වී වැව්වොත් සල්ලි තමයි | සිළුමිණ

වී වැව්වොත් සල්ලි තමයි

 දැන් මෙවර වී වැවූ ගොවීන්ට සතුටුය. ඒ වී මිල වැඩි නිසාය. නමුත් හාල් පාරිභෝගිකයන්ට දුකය. ඒ හාල් මිල වැඩි නිසාය.

පර්යේෂකයන් පවසන පරිදි මේ සියල්ල සිදුවුණේ නියඟය හා ගංවතුර වැනි ආපදා නිසාය. අපේ රටේ මේ වසරේ වී අස්වැන්න පසුගිය වසර 10 තුළ මෙරට ලැබූ වාර්ෂික වී අස්වැන්නට වඩා අඩුම වී අස්වැන්න බවට පත්වන බවට සංඛ්‍යා ලේඛන මඟින් හෙළි වී ඇත.

මේ සියල්ලට ම හේතුව ස්වාභාවික ආපදාය. ආපදා අවම කිරීමට අපි සියලු දෙනා කටයුතු කර මේ දුෂ්කරතා මඟ හරවා ගත යුතුය. ආපදා අවම කිරීමේ දිනය 13 වැනිදා සිකුරාදාට යෙදී තිබේ.

මේ පිළිබඳව කරුණු දක්වන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අලෙවි, ආහාර ප්‍රතිපත්ති සැලසුම් හා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධිපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසන්නේ පසුගිය 2016 යල, 2016/17 මහ හා 2017 යල කන්නවලට බලපෑ මේ රටේ තිබුණු නියඟය නිසාත් 2016 මැයි හා 2017 මැයි මාසවලදි ගංවතුර නිසාත් මේ වසරේ අපේ වී අස්වැන්න සියයට 50 කින් පමණ අඩුවී ඇති බවයි.

මෙරට හාල් මිල වැඩිවීම පිළිබඳව කරුණු දක්වන සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් මුදිත පෙරේරා මහතා පවසන්නේ මෙරට හාල් මිල අඩු කිරීමට නම් අපේ රටේ විශාල වී තොග ගබඩා කරගෙන ඇති මහ හාල් මෝල් හිමියන් 10 දෙනා තම වී තොග කොටා ඒ සහල් ඉක්මනින් වෙළෙඳ පොළට දැමිය යුතු බවයි. පසුගිය කාලයේ පිටරටින් හාල් තොග ගෙන්වුවත් ඒ හාල් කෑමට අපහසු බවත් දුගදක් හමන බවත් මුදිත පෙරේරා මහතා කියයි. අපේ අය වැඩිපුර වැඩි මිලට අරන් හරි අපේ හාල් තමයි කන්න කැමැති. මේ නිසා රජය මේ අපේ රටේ මහ හාල් මෝල් හිමියන් සතු වී තොග මනාව කළමනාකරණය කළ යුතුයි. එවිට හාල් මිල අඩුවේවි. සමහර මෝල් හිමියන් පිටරටින් ගෙන්වපු හාල් අපේ හාල් සමඟ මිශ්‍ර කර අපේ වෙළෙඳ පොළට දාලා තිබෙනවා. අපේ රටේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ හාල් මෝල් 400 ක් වැහිල වී නැතිව. සමහර අයගේ හාල් මෝල් බැංකුවලට සින්න වෙලා. මේ තත්ත්වය යටතේ හාල් මිල පාලනයට රජය මේ හාල් තොග වෙළෙඳාම හා හාල් තොග මනාව කළමනාකරණය කිරීමට අමාත්‍යාංශ ලේකම් මට්ටමින් කමිටුවක් පත් කළ යුතුයි”.

