රම්බ­ඩ­ගල්ල සමා­ධි ­පි­ළි­මය හා හයි­ද්‍රා­බාද් බුද්ධ­ පූ­ර්ණිමා | සිළුමිණ

රම්බ­ඩ­ගල්ල සමා­ධි ­පි­ළි­මය හා හයි­ද්‍රා­බාද් බුද්ධ­ පූ­ර්ණිමා

 තාරක වික්‍ර­ම­සේ­කර

ඉන්දියාව යනු දෙවි  දේවතාවුන් රැසක් අදහන, එමෙන්ම තවත් විවිධ ඇදහිලි යාගහෝම වැනි  පාරම්පරික ආගමික චාරිත්‍ර රැසකින් සමන්විත රටක්.  එවන් රටක මෙවන්  බුදු පිළිමයක් සැම දෙනාගේ අවධානයට ලක් වනු පිණිස ස්ථාපිත කිරීමම අපේ  මවිතයට හේතු වුණා. බුද්ධාගම අදහන  කිසිවකු නොමැති  හයිඩ්‍රාබාද්හි ප්‍රසිද්ධ  ස්ථානයක මේ ආකාරයයේ ගෞරවයට පාත්‍ර වන විදිහට හිටි පිළිමයක් නෙළන්නට කටයුතු කිරීමෙන් ඔවුන්  බලාපොරොත්ත වන්නේ  ආගමික සහජීවනය යි.

අධික තදබදයෙන් යුත් ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදුණු වාහනයේ සිටි අපට අලංකාර විලක් මැද උස්ව නැඟුණු දැවැන්ත බුදු රුවක් දක්නට ලැබුණා. කිසිදු බෞද්ධයකු නොමැති හයිද්‍රාබාද් නගරයේ මෙවැනි බුදුරුවක් කවුරුන් විසින් කුමන කරුණක් උදෙසා නිර්මාණය කරන ලද්දේද යන්න අපට යම් ආකාරයක ගැටලුවක් වුණා. ඒ නිසාම අප ඒ සම්බන්ධව විමසිලිමත් වුණා. බෝට්ටුවකින් ගමන් කළ යුතු, බුදුරුව සහිත වූ එම කුඩා දූපතට යෑමට අප තීරණය කළේ ඒ නිසයි.

අලංකාර රුක් ගොමුවලින් වට වූ කුඩා උද්‍යානයක් හරහා ඒ දූපතට යන තොටුපොළ වෙත ගමන් කළ අප මඳ වේලාවක් බුදු රුව දෙස බලා සිටියා. අවුකන බුදු පිළිමයට බොහෝ සෙයින් සමානත්වයක් උසුලන මේ හිටි පිළිමය අවුකන පිළිමයේ මෙන්ම දකුණු අත ඉදිරියට අත්ල පෙනෙන සේ නිර්මාණය කර ඇති නමුත් අවුකන පිළිමයේ මෙන් නොව අත්ල සම්පූර්ණයෙන්ම ඉදිරියේ සිටින අයට පෙනෙන ලෙස නිර්මාණය කර තිබෙනවා. අභය මුද්‍රාවෙන් යුක්තව ඉදිරිය බලා සිටින සේ නිර්මාණය කර ඇති හිටි පිළිමය සහිත කුඩා දූපතට අප බෝට්ටුවකින් ගමන් කළා. හුසේන් නගර් නමින් හැඳින්වෙන මේ ජලාශයේ බෝට්ටු සවාරියද හරිම සුන්දරයි. එක් පසෙකින් ඉන්දියාවේ දැවැන්ත ධජයක් ලෙළදෙමින් ඉන්දීය සංකේතාත්මක බව නිරූපණය වෙනවා. අනෙක් පසින් අධික නාගරීකකරණය වුවත් දියුණු නගර සැලැස්මක් සහිත නාගරික දර්ශනයන් දැක්වෙනවා.

හුසේන් නගර් දූපතට ළඟා වීමට විනාඩි 10කට මඳක් මැඩි කාලයක් ගත වුණා. මේ බුදු පිළිමය නමට තනන ලද බුදු පිළිමයක් නොවන බව අපට පසක් වුණේ එතැනට ගිය පසුවයි. අතීත රජ කාලයේ මෙන්ම අලංකාර කැටයම් රාශියකින් එය සමන්විත වූ බව අපට පෙනී ගියේ එම දූපතට ගමන් කර බුදු පිළිමය වන්දනා මාන කරන විටදීයි. අශෝක අධිරාජයාගෙන් පසු මෙවැනි බුදු පිළිමයක් තනන ලද පළමු අවස්ථාව වන්නට ඇතැයිද අපට එහිදී දැන ගන්නට ලැබුණා.

