හිත කැලැඹුණත් ගැස්ට්‍රයිටිස්! | සිළුමිණ

හිත කැලැඹුණත් ගැස්ට්‍රයිටිස්!

වෛද්‍යතුමියනි, ගැස්ට්‍රයිටිස් රෝගය යනුවෙන් හදුන්වන්නේ කුමක්ද?

ගැස්ට්‍රයිටිස් යනුවෙන් හදුන්වන්නේ ආමාෂයේ ප්‍රදාහක තත්ත්වයකි.මෙහි දී ආමාෂයේ බිත්තියට යම්කිසි තුවාල වීමක් සිදුවේ.මේ තත්ත්වය හේතුවෙන් ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ලෙස බඩේ දැවිල්ල, වාතය උගුරට ඒම, හෙවත් බඩේ ගෑස් ගතිය සහ ඔක්කාර තත්ත්වය ඇති වීමට පුළුවන.

ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වීමට බලපාන හේතු කවරේ ද?

ගැස්ට්‍රයිටිස් ඇති වීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (Hcl) ශ්‍රාවය වීම නිසා ආමාෂ බිත්තිය ආවරණය කර ඇති පටලය ඉදිමීමට ලක්වීමයි .එසේ ඉදිමීමට ලක් වු විට පටලය තැනින් තැන තුවාල ඇතිවේ.

මීට අමතරව ආමාෂ බිත්තියේ අසාදනයට හේතුවන Helico Bacterpylori නමැති බැක්ටීරියාවද ආමාශ ප්‍රදාහයට හේතු කාරක වේ. වේ.මෙම බැක්ටීරියාව මෑතකදී සොයා ගෙන ඇත.මීට ප්‍රථමයෙන් ගැස්ට්‍රයිටිස් ඇති වීමට බලපාන හේතු ලෙස සළකන ලද්දේ පුද්ගලයෙකු ගන්නා ආහාර වර්ග සහ ආහාර රටාවන් පමණි.

ශරීරයේ බර වැඩි පුද්ගලයින් වෛද්‍ය නියමයකින් තොරව ආහාර පාලනය කිරීම මගින් ගැස්ට්‍රයිටිස් ඇතිවනවා ද?

ශරීරයේ බර අඩු කර ගැනීම මඟින් ගැස්ට්‍රයිටිස් රෝගය වැළදෙන්නේ නැත. නියමිත වේලාවට අහාර නොගෙන සිටීම හෝ ආහාර වර්ජනය කර සිටීමෙන් ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති විය හැකි ය.සාමාන්‍යයෙන් ආමාෂයේ ආම්ලිකතාවයක් පවතී. ආමාෂයේ ආහාර ජීර්ණය සඳහා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (Hcl) ස්‍රාවය වේ.ආහාර ජීර්ණය සඳහා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (Hcl) ස්‍රාවය විය යුතු ය.දිගු කාලයක් ආහාර නොගෙන සිටීම නිසා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (Hcl)ආමාෂ බිත්තිය ඛාදනය වීමකට ලක් වන්නට පුළුවන. ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයෙකු පිෂ්ඨ ආහාර අඩුවෙන් ගනිමින් නිසි වේලාවට ආහාර ගැනීමට පුරුදු වනවා නම් ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වන්නේ නැත.

මානසික පීඩනය හේතුවෙන් ගැස්ට්‍රයිටිස් ඇති වනවා යැයි සමාජ මතයක් පවතී,එහි සත්‍ය අසත්‍යතාව කුමක්ද?

මානසික පීඩනය හේතුවෙන් ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇතිවනවා යන්න පිළිබඳව යම් කිසි සත්‍යතාවයක් පවතී.පුද්ගලයෙකුට මානසික පීඩනය ඇති වු විට ශරීරයේ නොයෙකුත් හෝමෝන වර්ග ස්‍රාවය වේ. එලෙස ස්‍රාවය වන හෝමෝන වර්ග ලෙස Cortisol හෝමෝන සහ Adrenalin හෝමෝන පෙන්වා දීමට පුළුවන. මෙවැනි හෝමෝන මඟින් ආමාෂ ප්‍රදාහය ඇති වන බව සොයා ගෙන ඇත. නිතරම මානසික පීඩනයෙන් සිටිනවා නම් මේ හෝමෝන ස්‍රාවය වීම මඟින් ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති විය හැකි ය.

