ගමරාළගේ පටන් ගොවි සංවිධානයට | සිළුමිණ

ගමරාළගේ පටන් ගොවි සංවිධානයට

 පොළොන්නරු රාජධානියේ බිඳ වැටීමෙන් පසු උතුරු දිග වියළි කලාපයේ පැවැති ග්‍රාමීය කෘෂි පාලනය ගැන යම්කිසි ඡායාමාත්‍රයක්වත් අපට පෙනෙන්නට ඇත්තේ පූජාවලිය සද්ධර්මරත්නාවලිය වැනි සාහිත්‍ය කෘති කිහිපයකදීය. ශත වර්ෂ හයකට වැඩි කාලයක් තිස්සේම ඒ කෘෂි පාලනය ගැන විශ්වාසනීය සටහන් යළිත් අප දකින්නේ දහ නව වැනි සියවසේ මැද භාගයේ පටන් බ්‍රිතාන්‍යවරු තැබූ නානාවිධ සටහන් වලිනි. ඒවන විට වුවද එතරම් සැලකියයුතු රාජ්‍ය අනුග්‍රහයක් නොමැති වුවත් වියළි කලාපීය වැව් ගම්මාන ආශ්‍රිතව ගම්මුන් විසින්ම ඉතා දීර්ඝ කාලයක් තිස්සේ බෙහෙවින් සාම්ප්‍රදායානුකූලව ගොවි කටයුතු හසුරුවා පාලනය කරගෙන ගොස් තිබූ බැවි පෙනේ.

සියලු ගම්මුන්ගේම අදහස් උදහස් නිරන්තරවම සැලකිල්ලට ගනිමින් මේ කටයුතු මෙහෙයවා ඇත්තේ ගමරාළ විසිනි. වැව් ජලය කුඹුරුවලට මුදා හැරීම, එම වතුර නැති නාස්තියෙන් තොරව කුඹුරු වැඩට පාවිච්චි කරන්නේදැයි නිරන්තරවම සොයා බැලීම, කුඹුරු වන සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා මුර පැල් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය තැන්වල ඉදිකර ඇතිදැයි සොයා බැලීම, මුර පැල් රැකීම නොවරදවාම කරන්නේදැයි විපරම් කර බැලීම, ගමේ ගොවීන්ට අයිති ගවයින්ගෙන් භෝග ආරක්ෂා කිරීමට කුඹුරුවල වැට කඩුළු ශක්තිමත්ව බැඳ තිබේදැයි නිරන්තරවම සොයා බැලීම, ගම්මුන් විසින් වැවට-වෙලට කළයුතු මුට්ටි තැබීමේ මංගල්‍යයයේ මෙන්ම කිරි ඉතිරීමේ මංගල්‍යයේ සාමූහික වගකීම් හරි හැටි ඉටු කරන්නේදැයි බැලීම, වැව් ජලය අපිරිසුදු නොකර පරිහරණය කරන්නේදැයි විමසිලිවත්ව බැලීම, නිරන්තරවම ගැමි ගෙවල් වලට ගොඩ වැදී ගොවිතැන් කටයුතු පවත්වාගෙන යෑමේ මොනයම්ම දුෂ්කරතා ඇතිදැයි සොයා ඒවායින් ගොඩ ඒමේ ක්‍රමෝපායයන් ගැමියන් සමඟම පොදුවේ සාකච්ඡා කොට නිරාකරණය කර ගැනීම ගමරාළ සිය කැමැත්තෙන්ම ඉටුකළ සේවාය. ඇත්ත වශයෙන්ම ගමරාළ ගමේ දුග්ගන්නා රාළද විය.

එදා ගමරාළ නිරන්තරවම ආයුධ දෙකක් සහිතව ගමේ වැවේ සහ වෙලේ සැරි සැරූ පුද්ගලයෙකි. ඔහුගේ කරෙහි නිරන්තරවම උදැල්ලක්ද එක් අතක ලණු මිටියක්ද විණ. උදැල්ල ඕනෑම තැනකදී වතුර පාලනය කිරීමටය. ලණු මිටිය කුඹුරුවලට කඩා වදින ගමේම ගවයින් අල්ලා බැඳ ගවයින් අයිතිකරුවනට ඒ බව දන්වා සිටීමටය. ගමරාළ නියම මාර්ගෝපදේශකයකුද වටිනා සමාජ සේවකයකුද විණි.

