ව්‍යවස්ථා ජරමරේ මොකක්ද මේ බරබරේ | සිළුමිණ

ව්‍යවස්ථා ජරමරේ මොකක්ද මේ බරබරේ

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත දැන් අතිශය විවාදාත්මක ලියවිල්ලක් බවට පත්ව තිබේ. මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද මෙම ලියවිල්ල කිසිසේත් ව්‍යවස්ථාව පිළිබඳ අවසන් එකඟතාව නොවන බව එජාපයේ මෙන්ම ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් විසින්ද ප්‍රකාශ කරනු ලැබ ඇත. එජාපය, ජවිපෙ අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළ යුතුය යන ස්ථාවරයේ සිටින අතර ද්‍රවිඩ ජාතික සන්ධානය තම සාම්ප්‍රදායික ස්ථාවරය මුල්වරට වෙනස් කරමින් මෙම ව්‍යවස්ථා කෙටුම්පතට එකඟතාව පළ කර ඇතැයිද කියති. 1978 ව්‍යවස්ථා සම්පාදනයේ පිතෘත්වය හිමි වී තිබෙන එජාපය එදා තමන්ගේ නායකයන්ගේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට එකඟ වෙද්දී, ආරම්භයේ සිටම එම විධායක ක්‍රමයට විරුද්ධ වූ ශ්‍රීලනිපය අද එය වෙනස් කිරීමට අකැමැති වීමද විශේෂ කරුණකි. එජාපයේ සමහරුන් ශ්‍රීලනිපයට ඇනුම්පද ලෙස කියන්නේ අපෙන් වූ අඩුව හදාගන්නට අප සහාය දෙන විට ශ්‍රීලනිපයේ සමහරුන් ඒක බදාගෙන සිටින බවය. එහෙත් එදා එජාප නායකත්වය කළ වරද නිවැරදි කිරීමට දසක තුනකටත් වඩා දිගු කලක් ගත වූ බව මේ කිසිවෙක් නොකියති.

කෙසේ හෝ මේ රටේ එදා-මෙදා තුර ජනතාවට අවශ්‍ය, ජනතා අභිලාශයන් බල ගන්වන ව්‍යවස්ථාවක් සම්මත වී නැති බව දේශපාලනයෙන් බාහිර ප්‍රමාණික විද්වත්හු අවධාරණය කරති. 1948දී ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු රටට බලපෑවේ සෝල්බරි ව්‍යවස්ථාවය. 1972 ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන ලද්දේ 1970 බලයට පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් සමගි පෙරමුණ ආණ්ඩුව විසිනි. යටත්විජිත යුගයේ සිට අපට ඉතිරි වී තිබුණු අධිරාජ්‍යවාදී නෂ්ටාවශේෂ දැන් ඉවත් කරනු ලැබ ඇතැයි එදා ඒ කාර්යයට මුල් වූ ආණ්ඩුවේ වමේ නායකයෝද උදම් ඇනූහ. ඒ ව්‍යවස්ථාව ජනතාවගේ අනුමැතියකින් තොරව අහෝසි කරදමා 1978 ව්‍යවස්ථාව ඉදිරිපත් වූ බවට විවේචනයක්ද ඇත (මේ පිළිබඳ දීර්ඝ විශ්ලේෂණයක් ආචාර්ය ඇන්ඇම් පෙරේරා කර තිබේ). සීමිත කාලපරිච්ඡේදයක් තුළ අසීමිත බල පරාක්‍රමයකින් යුතු ඒකාධිපතියකු නිර්මාණය කිරීමට එම ව්‍යවස්ථාව මෙහෙයවිය හැකි බව ආචාර්ය පෙරේරාගේ අනතුරු හැඟවීම විය. එතැන් සිට ආරම්භ වූ ප්‍රජාතන්ත්‍රවාදයේ පල්ලම් බැසීමේ කූටප්‍රාප්තිය මහින්ද පාලන සමය බවට චෝදනාවක්ද තිබේ.

