ආහාර හිඟ නැති සාගින්නේ අර්බුදය | සිළුමිණ

ආහාර හිඟ නැති සාගින්නේ අර්බුදය

 ලෝක ආහාර දිනය ඔක්තෝබර් දහසය(16) වන දිනට යෙදී තිබේ. ලෝක පරිසර දිනය, ජල දිනය, කාන්තා දිනය, ළමා දිනයන් මෙන්ම ආහාර දිනය ද අප සමරන්නේ "උග්‍ර ආහාර අර්බුදයක් අතළඟ යැයි" කියමින් සියල්ලෝ බිය වද්දමිනි. සාගින්න සහ දිළිඳුබව ගෝලීය වශයෙන් මනුෂ්‍යයා දෛනිකව මුහුණදෙන නොසලකා හැරිය නොහැකි ප්‍රධාන අර්බුදයකි. නමුත් ගෝලීය සාගින්නේ හේතුව ආහාර හිඟයද? නැත්නම් සීග්‍රයෙන් වැඩිවන ඇති - නැති පරතරය හමුවේ ආහාර මිළදී ගැනීමේ නොහැකියාව ද යන්න කෙරේ අවධානය යොමු කීරීම වටී.

අද ලෝකය කවරාකාරයේ හෝ ආහාර හිඟයකින් නොපෙළෙන බව පර්යේෂණ වාර්තා එළිදක්වයි. දිනෙන් දින වැඩි වන ඒක පුද්ගල ආහාර නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණ වාර්තා ගෝලීය මට්ටමින් ඒ බව තහවුරු කරයි. ලෝකයේ ජනගහනය වර්ධනය වීමට සාපේක්ෂව සෑම අයෙකුටම අවැසි ආහාර නිෂ්පාදනයක් සිදු වන බව වාර්තා වී තිබේ. එවැනි තත්ත්වයක් තුළදීත් "සාගින්න" යනු තුරන් කළ නොහැකි වූ ලෝකය පුරා අඩු වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන කවදටත් කාලීන වී තිබෙන අර්බුදයකි. වැඩි වන ජනගහනයට ආහාර නිපදවුණ ද, ඊට සාපේක්ෂව වැඩි වන ඇති - නැති පරතරය හමුවේ බහුතරයකට ආහාරවලට නියම වී ඇති ඉහළ මිළ දරා ගැනීමේ හැකියාව ජය ගත නොහැකි වී තිබේ. ඒ අනුව ධනේෂ්වරයේ තුන්වන කාර්තුව වන විට බහුතරයක් ජනයා සාගින්නේ ගොදුරුය. මේ අනුව, "ලෝක ආහාර දිනය" අප සැමරිය යුත්තේ, හෙට දවසේ ඇති වන උග්‍ර ආහාර හිඟයක් පෙන්වා හුදී ජනයා බිය වැද්දීමට විරෝධය දක්වමිනි.

ශාක භෝගයන් මත රුඳුණු ආහාර සංස්කෘතියකට උරුමකම් කියන අප වැනි රටක ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමේදී කාලගුණික දේශගුණික විපර්යාසයන් මඟහැර යා නොහැකිව තිබේ. මිනිසා විසින් පාරිසරික ගරුත්වය කෙළෙසමින් මහපොළව මත සංවර්ධනය පිහිටුවන්නට දරන තැත හමුවේ ගෝලීය වශයෙන් අද දේශගුණික විපර්යාස මානව පැවැත්ම තර්ජනයකට ලක් කරමින් සිටී. ඒ මිනිසාගේ මූලික අවශ්‍යතා වන ආහාර සුරක්ෂිතතාවට අභියෝග එල්ල කරමිනි. එදා මෙදා තුර මානව ශිෂ්ටාචාරයේ කොඳුනාරටිය වන් "ගොවිතැන" සොබාදහමේ වෙනස්කම් හමුවේ අඩපණ වී තිබේ. මේ තත්ත්වය අභියෝගට ලක්කරමින් මිනිසා විසින් ආහාර නිෂ්පාදයේ විවිධ මානයන් තරණය කර මහපොළවට වස පොවා, ආහාර මවන ක්ෂණික වූත් තාක්ෂණික වූත් උපාය උපක්‍රමයන් භාවිතයට ගෙනැවිත් තිබේ. ඒ මානවයාගේ ආහාර අවශ්‍යතාවය තහවුරු කරන්නට, සොබාදහමේ විවිධත්වය අතික්‍රමණය කිරීමට යත්න දරමිනි. ඒ අනුව, ලෝක ආහාර දිනය අපට සිහි කැඳවන්නේ, ආහාර අයිතිය රැකීම වෙනුවෙන් මහපො‍ෙළාවේ සියලු සත්වයින්ගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගනිමින් මිහිකත කෙළෙසීමට අප තීන්දු තීරණ ගැනීම කෙතරම් අයුක්තිසහගත දැයි යන්නයි.

