සාමයේ සිහින කුමරා | සිළුමිණ

සාමයේ සිහින කුමරා

ඔක්තෝබර් 9ට යෙදෙන විජය කුමාරතුංගයන්ගේ 72වැනි ජන්ම දින සමරුව නිමිත්තෙනි. 

කෝවිලගේ බෙන්ජමින් කුමාරතුංග හා ක්ලේරා බියට්‍රිස් කුමාරතුංග යුවළගේ බාලම දරුවා ලෙස 1945 ඔක්තෝබර් 9 වෙනිදා සීදූවේදී උපත ලැබූ ‘කෝවිලගේ විජය ඇන්ටනි කුමාරතුංග’ නොහොත් ‘විජය කුමාරතුංග’ 1988 පෙබරවාරි 16 වැනිදා දහවල් 12.20 ට පමණ කොළඹ නාරාහේන්පිට පොල්හේන්ගොඩ පාරේ (වර්තමානයේ විජය කුමාරතුංග මාවත) ඔහුගේ නිවස ඉදිරිපිටදී මුහුණ සහ හිස සුනුවිසුනු වන පරිදි තිරශ්චීන ලෙස වෙඩි තබා ඝාතනය කෙරුණි. ඒ වන විට ඔහු සිංහල සිනමාවේ ජනප්‍රියතම නළුවා වූ අතර ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයා ලෙස ජනප්‍රියතම දේශපාලකයෙකු බවට ද පත්ව සිටියේය. එම පෙබරවාරි 21 වෙනිදා තවත් වාමාංශික පක්ෂ සමඟ එකතුව ‘එක්සත් සමාජවාදී පෙරමුණ’ පිහිටුවා එහි ජනාධිපති අපේක්ෂක වශයෙන් විජය නම් කරන්නට නියමිතව තිබුණි. මරුවා ඉස්සර විය. ඔහුගේ සුන්දර සිරුර විනාශ කරන්නට ක්‍රෑර ඝාතකයන්ට හැකි වුවත් ඔහු මරා දමා විසිනව වසරකට පසුවද පවතින ඔහුගේ නාමය හෝ ජනහදවත් තුළ පවතින ආදරණීය මතකය මරා දමන්නට ඝාතකයන්ට හෝ ඔවුන්ගේ පසු පරම්පරාවන්ට හෝ නොහැකි වීම ආශ්චර්යයකි.

කොළඹ කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසුව පොලීසියට බැ‍ඳෙන්නට සිතූ විජයට දෛවයේ නියමය අනුව සිනමාවට එක් වන්නට සිදු විය. ප්‍රධාන නළුවෙකු ලෙස ඔහු එසේ සිනමාවට පිවිසුණේ සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ ‘හන්තානේ කතාව’ චිත්‍රපටය තුළිනි. එය තිරගත වූයේ 1969 දීය. ඊටත් පෙරම ඔහුට චිත්‍රපට රැසක රංගන අවස්ථා ලැබුණු අතර ‘හන්තානේ කතාව’ තුළින් එක රැයින් ජනප්‍රිය වූ විජය කුමාරතුංගයන්ගේ ගමන නැවැත්විය හැකි වූයේ 1988 දී ඔහුට කොකා ගැස්සූ ම්ලේච්ඡ තුවක්කුකරුවනට පමණි. ජනප්‍රිය විනෝදාත්මක සිනමාවේ ‘සූරයන්ගෙත් සූරයා’ව සිටි ගාමිණී ෆොන්සේකා හා සමාන්තරව විනෝදාත්මක සිනමාවේ ‘සොඳුරු සුපෙම්වතා’ ලෙස විජය පෙරට ගියේය. ආකර්ෂණීය කඩවසම් පෙනුම හා සිත් ඇදගන්නා කතා විලාසය මෙන්ම එච්.ආර්. ජෝතිපාලයන්ගේ ආදරණීය ගී හඬ රංගනය සමඟ ඒකාත්මික වීම තුළින් ‘විජය කුමාරතුංග’ නමැති ‘සිනමා ප්‍රේමවන්තයා’ අපරාජිතව නැගී සිටි අතර ප්‍රේක්ෂකයන් ආදරයෙන් ඔහු වැලඳ ගත්හ.