මේ අතර රජය පවසන්නේ ඉදිරියේදි මෙරට හාල් මිල අඩු කිරීමට තවත් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 5 ක් මෙරටට ගෙන්වනු ඇති බවයි. කෙසේ වුවත් රජයේ යුතුකම රට හාල් ගෙන්වන විට අපේ ජනතාවට කෑමට හැකි කෑමට කැමැති දුගඳක් නැති ඉහළ ප්‍රමිතියේ හාල් මෙරටට ගෙන්වීමට අදාළ අංශ දැනුම්වත් කිරීමයි. දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙරට වී අස්වැන්නෙන් සියයට 50 ක්ම මෙරට මහ හාල් මෝල් හිමියන් මිලදී ගෙන ගබඩා කර ඇති බව මුදිත පෙරේරා මහතා පවසයි.

හාල් මිල ඉහළ යන අතරේ දැන් වී මිල ද මෙරට ඉහළම මට්ටමට ඉහළ ගොස් ඇත. ප්‍රගතිශීලී ගොවිජන සම්මේලනයේ ලේකම් කවුඩුල්ලේ එම්.කේ. ජයතිස්ස ගොවි නායකයා පවසන්නේ මෙවර යල කන්නයේ මෙරට කෘෂි ඉතිහාසයේ වැඩිම වී මිල මේ දිනවල අනුරාධපුර පොලොන්නරුව ගොවි ජනතාවට ලැබෙන බවයි.

මේ දවස්වල වී මුදලාලිලා කීරි සම්බා කිලෝ 1 ක් රුපියල් 60 - 58 අතර ගන්නවා. නාඩු කිලෝ 1 ක් 56 - 55 ගන්නවා. මේ සැරේ මින්නේරිය ව්‍යාපාර‍යේ කුඹුරු සියයට 50 ක් පමණයි වැව්වේ. ඒත් අස්වැන්න හොඳයි. කෙසේ නමුත් දැන් මේ සියලු කුඹුරුවල සරු ගතිය අඩුවෙලා. ජල සංරක්ෂණයට ජල හිඟයට ඔරොත්තු දෙන අලුත් වී ප්‍රභේද නිපදවීමට රජයේ බලධාරිහු කටයුතු කිරීමත් වැදගත්. ඉදිරි දිනවල වැස්සොත් ලබන කන්නයේ මුළු රජරටම අස්වද්දන්න තමයි රජරට ගොවීන් සූදානම්ව ඉන්නේ. ජයතිස්ස මහතා පවසයි.

පොලොන්නරුව දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති එස්. විජේසූරිය මහතා පවසන්නේ මේ සැරේ වී අඩු නිසා වී වලට ලැබුණු ඉහළම මිල මේ දිනවල රජරටට ලැබෙන බවයි. ඒ අනුව කීරි සම්බා කිලෝ 1 කට රුපියල් 60 - 59 අතර මිලක් ද නාඩුවලට 57 - 56 අතර මිලක් ද ලැබෙනවා. රජය කාබනික පොහොර ජනප්‍රිය කළ නිසා අපට නිෂ්පාදන වියදම අඩු වුණා. දැන් වී මුදලාලිලා කමතටම ඇවිත් මේ ඉහළ මිල වී වලට ගන්නවා. සමහර ගොවීන් මේ නිසා කොළ පැහැති අමු ගොයම් කපා වී වැඩි මිලට විකිණීමටත් පෙළඹිලා ඉන්නවා. විජේසූරිය මහතා කියයි.

මේ අතර ගිරිතලේ ගොවි සංවිධානයේ සභාපති එම්. වීරවංශ මහතා පවසන්නේ ජනාධිපතිතුමා විසින් මොරගහකන්දේ ජලය ගිරිතලේට ලබා දුන් නිසා තමනට වී වගා කිරීමට හැකිවූ බවයි. අනෙක් ප්‍රදේශවල වී වගාව අඩු නිසා මේ දිනවල වී මුදලාලිලා කමතට ම පැමිණ කීරි සම්බා කිලෝවක් 60 - 58 අතර ගණනකට මිලදී ගන්නා බවත් ඔහු කියයි. නාඩු හාල් 56 ට ගන්නවා. මේක වී වලට ලැබුණු ඓතිහාසික මිලක්. අපිට සතුටුයි. මේ සැරේ වී වැව්වා නම් සල්ලි තමයි වීරවංශ මහතා පවසයි.