සිව්වැනි කෙටුම්පත

1978 ව්‍යවස්ථාවට එරෙහිව නැඟුණු ජනතා විරෝධය මැතිවරණ වේදිකාවල පුහු දේශපාලන ඝෝෂාවක් බවට පත් වූ බව ජනතාව තේරුම් ගෙන සිටියහ. 2015 ජනවාරි 08 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වන්නේ එතෙක් මුල්බැසගෙන තිබුණු දේශපාලන අරාජිකත්වය, ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම, අධිකරණයේ ස්වාධීනත්වය අහෝසි වීම, මානව හිමිකම් කඩ වීම ඇතුළු කරුණු ගණනාවකට මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස්වල පැවති විරෝධයේ ප්‍රතිඵලයක් වශයෙනි. බලය භුක්තිවිඳීමේ රසය දිගටම රැකගැනීම සඳහා කටයුතු කළ 'රාජපක්ෂවාදය' පරාජය කළ හැකි වූයේ මෛත්‍රීපාල සිරිසේන නම් වූ පොදු අපේක්ෂකයාට බව එජාපය ඇතුළු ඒ වෙනුවෙන් පෙනී සිටි සියල්ලෝම වටහා ගත්හ ('රාජපක්ෂවාදය' පිළිබඳ නිර්මාල් රංජිත් දේවසිරි මෑතක ග්‍රන්ථයක්ද පළ කර තිබිණි. ඒ යෙදුමද ඔහුගේය).

මේ අනුව වසර 69ක් වැනි ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ සිව් වන වරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා කෙටුම්පතක් ඉදිරිපත්ව තිබේ. 2000 වසරේදීත් මෙබඳුම කෙටුම්පතක් චන්ද්‍රිකා පාලන සමයේදී ඉදිරිපත් වී ඇත. ඇත්ත වශයෙන්ම 1977න් පසු මේ රටේ පැවැත්වුණූ සැම මැතිවරණ වේදිකාවම අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාද මෙන්ම ප්‍රතිඥාද සුලභ විය. එහෙත් මෙම ව්‍යවස්ථා වෙනසට බලය ලත් අය දැක්වූයේ අලස ප්‍රතිචාරයකි. ඒ පිළිබඳ සාධනීය පියවරක් තැබීමට හැකි වූයේ මෛත්‍රී-රනිල් සම්මුති ආණ්ඩුවට පමණි. මෛත්‍රී ජනාධිපති ධුරයට පත් වූ වහාම එහි වූ ඒකාධිපති බලය ඉවත් කිරීමටත්, පාර්ලිමේන්තුව බල ගැන්වීමට ක්‍රියා කිරීමටත් මුල් විය. තමන් සතු බලයක් අත හැරීමට බලයට පත් රාජ්‍ය නායකයකු ක්‍රියා කළ ප්‍රථම අවස්ථාව ලෙසද මෛත්‍රී ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියා දාමය ඉතිහාසයට එක්ව තිබේ. හිටපු ජනාධිපති මහින්ද බලය පවත්වාගැනීමට ව්‍යවස්ථාව සංශෝධනය කළ අතර, බලයට පත් වූ ජනාධිපති මෛත්‍රී එම බලය අත්හැරීමට එම ව්‍යවස්ථාව සංශෝධනය කළේය. මේ වෙනස ඔහු සතු දේශපාලන ප්‍රඥාව තහවුරු කරන විශිෂ්ට ලකුණක් වැන්න. ජාතිවාදය, ආගම්වාදය ප්‍රතික්ෂේප කරමින් ජාතික සමඟිය උදෙසා කැප වීම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ උදෙසා දක්වන අභිලාෂය නිසාම අද මෛත්‍රී ජනාධිපතිවරයාගේ නම නොබෙල් සාම සම්මානයටද නිර්දේශ වී තිබේ. ජනාධිපතිවරයාගේ නම ඒ පිළිබඳ අවසන් කෙටි ලැයිස්තුවටද ඇතුළත්ව තිබේ. ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයකුට මෙබඳු නිර්දේශයක් ලැබීම පවා ජනාධිපතිවරයාට තිබෙන ජගත් ප්‍රසාදය පිළිබඳ හැඟවුමකි.

කෙසේ හෝ මේ වන විට විවාදාත්මක මාතෘකාවක් බවට පත් වන අලුත් ව්‍යවස්ථාව පිළිබඳ මෛත්‍රී ජනාධිපතිවරයා සිය ස්ථාවරය රටට ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති විශේෂ සැසි වාරයට එක් වෙමිනි. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බල ගැන්විය යුතු බවත්, රටට වුවමනා ඒකීය ව්‍යවස්ථාවක් ලබා දීමට මෙන්ම එහිදී බුද්ධාගමට හිමි ප්‍රමුඛතාව සුරැකීමට තමන් කැප වන බවත්ය. එසේ නම් අලුත් ව්‍යවස්ථාවක් සඳහා ඉදිරිපත්ව තිබෙන කෙටුම්පත පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු තවත් සිවිල් සංවිධාන දැඩි විරෝධයක් පළ කිරීමට හේතුව කුමක්ද? දකුණේ විරෝධයට අමතරව උතුරේ දෙමළ ජාතික සභාවේ නායක විග්නේශ්වරම්ද මෙම කෙටුම්පතට විරෝධය දක්වා තිබේ.