වස විස භාවිතයෙන් තොර වූ වාණිජ ගොවිබිම් අද නැති තරම්ය. පුරාණයේ රටට බත සැපයූ ගොවි මහතුන් නැතහොත් ගොවි පවුල් දැහැමෙන් සෙමින් ගොවිකම් කළහ. දහ දහස් සංඛ්යා ත වෙහෙර විහාරයන්ට යාබද වූ වැව් අමුණු, ඇළ වේළි වල නටඹුන් පමණක් ඉතිරි කර අද ගොවීන් වත් පිළිවෙත් වලින් බැහැර වී වස විසට පුරුදු වී සිටිති. ගොවිතැන හා බැඳුණු පංචශීලයේ ගති ස්වභාවය සමඟ එදා මහ පැරකුම් රජ දවස පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලී ලද රටේ ගොවිපුතුන් අද බෝ නොවන රෝග ගණනාවක ගොදුරු වී තිබේ.

මිනිස් ක්‍රියාකාරකම් හමුවේ වියරු වැටී ඇති පාරිසරික දේශගුණික තත්ත්වයන් හමුවේ, රටට බත සපයන උදාන පාඨයට මුවාවී ගොවීන් දඩමීමා කරගත් මුදලට ගිජු පාරජාතික සමාගම්හි උපායයන්, "ආහාර" නිසා අර්බුද ගණනාවක් රටේ ඇති කර තිබේ. රටේ ආහාර සංස්කෘතිය විකෘති කරමින් ද මිනිසාගේ පරිභෝජන මාදිලිය වෙනසකට ලක් කරමින් ද "නැති ආහාර අර්බුදයකට" කඩිනම් පිළියම් යෙදීමට යාමෙන් ආහාර නිසා ජාතිය රෝගී කිරීමට සමාගම් සුළුතරයකට හැකි වී තිබේ. එහෙයින් ලෝක ආහාර දිනය දා රටවැස්සන් විසින් අවධානය යොමු කළ යුත්තේ, ජාතිය ලෙඩ ඇඳට ඇද දමන දෛනික ආහාර වට්ටෝරුව ගැනය. සත්ව ආහාර මත නොයැපුණු, අනඟි හරිත ආහාර සංස්කෘතියක වැඩුණු, ශිෂ්ට ජාතියක් ආහාර හේතුවෙන් අද රෝගාතුර වී නොසිටින්නේද? එහෙයින් මේ ලෝක ආහාර දිනය අපට මතක් කරන්නේ, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අභියෝගයක් නොවේ. මනුෂ්‍යයාගේ ආහාර රටාව නිසා මිනිසාත්, මහපොළවත් හමුවේ ඇති මරණීය තර්ජනයයි.

