේ මනාප පොරය නිසා ඇතිව තිබෙනවා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා අපට අහිමි වුණේ ඇයි? එකම පක්ෂයේ මනාප පොරයක් නිසානේ. නැතිව ඉඩමකට පාරකට ගෙයකට රණ්ඩු වෙලා නෙමෙයිනේ. අශීලාචාර මේ මනාප පොරයට තිත තබනතාක් අපේ රටේ මැතිවරණ ජනතාවගේ සිතට නිසි අයුරින් කා වදින්නේ නැහැ.

පුංචි ඡන්දයේදී එකම පක්ෂයක් ලෙසින් තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාවක් නැති බවක් පේනවා?

බෙදී වෙන් වෙනතාක් කල් ඕනෑම පක්ෂයකට කණ්ඩායමකට සිදු වෙන්නේ අගාධයට යන්නයි. ඒක දේශපාලන ඉතිහාසයේ පැහැදිලි වුණා. ඒක නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගන්න සියලු දෙනා එකතුව කටයුතු කළ යුතු වෙනවා. අප කළ යුත්තේ රට ජාතිය රැක ගන්න අත දෙන එකද එහෙමත් නැත්නම් රට ජාතිය විනාශ වන තෙක් බලා සිටින කියන එකයි තේරුම් ගත යුත්තේ. අප කරන්නේ රට රැක ගන්න සියලු දෙනා හා එක්ව කටයුතු කිරිමයි.

ඒ කියන්නේ ඉදිරියේදීත් එක්සත් ජාතික ප්කෂය හා එක්ව සිටින බවක්ද?

අප මැතිවරණයන්ට තරග කරන්‍නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. එනමුත් රටේ සංවර්ධන වැඩ කටයුතුවලට රට හදන්න එක්සත් ජාතික පක්ෂය එක්ක නෙමෙයි ඕනෑම පක්ෂයක් එක්ක අප සන්ධාන ගත වනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහි වුණේ ගිවිසුම් පවා අස්සන් කරලා. අපි ජනතා විමුක්ති පෙරමුණත් සමඟ පවා ආණ්ඩු කරා. රටක සංවර්ධනයට පක්ෂ එකතු වෙන එක එකක්. මැතිවණයට එකතු වෙන එක තවත් එකක්. පක්ෂය නඟා සිටුවීමයි අපේ ඉලක්කය වන්නේ.

පක්ෂය නඟා සිටුවීමට නම් පක්ෂයේ කණ්ඩායම් දෙකේ රැස්වීම්වලට පැමිණෙන ජනතාවගේ ආකල්ප පවා වෙනස් කළ යුතුයි නේද?

රැස්වීම්වලට පැමිණෙන ජනතාව දෙස බලා තීන්දු තීරණ ගැනීම කිසිසේත්ම කළ නොහැකියි. මීට හොඳම උදාහරණයක් දෙන්නම් මහර ප්‍රදේහයේ පැවැති පසුගිය ජනාධිපතිවරණ රැස්වීම්වලදි මහින්ස රාජප්කෂ මහතාගේ රැස්වීම්වලට ජනතාව 15000ක් විතර ආවා. මෛත්‍රී මහතාගේ රැස්වීමට ආවේ 600ක විතර පිරිසක් නමුත් ඡන්ද ප්‍රතිඵලය මොකද වුණේ. ඒක නිසයි මා කිව්වේ දැන් ජනතාව සංවර්ධනයෙන එහාට ගිය ලෝකයක් දෙස බලන බව.

මේ ව්‍යවස්ථා සංශෝධනය නිසා එකම පක්ෂයේ පවා මත ගැටුම් ඇති ව තිබෙන බව පෙනෙනවා?

ව්‍යවස්ථාවක් කියන්නේ සෙල් ලිපියක් වගේ හැමදාම එක තැන එකම අයුරින් තිබිය යුත්තක් නෙමෙයි. එය කාලානුරූපව වෙනස් විය යුතුයි. ඒ ආකාරයෙන් 78 ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය වුණා. මෙවරත් රටේ ජාතික සමඟියට භෞමික අඛණ්ඩතාවයට ‍ස්වෛරීභාවයට කිසිදු හානියක් සිදු නොවන අයුරින් ව්‍යළුස්ථාව සංශෝධනය කෙරෛනවා.

එකම පක්ෂයේ අය අතර පවා මත ගැටුම් තිබීම ගැටලුවක් බවයි මා පැවසුවේ...

මේ ව්‍යවස්ථා සංශෝධනයේදී නිමල් සිරිපාලද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුවක් පත් කළා. ඒ වෙනුවෙන් යෝජනා 9ක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ යෝජනා 9 එක් යෝජනාවක් ලෙසින් සකස් කිරීමයි දැන් ඉතිරිව තිබෙන්නේ. ඒ සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු වෙනවා. මේ යෝජනා මාලාව සක්ස කෙළේත් සියලු පක්ෂ එක්ව ප්‍රජාතන්ත්‍රවාදයට අනුවයි. ඒ අයුරින්ම ඉතිරි කටයුතු සියල්ලත් සිදු කරනු ලබනවා. ඒ සම්බන්ධව ගැටලුවක් නැහැ.

