ඔබ ගඩොල් බඳින්නෙක් පමණක් ද? ඔබ ම තීරණය කරන්න | සිළුමිණ

ඔබ ගඩොල් බඳින්නෙක් පමණක් ද? ඔබ ම තීරණය කරන්න

 ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කලාපීය කළමනාකරණ සංවර්ධන සමුළුවේ දී ඔහු පැවැත්වූ දේශනය ඇසුරින් සකස් කරන ලද ලිපියකි.

සාර්ක් කලාපීය රටවල සාමාජිකයන් වන ඔබ අපේ රට ශීඝ්‍ර දියුණුවකට පත්වන අයුරු නිරීක්ෂණය කර තිබෙන බව දැන ගැනීමට ලැබීම සතුටකි. කොළඹ ගුවන් තලයේ දසුන දැන් වෙනස් වෙමින් පවතී. අපේ ආර්ථිකය වර්ධන මාවතකට පිවිසී තිබේ. අපේ ආර්ථික වර්ධනය අවුරුදු 30 ක් පමණ විනාශකාරී යුද්ධයක් නිසා පසුබා තිබුණි. අවුරුදු 8කට පෙර ත්‍රස්තවාදය සහමුලින් ම පරාජය කිරීමට අපට හැකි විය. එතැන් සිට ශ්‍රී ලංකාව ලෝකයේ පවතින ආරක්ෂිතම තැනක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව වර්තමානයේ අතිශය සාමකාමී වාතාවරණයක් සහ වාර්ගික සංහිඳියාවක් භුක්ති විඳිමින් සිටින බැවින් අපේ රට දකුණු ආසියා කලාපයේ කේන්ද්‍රස්ථානයක් වීමේ සුදුසුකම් ලබා තිබේ. අද මෙම සම්මේලනය ප්‍රධාන වශයෙන් දකුණු ආසියානු හෙවත් සාර්ක් කලාපයේ හමුවකි. අපි සියලු දෙනාම සාර්ක් ප්‍රඥප්තියෙන් බැඳී සිටින්නෙමු. අපේ කලාපයේ එක් රටක ප්‍රගතිය සාර්ක් කලාපයේ අනෙක් සෑම රටටමත් ප්‍රගතියකි. අපි සියලු‍ෙදනා එකට බැඳී සිටින්නෙමු. සාර්ක් කලාපයේ කිසියම් දියුණුවක් වේ නම් එය මෙම කලාපීය සංවිධානයේ හවුල්කරුවන් වන සියලු දෙනාටම අතිශයින් වැදගත් වේ. එසේ ම අපට පොදු ප්‍රශ්න රාශියකුත් තිබේ. මෙම කලාපය ලෝකයේ විශාලම ජනගහනයක් සිටී. ඉන්දියාවේ ජනගහනය දැනට බිලියනයට අධිකය. බංග්ලාදේශයේ සහ පාකිස්ථානයේත් විශාල ජනගහනයක් සිටී. මේ අනුව එය ලෝක ජනගහනයෙන් ¼ ක් පමණ වේ. එබැවින් අපේ වැඩකටයුතු කළමනාකරණය කරන ආකාරය, අප සංවර්ධන මාවතකට පිවිසෙන අයුරු සාර්ක් කලාපයේ රටවලට පමණක් නොව අනෙක් ආර්ථිකයන්ටත්, මුළු මහත් ලෝකයේ ම අනෙක් ආයතනවලටත් වැදගත්වේ. එය ඔවුන්ගේ පැවැත්මට වුව ද බලපායි. අපේ රටවල් අතර ප්‍රශ්න තිබෙන විට ඒවා ගෝලීය පරිමාණයක් ගනී. අපේ කලාපය න්‍යෂ්ටික යුද්ධමය හැකියාව ඇති කලාපයකි. අපේ කලාපයේ න්‍යෂ්ටික යුද්ධ ඇති වීමේ ඉඩකඩ තිබේ. එසේ ම අප එකට වැඩ කිරීමේ අවශ්‍යතාව තිබේ. විශේෂයෙන් ම දරිද්‍රතාවයේ උගුලෙන් බේරීම සඳහා එකට වැඩ කිරීමේ අවශ්‍යතාව ඇත. අප විශාල ජනගහනයකින් යුත් ප්‍රදේශයක් වුව ද අපේ කලාපයේ රටවල් සියල්ලම පාහේ සංවර්ධන මාවතට එළඹ සිටී. නිදසුනක් ලෙස බංග්ලාදේශයේ සංවර්ධනය බොහෝ දෙනෙකුට හොඳ ආදර්ශයක් වන්නේ ය.