බ්‍රිතාන්‍ය පාලකයින් විසින් 'නො දියුණු වැඩවසම් ක්‍රමය' යැයි සලකා 1832 දී පමණ "රාජකාරිය" නම්වූ සේවා ක්‍රමය අහෝසි කර දැමීම සමගම, ගමකට ඉහත දැක්වූ ආකාරයේ අනූපමේය සේවා ඉටුකළ ගමරාළගේ සේවා අහෝසි වෙන්නට ඉඩ හැර ඔහු අතරමං කර දැමිණි.

බ්‍රිතාන්‍ය පාලකයින් අදහස් කළ ආකාරයට අප රටෙහි 'රාජකාරිය' වහල් සේවයක් නොවිණි. එය එකල පැවති කෘෂි සමාජයට අවශ්‍යමවූ භෞතික සහ සමාජ සේවා රජයේ අනුග්‍රහය ඇතිව හෝ නැතිව හෝ සිය කැමැත්තෙන් ගම්මුන් විසින්ම විකාශය කර තිබූ මහඟු සේවයකි.

ගමරාළ අතරමං කිරීම බ්‍රිතාන්‍ය පාලකයින් විසින් තම පාලනාධිපත්‍යය සියලු ගම්බිම් සිසාරා තහවුරු කිරීම සඳහා යොදාගත් කූට උපක්‍රමයකි. ගමරාළ නැති වූයේ ගම්මුන්ට විනා පාලක සුදු මහත්වරුන්ට නොවේ. මේ සුදු පාලකයින්ට අවශ්‍ය වූයේ ඔවුනට පක්ෂපාතී ගැමි නායකයින්ය. මෙයට බ්‍රිතාන්‍ය පාලකයින් යෙදූ කපටි සූත්‍රය වූයේ වෙල්විදානේවරු පත් කිරීමය.

වෙල් විදානේ වගකිවයුතුව සිටියේ ගම්මුන්ට නොව රජයේ නිලධාරින්ටය. ගමරාළ විසින් කලින් ඉටු කළ සමහර සේවාවලට අමතරව වෙල්විදානේගේ වගකීම් අතර වැවෙන් කුඹුරුවලට සැපයෙන වතුර පාලනය කිරීම, ඉඩම් සහ ජලය පරිහරණය සම්බන්ධයෙන් ඇතිවන ආරවුල් නිරාකරණය කිරීම සහ එය සාර්ථකව විසඳීමට නොහැකිවූ අවස්ථාවලදී ඒවා ග්‍රාමීය කෘෂිකර්ම නිලධාරි (වී.සී.ඕ.) මහතාට පැමිණිලි කිරීම, ඉඩම් අයිතිය පිළිබඳව සහ ගමේ සාමය පිළිබඳව ආරවුල් ඇතිවුවහොත් ඒවා ගම්මුලාදෑනීතැනට දන්වා සිටීම, ගමේ පංගු ලැයිස්තු සහ බලාපොරොත්තු වන අස්වනු පිළිබඳව සටහන් තබා ගැනීමේ ගම්මට්ටමේ ලිපිකාර කටයුතු නොවළහා ඉටු කිරීමයි. මේ නිසා වෙල්විදානේවරු ගැමියන්ට අණ දෙන්නන් බවට නිරායාසයෙන්ම පත්විණි.

ඔවුන් දක්වා ඇති මහේශාක්‍යත්වය ගමරාළලා ගොවීන්ට දැක්වූ සුහදශීලී බවට හාත්පසින්ම වෙනස් වූවකි. කපටි බ්‍රිතාන්‍ය පාලනය වෙල්විදානේවරුන්ට රජයේ වේතන නොගෙවා ගැමියන්ගෙන්ම ඔවුන්ගේ සේවය සඳහා "දිවෙල්" නම් ධාන්‍ය බද්දක් ලබා ගැනීමට අවසර දෙන ලදි. මේ ධාන්‍ය බද්ද අයකර ගැනීම විදානේගේ මනාපය අනුවම සිදුවූ අවස්ථා එමටය.