ගැස්ට්‍රයිටිස් වැළදී ඇති පුද්ගලයින් භාවිතයට නොගත යුතු ඖෂධ වර්ග මොනවා ද?

ගැස්ට්‍රයිටිස් ඇති වීමට හේතු වන ඖෂධවලින් වැළකී සිටිය යුතු ය. මෙම ඖෂධ වේදනා නාශක ලෙස භාවිතා කරන ඖෂධ වන Non Steroidal Anti Inflammatory Drugs (NSAID) කාණ්ඩයේ ඖෂධ වේ. මෙම කාණ්ඩයේ ඖෂධ සඳහා උදාහරණ ලෙස Ibuprofen,Diclofenac,Mefenemic Acid,Naproxcn,Asprin ඖෂධ හදුන්වාදිය හැකි ය.

Steroid කාණ්ඩයේ ඖෂධ මඟින් ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වීමට පුළුවන.එම නිසා මේ කාණ්ඩයේ ඖෂධ භාවිතයට ගැනීම නොසුදුසු ය.ගැස්ට්‍රයිටිස් තිබෙන විට ආමාෂයේ තුවාල ඇති වීමට පුළුවන.එම නිසා රුධිර වහනය වැඩිවේ.රුධිර වහනය වැඩි වීමට හේතු වන මෙන් ම රුධිර කැටි ගැසීම අඩු කරන ඖෂධ වන warfarin,Heparin,Asprin,Cnopidogren යනාදී ඖෂධ භාවිතා කරන්නේ නම් තමන්ට ගැස්ට්‍රයිස් හෝ බඩේ දැවිල්ල තිබෙන බව වෛද්‍ය වරයට පැවසිය යුතු ය. එවිට ඒ සඳහා නිසි ලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙනු ඇත.

ගැස්ට්‍රයිටස් නිසා අමාෂයේ තුවාල ඇති වන්නේ කෙසේ ද?

ගැස්ට්‍රයිටිස් රෝගය යනුවෙන් අප හදුන්වන්නේ ආමාෂ ප්‍රදාහ තත්ත්වයට ය. හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය (Hcl) ස්‍රාවය වීම නිසා ආමාෂ බිත්තිය ආවරණය කර ඇති පටලය ඉදිමීමට ලක් වීම ය. එසේ ඉදිමීමට ලක් වු විට පටලය තැනින් තැන තුවාල ඇති වේ.තුවාල ඇති වු විට ලේ ගැලීමක් ඇති වේ.එම නිසා ආමාෂ බිත්තිය ඉදිමුණු විට තුවාල ඇති විය හැකි ය.

ජලය නිසි ලෙස පානය නොකිරීම ගැස්ට්‍රයිටිස් ඇති වීමට බලපානවා ද?

ජලය නිසි ලෙස පානය නොකර සිටීමෙන් ගැස්ට්‍රයිටිස් ඇතිවේ යයි කිව නොහැක. එහෙත් හොඳින් ජලය පානය කරන විට ආමාශයේ හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයේ සාන්ද්‍රණය අඩුවීමෙන් ගැස්ට්‍රයිටිස් තත්ත්වය අඩුවිය හැකි ය.ආහාර සහ ජලය වැඩිපුර කාලයක් නොගෙන සිටීමෙන් ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වීමට මග පැදිය හැකි ය.

එන්ඩස්කොපි පරීක්ෂණය මගින් සිදු කරන්නේ කුමක් ද?