මට හිතෙන ආකාරයට අග්නිදිග ආසියාවේ නැත්නම් දකුණු ආසියාවේ අපි දුප්පත්ව සිටීම ස්වේච්ඡාවෙන් තෝරාගෙන තිබේ. අපේ රටවල ඉතිහාසය දෙස බලන විට, මෙයට වඩා දියුණු තත්ත්වයෙන් සිටීමට, වඩා පොහොසත්ව සිටීමට, තීරණ කලට වේලාවට ගැනීමට මැළිකමක් අප දක්වා තිබෙන බව පෙනේ. විශේෂයෙන් ම පරිපාලනය සම්බන්ධයෙන් ගතයුතුව තිබුණු තීරණ ගැනීමට අප මැළිකමක් දක්වා ඇත. එසේ ම අපට මෙයට වඩා හොඳින් යම් යම් දේ කළ හැකිව තිබුණ බව අපට පිළිගන්නට සිදුවේ. අපේ රටවල දුප්පත් ජනයාගේ තත්ත්වය වඩා පහත් කිරීම සඳහා අපට කරන්නට හැකිව තිබුණු දේ අප කර නැති බව පිළිගැනීමට සිදුවේ.

අපේ කලාපයටම පොදු කාරණයක් වනුයේ රටවල් එකක් දෙකක් හැරුණු විට අනෙක් හැම රටක් ම යටත් විජිත අතීතයක් ඇති ඒවා වීමයි. යටත් විජිත රාජ්‍යය සෑම දෙයක්ම කළයුතු විය. එය දුම්රිය, පාසල් ආරෝග්‍යශාලා මෙන් ම පරිපාලනය වැනි සියල්ල කළයුතු විය. මේ හැම දෙයක්ම යටත් විජිත රාජ්‍යය විසින් කළයුතුව තිබුණි. ඇත්තවශයෙන් ඒ අතින් යටත් විජිත රාජ්‍යය කොමියුනිස්ට් රාජ්‍යය වැනිම විය. ඒ දෙකම රාජ්‍යය අනභිභවනීය යැයි සිතීය. එහෙත් නූතන ලෝකයේ මෙය මිථ්‍යාවක් බව අපි දන්නෙමු. යටත්විජිත රාජ්‍යය මෙන් ම කොමියුනිස්ට් රාජ්‍යය ද ඒවා ක්‍රියාත්මක වීමේදී පෙන්වා දී ඇත්තේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා වඩා සංකීර්ණ හා වඩා විවිධාංගීකරණය වූ ප්‍රවේශයක් අවශ්‍ය බවයි.

එසේ නම් පරිපාලනය, මෙම නව සම්පූර්ණ පරිවර්තනයට අදාළ වන්නේ කෙසේද? අපේ රටවල විශාල ආයතන, විශාල සංස්ථා පවත්වාගෙන යනු ලැබේ. අධ්‍යාපනය, සෞඛ්‍ය, විදුලිය, බලශක්ති, ජලය සැපයීම කරනු ලබයි. ඔබට අවශ්‍ය හැම දෙයක්ම පාහේ සපයනු ලබන්නේ අනභිභවනීය රාජ්‍ය සංකල්පය මත පිහිටා ය. එහෙත් එය සාර්ථකව කළ හැකි ද? කළමනාකරුවන් රාජ්‍ය නිලධාරීන් වන එවැනි ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මකවේද? පුද්ගලික අංශයේ භූමිකාව කුමක්ද? අපේ හැම රටකම නිදහස ලැබීමේ දින සිට මේ දක්වා සියලුම අයවැය කතා දෙස බැලුවහොත් ඒ සියල්ලේම, ඉතා කුඩා ඡේදයකින්, සමහරවිට ඉතා කුඩා අකුරින් ලියූ ඡේදයකින් කියැවෙන්නේ පුද්ගලික අංශය වර්ධනයේ යන්ත්‍රය බවයි. එහෙත් මුදල් ප්‍රතිපාදන හා ප්‍රතිපත්ති යෝජනා දෙස බැලුවහොත් ඇත්ත ලෝකයේ එම ප්‍රතිඥාව ක්‍රියාත්මකව තිබෙනවා දැකීම අසීරුය.

අප බොහෝදෙනෙක් අපේ යෞවනයේ දී මාක්ස්වාදී රාජ්‍යය සහ එම සංවර්ධන ක්‍රමෝපාය ඉහළින් අගය කළ අයයි. එහෙත් ඩෙං සියා‍ඕ පිං චීනයේ ජනපති විය. ඔහු මේ සියල්ල වෙනස් කළේ ය.‍ එදා පැවැති ක්‍රමය අනුව මේ මහා චීන ජනකාය කවදාවත් දියුණු කළ නොහැකි බව ඔහු කීය. අපි අරටු බැහැගත් පැරැණි ක්‍රමවලට එල්බගෙන සිටියොත් ව්‍යාපාර පවත්වාගෙන යෑමේ පරණ ක්‍රමවලට ම ඇලී සිටියහොත්, අපේ ජනතාවට ලබා ගැනීමට අයිතියක් ඇති ඉහළ ජීවන මට්ටම ලබාදීමට අපට නොහැකි වනු ඇත.

