විදුහල්පතිවරයෙක් නෑ: පහසුකමුත් නෑ: ඒත් වවුනියාවෙන් පළමු තැන | සිළුමිණ

විදුහල්පතිවරයෙක් නෑ: පහසුකමුත් නෑ: ඒත් වවුනියාවෙන් පළමු තැන

අපේ පාසල නොසලකා හරින්න එපා

මෙය හරි අපූරු පාසලකි. මේ පාසලට පරිගණක නැත. දෙමළ ගුරුවරෙයක් ද නැත. විදුහල්පතිවරයකු හෝ ශිෂ්‍යත්ව ගුරුවරයකු හෝ නොමැත. අඩුපාඩු එමටය. ඒ‍ සියල්ල තිබියදී මෙවර සිංහල මාධ්‍යයෙන් ලකුණු 174 ක් හා ලකුණු 173 ක් ලබා ගනිමින් ශිෂ්‍යත්ව විභාගයෙන් වවුනියාවේ ප්‍රථමයා හා දෙවැනියා බිහිවූයේ මේ පාසලෙනි. මේ අපූරු පාසල පිහිටියේ වවුනියාව දිස්ත්‍රික්කයේ වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවුසදපිටිය ග්‍රාම නිලධාරි වසමේ අරුලම්පුල්එළිය ගම්මානයේය. පාසල අරුගම්පුල්එළිය ප්‍රාථමික විදුහලයි. මේ වෙද්දී පාසලේ දරුවෝ 98 දෙනෙක් ඉගෙනුම ලබති.

යුද සමයේ මෙම ගම්මානයේ ජනතාව අවතැන් වූ අතර යුද්ධය නිමවී සාමය උදාවීමෙන් පසු විනාශ වී තිබූ පාසල රජය මගින් නැවත ඉදිකර දරුවන් සඳහා විවෘත කරනු ලැබුවේ 2010 වසරේය. ඒ ඉරට්ටපෙරියකුලම පැරකුම් මහා විද්‍යාලයේ (නවෝද්‍යා පසලකි) එක් පෝෂක ප්‍රාථමික විදුහලක් ලෙසිනි.

ඒ අනුව තවත් පෝෂක ප්‍රාථමික විදුහල් දෙකක් වන අතර ඒ පූඩිමුරුප්පුව විදුහල හා කළුකුන්නම්මඩුව විදුහලයි. ඉරට්ටපෙරියකුලම විද්‍යාලයේ ප්‍රාථමික අංශය වසා දැමූ පසු ඉහතකී ප්‍රාථමික පාසල් තුනෙන් පහ ශේණිය සමත් වෙන සිසුන් පැරකුම් විද්‍යාලයට ඇතුළත් කර ගැනීම සිදුවිය.

මෙම ක්‍රමය පැසසුමට ලක්කරන අවුසදපිටිය ගම් වැසියෝ මෙනිසා සිය කුඩා දරුවන්ට නිදහසේ ඉගෙන ගැනීමට පාසලක් ලද බව පවසති .

ගමේ පදිංචිකරුවකු වන විශ්‍රාමික ග්‍රාම නිලධාරී බී.එම්. පියදාස මහතා පවසන්නේ ගම්වැසියන්ගේ මහත් පරිශ්‍රමයෙන් ආරම්භ කරගෙන අවරුදු 05 ක් පමණ හොඳින් පවත්වාගෙන ගිය අරුගම්පුල්එළිය පාසල මේ වෙද්දී විට ගුරු හිඟය හේතුවෙන් අඩපණ වීමේ තත්ත්වයක් උදාවී ඇති බවයි.

‍‍‍අවුසදපිටිය ‍ගමේ පදිංචි සුදර්ෂණ චාමර මහතා ගමේ සංස්කෘතික නිලධාරීවරයාය. ඔහුගේ දරුවා ද ඉගෙනීම ලබන්නේ මේ පාසලේය.

“අරුලම්පුල්එළිය විදුහලේ තිබූ අඩුපාඩු දුරුකරගනිමින් සාර්ථකව පවත්වා ගෙන ගියා. මේ පාසල නිසා පළාතේ දරුවන් බො‍හෝ දෙනකුට පාසලක් ලැබුණා. එහෙත් කීප දෙනකුගේ පටු අරමුණු ඉටු කර ගැනීමට ඉරට්ටපෙරියකුලම පැරකුම් විද්‍යාලයේ සිසුන් දස දෙනකුගෙන් නැවත ප්‍රාථමික අංශයක් ආරම්භ කළා. ඉන් සිදුවන්නේ මේ පාසල කෙරෙහි වූ අවධානය අඩුවී සම්පත් පැරකුම් විද්‍යාලයට ලැබීමයි. ඒකෙන් එදා ආරම්භ කළ පෝෂිත ප්‍රාථමික පාසල් වැසීයෑමේ තර්ජනයක් ඇති වෙනවා. අරුගම්පුල්එලිය විදුහලේ හිටපු විදුහල්පතිවරයා සහ ශිෂ්‍යත්ව ගුරුවරිය මාරුවී ගියා. දරුවන් විභාගයට පෙනී සිටිද්දී සිටි ගුරුවරු දැන් නැහැ. ඒ අඩුපාඩුත් සමඟ මේ පාසල් අඩපණවල තත්ත්වයක් ඇතිවෙලා.”යැයි සුදර්ෂණ චාමර මහතා පවසයි.