මේ අතර වී අලෙවි මණ්ඩලය මෙවර වී මිලදී ගැනීමට සූදානම්ව සිටී. නමුත් වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.ඒ. දිසානායක මහතා පවසන්නේ අපි වී ගන්න සූදානම් වුවත් එක වී ගොවියෙක්වත් වී ඇටයක්වත් විකිණීට තම ආයතනයට එන්නේ නැති බවයි. ඒ අයට වී වලට මේ සැරේ ඉහළ ම මිලක් පෞද්ගලික ගොවින්ගෙන් ලැබෙනවා. මේ සැරේ වී වවපු ගොවීන්ට මල්ල කරේ. දිසානායක මහතා පවසයි.

මෙරට හාල් මිල වී මිල මෙතරම් ඉහළ ගියේ ඇයි දැයි මේ පිළිබඳව කළ ගවේෂණලදී පැහැදිලි වූයේ පසුගිය කන්න දෙකේ මෙරට වී අස්වැන්න ඉතා අඩුවූ බවයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංඛ්‍යා ලේඛන අංශයේ සමාජ ආර්ථික සැලසුම් මධ්‍යස්ථානයේ දත්ත අනුව මේ වසරේ මෙරට වී අස්වැන්න පසුගිය වසර 10 ඇතුළත වාර්ෂිකව මෙරටට වී අස්වැන්නට වඩා අඩු මට්ටමක පවතී. ‍

ඒ සංඛ්‍යා ලේඛන අනුව 2016/17 මහ කන්නයේ වී අස්වැන්න පසුගිය වසර 3 ඇතුළත මෙරට මහ කන්නවල ලැබුණු වී අස්වැන්න‍ මෙන් සියයට 47 ක් අඩු බවත් පෙන්නුම් කරයි. 2016/17 මහ කන්නයේ වී වගා ඉලක්කය වූයේ හෙක්ටයාර 808579 කි. නමුත් මුලදීම වගා කළ හැකිවූ බිම් ප්‍රමාණය හෙක්ටයාර 542695 කි.

ඊට පසු ඒ කන්නයේදි රටට ලැබුණු නියඟය හා ගංවතුර නිසා වී වගා කළ කුඹුරු හෙක්ටයාර 146794 ක් විනාශ වී ඇත. මේ අනුව 2016/17 මහ කන්නයේ මෙරට වගා කර ඇති කුඹුරු හෙක්ටයාර ප්‍රමාණය 395889 කි.

2016/17 මහ කන්නයෙන් රටට ලැබීමට ඉලක්ක කළ වී මෙට්‍රික් ටොන් ප්‍රමාණය 1903409 ක් විය. නමුත් අවසානයේ ලැබී ඇත්තේ වී මෙට්‍රික් ටොන් 948165 ක් පමණි. මේ අනුව 2016/17 මහ කන්නයේ ඉලක්ක කළ වී වගා කළ බිම් ප්‍රමාණය කුඹුරු හෙක්ටයාර 412690 අඩුවී ඇති අතර ලැබුණු වී අස්වැන්න මෙට්‍රික්ටොන් 955244 අඩුවී තිබේ. හේතුව ස්වාභාවික ආපදාය. මෙය පැහැදිලිවම හාල් මිල ඉහළ යාමට බලපා ඇත. 2017 යල කන්නයේ තත්ත්වය ද එසේමය. එම කන්නයේ ඉලක්ක කළ ව ී වගා කළ යුතු බිම් ප්‍රමාණය හෙක්ටයාර 400020 කි. නමුත් අවසානයේ වැවීමට හැකිවූයේ 165627 කි. පසුව ඉන් හෙක්ටයාර 9000 ක් පමණ නියඟයට හා ගංවතුර නිසා විනාශයට පත්විය. සමහර කුඹුරුවල අස්වැන්න අඩු විය. වැඩීම බාල විය. මේ තත්ත්වය මත පසුගිය යල කන්නයේ හොඳ වී අස්වැන්නක් ලැබී ඇත්තේ කුඹුරු අක්කර 150000 කින් පමණි.

