උතුරු කොරියානු රණ බෙර හඬින් හා රොස්-පරොස් වදනින් රත් වූ ජගත් මහ වේදිකාව | සිළුමිණ

උතුරු කොරියානු රණ බෙර හඬින් හා රොස්-පරොස් වදනින් රත් වූ ජගත් මහ වේදිකාව

"උතුරු කොරියාව සම්පූර්ණයෙන් විනාශ කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ. රොකට් මිනිසා සිය දිවි නසාගැනිමේ මෙහෙයුමක යෙදී සිටී"

- අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

"බල්ලෝ බුරති; ඒත් පෙරහර යයි. ට්‍රම්ප්ගේ බිරුම් හඬට උතුරු කොරියාව බිය නැහැ."

- උතුරු කොරියානු විදේශ ඇමති රී යොං හෝ

"ට්‍රම්ප් ලෝක දේශපාලනයේ මැර නවකයෙක්"

- ඉරාන ජනාධිපති හසන් රෞහානි

මේ සටහන ආරම්භයේ සදහන් කර ඇති රාජ්‍ය නායක ප්‍රකාශ උපුටා ගැනීම් කිහිපය පසුගිය බදාදා ඇරඹුණු එක්සත් ජාතින්ගේ 72 වැනි මහා මණ්ඩල සැසිවාරයේ නැඟුණ හඩ අතුරින් මාධ්‍ය වඩාත්ම බහුල ලෙස වාර්තා කළ වැකි කිහිපයකි. බැලූ බැල්මට මෙවර ජගත් මහා මණ්ඩල සැසිවාරය වහසි බස් දොඩන්නන්ගේ වේදිකාවක් ලෙස දිස් විය. තර්ජනය කිරීම්, අවලාද නැඟීම් හා විවිධ සත්ත්ව කොට්ඨාසවල නම් සඳහන් කිරීම් ආදිය පවා මෙහිදි දක්නට ලැබිණි. මෙය මෙවර සැසිවාරය ඇරඹීමට පෙර සිටම අපේක්ෂා කළ තත්ත්වයකි. ඊට හේතු කිහිපයකි. මූලික වශයෙන් එය මතභේදකාරි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමුවැනි, එනම් මංගල සැසිවාරය වීමයි. ඔහුගේ දේශනය කුමන ස්වරූපයක් ගනීද යන්න ගැන ලෝක ප්‍රජාව හා ජනමාධ්‍ය දැඩි අවධානයෙන් පසු විය. ඒ තුළ විවිධ මතභේදකාරි ප්‍රකාශ ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කරනු ලැබීය.

මෙවර මහා මණ්ඩල සැසිවාරය ආරම්භ වීමට පෙර සිටම අන්තර්ජාතික සබඳතා පිළිබද විශ්ලේෂකයන් අවධානය යොමු කළ කරුණු කිහිපයක් විය. ජගත් කරළියෙහි පවත්නා අර්බුදකාරී හා වඩාත් බලපෑම්කාරි සංසිද්ධි කිහිපයක් මෙවර සමුළුවේ ප්‍රධාන මාතෘකා වනු ඇති අතරම, නිල නොවන න්‍යායපත්‍රය බවට පත් වීමට ඉඩ ඇති බවට අනාවැකි පළ වී තිබිණි. එම මාතෘකා වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වන අතරම සමුළුවේ තේමාව වූ "ජනතාව වෙත යොමු වෙමු: සාමය හා ධරණීය ලොවක් තුළ සියල්ලන් සඳහා යහපත් ජීවිතයක්" යන්න කෙරෙහි යොමු වන අන්තර්ජාතික අවධානයට වඩා වැඩි අවධානයක් දැනට ගෝලීය තලය තුළ පවත්නා අර්බුද හා විශේෂයෙන් ඉහත සඳහන් කළ ආකාරයේ නිල නොවන ජගත් මහා මණ්ඩල න්‍යාය පත්‍රයේ සඳහන් වෙතැයි අනුමාන කළ කරුණු කෙරෙහි යොමුවීම නොවැළැක්විය හැකි තත්ත්වයක් විය

මේ සාධක මොනවාද? පළමුවැන්න ට්‍රම්ප් සාධකයයි. දෙවැන්න උතුරු කොරියාවේ ආක්‍රමණශීලි හැසිරීම න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය හා අන්තර්ජාතික ප්‍රජාවට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද යන්නයි. තෙවනුව ගෝලීය උණුසුම පිටුදැකීම පිළිබඳ පැරිස් සම්මුතියේ අනාගතයයි. සිව්වනුව ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බටහිර බලවතුන් සමඟ ඇති කරගත් ගිවිසුමේ අනාගතය - විශේෂයෙන්ම අමෙරිකාව ට්‍රම්ප් පාලනය යටතේ ඉරාන ගිවිසුමට එල්ල කරන බලපෑම, පස්වනුව රොහිංගියා සරණාගතයන් පිළිබඳව හටගෙන ඇති අන්තර්ජාතික ප්‍රශ්නය ආදි කරුණු මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි අනාවැකි පළ වී තිබිණ. මේ කරුණු අප ඉහත සඳහන් කළ නිල නොවන න්‍යායපත්‍රයේ ප්‍රධාන අංග බව විදෙස මාධ්‍ය හා අන්තර්ජාතික සබඳතා අධ්‍යයන ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහස විය.