අද ලෝක ආහාර සැපයුමෙන් තුනෙන් දෙකක කොටසක් හිමි වන්නේ සහල්, බඩඉරිඟු සහ තිරිඟුවලටය. දේශීය වශයෙන් වී ගොවිතැන අපේ රටේ ප්‍රධාන ආර්ථික සමාජ දේශපාලන ප්‍රපංචය වී තිබේ. වී ගොවිතැනේ ව්‍යුහාත්මක වෙනසක් ඇති කළ "හරිත විප්ලවය" රටේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් පෙනී සිටින බව සහතික කරන්නට තැත් දැරුවද ගොවිතැන, ගොවියා කෘෂි වස විස වටා භ්‍රමණය කරවා ගැනීමට එය කටයුතු කර ඇත. උග්‍ර ආහාර අර්බුදයක් පෙනෙන මානයේය යන මිරිඟුව පසුපස සියල්ලන් මෙහෙයවන්නට ඒ විදේශීය සමාගම් කටයුතු කරමින් සිටී. බීජවල අයිතිය අහිමි වූ ගොවීන්ට කන්නයෙන් කන්නයට නව බීජ සමාගම්වලින් මිළදී ගන්නට සිදුවේ. තමන්ගේ ප්‍රධාන ආහාරවල අයිතිය තමන්ට අහිමි වූ ජාතියක් ලෙස ඊළඟ පරපුරට සිය ගොවිබිම් භාර කළ ගොවි පුතුන් අකර්න්‍යය වෙමින් තිබෙන සිය වකුගඩු සමඟ ණය කාරයකු වී ලෙඩ ඇඳට වැටුණි. අපේ ආහාර වෙළඳපොළෙහි ස්වාධීනත්වය හසුරවන බලවේගය හරිත විප්ලවයේ නාමයෙන් එසේ පාරජාතික සමාගම් අතට පත් වුණි.

එකී සමාගම් අද වන විට මුළු මහත් ලෝක ගෝලයම අනතුරට හෙළමින් මාරාන්තික කෘෂි විස රසායන ගොවිතැනට එන්නත් කරමින් මනුෂ්‍යයාගේ පැවැතිම අර්බුදයට ලක් කරමිනි සිටී. අද ලෝකය පමණක් නොව හෙට අනාගතය පවා බිහිසුණු අන්ධකාරයකට ඇද දමන විස රසායන සමාගම් ආක්‍රමණය නූපන් දරුවන් රෝගීන් කරන්නේ රුධිර සහ ජාන විකෘති කරමිනි. මිහිපිට ජීවීන්ට හිතකර නොවන කෘෂි විස රසායනිකයන් වෙළඳාමේ යෙදීමෙන් ඔවුන් සිදු කරමින් සිටින්නේ මුදලට ගිජුව ලෝ වැසියා මුළා කිරීමකි. ප්‍රධාන වශයෙන්ම ලෝකයේ කෘෂිකර්මය පිළිබද ප්‍රතිපත්ති සම්පාදනය සිදුවන තීරණාත්මක ආයතන තුළ මුල් පුටු වල කෘෂි රසායන විද්‍යාඥයින්, ඒජන්තයින් අරක් ගෙන තිබීම සාමාන්‍යයෙන් කවුරුත් පාහේ දන්නා සංසිද්ධියකි.

මේ අනුව ලෝකයම ආහාර අර්බුදයක් ගැන කතා කරන විට අපට ඇත්තේ, ආහාර හිඟයක් නොව අඩු වැඩි වන ආහාර අතිරික්තයකි. බටහිරකරණය වූ ආහාර සංස්කෘතියක් සහ ආහාර විවිධත්වය පිළිබඳ ඥාණය ගිලිහී යාමක් අර්බුදයේ පදනම සකසා තිබේ. අද එහෙයින් අප ගෝලීය සාගින්නේ කොටස්කරුවන්ය. ඒ සාගින්න හා දිළිඳුකම බැඳී ඇති හෙයිනි. ගෝලීය පාරිසරික අර්බුධද හමුවේ වැඩි අස්වැන්න යන මිරිඟුව පෙන්වා ගොවිපුතුන් මුළා කරන කෘෂි විස වෙළෙන්දන්ගෙන් ඔවුන් ගලවාගන්නට තැත් දරන්නේනම් මිනිස් මැදිහත්වීම් නිසා වියරු වැටී හඬාවැටෙන මිහිකත නළවා ගත හැකිය. ඒ සඳහා රටේ ආහාර නිෂ්පාදන මාදිලිය වෙළඳපළකරණය වීමෙන් මඟහරවා ගැනීමෙන් මිස විකල්ප නැත.

පවිත්‍රා රූපසිංහ

Comments