මේ දෑස කුමටද - හතර දෙනාම සූරයෝ - ආදරේ හිතෙනව දැක්කම - සැණකෙළිය - තුෂාරා - සංගීතා - හිතුවොත් හිතුවාමයි - වාසනා - උන්නත් දාහයි මළත් දාහයි - විශ්මය - සුසී - සැලී - පෙම්බර මධු - නැවත හමුවෙමු - අංජනා .... ආදී වශයෙන් ඇදී යන විජයගේ චිත්‍රපට නාමාවලියේ අග හරියේ පෙරළිකාරයෝ - ජය අපටයි - නොම්මර 17 - ඔබටයි ප්‍රියේ ආදරේ - මමයි රජා වැනි අති්‍යාර්ථක විනෝදාත්මක චිත්‍රපට පෙළ හමුවේ. විජය ඝාතනය කරන මොහොත වන විට ‘ඔබටයි ප්‍රියේ ආදරේ’ තිරගත වෙමින් තිබුණි. මරණය ගැන කියවෙන දෙබස් ද සහිත වූ ‘මමයි රජා’ ඉන්පසුව තිරගත වූයේ උපරිම ආදායම් වාර්තා පිහිටුවමිනි.

ස්වර්ණා මල්ලවආරච්චිගෙන් අරඹා සබීතා පෙරේරා දක්වා සියලු ප්‍රධන නිළියන්ගේ පෙම්වතා ලෙස රඟපෑ විජය සමඟ වැඩිම වාර ගණනක් පෙම්වතිය ලෙස රඟපෑ­‍ෙව් මාලිනී ෆොන්සේකාය.

අහස්ගව්ව - පාර දිගේ - පොඩිමල්ලී - බඹරු ඇවිත් - කරුමක්කාරයෝ - බැද්දේගම - මහගෙදර - අහසින් පොළොවට - මරුවා සමඟ වාසේ - මධුසමය - කැඩපතක ඡායා ආදී කලාත්මක ධාරාවේ චිත්‍රපට තුළ ද විජයගේ ප්‍රතිභා සපිරි රංගනය සටහන් විය. ‘කැඩපතක ඡායා’ තුළින් ඔහු ‘හොඳම නළුවා’ ලෙස සම්මාන ලද්දේ මරණින් පසුවය. එසේම ඔහු ක්‍රිස්තුස් වහන්සේ ලෙස රඟපෑ ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටය තිරගත වන තුරු ජීවත් වන්නටද තුවක්කුකරුවා ඔහුට ඉඩ නොතැබුවේය.

මුල් යුගයේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ගීත නාටකවල ගී ගැයූ විජය කෙනන් පෙරේරා නිපදවූ ‘සිල්වර්ලයින්’ තැටි තුළින් බහුතර රසික පිරිස අතරට ආවේය. රූස්ස ගහ ළඟ පාළු මාවතේ - ළඳුනේ මා හැර යනු මැන - එක වරක් ඔබට මා එපා නම් වැනි එම ගී තුළින් ඔහුගේ හැකියාව සනාථ විය. ගඟ අද්දර - ආරාධනා - ඉන්දුට මල් මිටක් - හිම කතර - සූරියකාන්ත වැනි චිත්‍රපටවලද එකල ම ගී ගැයූ විජය ජෝතිගේ වියෝවෙන් පසුව තමන් සඳහා තමන් ම ගී ගැයීමේ තීරණයට එළඹියේය. ඒ අනුව ‘නොම්මර 17’ චිත්‍රපටයට ඔහු ඇන්ජලින් ගුණතිලක සමඟ ගැයූ ‘සීගිරි ලාලිත ළඳුනේ’ හා ප්‍රෙඩී සිල්වා සමඟ ගැයූ ‘පාට සරුංගල් වාගෙයි අපේ ජීවිතේ’ අතිජනප්‍රිය විය. බලන්න අරුණ සමඟ - ආදරයක හැඟුමක් - සැරයටියෙන් අපි - දේවදාර ගස් අතරින් - කරඹ ය‍ායේ - දඟගෙයි දඬුවම් - රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ... වැනි ඔහුගේ බොහෝ ගී රසිකයන් අතරට ගියේය. ලතා - මාලිනී බුලත්සිංහල - චන්ද්‍රලේඛා - ශීලා පරණමානගේ - නිමලා අතපත්තු - ශ්‍රියානි අමරසේන වැනි බොහෝ දෙනෙක් යුග ගායනයෙන් විජයට එක් වූහ.