ගැස්ට්‍රයිටිස් තත්ත්වය තිබෙන බව නිශ්චිත වශයෙන් ම තීරණය කරන්නේ එන්ඩස්කොපි පරීක්ෂණය මඟිනි.ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් තිබෙන බව ලේ පරීක්ෂණයකින් තීරණය කළ නොහැකි ය.මෙම පරීක්ෂණයේ දී මුඛය තුළින් කැමරාවක් ආමාෂය දක්වා දමනු ලබයි.එමඟින් අමාෂ බිත්තියේ ඡායාරූප ගනී.එවිට ආමාෂ බිත්තියේ ඉදිමීමක් තිබේ ද? තුවාල වීමක් සිදු වී ඇද්ද?යන්න පිළිබඳව දැන ගැනීමට පුළුවන.

එන්ඩස්කොපි පරීක්ෂණය මඟින් ආමාෂයේ ඇති වී තිබෙන රෝග ලක්ෂණ,ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝගී ලක්ෂණ ද,එසේත් නැත්නම් ආමාෂ පිළිකාවක රෝග ලක්ෂණ ද යන්න පිළිබඳව නිර්ණය කර ගත හැක.බඩේ දැවිල්ල,බඩේ කැක්කුම ආමාෂ පිළිකාවක රෝගී ලක්ෂණ විය හැකි ය.අවුරුදු 40 ට වඩා වැඩි පුද්ගලයින්ට මෑතක සිට ගැස්ට්‍රයිටිස් රෝගයේ ලක්ෂණ තිබේ නම් එය ආමාෂයේ පිළිකා තත්ත්වයක් වීමට පුළුවන.

ආමාෂය තුවාල වී තිබේ නම්,එම තුවාලයෙන් කුඩා කොටසක් ගෙන පරීක්ෂා කර බැලීමෙන් ආමාෂයේ පිළිකාවක් තිබෙන බව හදුනා ගැනීමට පුළුවන.Biopsy පරීක්ෂණය මඟින් ද ගැස්ට්‍රයිටිස් ඇතිවීමට බලපාන Helico Bacterpylori නමැති බැක්ටීරියාව තිබෙනවා ද? ආමාෂ පිළිකාවක් තිබෙනවා ද? යන්න පිළිබඳව දැන ගැනීමට පුළුවන.

ගැස්ට්‍රයිටිස් නිසා ඇතිවන පපුවේ දැවිල්ල සහ හෘදයේ ආබාධයක් හේතුවෙන් ඇතිවන පපුවේ දැවිල්ල හදුනා ගන්නේ කෙසේ ද?

හෘදය පිහිටා තිබෙන්නේ උරස් කුහරයේ ය. ආමාශය පිහිටා තිබෙන්නේ ඒ සමග ම පහළින් ඇති උදර කුහරයේ ය. එම නිසා ආමාශ ප්‍රදාහයේ ඇතිවන කැක්කුම, පපුවේ කැක්කුම ලෙසත්, හෘදයේ ඇති වන පපුවේ කැක්කුම ගැස්ට්‍රයිටිස් ලෙසත් වරදවා වටහා ගත හැකි ය.හෘදයාබාධයක දී හෘද වස්තුවට ලේ ගමන් කිරීම අඩුවන නිසා යම් මහන්සි ගතියක් ඇතිවේ.පපුවේ කැක්කුමක් ඇතිවීම සහ එය බෙල්ලට හෝ වම් අතට විහිදීම හෝ කැක්කුම සමග දැඩි ලෙස දහඩිය දැමීම හෘදයාබාධයක ලක්ෂණ වේ.

එහෙත් උදරයේ ගෑස් ගතිය ගැස්ට්‍රයිටිස් රෝගය නිසා ඇති වන ලක්ෂණයකි.

වර්තමානයේ දී බොහෝ දෙනෙකුට බඩේ ගෑස් ගතිය පවතී? එය වළක්වා ගැනීමට දෙනු ලබන ඖෂධ වර්ග මොනවා ද?