මෙයින් පෙනී යන්නේ සිංහල ජනතාව අතර තිබෙන භේදයම දෙමළ ජනතාව අතරද තිබෙන බවද? ආර් සම්පන්දන්ගේ නායකත්වය යටතේ තිබෙන දෙමළ සන්ධානය මෙම යෝජනා පිළිබඳ එකඟ වෙද්දී විග්නේශ්වරන්ලා එයට විරුද්ධ වන්නේ ඇයි? එසේම ජනාධිපති මෛත්‍රීගේ ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලයද මෙම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එකඟ නොවන බව ප්‍රකාශ වී ඇත. ශ්‍රීලනිපයේ ස්ථාවරය වී ඇත්තේ ජනමත විචාරණයකට නොයන ව්‍යවස්ථා සංශෝධනයකට තම පක්ෂය එකඟ වන බවයි. මෙහිදී ඇතැම් සිවිල් සංවිධානවල ක්‍රියාකාරීන් ප්‍රකාශ කරන්නේ මෛත්‍රී ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ වූ නිසා ඔහු ඒ සඳහා ඉදිරිපත් විය යුතු බවය. එහි තාර්කික පදනමක් තිබේ. එහෙත් වත්මන් තත්ත්වය අනුව ඔහු ශ්‍රීලනිප සභාපතිවරයාය. තමන් විසින් දේශපාලන ප්‍රතිසංස්කරණවලට භාජනය කරන ලද තමාගේ පක්ෂයේ බහුතර මතයට ඔහු දැන් යටත්ය.

ශ්‍රීලනිප විධායක බලය අත් නොහළ යුතුයැයි කියන්නේද හේතු ඇතිවය. දේශපාලනය යනු පවතින සමාජ සන්දර්භය තුළ වෙනස් වන දෙයකි. අද මේ රට ස්ථාවරව පවතින්නේද මහජනතාව විසින් තෝරා පත් කරන ලද විධායක ජනාධිපතිවරයා නිසාය. එහෙත් ඒ විධායක බලය ඉවත් කිරීමකින් රටට ඇති විය හැකි බලපෑම කුමක්ද? මේ ආණ්ඩුවේම ප්‍රබල ඇමැතිවරයකු වන පාඨලී චම්පික රණවක මහතා ස්ථීරවම කියන්නේ විධායක බලයේ ඒකාධිපති ලක්ෂණ ඉවත් කර එයට ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඇතුළු කර තිබෙන බවත්, එම බලය අතහැරීමෙන් රට අස්ථාවර වන බවත්ය. මේ රට ඒකීය රටක් ලෙස මෙන්ම පළාත් සභා ක්‍රමය තුළ මෝදු විය හැකි දේශපාලන තත්වයන් සමනය කිරීම සඳහා විධායක ජනාධිපතිවරයකු අනිවාර්ය බවද ඔහු කියා සිටියි. ඔහුගේම යෙදුමකින් කියන පරිදි බුද්ධාගම සුරැකීම සැරසිල්ලක් ලෙස තබාගැනීමට මේ තිබෙන විධිවිධාන එලෙසම තිබිය යුතු බවය.

වචන හරඹ

මෙම ව්‍යවස්ථා කමිටු අතුරු වර්තාවෙන් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කර ඇතැයි බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මෙම කෙටුම්පතට එල්ල වන විවේචනයට හා විරෝධයට තුඩු දී ඇත්තේ මෙම කෙටුම්පතේ ඒකීය යන වචනයට ඉංග්‍රීසියෙන් දී තිබෙන 'යුනිටරි' යන්න නැති වීම හා 'ඔරුමිත්තනාඩු' යන දෙමළ යෙදුම වංචනික ලෙස රට නොමග යැවීමක් බවය. ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මේ ආණ්ඩුවට අයත් නොවන විද්වතුන්ගේ අදහස වී ඇත්තේද ජනතාවට වචන හරඹ පෙන්වා ෆෙඩරල් රටක් ලබා දීමේ සැලසුමක් මේ පසුබිමෙහි තිබෙන බවය. ජාතික හෙළ උරුමය පැහැදිලිවම කියන්නේ පවතින ව්‍යවස්ථාවේ තිබෙන එයට අදාළ වගන්ති වෙනස් නොවිය යුතු බවය.