මේ හිටි පිළිමය උසින් මීටර් 17ක් හෙවත් අඩි 53ක් පමණ වනවා. එහි බර ටොන් 320ක් බවයි දැනගන්න ලැබුණේ. තනි කළු ගලෙන් එය නිර්මාණය කර ඇත්තේ ‘ගණපති ස්ථපති‘ (මුත්තායියා ස්ථපති) හෙවත් මොනරගල රම්බඩගල්ල ලොව උසම ශෛලමය සමාධි බුදු පිළිමය නිර්මාතෘවරයායි. ඔහුගේ උපදෙස් පරිදි ශිල්පීන් 40 දෙනකු විසින් මේ හිටි පිළිමය නිර්මාණය කර ඇත්තේ රායිගර් නගරයේදී. එහි සිට විශේෂ රථයකින් මෙම ස්ථානයට මේ හිටි පිළිමය ගෙනවිත් තිබෙනවා. එම විශේෂ රථය රෝද 192කින් සමන්විත ඉන්දියාවේ පවා කිසි ලෙසකින් දැකගන්නට නොහැකි විශේෂ‍ෙයන් නිර්මාණය කරන ලද වාහනයක් බවයි අපට දැනගන්න ලැබුණේ. මෙතරම් අලංකාර කැටයම් යොදා විශාල නාගරික සීමාවක බුදු පිළිමයක් නෙළන්නට මේ ජනතාවට අවශ්‍ය වූයේ මන්ද යන ප්‍රශ්නය අපට මතු වුණා.

ඉන්දියාව යනු දෙවි දේවතාවුන් රැසක් අදහන, එමෙන්ම තවත් විවිධ ඇදහිලි යාගහෝම වැනි පාරම්පරික ආගමික චාරිත්‍ර රැසකින් සමන්විත රටක්. එවන් රටක මෙවන් බුදු පිළිමයක් සැම දෙනාගේ අවධානයට ලක් වනු පිණිස ස්ථාපිත කිරීමම අපේ මවිතයට හේතු වුණා. බුද්ධාගම අදහන කිසිවකු නොමැති හයිද්‍රාබාද්හි ප්‍රසිද්ධ ස්ථානයක මේ ආකාරයයේ ගෞරවයට පාත්‍ර වන විදිහට හිටි පිළිමයක් නෙළන්නට කටයුතු කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ ආගමික සහජීවනය බවයි අපට දැනගන්න ලැබුණේ.

‘බුද්ධ පූර්ණිමා‘ ලෙස ඔවුන් විසින් මේ හිටි පිළිමය හඳුන්වනු ලබනවා.

මේ පිළිමය ඉදි කිරීමේදී ශ්‍රී ලංකාවේ බුදු පිළිම ඉදි කළ අයුරින් ම අවට සොබා සෞන්දර්යය මෙන්ම කැටයම් කලාව ගැනද මහත් වූ භක්තියක් දක්වා ඇති බව ඉතා පැහැදිලියි.

අපේ රටේ ඇතැම් විහාරස්ථානවල දක්නට ඇති ධර්මචක්‍රයේ ගරාදි පිටත චක්‍රයෙන් ඔබ්බට නැංගුරමක සේ විහිදා තිබුණද මෙහි ඇති ධර්මචක්‍රය නිවැරදිවම නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම මාර දූවරුන් පරාජය කිරීම මෙන්ම බුද්ධ චරිතයේ විවිධ අවස්ථා මෙහි නිරූපණය කර තිබෙනවා.

තලේබාන්වරුන් බුදුපිළිම බිම හෙළද්දී බෞද්ධයන් අතළොස්සක් සිටින ඉන්දියාවේ මෙවන් අලංකාර බුද්ධරූපයක් නිර්මාණය කරන්නට සිතීම පවා උගහට නමුත් කරුණාව මෛත්‍රිය පතුරවන්නට බුදු දහමින් ලැබෙන ආභාසය නිසා මේ අයුරින් බුදු රජාණන් වහන්සේගේ හිටි පිළිමයක් නිර්මාණය කර ජනතා සිත් සතන් සනසා ලන්නට මේ ජන කොටස් කටයුතු කර තිබෙනවා.

හිටි පිළිමය මෙන්ම අලංකාර වටාපිටාවද මෙහිලා පැසසිය යුතුය. බෝට්ටුවේ නැඟී අවට සිරි නරඹමින් ගොස් පිවිසෙන කුඩා දූපතේ වුවද ඇති සිරිය බුද්ධාලම්භන ප්‍රීතිය වඩවන සුලුය. එහෙත් බෞද්ධයන් නොමැති නිසා මල් පහන් දැල්වීමට මෙහි ස්ථාන වෙන් කර නැති වුවත් එම බුද්ධ පුර්ණිමා වෙත ළඟා වන ඕනෑම අයකුට බුද්ධාලම්භන ප්‍රීතිය වඩවන්නේ සිත නිවන තැනක් ලෙස පමණක් නොව, තමන් සිටින්නේ අධික තදබදයෙන් පිරි නගරයක බව මොහොතකට අමතක කර දමමිනි.

හයිද්‍රාබාද් දේශපාලන නායකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද මේ බුද්ධ පූර්ණිමා කෙරෙහි දැඩි ඇල්මක් දක්වන බවත් අපට පෙනී ගියා. එමෙන්ම මෙහි ඉංග්‍රීසි ඇතුළු භාෂා ත්‍රිත්වයකින්ම තිසරණ සහිත පංචශිලය දක්වා තිබීමෙන් බුදු දහමේ ගුණාංග ඔවුන් විසින් අගයා ඇති අයුරු අපට වටහාගත හැකි වනවා.

 

ඉන්දීය සංචාරයකින් පසු

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.