බඩේ ගෑස් ගතිය අඩු කර ගැනීම සඳහා Domperidone ඖෂධය මිලි ග්‍රෑම් 10ක් දවසකට දෙවරක් හෝ තුන් වරක් ලබා දේ. ඒ වාගේ ම Metoclopramide ඖෂධය මිලි ග්රෑම් 10 ක් දවසකට දෙවරක් හෝ තුන් වරක් භාවිතා කිරීමට නිර්දේශ කරනු ලබයි. මෙවැනි ඖෂධ මඟින් ආමාශයේ සිට උඩට, උගුරට ගලනාලයට කෑම හෝ වාතය ඒම වළක්වයි.

දීර්ඝ කාලයක් පුරා පවතින ගැස්ට්‍රයිටිස් රෝගය හේතුවෙන් ඇතිවන අතුරු අබාධ තත්ත්වයන් මොනවා ද?

බොහෝ විට ආමාෂයේ තුවාල තත්ත්වයක් ඇති වී එමඟින් ලේ වහනය වීමට පුළුවන.එම නිසා ඇඟේ ලේ අඩු (Anaemia) තත්ත්වය වීමට පුළුවන.එම නිසා මලානික ගති ස්වභාවයක් ඇති විය හැකි ය. තව ද කළු පැහැයෙන් බඩ එළිය යෑමේ තත්ත්වයක් ද උද්ගත වීමට පුළුවන.

ගැස්ට්‍රයිටිස් රෝගයට ලබා දෙන ඖෂධ වර්ග මොනවා ද?

ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා බොහෝ විට ලබා දෙන ඖෂධ ආම්ලිකතාව අඩු කීරීමට ලබා දෙන ඖෂධ වේ.එමෙන්ම ගැස්ට්‍රයිටිස් රෝගයට දෙන බොහෝ ඖෂධ ආමාෂය තුළට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (Hcl) ස්‍රාවය අඩු කරන ඖෂධ වර්ගය.Omeprazole,pantaprazole,Lansaprazole,Famotidine නමැති ඖෂධ ආමාෂය තුළට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (Hcl) ස්‍රාවය අඩු කිරීම සඳහා ලබා දේ.

උදාහරණ වශයෙන් Omeprazole ඖෂධය මිලි ග්රෑම් 20 ක් දවසට වරක් pantaprazole ඖෂධය මිලි ග්‍රෑම් 40ක් දවසකට වරක් ,Famotidine ඖෂධය මිලි ග්රෑම් 20 හෝ 40 ක් දවසකට වරක් හෝ දෙවරක් ලබා දේ.මෙම ඖෂධ ලබා දෙන්නේ කරල් හෝ පෙති ලෙස වශයෙනි. මෙම omeprazole, pantaprazole ඖෂධ කෑමට පැයකට පමණ පෙර ගැනීම වඩාත් සුදුසු ය. මීට අමතරව ආම්ලිකතාවයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන (Antacid ) ගණයට අයත් වන භාෂ්මික රසායන ද්‍රව්‍ය වන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සහ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි ඖෂධ ලබා දේ. මෙම ඖෂධ සිරප් වශයෙන් හෝ හපලා කන පෙති වශයෙන් ලබා ගැනීමට පුළුවන.

Antacid ගණයට අයත්වන ඖෂධ භාවිතා කළ යුතු අන්දම හොඳින් දැනගෙන සිටිය යුතු ය.මෙවැනි ඹෟෂධ, ආහාර ගැනීමෙන් පැයකට පසු බඩේ දැවිල්ල තිබෙන විට ගත හැකි ය. රාත්‍රියට බඩේ දැවිල්ල ඇතිවේ නම් නින්දට පෙර මෙම ඖෂධ ගත හැක.

Helico Bacterpylori නමැති බැක්ටීරියාව විනාශ කිරීම සඳහා දෙනු ලබන ඖෂධ මොනවා ද?