මගේ හිතට එන එක් කරුණක් වනුයේ නොයෙක් නායකයන් තමන් ගැනම ලියනු ලබන පොත පතයි. අද කාලයේ දේශපාලන, ව්‍යාපාරික සමාජ සේවක යනාදී සෑම නායකයෙක් ම පොත් ලියති. මෙම ලේඛනවලට පොදු යමක් තිබෙනවාද? ඔබ මෙහි දී කරුණු කීපයක් පිළිබඳව දැනුවත් ව ඇතැයි සිතමි. ඉන් පළමුවැන්න වනුයේ ඔවුන් තාක්ෂණය හා නව අදහස් පිළිගැනීමට ඔවුන් සැදී පැහැදී සිටීමය. ගෝලීය තාක්ෂණික විපර්යාසයට සංවේදී නොවන කිසිම නායකයෙකු ඇතැයි අපිට සිතිය නොහැකි ය. එම කරුණේ දී අපේ කලාපීය නායකයන් බොහෝම අඩු ලකුණු සංඛ්‍යාවක් ලබන බව කිව හැකි ය. ඔවුන් බොහෝ දෙනෙක් නව තාක්ෂණික ලෝකයේ සිදුවීම ගැන උනන්දු නොවෙති. එය පළමුවන කරුණයි. මෙම පොත්වලින් ප්‍රකාශ වන දෙවැනි කරුණ වනුයේ නිවැරදි පුද්ගලයා නිවැරැදි තැන නිවැරදි වෙලාවට සිටිය යුතු බව ය. එවිට ඔබ නායකයකු වේ. එහෙත් එය ඉබේටම සිදු‍ නොවේ. ඒ සඳහා දැඩි කැපවීම් සහගත ආශාවක් ඔබට තිබිය යුතු ය. විශාල පරිවර්තනය සිදු කළ සියල්ලන්ම තුළ එවැනි තත්ත්වයක් දැකිය හැකි විය.

තෙවන කරුණ වනුයේ ආසියානුවන් කිරීමට අකමැතිම දෙයකි. එනම් වැඩපිළිබඳ වගකීම් පැවැරීම ය. සියලුම විශාල ව්‍යාපාරිකයන් තමන්ගේ වැඩපිළිබඳව වගකීම ස්වකීය සහායකයන්ට නිසි වේලාවට පවරති. ප්‍රධානියා එසේත් නැත්නම් ලොක්කා උදේ තැපෑල විවෘත කිරීමේ සිට පෑන් පැන්සල් ගණන් කිරීම දක්වා සියලු දේ කිරීමට ගියහොත් එම ආයතනය වැඩිකල් පවතින්නේ නැත. පෑන් පැන්සල් නම් ඉතිරි වේ. එහෙත් රුපියල් මිලියන් ගණන් පාඩු විඳීමට සිදුවේ. මෙම අත්දැකීම් ප්‍රථමයෙන් මා රාජ්‍ය නිලධාරියෙකු ලෙසත් අනතුරුව ඇමැතිවර‍ෙයකු ලෙසත් ලැබූ ඒවායි.

පොඩි කතාවකින් මගේ වචන ස්වල්පය අවසන් කිරීමට අදහස් කරමි. විශාල ගොඩනැඟිල්ලක් ඉදිවෙමින් තිබුණි. එහි දෙදෙනෙක් වැඩ කරමින් සිටියහ. එක්කෙනෙක් අනෙකාගෙන් ඇසුවේ “ඔබ මොනවාද කරන්නේ” යන්නය. ඔහුගේ පිළිතුර වූයේ “මම ගඩොල් කැටයක් උඩ ගඩොල් කැටයක් තබනවා. මට නියමිත කාර්යය එයයි. එයට මට චේතනයක් ලැබෙනවා. ඒක හොඳ සැප පහසු රැකියාවක්. මම 8.00 ඇවිත් 4.30 ට යනවා.” ඉන්පසුව ඔහු අනෙකාගෙන් ඇසුවේ ඔබ කරන්නේ මොනවාද යනුවෙනි. ‍ඔහුත් සිටියේ ගඩොලක් උඩ ගඩොලක් තබමින් ය. එහෙත් ඔහු පිළිතුරු දුන්නේ “මම කැතිඩරල් පල්ලියක් හදනවා. මම සිහිවටන ගොඩනැඟිල්ලක් හදනවා” යනුවෙනි. දැන් ඔබ වීමට යන්නේ කවරකු ද? ඔබ ගඩොල් බඳින්නෙක් වීමට යනවාද? නැත්නම් ඔබේ වෘත්තියට ඔබේ රටට සිහිවටනයක් ඉඳි කිරීමට යනවාද? යන්න තීරණය කළ යුතු ය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.