පසුගිය යල කන්නයේ අපේක්ෂිත අස්වැන්න වූයේ මෙට්‍රික් ටොන් 1044958 කි. නමුත් ලැබීමට නියමිත සම්පූර්ණ අස්වැන්න මෙට්‍රික් ටොන් 998518 ක් පමණ විය හැකි බවත් කෘෂිකර්ම සංඛ්‍ය ලේඛන අංශය විශ්වාසය පළ කරයි. නියඟය හා ගංවතුර නිසා වී මෙට්‍රික් ටොන් 25000 ක් අඩු වූ බවත් පසුගිය යල වී අස්වැන්න පසුගිය වසර 10 ඇතුළත යල කන්නයේ ලබන අඩු ම වී අස්වැන්න විය හැකි බවත් පැවසේ.

පසුගිය 2017 වල වී අස්වැන්න 2015 යල අස්වැන්නට වඩා වී මෙට්‍රික් ටොන් ලක්ෂ 9.5 ක් අඩු වන අතර 2016 වී අස්වැන්නට වඩා මෙට්‍රික් ටොන් ලක්ෂ 5 ක් පමණ අඩු විය හැකි බවද කෘෂි සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි. මේ අනුව පසුගිය වසරවලට වඩා මෙවර යල අස්වැන්න සියයට 33 ක් අඩු වී තිබේ.

මේ අනුව 2017 යල කන්නයේ අපේක්ෂිත වී වගා හෙක්ටයාර ප්‍රමාණයෙන් හෙක්ටයාර 250020 පමණ වගා කිරීමට නොහැකි වී ඇත. අස්වැන්නෙන් වී මෙට්‍රික් ටොන් 46440 පමණ ලබාගන්නට නොහැකි වී තිබේ.

මේ අනුව සමස්ත ලෙස ගත්විට 2016/17 මහ කන්නයේ හා 2017 යල කන්නයේ මෙරටට ලැබිය යුතු වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 10 කින් අඩුවී ඇත. ඒ කන්නවල වගා කළ යුතුව තිබූ කුඹුරු ඉඩම් හෙක්ටයාර 662710 ක් පමණ ද වගා කිරීමට නොහැකි වී ඇත. ඒ ස්වාභාවික ආපදා නිසාය. නියඟය, ගංවතුර ඒ අතර ප්‍රමුඛය. ඒ අනුව හාල් මිල වැඩිවීම පිළිබඳව රජයට පමණක් චෝදනා කිරීම යුක්ති සහගත නොවේ. එය ආපදාවල ද ප්‍රතිඵලයකි.

මේ අතර ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ජාතික උපදේශක (ජල කළමනාකරණ) ආචාර්ය පී.බී. ධර්මසේන මහතා පවසන්නේ නියඟයට මුහුණ දීම සඳහා මෙන් ම ගංවතුර වැළැක්වීමටත් මෙරට මහා ගංඟාවල මධ්‍ය ප්‍රදේශයේ විශාල ජලාශ ඉදිකර ඒ ජලය ගුරුත්වාකර්ෂණය මඟින්ම වියළි කලාපයට යැවිය හැකි බවයි.

ඊට අමතරව වැසි ජලය එකතු කිරීම, නියඟයට ඔරොත්තු දෙන වී ප්‍රභේද නිපදවීම හා රටේ ජල කළමනාකරණය සඳහා විධායක බලලත් කමිටුවක් පත්කිරීම මඟින් ආපදාවලට හා දේශගුණ විපර්යාසවලට මුහුණ දීමට හැකි බවද ඔහු පෙන්වා දෙයි. මේ අනුව ලොව දේශගුණ විපර්යාසවලට මුහුණ දීමට රජය ජලයට සම්බන්ධ සියලු ආයතන සමඟ එක්වී කාර්යක්ෂම වැඩපිළිවෙළක් වහා ක්‍රියාවට නැංවිය යුතු බවද ධර්මසේන මහතා පෙන්වා දෙයි. 

නිහාල් පී. අබේසිංහ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.