ගැස්ට්‍රයිටිස් ඇති වීමට බලපාන ප්‍රධාන හේතුව වන ආමාෂ බිත්තියේ අසාදනයට හේතුවන Helico Bacterpylori බැක්ටීරියාව විනාශ කිරීම සඳහා ඖෂධ වර්ග 3 ක් යහෝ 4 ක් එකට ලබා දීම සිදු කරයි. මේ ඖෂධ වර්ග ඒ ආකාරයෙන් දවස් 7 ක් පමණ එක දිගට ගත යුතු ය.

Helico Bacterpylori නමැති බැක්ටීරියාව විනාශ කිරීම සඳහා ලබා දෙන්නේ Amoxicillin, Clarithromycia, Omeprazone යන ඖෂධ ය.

‍මෙම ඖෂධ තුන එක බැගින් සහ තුනම එකතු කර තැනු ඖෂධයක් ලෙසින් ද ගැනීමට පුළුවන.මෙම ඖෂධ වෛද්‍ය නිර්දේශය අනුව සති දෙකක් පමණ භාවිතා කළ යුතු ය. සමහර අවස්ථාවන් වලදී යමම බැක්ටීරියාව තිබීම නිසා ගැස්ට්‍රයිටිස් තත්ත්වය යළි යළිත් ඇති විය හැකි ය.එවැනි අවස්ථාවලදී නැවත ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වීම වළක්වා ගැනීම සඳහා Omeprazole ඖෂධ සහ Antacid ඖෂධය ලබා දේ. දිගු කාලීනව පවතින ගැස්ට්‍රයිටිස් තත්ත්වය සුව කිරීමට නම් වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන් ම පිළිපැදිය යුතු ය.

ගැස්ට්‍රයිටිස් රෝගය වැළදී ඇති රෝගියෙකු ආහාරපාන ගැනීමේ දී සැළකිලිමත් විය යුත්තේ කෙසේ ද?

විශේෂයෙන් ම ආමාෂ ප්‍රදාහය වැඩි කරන ආහාර ගැනීමෙන් වැළකිය යුතු ය. උදාහරණ වශයෙන් ආම්ලිකතාව වැඩි කරන ආහාරපාන වශයෙන් සළකන විනාකිරි,දෙහි භාවිතයට ගැනීම අඩු කළ යුතු ය.එමෙන් ම අධික මිරිස් තුනපහ, ගම්මිරිස් වැනි කුළුබඩු වර්ග පමණ ඉක්මවා ආහාරයට නොගත යුතු ය. එසේම කාබනික බීම, කෝපි, මද්‍යසාර, පලතුරු බීම බැදපු කෑම වැනි දේවල්ද ගැනීම නැවත්වීම සුදුසු ය. එළවලු, මාළු, යෝගට් වැනි අහාර ගැනීම යෝග්‍ය වේ.

ගැස්ට්‍රයිටිස් රෝගියෙකුට වඩාත් සුදුසු වන්නේ කිරි, යෝගට් වැනි ආහාර වේ.

සමහර රෝගීන්ට ගැස්ට්‍රයිටිස් තත්ත්වය උග්‍ර වීමෙන් පසුව ක්ලාන්ත තත්ත්වය ඇතිවනවා. ඒ ඇයි?

ගැස්ට්‍රයිටිස් රෝගියෙකුට ආමාෂයේ ලේ වහනයක් ඇති වීමට පුළුවන. දීර්ඝ කාලයක් ලේ වහනය සිදු වීමෙන් හිමොග්ලොබින් අඩු වීමෙන් ක්ලාන්ත තත්ත්වය හටගනී.

උදෑසන ආහාරය පුද්ගලයෙකුට කොතරම් වැදගත් වනවා ද?

උදෑසන ආහාරය රජෙක් වගේ ගත යුතුයි යනුවෙන් ප්‍රකට කතාවක් ඇත. එය සැබවින් ම සත්‍යයකි.පුද්ගලයෙකු රාත්‍රී ආහාරයෙන් පසු පැය 12 ක් පමණ නිරාහාරව සිටී.උදෑසන ආහාරයට ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන්නේ breakfast යනුවෙන් ය. එහි තේරුම වන්නේ නිරාහාරව සිටීම කැඩීමයි. එසේත් නැත්නම් නිරාහාරව සිටීම නැවැත්වීමයි.