මෙවර සමුළුවේ ව්‍යූහයට දැඩි බලපෑමක් එල්ල කළ ප්‍රධාන සාධකය නම් ට්‍රම්ප් සාධකයයි. 2016 ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වූ දා සිට ඔහු අමෙරිකානු දේශපාලනය හා ගෝලීය දේශපාලන කරළිය තුළ ඉතා බරපතළ මතභේද හා විවිධ විකල්ප මතවාද නිර්මාණය කළ චරිතයක් විය. ජෝර්ජ් වොෂිංටන්ගේ සිට බැරක් ඔබාමා දක්වා බලයට පත් අමෙරිකානු ජනාධිපතිවරුන් අතර මෙතරම් මතභේදකාරි, අත්තනෝමතික හා අර්බුදකාරි චරිතයක් දක්නට නැති තරම්ය. ඔහු එම මතභේදකාරි ශෛලිය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළටද ගෙන ඒමට සමත් විය.

- ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශනය බොහෝ රළු-පරළු වදන් හා තර්ජන අනතුරු ඇඟවීම්වලින් යුක්ත වූවකි. ඔහුගේ බරපතළම තර්ජනය එල්ල කෙරුණේ උතුරු කොරියාවටයි. අමෙරිකාවට හා මිත්‍ර ජාතීන්ට තර්ජනයක් වන්නේ නම් උතුරු කොරියාව විනාශ කිරීමට සිදු වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේය. උතුරු කොරියානු නායක කිම් ජොං අන් හැඳින්වීම සදහා 'රොකට් මෑන්' යන හාස්‍යජනක වදන යොදාගත් අතර, ට්‍රම්ප් පැවසුවේ රොකට් මෑන් සියදිවි හානි කරගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබෙන බවයි. උතුරු කොරියාවෙන් වහා ඊට ප්‍රතිචාර ලැබුණේ ට්‍රම්ප් සුනඛයකුට සමාන කරමිනි. උතුරු කොරියානු විදේශ ඇමති රී යොං හෝ කියා සිටියේ බල්ලන් බිරුවද පෙරහර ගමන් කරනු ඇති බවයි. ට්‍රම්ප්ගේ බිරුම් හඩින් උතුරු කොරියානුවන් බියපත් නොවන බවද විදේශ ඇමැතිවරයා කියා සිටියා. උතුරු කොරියානු නායක කිම් ජොං අන් ගේ ප්‍රතිචාරය පළවුයේ ඉන් පසුවයි. සිකුරාදා උදේ විශේෂ ප්‍රකාශයක් මගින් ඔහු පවසා ඇත්තේ ට්‍රම්ප් යනු මානසිකව විපරීත බවට පත් මහල්ලෙකු වන අතර ගින්නෙන් ඔහු මෙල්ල කිරිමට තමාට හැකි බවයි. මෙය උතුරු කොරියාව මෑත භාගයේ අමෙරිකාවට එරෙහිව එල්ල කළ දරුණුතම වාග් ප්‍රහාරයයි. එමෙන්ම එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේදි යම්කිසි නායකයෙකු පැවැත්වු දේශනයකට මෑත ඉතිහාසයේ ලැබුණු ප්‍රබලතම ප්‍රතිචාරයද මෙය වන්නේය.

