අතිශයින් ම සංකීර්ණ රුසියානු අනන්‍යතාව | සිළුමිණ

අතිශයින් ම සංකීර්ණ රුසියානු අනන්‍යතාව

රුසියානු සාහිත්‍යයේ දැවැන්තයන් කිහිපදෙ‍නකු ඔවුන්ගේ ප්‍රධාන සාහිත්‍ය නිර්මාණ ද සමඟින් හඳුන්වාදීමේ අභිප්‍රායෙන් ලි‍යවෙන මේ ලිපි මාලාව, ආරම්භ කළ යුතු වන්නේ පුෂ්කින්ගෙනි. ඒ පිළිබඳව, මෙසමයෙහි වාද කරන කෙනෙක් ඇත්තේ නැත. මන්ද යත්, සම්භාව්‍ය රුසියානු සාහිත්‍යයේ නවයුගය පිළිබඳ නිසැක කඩඉම, මේ සදාතනික තරුණයා වන හෙයිනි.

තම මිත්‍ර කුලීන ධනවත් තරුණයකු වන ටොම්ස්කි විසින්, සිය මිත්තණිය සූදු ක්‍රීඩාව පිළිබඳව දැන සිටි අරුම පුදුම රහසක් ගැන සඳහන් කළ පසුව, හර්මන් ක්‍රියා කරන්නේ වෙනස් ආකාරයෙනි. ඔහු අන්නා පෙඩටොව්නා ආදිපාදවරියගේ තරුණ සහායිකාව වන ලිසවෙටා ඉවනොව්නා සමඟ ඉතා ශූර ලෙස ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගන්නේ, ඇය කෙරෙහි ඇති ආදරයකින් නොව, මහලු ආදිපාදවරියගෙන් කෙසේ හෝ රහස දැනගැනීමේ අභිප්‍රායෙනි. එහෙත් ඔහුගේ ඉරණම කරුණු සලකා දෙන්නේ, ඔහු සිතන තරම් පහසු මාර්ගයකින් ස්වකීය අරමුණ කරා යන්නට නොවෙයි. රහස දැන ගැනීමේ අපේක්ෂාව ඉහවහා ගිය කල, ඔහු විසින් එල්ල කරන ලද බොරු පිස්තෝලයෙන් බියට පත් වන මහලු කාන්තාව, එසැණින්ම සිය පුටුව මත මියැදෙයි. එපරිදි, ජීවමාන ආදිපාදවරියගෙන් සූදුව දිනන රහස දැනගැනීමේ මග ඇහිරී යන්නේය.

අන්තිමේදී ඔහුට එම රහස හෙළි කරන්නේ, මියගිය ආදිපාදාවරියයි; හෙවත් ඇගේ අවතාරයයි. පුෂ්කින් එම අවස්ථාව ගොඩනගන්නේ මියගිය ආදිපාදවරියගේ අවතාරය දර්ශනය වන ආකාරයත්, එසේ නොවේ නම්, එවැනි දෙයක් ගැන හර්න් තුළ ඇති වන මනෝවිකාරයන් පිළිබඳ දෙගිඩියාව, පාඨකයා තුළ ඇති කරමිනි. පුෂ්කින්ගේ සියුම් යථාර්ථ රීතිය හෙළි වන එක් අවස්ථාවක්, එය වෙයි.

මියගිය ආදිපාදවරිය, හර්මන් නරුමෝප්ට රහස ක්‍රියා දෙන්නේ මෙයාකාරයටය.

“මං ඇවිත් ඉන්නේ මගේ කැමැත්තට විරුද්ධව, ඒ වුණත් මම න‍ුඹේ ඉල්ලීම ඉෂ්ට කරනවා. තුනක්, හතක් සහ ආසියෙක් එක පිළිවෙළින් සෙල්ලම් කරපන්. ඒ තමයි, නුඹේ දිනන කාඩ් තුන. හැබැයි, එක කොන්දේසියක් උඩ. එක දවසට එක කාඩ් එකයි. ඊට පස්සෙ ජීවිතේට ආයෙත් ක්‍රීඩා කරන්ඩ බෑ. මං නුඹට මගෙ මරණය සිදු කිරීම ගැන, සමාව දෙනව. හැබැයි, එක කොන්දේසියක් උඩ. මගේ ආරක්ෂාවට හිටිය ලිසවෙටා ඉවනොව්නා කසාද බැඳගන්ඩ ඕනෑ...”