උදෑසන ආහාරය නිසි පරිදි නොගෙන සිටීමෙන් රාත්‍රීයේ දීත් ආහාර නොගන්නා නිසාවෙන් ආහාර නොමැතිව අම්ලය ස්‍රාවය වන නිසා ආමාෂයේ තුවාල ඇති විය හැකි ය. එම නිසා උදෑසන ආහාරය නිසි ආකාරයෙන් ගැනීමෙන් ගැස්ට්‍රයිටිස් රෝගය වළක්වා ගැනීමට පුළුවන.

ආහාර මඟහැර සිටීමෙන් පමණක් ගැස්ට්‍රයිටිස් ඇති වනවා ද?

ආහාර මඟහැර සිටීමේන් පමණක් ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වන්නේ නැත. ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වීමට මුල්වන සාධක කිහිපයක් එකට එකතු වීමෙන් ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වේ.

ගැස්ට්‍රයිටිස් රෝගය මඟින් ආහාර ජීර්ණ පද්ධතිය අකර්මණ්‍ය වනවා ද?

ආහාර ජීර්ණයට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අවශ්‍ය වේ.ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා දෙනු ලබන ඖෂධ මඟින් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ශ්‍රාවය වීම අඩු කරනු ලබයි. එම නිසා ගැස්ට්‍රයිටිස් මඟින් ආහාර ජීර්ණ පද්ධතියට බලපෑමක් සිදු වේ.

ආහාර ගෙන පැය 2ක් යෑමට පෙර කිරි නොයෙදු තේ (ප්ලෙන්ටි)පානය කිරීමෙන් ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වනවා ද?

ආහාර නොගෙන ඒ වෙනුවට කිරි නොයෙදු තේ (ප්ලෙන්ටි)පමණක් පානය කිරීම මඟින් ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වීමට පුළුවන. විශේෂයෙන් ම කඳුකර ආශ්‍රීතව ජීවත්වන තේ දළු කඩන්නන් වැනි ශ්‍රමිකයින් සමහර අවස්ථාවල දී මුළු දවසම ගත කරන්නේ වරින් වර ප්ලේන්ටි පානය කිරීම මඟිනි. එවැනි පුද්ගලයින්ට සුලභව ම ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වේ.

ගැස්ට්‍රයිටිස් රෝගය සුව කිරීම සඳහා කෝමාරිකා පානය ගුණදායකයැයි මතයක් පවතී.ඒ පිළිබඳව ඔබ දක්වන අදහස කුමක් ද?

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී භාවිත කරන ඖෂධ මගින් ද ආමාෂයේ ආම්ලිකතාව සමහර විට අඩු කළ හැකි ය. එම නිසා සුදුසු ආයුර්වේ ද වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා ආයුර්වේදයට අනුව භාවිතා කරන ඔසු ද්‍රව්‍ය භාවිතයට ගැනීමට පුළුවන.

ගැස්ට්‍රයිටිස් රෝගියෙකුට එදිනෙදා ජීවිතයේ දී භාවිතා කළ හැකි ඖෂධ ප්‍රතිකාර තිබෙනවා ද?

උණට සහ වේදනාවට ගන්නා peracetamol ඖෂධය ගැස්ට්‍රයිටිස් රෝගීන්ට ද භාවිතා කළ හැක. peracetamol මඟින් ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වන්නේ නැත. එම නිසා මෙම ඖෂධය භාවිතා කළ යුතු අන්දමට, නිවැරදි ආකාරයෙන් ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකි ය. වඩාත් ම සුදුසු ක්‍රමවේදය වන්නේ NSAID කාණ්ඩයේ ඖෂධ පිටින් ආලේප කිරීම ය.

හෘද රෝග ආශ්‍රිත ගැටලුවලට පිළිතුරු ලබන සතියේ බලාපොරොත්තුවන්න

මදාරා මුදලිගේ 

 

Comments