ව්‍යවස්ථා කෙටුම්පත දෙමළ බෙදුම්වාදීන්ගේ ගුණ්ඩුවක් බවටත් විවේචනයක් තිබේ. එහෙත් විග්නේශ්වරන්ගේ අදහස එය දෙමළ ජනමතය නොතකා ඉදිරිපත් වූ සිංහල යෝජනාවලියක් බවය. මෙම මෙහෙයුම් කමිටු වාර්තාව අදහස් හා යෝජනාවලියක් අඩංගු ලියවිල්ලක් වුවද අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වරූපය නැත හොත් කටු සටහන එය බව අමුතුවෙන් කිව යුතු නැත. වචන හරඹවල එල්ලී විජ්ජා පෙන්වීමට දක්ෂ අය මේ රටේ හැම කටයුතුවලදීම රිංගා ගෙන වැඩ අවුල් කරන බවද ජනතාව දනිති. ඇත්තටම ඒකීය භාවය පිළිබඳ වෙනසක් නැති නම් ඒ වගන්තිය වෙනස් කිරීම හෝ එහි බලය දියාරු නොකර සිටීමට ඉඩ තිබිණි. එසේ වී නම් ඒ වචනවල එල්ලීමට කිසිවකුට නොහැකි වනු ඇත. මේ රටේ ජනතාව අතර දේශපාලන පක්ෂ ගැන මෙන්ම විද්වතුන් සිවිල් සංවිධාන ක්‍රියාකාරකම් පිළිබඳව ඇත්තේ අවිශ්වාසයක් හා විවේචනයකි. පසුගිය දිනක කොළඹ පැවැත්වුණු වෙනත් උත්සවයකින් පසුව කලින්දා රූපවාහිනී පුවත්පත් සාකච්ඡාවක් ගැන අදහසක් ප්‍රකාශ විය. එක් අයකු උත්ප්‍රාසයෙන් කියා සිටියේ කිසිදිනක බෞද්ධ වැඩසටහනකදී හෝ පන්සලකදී හෝ දැක නැති සිවිල් ක්‍රියාකාරිනියක් සෝභිත හිමියන්ගේ වචනය රැකීම තම වගකීමක් බවට කළ ප්‍රකාශයක් ගැනය.

මේ රටේ බොහෝ අයගේ සමාජ දේශපාලන භාවිතාවන් පිළිබඳ ජනතාවට හොඳ අවබෝධයක් තිබෙන බව අප මතක තබාගත යුතුය. දේශපාලන පක්ෂ වෙනුවෙන් ක්‍රියා කරන ස්වාමීන් වහන්සේද, විද්වතුන්ද ජනතාව හඳුනති. බොහෝ දෙනෙකු පෙනී සිටින්නේ තම තමන්ගේ ජාම බේරා ගැනීමේ ව්‍යාපෘති සඳහා බවද ජනතාව දනිති. පක්ෂවලට, පුද්ගලයන්ට තිබෙන බැඳීම් විනා ඒ බොහෝ දෙනකුට රටේ ප්‍රශ්න විසඳීමේ සැබෑ වුවමනාවක් තිබේද යන්නත් ගැටලුවකි. පොදුජන අභිලාශයන් ඉටු කිරීම වෙනුවට පෞද්ගලික න්‍යායපත්‍රවලට අනුව දේශපාලන ආවරණ සැලසීම දැන් කලක පටන් අපට පෙනෙන යථාර්ථයයි. ඒකීය හෝ බුද්ධාගමට ප්‍රමුඛතාව ලබාදීම වැනි සංවේදී කරුණු සමඟ දේශපාලන අත්හදා බැලීම් කළ නොහැකි බව අමුතුවෙන් කියා දිය යුතු නැත. අද ජාතිවාදය හා ආගම්වාදය ජනප්‍රිය දෙයක් නොවේ. දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීමට ඉඩ දීම ගැන පොළොවේ හැපුණු අයට ගැලරියෙන් විසිල් පාරක් නොඒම එයට හොඳ නිදසුනකි. ඒ ඵෙතිහාසික තීන්දුව ගත්තේද මෛත්‍රී ජනාධිපතිවරයාගේ අනුමැතියෙන්ය.