“හොඳ ම ගායකයා හැටියට සම්මානයක් ලබා ගන්න මම බලාපොරොත්තු වෙනවා...” යනුවෙන් විජය මා සමඟ පැවසුවේ ‘සත්සර’ සංගීත පුවත්පත වෙනුවෙන් කළ නතාබහකදීය. එදා ඒ කතාවට ඇතැම් විශාරද ගායකයන් ද කුපිත වුවත් ‘දොළොස්මහේ පහන’ හා ‘සහර‍ාවේ සිහිනය’ චිත්‍රට තුළින් ඔහු හොඳම ගායකයා ලෙස සම්මාන දිනුවේ කුපිත වූවන් නිරුත්තර කරමිනි. එහෙත් ඒද ඔහුගේ මරණින් පසුවය.

මුලදී ලංකා සමසමාජ පක්ෂ දේශපාලනයට ඇලුම් කළ ඔහු පසු කාලයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් විය. 1975 දී පමණ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ එම පක්ෂයෙන් කටාන අතුරු මැතිවරණයට ඉල්ලද්දී ජෙයරාජ්ට සහාය පළ කළ විජය සතුරු ප්‍රහාරයකට ලක්විය. කඩුවලින් කට කපා නළල තලා හිස් මුදුනේ කෙස් උගුල්ලා තුවාල කරන ලදී. 1977 දී කටාන අසුන ශ්‍රීලනිපයෙන් තරග කළේ විජයයි. විජයපාල මෙන්ඩිස්ට පැරදුණත් සෙසු පක්ෂ ප්‍රබලයන්ට වඩා විශාල ඡන්ද සංඛ්‍යාවක් ඔහු ලැබීය. මහර අතුරු මැතිවරණයේදී විජයට ඡන්ද 45 කින් පරාජය කරනු ලැබූ අතර කුමන්ත්‍රණකාරීන්ට එය කළ හැකි වූයේ සිය පක්ෂයේ ම කෙණෙහිලිකම් නිසාය. මින්නේරිය අසුන තරග කරද්දී වූයේ එයයි. ඉන්පසුව සිය බිරිය චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවා පෙරට ආ විජය බිහිසුණු යුද්ධය පිටුදැක සැබෑ සාමය උදෙසා වෙහෙසුණේය. ඒ සඳහා එල්ටීටීඊ සංවිධානය සමඟ සාකච්ඡාවට ඔහු උතුරට පමණක් නොව මදුරාසියට ද ගියේය. වමේ සමගිය ගොඩ නඟා එක්සත් සමාජවාදී පෙරමුණ හදා එහි ජනපති අපේක්ෂක ලෙස නම් කරන්නට තිබූ දාම ඔහුගේ අවමඟුල (1988 පෙබ:21) නිදහස් චතුරශ්‍රයේ පවත්වන්නට සිදු වීම දෛවයේ සරදමකි. ඔහු මැරූදා සිට චිතකය දැවෙන මොහොත දක්වා ඔහුට අවසන් බුහුමන් පිදූ ජන ගංගාව ලක්ෂ සංඛ්‍යාතය. එය ඔහුගේ ඝාතනයට අණ දුන්නත් පවා අන්දමන්ද කළේය.

විජය කුමාරතුංග නමැති ප්‍රේමණීය ජනකාන්ත නළුවා - ගැඹුරු ළයාන්විත ගායකයා - පිවිතුරු දේශ සේවකයා - උත්තුංග මානව හිතවාදියා හුස්ම ගත් යුගයේ ජීවත් වන්නට ලැබීම අපගේ වාසනාවකි. ඔහු නොමැති දේශයක ජීවත් වන්නට සිදු වීම අභාග්‍යයකි. ඉතිහාසය වෙනස් කරන්නට සිටි මිනිසා මරා දැමීමේ පාපය ශාපයක් වී හඹා ආවේය. රට යුද ගින්නෙන් දැවුණේය. ඒ ගිනිදැල් නිවී සංහිඳියාවේ පහන් දැල්වෙන මෙවන් යුගයක සංහිඳියාවේ ආලෝකය අතරින් යළි යළිත් මැවී පෙනෙන්නේ සිහිනයක් සේ පැමිණ සිහිනයක් සේ මැකී ගිය ආදරණීය විජයගේ රූ චායාවයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.