එක්දහස් නවසිය හැට ගණන්වලදී අප රටෙහි ඇතිවූ දේශපාලන වෙනස්කම් හේතුකොටගෙන විදානේවරුද අතුරුදහන් විණ. ඔහු වෙනුවට වඩාත් ප්‍රජාතන්ත්‍රීයව ගැමි කෘෂිකර්මාන්තය මෙහෙයවනු වස් ගොවි කමිටු පිහිටුවන ලදි. විවිධ අවස්ථාවලදී ඒවාහි සිදුවූ වෙනස්කම්වලට පසුව අද ගොවි සංවිධාන වශයෙන් හැඳින්වේ.

ඉහතදී එක් පුද්ගලයෙකු (ගමරාළ සහ විදානේ) ඉටුකලයුතුව තිබූ සේවා ඉටු කිරීමට අද විශාල ගොවි සමිති නිලධාරි පිරිසක් ඇත. දැන් පවතින තත්ත්වය අනුව ගොවි සමිති අතලොස්සක් නම් අගය කළයුතු සේවයක් ඉටුකරමින් සිටිතත් බහුතරය නාමික 'සමිති' වල තත්ත්වයකට ඇද වැටී ඇත. ඊට හේතු රැසක්ම ඇත.

ඉහතින් දැක්වූ ගමරාළත් විදානේත් ඇත්ත වශයෙන්ම කුඹුරට බැස කුඹුරු වැඩ කළ ගොවියෝය. අද තත්ත්වය එසේ නොවේ. බොහෝ ගොවි සංවිධානවල නිලතල දරන්නෝ එක්කෝ විශ්‍රාමික රජයේ නිලධාරීන්ය, නැතහොත් තම කුඹුරු අඳ සහ කුලී ගොවීන් ලවා වැඩකරවා ගනිමින් වෙළඳාම හෝ කොන්ත්‍රාත් කටයුතු තම ප්‍රධාන ආදායම් බවට පත්කරගෙන ඇති, ඇඟෙහි කුඹුරු මඩ තැවරුණු අය නොවෙත්. ඔවුහු අණ පිළිපදිනවුන්ට වඩා අණදෙන්නෝ පමණි.

අඳ ගොවීහු සහ කුලී ගොවි කම්කරුවෝ මේ ගොවි සංවිධානවල සාමාජිකයින් වුවද ඔවුන්ගෙන් ගොවි සංවිධානවල වැඩ කටයුතුවලට දැඩි දායකත්වයක් නොලැබේ. ගොවි සංවිධානවල ඔවුනට හරි හඬක්ද නොමැත.

ගොවි සංවිධාන නුසුදුසු යැයි මෙයින් නොකියැවේ. ගැමි කෘෂි කර්මාන්තයේ සියළු කාර්යයන් එක් එක් ගොවි සමිති නිලධාරියා වෙත ඉතා පැහැදිලිවම වෙන්කොට පවරා දිය යුතුය. එවැනි නිසි වැඩ පිළිවෙලක් තවමත් දක්නට නොමැත. අද ගොවි සංවිධානයක කිසිවකු කිසිම දෙයකට නියත පැවරුමක් ලත් අයෙකු බැව් නොපෙනේ.

වැඩි දෙනෙකු අද ගොවි සංවිධානයකට රිංගා ගැනීමට බලනුයේ කුමක් හෝ වැඩ කොන්ත්‍රාත්තුවක් ලබාගෙන මුදල් ඉපයීමටය. මේ සඳහා දියයුත්තන්ට "සම්තිං" එකක් වුවත් දීමට ඔවුන් පැකිලෙන්නේ නැත.

බොහෝ ගොවි සංවිධානවල වැඩ කටයුතු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් නිරන්තරවම අධීක්ෂණය කළයුතුය. මෙය හිතනතරම් ලෙහෙසි නොවුවත් නොකරම බැරි එකකි. ගොවි සංවිධානයක නිලධාරි මණ්ඩලයේ සියලු දෙනාටම නියත කාර්යයන් පැවැරිය යුතුය. එසේම ගොවි සංවිධාන නිලධාරීන් සඳහා ශක්තිමත් සහභාගීත්ව සංවර්ධනයක් සඳහා අවශ්‍ය පුහුණු කටයුතු පුළුල්ව ව්‍යාප්ත කිරීමේ වැඩ පිළිවෙලක් නිසැකයින්ම අවශ්‍යය.

ආචාර්ය එම්. යූ. ඒ. තෙන්නකෝන්

Comments