ඉන්දියාවෙන් අපට පුනර්ජනනීය බල ශක්තිය | සිළුමිණ

ඉන්දියාවෙන් අපට පුනර්ජනනීය බල ශක්තිය

 සංවර්ධනය කරා සෙමෙන් පිය නඟන රටක් ලෙස අපට දියුණු වූ රටවලින් ලබා ගත හැකි ආදර්ශ බොහොමයක් තිබෙනවා. එසේම සංවර්ධනය වෙමින් පවතින රටවලින් පවා අපට ලබා ගත හැකි උපදෙස් වගේම තාක්ෂණික සේවාවන් ඉහළයි. විශේෂයෙන්ම අපට වඩා සංවර්ධනයේ බොහෝ ඉදිරියෙන් සිටින අසල්වැසි ඉන්දීය රජයෙන් මේ ආකාරයෙන් අපට ලබා ගන්නට ඇති ආදර්ශ මෙන්ම තාක්ෂණික සම්පත් හා තාක්ෂණික දැනුමද ඉහළ බව මෙහිදී පෙන්වා දිය යුතු වනවා.

විශේෂයෙන්ම ලෝකයේ ගෑස් පරිභෝජනය කරන රටවල් අතුරින් ඉන්දියාවට හිමි වන්නේ 16 වන ස්ථානයයි. එමෙන්ම පුනර්ජනනීය බල ශක්තිය හෙවත් එල්.එන්.ජී. බල ශක්තිය ආනයනය කරනු ලබන රටවල් අතර සිවුවැනිව සිටින්නේද ඉන්දියාවයි. මේ වන විට ලෝකයේ ඛනිජ තෙල් සම්පත ශීඝ්‍රයෙන් ක්ෂය වී යන හෙයින් විකල්ප බල ශක්තීන් කෙරෙහි අවධානය යොමු කිරීමට ජගත් ප්‍රජාව කටයුතු කරමින් සිටිනවා.

ඉන්දියාවේ වුවද ඉලක්කය වී ඇත්තේ ස්වාභාවික වායු භාවිතය ක්‍රමයෙන් ඉහළ නංවා ගැනීමටයි. මේ වන විට සමස්ත බලශක්ති පරිභෝජනයෙන් 7%ක්වන ස්වාභාවික වායු පරිභෝජනය 2025 වසර වන විට 25%ක් දක්වා ඉහළ නංවා ගැනීම ඉන්දීය රජයේ අපේක්ෂාව වී තිබෙනවා. ගෘහස්ත ගෑස් පරිභෝජනයද ඉහළ මට්ටමක තිබෙන නිසා වායුන් ආනයනය කිරීමට පවා ඉන්දීය රජයට සිදුව තිබෙනවා.

කෙසේ හෝ ඉන්දීය රජය මේ ගැටලුව මීට වසර කිහිපයකට පෙර දැක ඒ සම්බන්ධව අවධානය යොමු කළා. ඉන්දීය රජය බලශක්ති අර්බුදය ජය ගැනීම පිණිස ‘පෙට්රොනෙට්‘ එල් එන් ජී ලිමිටඩ් ආයතනය 1998 වසරේදී ස්ථාපිත කළේ ඒ අනුවයි.

‘පෙට්රොනෙට්‘ එල් එන් ජී ලිමිටඩ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි ප්‍රභාත් සිං මහතා පසුගියදා නවදිල්ලි නුවර එම ආයතනයේ ශ්‍රවණාගාරයකදී පැවැති ශ්‍රී ලාංකික මාධ්‍ය හමුවකදී පවසා සිටියේ 1998 වසරේ ඇමරිකන් ඩොලර් මිලියන 500ක් සඳහා මේ සමාගම ස්ථාපිත කළ බවයි. ‘සමාගමේ වාණිජ මෙහෙයුම් කටයුතු 2004 වසරේදි ආරම්භ කළා. මහජන කොටස් 50%ක් සහ සමාගම් කිහිපයක එකතුව ඉතිරි 50%ක් වන ලෙසින් මේ ආයතනය ස්ථාපිත කළේ දිනෙන් දින ඉහළ යන හා ක්ෂය වී ගෙන යන ඛනිජ තෙල්අර්බුදයටත් විසැඳුමක් සෙවීමේ අරමුණින්. විශේෂයෙන්ම ‘ඉන්දියන් ඔයිල් සමාගම‘ ත් මෙහි එක් පාර්ශ්වකරුවකු වීම නිසා මේ අභි‍යෝගයන් ජය ගැන්මට හැකිව තිබෙනවා