එහෙත් කතාව අවසන් වන්නේ ඉතාම දරුණු කම්පනයකිනි. මුල්ම දිනයේදී, තුනේ කොළය ඉල්ලා ඔහු තමාගේ සේසතම වන හතළිස්හත් දහසක් මුදල් ඔට්ටු තබයි. එදින, ඔහු දිනයි. ඊළඟ දින හතේ කොළය ඉල්ලා ඔහු තමා සතු හතළිස්හත්දහසත්, කලින් දිනයේ දිනූ මුදලුත් තබා, ඒ ඔට්ටුවද දිනයි. තුන්වැනි දිනයේ ඔහු ඉල්ලන්නේ ආසියාගේ කොළයයි. ඒ සඳහා ඔහු තමාගේ මුල් මුදලත්, තමා දිනූ මුදල් සියල්ලත් ඔට්ටු අල්ලයි. දෛවය ඔහුට ලොකුම කම්පනය ගෙන දෙන්නේ, මෙතැන්හිදීය. වැටෙන්නේ ආසියා‍ගේ කොළය නොව, ඉස්කෝප්ප රැජිනගේ කොළයයි. ඒ අනුව, ඔහුගේ මුළු සේසතම සූදුවෙන් නැති වෙයි.

කතාවේ අවසාන භාගයේදී, පුෂ්කින් අපට මේ ටිකද කියයි.

“හදිසි‍යේම වාගේ කාඩ් පතේ ඉස්කෝප්ප රැජින ඇස් දෙක පුංචි කරගෙන තමන්ට සිනාසෙන බව හර්මන්ට පෙනී ගියේය. මේ අරුම පුදුම සමානකමින් ඔහු ගල් ගැසුණේය. “අර නාකි ගෑනි” ඔහු භීතියෙන් කෑ ගසන්නට විය.

කතාව අවසන් වන්නේ, හර්මන් නරුමෝප් උමතු වූ බව පැවසීමෙනි. ඔහු නිතරම මෙසේ මතුරන්ට වූ බවද, පුෂ්කින් අපට කියයි.

“තුන හත ආසියා.... තුන හත රැජින...”

ඇලෙක්සැන්දර් පුෂ්කින් මෙම කතාව නිමවන්නේ, වැඩියක්ම ආදිපාදවරියගේත් ඇගේ තරුණ සහායිකාවගේත් චරිතය විවරණය වන ආකාරයෙනි. එමඟින්, එකල්හි රුසියානු ඉහ‍ළ පෙළේ සමාජයෙන් බිඳක් ද සිත්තම් කරන බලාපොරොත්තුවෙනි. හර්මන්ගේ චරිතය ඇත්තේ, පසුබිමෙහිය. වැඩිමනත් දේ සඳහා අත්‍යවශ්‍ය දේ කැප නොකර අදිටනක සිටි තරුණයා, සූදුවෙන් විනාශ වන පමණට දෛවය සමඟ ක්‍රීඩා කරන්නකු බවට පත් වන ආකාරය, පුෂ්කින් නිර්මාණය කෙළේ හර්මන් පසුබිමෙහි තබාගෙනය.

ඇලෙක්සැන්දර් සර්ගේවිච් පුෂ්කින් රුසියානු මහා කවියා වූ පමණටම, රුසියානු ගද්‍ය ලේඛනයේ පුරෝගාමියාද විය. එමෙන්ම, රුසියානු යථාර්ථවාදී ගද්‍ය සාහිත්‍යයේ පදනම දමන ලද්දේද ඔහු විසිනි. ඒ පිළිබඳව දිය හැකි හොඳම දෘෂ්ටාන්තය, “ඉස්කෝප්ප රැජින” ය.

කලින්ද සඳහන් කළ පරිදි, පුෂ්කින්ගේ ගද්‍ය නිර්මාණ අතර අතිශයින්ම ප්‍රබල කෘතියක් හැටියට සලකනු ලබන්නේ “ඉස්කෝප්ප රැජින” ය. 1833 දී ලියන ලද මෙම කතාව, ඊළඟ වර්ෂයේදී ප්‍රකාශයට පත් විය. එකි චරිත කාල්පනික ඒවා නොවන බව, පුෂ්කින් විසින්ම හෙළිදරවු කොට ඇත. එහි සඳහන් මහලු ආදිපාදවරිය, මොස්කව් නුවර අග්‍රාණ්ඩුකාරයාව සිටි දිමිත්‍ර විලැඩිමිරෝවිච් හොලිත්ඛින්ගේ මව බවත්, ඇය තමා විසින් විස්තර කරන පරිදිම, පැරිසියෙහි ජීවත් වූ බවත්, පුෂ්කින් කියා ඇත. ඇගේ මුණුපුරකු විසින්, පුෂ්කින් සමඟ මෙවැනි කතාවක් කියා ඇත.