අරුගම්පුල්එළිය පාසලට මේ වසර පහ හයක කාලය තුළදී සෙල්ලම් මිදුලක් එක්විය. කුඩා කාමරයක පවත්වාගෙන යන පුස්තකාලයට පොත් හතළිහක් පනහක් එකතුවිය. කුඩා තූර්ය වාදක කණ්ඩායමක්ද තැනුණේ ගුරුවරුන්ගේ හා දෙමවුපියන්ගේ කැපවීමෙනි. මේ තූර්යවාදක කණ්ඩායම පළාත් තරගවලින්ද ජයගෙන තිබිණි.

“අපේ දරුවන්ට මේ පාසලෙන් හොඳ අධ්‍යාපනයක් ලැබූණා. ඒ පාසලේ ගුරුවරුන්ගේ හා ශිෂ්‍යත්ව පන්තිය බාරව කටයුතු කළ ජයසිරි මල්ලිකා ගුරු මෑණියන්ගේ කැපවීම නිසයි. පෙර සිටි විදුහල්පති ජානක මහත්මයාත් පාසලේ දියුණුවට කැපවෙලා කටයුතු කෙරුවා. දැන් තියෙන විදියට ඉස්රහට පන්තිවලට ගුරුවරුන් නැතිවෙයි. හොඳ ඉස්කෝල හොයාගෙන දෙමවුපියන් ළමයි අරගෙන යයි . අමාරුවෙන් හැදුණු මේ පාසල වැහිලා යයි. එහෙම වූණොත් ඒක විශාල අපරාධයක්”යැයි සිසුවකුගේ පියකු වන සම්පත් ප්‍රභාෂණ මහතා පැවසීය.

වවුනියාව ප්‍රදේශයේ වෙසෙන 'අගටන්නලාගේ තිම්මන්නලාගේ' දරුවන් ද අකුරු කිරීමට එන්නේ මේ පාසලටය. වවුනියාව ප්‍රදේශයටම ඒ දරුවන් සිටින්නේ මේ පාසලේ පමණි. එසේම ඒ දරුවෝ පන්ති හෝ කුල බේදවලින් තොරව තම දෙමවුපියන් නොදන්නා අකරු සාස්තරේ මෙහිදී හොඳින් උගනිති. යම්කිසි ලෙසකින් මේ පාසල වැසී ගියහොත් ඒ දරුවන්ට ද අකුරු කිරීමට පාසලක් නොමැති වනු ඇත.

මෙවැනි පසුබිමකදි අරුගම්පුල්එලිය පාසලේ ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථම හා දෙවැනි ස්ථාන දිනාගත් දරුවෝ වාසනාවන්තයන් මෙන්ම සැබෑම දක්ෂයෝ වෙති.

ලකුණු 174 ක් ලබාගෙන ප්‍රථම ස්ථානය දිනාගත් අවුසදපිටිය පදිංචි ඩබ්ලිව්.එම්. වරුණි හංසිකා දැරිය‍ සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉතාමත් සතුටුවන්නීය. ඇගේ ජයග්‍රහණයට සහාය දුන් මල්ලිකා පන්ති බාර ගුරුතුමිය ඇතුළු ගුරුවරුන් හා දෙමවුපියන් ආදරයෙන් සිහිපත් කරන ඇය තමන් හොඳින් ඉගෙනගුරුවරියක ලෙස රටට සේවයක් කිරීමට බලාපොරොත්තු වන බව පවසන්නීය.

ලකුණු 173 ක් ලබාගෙන දෙවැනි තැන ලැබුවේ එච්.එම්. තරුෂි සත්සරණී හේරත් දැරියයි. “ මං පාසලේ වැඩ මඟ හරින්නේ නැතිව කෙරුවා. ගෙදර ඇවිත් පාඩමුත් කළා. සෙල්ලමුත් කළා. මට හරි සතුටුයි. මගේ ගුරුවරුන්ට මම ස්තුති කරනවා එයාලා නැත්නම් මට මෙහෙම වෙන්න බෑ.”

දියණිගේ මව පවසන්නේ කිසිදු උපකාරක පන්තියකට නොගොස් සිය දියණිය පාසලේ ඉගෙනුමෙන් පමණක් මේ ජයග්‍රහණය ලබාගත් බවයි.

මේ පාසලේ දරුවන්ගේ දෙමවුපියන් එකම ඉල්ලීම වන්නේ දුප්පත් දරුවන්ගේ පාසල නොසලකා නොහරින ලෙසයි. පාසලේ වත්මන් ගුරුවරුන් පවසන්නේද මේ ගැන අධ්‍යාපන බලධාරින්ගේ අවධානය යොමුවිය යුතු බවය.

බන්දුල සෙනෙවිරත්න

Comments