‘පෙට්රොනෙට්‘ එල්. එන්. ජී. ලිමිටඩ් ආයතනය සතුව මේ වන විට ප්‍රධාන පර්යන්ත දෙකක් ඉන්දියාවේ ස්ථාපිත කර ඇති අතර එම පර්යන්තයන් කොචින් හා ඩෙහාජ් නගරවල පර්යන්තයන් හරහා ඉන්දියාවේ පමණක් නොව ඉන්දියාවෙන් බැහැර අසල්වාසී රටවල පවා බලශක්ති අර්බුදයට සහායක් ලබා දීමට සමාගම අපේක්ෂා කරනවා.

විශේෂයෙන් කොචින් පර්යන්තයේ පුනර්ජනීය බලශක්තිය ගබඩා කිරිම නැවත පිරවීම හා සිසිල් කිරීම ඇතුළු කාර්යයන් රැසක් සිදු කරන්නට කටයුතු යොදා තිබිහ හරහා පුනර්ජනීය බල ශක්තිය සංරක්ෂණය කිරීමට හා එය ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම ලෝකයේ මේ වන විට වැඩි අවධානයක් යොමුව ඇති පුනර්ජනනීය බලශක්තිය ව්‍යාප්ත කිරීමේ තවත් එක් පියවරක් ලෙසින් ලබන වසර වන විට කොචින් හි පිහිටි ඉන්ධන පර්යන්තය වැඩි දියුණු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

පුනර්ජනනීය බලශක්තිය සැපයීමේ ප්‍රධාන සැපයුම්කරුවකු වීම සඳහා ‘පෙට්රොනෙට්‘ එල් එන් ජී ලිමිටඩ් ආයතනය කටයුතු කරමින් සිටින්නේ ඒ සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් වර්ධනය කිරීම තුළින්. ඒ සඳහා ඉහළ ධාරිතාවෙන් යුක්ත බලශක්ති රඳවන බහාලුම් මෙන්ම කාර්යක්ෂම මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගැනීම සම්බන්ධව කටයුතු කරමින් සිටිනවා.‘

මෙහිදී විශේෂ වැදගත්කමක් වන්නේ අසල්වැසි රටවල් හා සමඟ පැවැත්වීමට යෝජිත සහයෝගිතා ක්‍රියාකාරීත්වයයි. මේ ව්‍යාපාරික අවස්ථාවන් එම රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට සමාගම විසින් තීරණය කර ඇති බවයි සමාගමේ අධ්‍යක්ෂ සංජේ ගුප්තා පවසන්නේ.

‘නව ව්‍යාපාර ආරම්භ කිරීමට සමාගම විසින් කටයුතු කර ඇති අතර ඒ යටතේ බර වාහන සඳහා පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පළමු පුනර්ජනනීය බලශක්ති බස් රථය පසුගිය වසරේ නොවැම්බර් මස 8 වැනිදා උත්සවශ්‍රීයෙන් ධාවනයට එක් කළා.‘

මේ දෙස බලන අපට උගැන්මට ලොකු පාඩමක් තිබෙනවා. තවමත් බලශක්ති ලෝකයේ ප්‍රාථමික මට්ටමේ සිටින අපට ඉන්දියාවෙන් මේ ආකාරයේ බලශක්තිය පිළිබඳ තාක්ෂණය ලබාගෙන රටේ සංවර්ධනය කරා යොදවා ගත හැකි වනවා. අවශ්‍ය වන්නේ අපේ උනන්දුව පමණයි සියලු දේම නොපිට පෙරලූ ඇසින් නොබලා අපට සංවර්ධනය කරා ගමන් කල හැකි මෙවන් ව්‍යාපෘති අපේ රටට යොදා ගත හැකි ආකාර සම්බන්ධයෙන් සියලු දෙනාම එකව සොයා බලා කටයුතු කළ යුතු බවයි පෙනී යන්නේ.