- තර්කානුකූලව බැලීමේදී ට්‍රම්ප් උතුරු කොරියාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පසුවීමට ට්‍රම්ප්ට අයිතියක් ඇත්තේ න්‍යෂ්ටික බෝම්බ හා මිසයිල අත්හදා බැලීම් මඟින් අමෙරිකාවට විවෘත අභියෝගයක් එල්ල කිරීමට උතුරු කොරියානු පාලනය උත්සුක වී ඇති බැවිනි. ඊට එරෙහිව අමෙරිකානු සම්බාධක අලුත් කිරීමට මෙරට වේලාවෙන් සිකුරාදා උදේ වන විට ඉතා දැඩි සම්බාධක මාලාවක් පැනවීමට ජනාධිපති ට්‍රම්ප් පියවර ගත්තේය. ඒ අමෙරිකාවේ අයිතියයි. එහෙත් ගෝලීය සාමය සඳහා වන ප්‍රධානතම ආයතනයේ මුදුන්මල්කඩ බදු මහා මණ්ඩලයේ සිට උතුරු කොරියාව විනාශ කිරීම ගැන කථා කිරීමට ඔහුට සදාචාරාත්මක අයිතියක් ඇත්ද යන්න ප්‍රශ්නයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු 1945දී බිහිවන්නේ ලෝකයේ යළි බිහිසුණු යුද්ධයක් ඇති වීම වළක්වාලීම සඳහායි. මහා මණ්ඩලය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියළු සාමාජිකයන්ට සම අයිතිවාසිකම් හිමි වේදිකාවකි. එවැනි තැනක සිට උතුරු කොරියාවට එරෙහිව යුද ප්‍රකාශ කිරීම ගැන කතා කිරීමට ට්‍රම්ප් පෙලඹීම මතභේදකාරි ට්‍රම්ප් සාධකයේ බලපෑම සංවිධානයේ අභ්‍යන්තරයට ඉතා තදින් දැනෙන ආකාරයේ සංසිද්ධියකි. එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් ඊට ප්‍රතිචාර වශයෙන් කියා සිටියේ හීනෙන් ඇවිද යන්නන් සේ යුද මාවත කරා ලෝකය ගමන් කරවීමට උත්සාහ නොගත යුතු බවයි.

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ රැව් දුන් අනෙක් හඬ ගෝලීය උණුසුම ඉහළ යෑම පිළිබඳ ප්‍රශ්නයයි. ඒ සඳහා ඇති කරගනු ලැබූ පැරිස් සම්මුතියෙන් අමෙරිකාව ඉවත් කරවීමට ට්‍රම්ප් ගෙන ඇති තීරණය ලොව උණුසුම් කරන්නකි. ඒ සඳහා පෙලඹීමෙන් වළකින ලෙසට මහාමණ්ඩල සැසිවාරයේදී ලොව විවිධ නායකයන්ගෙන් අමෙරිකාවට ඉල්ලීම් ඉදිරිපත් විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දේශනයේදී විශේෂයෙන් සදහන් කළේ පැරිස් සම්මුතිය නොමැති නම් අනාගතයේ ලෝකයේ ඉරණම කුමක් වන්නේද යන්න ගැන යළි සලකා බලන ලෙසයි. පැරිස් ගිවිසුම දේශීය වශයෙන් සම්මත කළ රටවල් අතර ශ්‍රී ලංකාවද පෙරමුණේ පසු වෙයි. එවැනි තත්ත්වයක් අත් කරගෙන පාරිසරික ආරක්ෂාව සඳහා වඩාත් පුළුල් මට්ටමික් දායක වීම රටක් වශයෙන් ශ්‍රී ලංකාව ලබු සුවිශේෂි තත්ත්වයකි. පැරිස් සම්මුතියට සහය දක්වමින් මෙරට රාජ්‍ය නායකයා සිය දේශනයේදි විශේෂ සටහනක් ඒ වෙනුවෙන් තැබුවේ අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබිඹු කිරීමක් ලෙසිනි.

මහා මණ්ඩලයට එල්ල කෙරෙන ප්‍රධාන චෝදනාව වන්නේ එය කතා සාප්පුවක් පමණක් බවටයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහා පුළුල් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවට ගෝලීය මතයක් නිර්මාණය වී ඇත්තේ එබැවිනි. මහා මණ්ඩල සැසිවාරයේ විවාදය අවසන් කරමින් එහි වත්මන් සභාපති මිරොස්ලාව් ලජ්කාක් කළ ප්‍රකාශයකින් මේ විදෙස් සටහන අවසන් කළ යුතු යැයි හැඟී යයි. “ගත වූ සතියක කාලය තුළ අපි ලෝකයේ වැදගත් ප්‍රශ්න ගැන අවධානය යොමු කළෙමු. වෙඩි හඬින් පලා යන මිනිසුන් ගැන හා පුපුරා යන බෝම්බවල ප්‍රබලත්වය ගැන අපි ඇසුවෙමු. එමෙන්ම අපි කෝපි කෝප්පයකට වැය කරන මුදලින් මුළු දවසක්ම ජීවත් වන මිනිසුන් ගැනද ඇසුවෙමු. ඔබ හැම අවධාරණය කළ පරිදි ඕනෑම විකල්ප ක්‍රියාමාර්ගයක් ලෝකයේ පැරණි වැරදි යළි අලුත් කිරීමේ අවදානමක් නිර්මාණය කර තිබේ.“

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.