මළ­වුන් බඳු මිනිස්සු | සිළුමිණ

මළ­වුන් බඳු මිනිස්සු

කාලය තරම් වටිනා කිසිවක් මේ විශ්ව‍යේ කොතැනකවත් නැත. කාලයේ වටිනාකම සමාන කළ හැක්කේ කාලයටම ය‍. මනුෂ්‍ය ලෝකයේ සම්මත වර්ෂයක් දිව්‍ය තල පිහිටි තවත් ලෝකයක එක් පැයකට සම වන බව කියති.

මනුෂ්‍යයෙකුගේ ආයු කාලය කුහුඹුවකුගේ ආයු කාලය සමඟ සැසඳුවොත් කුහුඹුවාට එය දැනෙනුයේ කල්පයක් පරිද්දෙනි.

ගෞතම බුදුන් වහන්සේ පිරිනිවන් පා වර්ෂ දෙදහස් පන්සිය ගණනක් ඉක්ම ගොස් ඇත. තුසිත දිව්‍ය භවනට නම් බුදුන් වහන්සේ පිරිනිවන් පා ගතව ඇත්තේ දින ගණනකි. කාලයේ වෙනසත් එය එක් එක් තැන්වලට සහ එක් එක් ජීවීන්ට බලපාන ආකාරයත් පුදුමය. විවිධ ය.

විශ්වයේ කාල නීර්ණය අනුව පරම ආයුෂ යැයි කියන අවුරුදු එකසිය විස්සම ජීවත්වන පුද්ගලයෙකු පවා සම වන්නේ දිය මතුපිට හටගන්නා පෙණ බුබුළක් පිපිරී යෑමට ගතවන කාලයෙනුත් දහයෙන් පංගුවකට ය. එම දහයෙන් පංගුවේ හරි අඩක් එම පුද්ගලයා ගතකරන්නේ නිද්‍රාවේ ය. අවදිව සිටින අර්ධයෙනුත් පුද්ගලයා එළඹ සිටි සිහියෙන් පසුවන්නේ පහෙන් එක් කොටසක දී පමණි. අනෙක් සියලු අවස්ථාවන්හිදී ම පුද්ගලයා සිහියෙන් ජීවත් නොවන්නාක් බඳු ය.

නිසල දිය මතට වැටෙන වැලි කැටයක් නිසා උපදන ඇසට නො පෙනෙන තීර්යක් තරංගයක් ඉපදී ඒ හාම නැසී යන්නාක් බඳු ජීවිතයක් අපි ගෙවමු. මේ ඉතා සූක්ෂ්ම මොහොතේ දි මිනිසා බොහෝ වි‍ට සිදුකරන්නේ කාලයේ අමිල ගුණයට සමාන දෑ නොවේ. ඇතැමුන් හුස්ම ගත්ත ද ජීවත් වන්නේ මළවුන් පරිද්දෙනි. ඒ නම් ඔවුන් කාලයෙන් නිසි ප්‍රයෝජන නොලැබීම ය. තවත් සමහරෙක් කාලය හමුවේ තමා මළ මිනිසකු ලෙස ජීවත්වන අතරේ අනෙකාගේ කාලය සහ අවස්ථාව ද පැහැර ගනී. මේ දෙවර්ගයෙන් වඩාත්ම බිහිසුණු වන්නේ අවසානයට කී වර්ග යයි. මක් නිසාද යත් ඔවුහු තමාට ද අනෙකාට ද යන දෙපක්ෂයටම බලවත් සතුරෙක් වන හෙයිනි.

ජීවත්වන ඩිංගෙදී එම මොහොත හරි හැටි තේරුම් ගෙන සිහියෙන් ක්‍රියා කරන්නෝ මරණින් මතු සුගතියෙහි උපදිති. එසේ නොවන්නෝ නිසැකයෙන්ම දුගතියෙහි වැටෙති. මහමඟ හමුවන සුලබ නිදසුනක් කියමි. ඉහින් කනින් මඟීන් පටවා ගත් බස් රථයක් මහ මඟ නවතාගෙන තවත් "රුපියල් නවයේ කෑල්ලක් එනතුරු "බසය ඉදිරියට පසු පසට ගනිමින් අර බසයේ සිටින සියලු මඟීන්ට අපා දුක් උරුමකර දෙන රියදුරු සහ කොන්දොස්තර දෙපළ ගැන අපි කුමක් කියමුද? අනතුරුව ඊළඟ බස් රථය එනතුරු මහ මඟ ගාටමින් යන්නේ අනෙක් රථ වාහනවලට ද හිසරදයක් වෙමිනි. තමාගේ ද අනෙකාගේ ද අමිල කාලය රුපියල් දහයකට දොළහකට මිල කරන මෙවැනි මිනිසුන් මළ මිනී බඳු ය. මන්ද ඔවුන් ජීවත් වුවත් මළවුන් ලෙස ක්‍රියාකරන හෙයිනි.

 

Comments