නමුත් මේ ව්‍යවස්ථාව රට බෙදන මර උගුලක් ලෙසයි ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් හඳුන්වන්නේ..?

මේ රටේ යුද්ධයක් යළි ඇති වීම වළක්වාලමින් සිදු කරනු ලබන ව්‍යවස්ථා සංශෝධනය මර උගුලක් වන්නේ කොහොමද? මේ ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවය රකිමින් රට බෙදීම වළක්වමින් ලෝකයේ මේ දක්වාම නිර්මල බුදු දහම තිබෙන එකම රට ලෙසින් සලකන අපේ ර‍ටේ බුද්ධාගමට මේ දක්වා හිමිව තිබූ ස්ථානය වඩාත් වැඩි කරමින් ව්‍යවස්ථාව සකස් කෙරෙනවා. ඒ සම්බන්ධව දෙමළ පක්ෂ මෙන්ම කොළඹ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් වහන්සේ පවා ප්‍රසාදය දක්වා තිබෙනවා. එහෙත් ඇතැම් පිරිස් පටු අදහසින් යම් යම් දෝෂා‍රෝපණයන් සිදු කරනවා විය හැකියි‍

ලෝකයේ බොහෝ රටවල මැතිවණයක් තියෙනවද නැද්ද කතියල හොයන්න බැහැ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදියේ දියුණුව කියන්නේ. නමුත් අපේ රටේ ඒ තත්ත්වය දකින්න නැහැ. ඒ සඳහා නිවැරැදි දැක්මක් අවශ්‍යයි‍. අපේ ඇතැම් දේශපාලකයන්ගේ පටු අරමුණු නිසා තමයි මේ ආකාරයේ දේවල් සිදු වන්නේ. රට තුළ ජාතිවාදය පතුරවමින් කටයුතු කිරීමත් ඇතැම් අයගේ අවශ්‍යතාව බවයි පෙනෙන්නේ. විපක්ෂය විසින් ආණ්ඩු පක්ෂයේ සියලු දේට විරුද්ධ විය යුතුයි වන පැරැණි හණමිටි අදහස් සිත් තබාගෙන කටයුතු කිරීමයි මෙයට මූලික හේතුව වන්නේ.

මැතිවරණය ප්‍රමාද වීම සම්බන්ධව හිටපු අගවිනිසුරුවරයා අධිකරණයට ගොස් තිබෙනවා...?

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අපි ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කර තිබෙනවා. කොට්ඨාස අනුව හා සමානුපාතික ක්‍රමය අනුව මේ මැතිවරනයපවත්වන ආකාරය සම්බන්ධව මේ වන විටත් ක්‍රමවේදයන් සකස් කර තිබෙනවා. අවශ්‍ය සංශෝධන සිදු කරනවා. කාන්තා නියෝජනය ඇතුළු සියල්ල මේ වන විට සක් කෙරී තිබෙන්නේ. පනතකට අදාළ සංශෝධන සංඛ්‍යාව සීමා කර නැහැ. එම සංශෝධන සිදු කරන්නේ රටේ යහපත පිණිසයි. පාර්පිමේන්තුවේ ස්ථාවර නියෝග අනුවයි කටයුතු සිදු කෙරෙන්නේ. උදාහරණයක් ලෙස කියනවානම් මෑතදී ඉදිරිපත් කරන ලද දේශීය ආදායම් පනතට සංශෝධන 143ක් ඉදිරිපත් කරා. ඒ සඳහා ඇමැතිවරයාට පැය 2ක් සහ විනාඩි 55ක් ගත වුණා. අප කටයුතු සිදු කරන්නේ රටේ පවත්නා නීතියට අනුවයි. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට අභියෝග කරන්න අධිකරණයට බලයක් නැහැ. ඒ බව සරත් එන්. සිල්වා මහතා විසින් අනුර බණ්ඩාරනායක මහතා විසින් අධිකරණයට ගිය අවස්ථාවේදී පෙන්වා දුන්නා. එමෙන්ම චමල් රාජපක්ස මහතාටත් ඒ අයුරින්ම පිළිතුරු ලැබුණා. සරත් එන්. ද සිල්වා මහතා නීතිය නොදැන මේ කටයුත්ත සිදු කරා යැයි සිතන්නට බැහැ. අධිකරණයේ කටයුතු අපහසුතාවන්ට පත් කරන්න හෝ දේශාපලන කටයුත්තක් සඳහා සිදු කරන්නට අතැයි සිතනවා.

තාරක වික්‍රමසේකර
සේයාරූ - රුවන් ද සිල්වා

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.