මල්වතු මහනාහිමියන් විසින් පසුගිය දිනවල ප්‍රකාශ කරන ලද්දේත් රටට ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත් එහිදී රටේ ඒකීයභාවය මෙන්ම බුද්ධාගමට හිමි තැන ආරක්ෂා විය යුතු බවත්ය. එසේම තමන් වහන්සේ බැහැ දැකීමට එන දේපාර්ශ්වයක අය මෙම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් මත දෙකක් ප්‍රකාශ කිරීම නිසා තමන් වහන්සේටද ඇත්ත වටහාගැනීම අසීරු බව නාහිමියෝ කියා සිටියහ. මහනාහිමියන්ගේ අවධාරණය වූයේ නොබෙදුණු ඒකීය රාජ්‍යයක ගැටුම්වලින් තොරව සියලු ජනතාව සතුටින් ජීවත් විය හැකි රටක් ගොඩනැඟීම අද අවශ්‍යතාව වී තිබෙන බවය. මෛත්‍රී ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේත් එයමය. ඇතැම් ඇන්ජීඕකාරයන්ට තිබෙන සිංහල බෞද්ධ විරෝධය මේ බොහෝ අවුල් වියවුල් හදන බවට තිබෙන චෝදනාව අහසින් කඩා වැටුණු දෙයක් නොවේ. ඉතිහාසය මුළුල්ලේම එබඳු ක්‍රියාකාරකම් තිබූ බවද රහසක් නොවේ. “හක්කේ බුදු රැස්ය. බොක්කේ දඩමස්ය” යනුවෙන් අගනා ජනවහරක් තීබේ.

ඒවා වඩාත්ම අදාළ වන්නේ මේ රට පාලනය කළ දේශපාලන පක්ෂවලටත් ඒවා මෙහෙයවු නායකයන්ටත් බව නොකියා බැරිය. මේ රටේ ව්‍යවස්ථාවල ලියා තිබෙන්නේ පරමාධිපත්‍යය ජනතාව සතු බවය. එහෙත් පාලකයන් මේ රට පාලනය කළ ආකාරය බලා සිටි ජනතාවට ඒ පරමාධිපත්‍ය ගිනි තපින්ටදැයි හිතුණා නම් පුදුම නැත. පාඨලී චම්පික ඇමැතිවරයා කියන පරිදිම ඒවාත් නිකම්ම සැරසිලිදැයි කෙනකුට හැඟී යෑමටද බැරි නැත. මෛත්‍රී ජනාධිපතිවරයා ලෝභ නැතුව තමන්ගේ බලය පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ මේ දේශපාලන ඇදය ඇරගැනීමටය.

එජාපය සමඟ සම්මුති ආණ්ඩුවකට යන්නේද ඒ උතුම් අරමුණ සාක්ෂාත් කරගැනීමටය. ඒත් දූෂිත දේශපාලන චරිත පෙර පරිදිම වංගු ගහමින් ඒ ගමනට බාධා කරන්නේ නම් ඔහු කුමක් කරන්නද? බුද්ධාගම ආරක්ෂා කිරීමට ආණ්ඩුවක් කෙබඳු නීති දැම්මත් ඒ සඳහා ජනතාව මෙන්ම පාලනයේ සිටි අයගේ දායකත්වය අත්ත්‍යවශ්‍යය. බුදුදහම රැකෙන්නේ යහපත් මිනිසුන්ගෙන් පමණි. දුසිරිත්වල ගිලී සිටින වචීපරම සමාජයකට එබඳු ශක්තියක් තිබේද? අධිකරණය විසින් වැරදිකරුවකු බවට නිගමනය කරන ලද අයකුට වුවද සමාව දීමට ජනාධිපතිවරයාට හැකිය. ජනාධිපති සමාව ලද දිනයේ සිට ඔහුගේ පෙර වැරදි නැති වේ. ඔවුන්ට යළි දේශපාලනයට වුවද ඇතුළු විය හැකිය. අපේ ව්‍යවස්ථාවේ තිබෙන මේ වර්ගයේ වගන්ති කා සඳහාද? බුද්ධාගම සඳහාද? සත්පුරුෂයන් සඳහාද? රටක ව්‍යවස්ථාවක් තිබිය යුත්තේ හොරුන්, තක්කඩියන්, ජාවාරම්කරුවන් රැකගැනීමට නොවේ.

අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍යය. එය වචන හරඹ නැති කාටත් පිළිගත හැකි සියලු ජාතීන්ගේ හිමිකම්, ආගම්, සංස්කෘතීන් සුරකින ව්‍යවස්ථාවක් විය යුතුය. කිසිම කෙනකුට සැකයක්, චකිතයක් ඇති නොවන විධිවිධාන, නියමයන් එයට ඇතුළත් කළ යුතුය. සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු ජනතාවට වුවමනා නිදහස් රටක නිදහසේ ජීවත් වීමටය. ඔවුන්ට වුවමනා ආහාර, ඇඳුම්, වස්ත්‍ර, නිවාස වැනි පොදු පහසුකම්ය. නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛය සේවයක්ය.

පොදු ප්‍රවාහන සේවයක්ය. ජනතා පරමාධිපත්‍යය, බලය බෙදීම ඒකීය ෆෙඩරල් ඒ සියල්ලම ජනතාවට වචන පමණි. අවුරුදු 70ක් පාර්ලිමේන්තු ක්‍රමය පැවැත්වූ රටක් විදිහට අපට සැනසුම් සුසුමක් හෙලිය නොහැකි නම්, ඒ පාලනය ගැන උදන් ඇනීම පමණක් ඇද්ද? පාර්ලිමේන්තුව නමට තබා ගෙන පිටින් ආණ්ඩුව ගෙන ගිය පාලන ක්‍රමයක් දක්වා පැමිණි ගමන ගැන නොයෙක් විවේචන මෙන්ම පැසසුම්ද ඇසිණි. අපට නම් හැඟෙන්නේ ගෙවී ගිය වසර හැත්තෑවක කාලය තුළ පාර්ලිමේන්තුව ලද විශිෂ්ටම ත්‍යාගය මෛත්‍රී ජනාධිපතිවරයා විසින් 19 වැනි සංශෝධනයෙන් එයට පැවරූ අභිනව බලය බවය. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට එබඳු ප්‍රදානයක් කළ රාජ්‍යනායකයකු ලෝක ඉතිහාසයේවත් නැති බව මෙයට පෙරද දැක්වීමු.

හෙට කළුවර නෑ

තතු මෙසේ නම් අපට තවමත් අවස්ථාව තිබේ. තවම ව්‍යවස්ථාවද සකස් කර නැත. මේ තිබෙන්නේ කෙටුම්පතක් පමණි. එසේ නම් සියල්ලෝම එක්ව, එකට වාඩි වී, භේද නැති, ශේක්ස්පියර් රෝමියෝ-ජුලියට් නාට්‍යයේදී කීවාක් මෙන් වචනවලින් වැඩක් නැත. ආණ්ඩුව ඒ හැඟීම ජන මනසට කාන්දු කළ යුතුය. ආණ්ඩුව ඇතුළේම ඒ පිළිබඳ එකඟතාවක් ඇති කරගත යුතුය. ආණ්ඩුව දුබල වුව හොත් ඒකාබද්ධ පිල උඩට ඒම වැළැක්වීම අසීරුය. අද ශ්‍රීලනිප තුළ මෛත්‍රී ජනාධිපතිවරයා ස්ථාවරව සිටියි. මල්පොහොට්ටුව රට වටේ ගෙන යමින් ශ්‍රීලනිප සභාපති පුටුවත් හිමි කරගැනීමේ මෙහෙයුමේ අධිකරණ ක්‍රියාවලියෙන්ද ඒකාබද්ධය හාන්සි වී සිටියි. ශ්‍රීලනිපයෙන් කැඩී ගොස් වෙන්ව බලයක් ලබාගැනීම හීනයක් බව මල්පොහොට්ටු නඩයේ දේශපාලන දැනුමක් ඇති අයද වටහාගෙන සිටිති. වෙනසක් සඳහා යන ගමනට නැතුවම බැරි මිනිසා මෛත්‍රී බව ශ්‍රීලනිප තේරුම් ගනිමින් සිටියි. එජාපයත්, දෙමළ හා මුස්ලිම් නායකයෝත් මෛත්‍රී සමඟ මේ ගමන යෑමට එක්ව සිටිති. රටට වැඩක් වන පියවරකදී ජවිපෙත් අහක නොබලනු ඇත. ඒකාබද්ධ පිල මොනවා කිව්වත් හෙට එච්චර කළුවර නැත.

සුමේධ ජයබාහු

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.