විශේෂයෙන්ම ‘පෙට්රොනෙට්‘ එල් එන් ජී ලිමිටඩ් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාව, බංග්ලා දේශය අන්දමන් දුපත්, නිකොබාර් දූපත් හා රටවල් යොදා ගනිමින් එල් එන් ජී නැවත පිරවීමෙ පර්යන්ත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ සදහා ඒ ඒ රටවලින් ලැබෙන සහාය සමාගම විසින් අගය කර සලකන්නේ එම රටවලටද මෙ නිසා විශාල ප්‍රයෝජනයක් ලැබෙන නිසාය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සතු සම්පත් උපයෝගී කරගෙන මේ කටයුතු සිදු කිරීම මගින් දෙරටටම විශාල වාසියක් අත් පත් කර ගැනීමට හැකි වන බව අප තේරුම් ගත යුතුයි. අපේ සම්පත් රැකගෙන නව තාක්ෂණය හරහා අපේ සංවර්ධනය කර ගැන්මට නම් මෙවන් ව්‍යාපෘතීන් කරා අප යා යුතු අතර අපට තනිවම ලෝකයෙන් වෙන්ම හුදෙකලාව සිටිය නොහැකි බව ද තේරුම් ගත යුතු වෙනවා. .

එසේම මේ වන විට ලෝකයටම ගැටලුවක්ව ඇති පරිසර ගැටලුටද නිසි පරිදි විසදුම් ලබා දී ඇති අතර අඩු මීතේන් වායු විමෝචනයක් සහිතව නඩත්තු කිරීම නිසා එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සියෙන් ඇගැයිම් සහතික පවා ලබා ගන්නට සමාගමට හැකිව තිබෙනවා. එමෙන්ම සමාගම මෝඩිගේ අන්තර්ජාත්ක ශ්‍රේණිගත කිරීම් යටතේ Baa3 වන් ඉහළ ඇගැයීම් ශ්‍රේණියක් සමාගමට ලැබී ඇති අතර ඉන්දියානු සමාගම් ශ්‍රේණිගත කිරීම් (CRISIL) යටතේ AA + ශ්‍රේණියද සමාගමට හිමිව තිබෙනවා.

පරිසර සංරක්ෂණයටද දායකත්වය ලබා දෙමින් නව බලශක්ති ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමු කරමින් රටේ සංවර්ධනයත් අසල්වැසි රටවල සංවර්ධනය ගැනත් අවධානය යොමු කර ඇති මේ සමාගම සාමාන්‍ය සමාගම් සේවාවෙන් ඔබ්බට ගිය සමාජ සේවාවන් රැසකටද අත ගසා තිබෙනවා. ඒ යටතේ මහනගර රෝහල් මෙන්ම කම්පන ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවාවන්ට අදාළ පහසුකම් රැසක් සපයා දීමට කටයුතු යොදා තිබෙනවා.

ජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන ගංගා පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක්ද, ඉන්දිය හමුදාවට සහ අඩු පහසුකම් ඇති සිසුන්ට විශේෂිත ව්‍යාපෘතිද ක්‍රියාත්මක කර තිබෙනවා. එමෙන්ම ගුජරාට හා කේරළ ප්‍රදේශවල වතුවගා සංරක්ෂණ ව්‍යාපෘතිද සමාගම මගින් ආරම්භ කර තිබෙනවා. එසේම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ගුජරාටයේ පිහිටුවා තිබෙන අතර එයද පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙසයි සකස් කර ඇත්තේ

මේ සියලු ව්‍යාපෘති සමාගම විසින් සකස් කර ඇත්තේ පළමුව ජනතා හිතසුවය සැලසීම අරමුණ කර ගෙන වන අතර ඒ හරහා ඉදිරි සියලු අර්බුද ජය ගැනීමට හැකි වන පරිදි සැලසුම් සකස් කරගෙනයි.

දැන් අප අවධානය යොමු කළ යුත්තේ මේ තාක්ෂණය හා නව බලශක්තිය අපට යොදා ගත හැක්කේ කෙසේද යන්න ගැනයි. අපට අවශ්‍ය සියල්ල ලබා දීමට ඉන්දීය රජයත් මෙවන් සමාගම් සූදානම් අවශ්‍ය වන්නේ ඒ සදහා අප දක්වන ප්‍රතිචාරයයි. මෙහිදී දෙරටේම සංවර්ධන කටයුතු සම්බන්ධව අප අවධානය යොමු කළහොත් සංවර්ධනය කරා යොමු වීමට අපට අපහසු නැහැ. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තිය අපේ වාහන සදහා අවම වශයෙන් පොදු ප්‍රවාහන බස් රථ සදහා හෝ යොදා ගන්නට කඩිනමින් කටයුතු කරන්නේ නම් එයම රටේ සංවර්ධනයට ලබා දෙනු මහගු රුක්ලක් වනු නොඅනුමානයි.

(ඉන්දීය සංචාරයකින් පසු)
තාරක වික්‍රමසේකර

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.