එක් දිනක් කාඩ් සෙල්ලම් කිරීමේදී, ඔහු විශාල වශයෙන් පරාජයට පත් වී තිබේ. තරුණයා පැමිණ ඒ බව සිය මිත්තණියට කියා මුදල් ඉල්ලා ඇත. ඔහුට මුදල් නොදුන් මහලු කාන්තාව, ඒ වෙනුවට කුට්ටමේ කාඩ් තුනක් නම් කර ඇත. මෙම කාඩ් තුන ගැන මිත්තණියට කියා ඇත්තේ, පැරිස් නගරයේදී, ශාන්ත ජර්මේන් විසිනි. එම කොළ තුන සෙල්ලම් කොට බලන්නැයි මිත්තණිය මුණුපුරාට කියා ඇත.

එම පුවතින් ආභාසය ලැබූ පුෂ්කින් විසින් නිර්මාණය කරන ලද කතාවේ අවසාන භාගය, කාල්පනික නිර්මාණයකි. ඔහු ධන තෘෂ්ණාවෙන් වියුරුහුණු තරුණයා පිළිබඳ කතාන්තරය අවසන් කරන්නේ, ග්‍රීක ශෝක නාටකයක අවසානය සිහි කරවන ආකාරයෙනි.

ඉස්කෝප්ප රැජින අතිශයින්ම සාර්ථක නිර්මාණයක් විය. 1834 අප්‍රේල් 07 වැනිදා, පුෂ්කින් ස්වකී්‍ය දින පොතේ, මෙසේ සටහන් කර තැබීය.

“මගේ ඉස්කෝප්ප රැජින ඉතාම ජනප්‍රිය වී ඇත. දැන් සූදු අන්තුවන් ඔට්ටු අල්ලන්නේ, තුන, හත, ආසියා කියාය!”

1837 පෙබරවාරි 10 වැනිදා ශාන්ත පීටර්ස්බර්ග් අගනුවරදී සිදු වුණු ද්වන්ද සටනකදී ලබන ලද මාරාන්තික තුවාල හේතුකොටගෙන, මහා රුසියානු කවියා ශෝකජනක පරිද්දෙන් අවසන් හුස්ම හෙළීය. මෙම ද්වන්දය සාර් රජු විසින් උසිගන්වන ලද්දක් බවටද, සාහිත්‍යවේදීන් අතර පොදු පිළිගැනීමක් ඇත්තේය.

රුසියානු සාහිත්‍යයේ පුරෝගාමියා හැටියට අවිවාදයෙන්ම සැලකෙන පුෂ්කින්, අසමාන ප්‍රතිභානයකින් හෙවත් ධී ශක්තියකින් යුතු දුර්ලභ ගණයේ සාහිත්‍ය නිර්මාතෘවරයෙක් වූයේය. සැබැවින්ම, එකී අවධිය වන තෙක් සාහිත්‍ය නිර්මාණයට සුදුසුකම් ලබා නැති සලාව් බසක් වූ රුසියන් බසින්, ලෝක සාහිත්‍යයට ඇතුළු වන අපූරු නිර්මාණ කොට, රුසියන් බසටත් ජාතියටත් නිසි අභිමානය ලබා දෙන ලද්දේ පුෂ්කින් විසිනි. මෙය වඩාත් ආශ්චර්යවත් වන්නේ, එකී ඓතිහාසික මෙහෙවර ඔහු විසින් ඉටු කරන ලද්දේ දශක දෙකකටත් අඩු කාලයක් තුළදී වන හෙයිනි. අවුරුදු තිස් අටක් වන් ඉතා කෙටි කාලයක් ජීවත්ව සිට, එතරම් විශාල මෙහෙවරක් ඉටු කළ අන් ලේඛකයකු, ලෝක සාහිත්‍ය ඉතිහාසයෙහි හමු නොවන තරම්ය. ගීතාත්මක කාව්‍ය නිර්මාණද, නාටකද, නවකතාද, කෙටිකතාද මඟින් ඔහු විසින් නව රුසියානු සාහිත්‍යයට විවිධ දිසාවන්ගෙන් කරන ලද මෙහෙය, ලෝක සාහිත්‍යය වෙතද පිදෙන දායාදයක් සේ අවිවාදයෙන්ම පිළිගනු ලැබෙයි. රුසියානු චරිතය මුලින්ම යථාර්ථවාදී සාහිත්‍යය නමැති කැන්වසය මත චිත්‍රණය කළ ලේඛකයා, පුෂ්කින්ය. එසේම රුසියානු ගීත කාව්‍යයේ අසහාය නිර්මාතෘවරයා වූයේද ඔහුය. ඔහුගේ කාව්‍යයන් පරිවර්තනය කිරීම උගහට බැව් බොහෝ විචාරකයින් සලකන්නේ, එම නිර්මාණයන්ගේ ඇති අතිශයින්ම සංකීර්ණ රුසියානු අනන්‍යතාව නිසාය.

Comments