‘මෙරූන්’ හිස් වැස්ම අපට ආඩම්බරයක් | සිළුමිණ

‘මෙරූන්’ හිස් වැස්ම අපට ආඩම්බරයක්

මල් පර වීම ගැන දුක් විය යුතු නැත

පුතා නැතිවෙලා අවුරුදු 23ක් ගතවෙලා. ඒත් මට පුතා ගැන ඇති මතකය අලුත්. මගේ රත්තරන් පුතා දිවි දුන්නේ රට දැය වෙනුවෙන්. එනිසා මගේ පුතා මට නැති වුණත් පුතා රට වෙනුවෙන් උදාර සේවයක් කළා කියන හැඟීමෙන් හිත හදාගන්නවා.

එකම රෑනක් සේ රට රැකීමට පෙරට ගොස් කුරිරු යුද්ධයේදී මෙලොවින් සමුගත් සහෝදර විරුවන්ගේ ගුණ සිහි කෙරෙද්දී හැමගේ නෙතගින් කඳුළු බිඳුවක් පැන නැඟුණේ නිරායාසයෙනි. තම පුතණුවන්ගේ, තම සහෝදරයාගේ මතකය ආවර්ජනය කිරීමේ මොහොතට සහෝදර විරුවන්ගෙන් ඇරියුම් ලද දෙමවුපියෝ ඇතුළුව සහෝදර, සහෝදරියෝ බොහෝ පිරිසක් එක්ව සිටියහ.

මේ හැඟුම්බර දසුන මා නෙත ගැටුණේ පසුගිය 30 වැනිදා ගණේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ රණවිරු ස්මාරකය අබියසදී මහාචාර්ය ඉඳුරාගරේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ආගමික අනුශාසනා මධ්‍යයේ පැවැති අපූරු ගුණ සමරු උත්සවයේදීය.

1979 වර්ෂයේදී කොමාන්ඩෝ රෙජිමේන්තුව ආරම්භ කිරීමෙන් අනතුරුව සමස්ත රටවැසියාට ඍජුවම කොමාන්ඩෝ විරුවකු ලෙස ‘මෙරූන්’ හිස්වැස්ම පැලඳීමේ අවස්ථාව සැලැසුණේ 1986 වර්ෂයේදීයි. එදා එලෙස ඉඳුරාම කොමාන්ඩෝ විරුවකු ලෙස එක්වූ පළමු කණ්ඩයට අයත් 80 දෙනාගෙන් 30 දෙනකුම ත්‍රස්තවාදී අරගලයේදී මෙලොවින් සමුගෙන ගොස්ය.

වර්තමානයේ සියලු දෙනාම පාහේ හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් සිටියත් වසර 31ක් ගෙවෙන මොහොතේදී නැවතත් එක්ව තම සහෝදර පිරිස සිහි කරද්දීම තවත් සුවිශේෂ කර්තව්‍යයක්ද සිදු කළේය. ඒ තම පිරිස කොමාන්ඩෝ රෙජිමේන්තු පියසට ගොඩවූ දා පටන් ගුරුහරුකම් දෙමින් ගුරු පියවරුන් සේ කටයුතු කළ ඉහළ නිලධාරීන් ඇතුළු උපදේශක පිරිසට උපහාර පිදීමයි. එහිදී කොමාන්ඩෝ රෙජිමේන්තුවේ නිර්මාතෘ ලෙස සැලැකෙන කර්නල් සුනිල් පීරිස්, පළමු පාඨමාලාවේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේජර් ජෙනරල් උපාලි එදිරිසිංහ, මේජර් ජෙනරල් පී. චන්ද්‍රවංක, මේජර් ජෙනරල් ශ්‍රීනාත් රාජපක්ෂ, මේජර් සුමනවීර, රෙජිමේන්තු සැරයන් මේජර් චන්ද්‍රා, රෙජිමේන්තු සාජන් මේජර් ලාල් විතාන, පළමු නිදහස් අාර පැරෂුට් කණ්ඩායමේ රෙජිමේන්තු සැරයන් මේජර් රන්්බණ්ඩා ඇතුළු එදා උපදේශකවරුන් ලෙස තමනට ගුරුහරුකම් දුන් සියලු දෙනාම පාහේ අගයන්නට ඔවුන් කටයුතු කළේ උපහාර තිළිණයක් ප්‍රදානය කරමිනි.

‘නොහැක්කක් නොමැත’ පාඨයෙන් යුත් කොමාන්ඩෝ රෙජිමේන්තුවේ පළමු පාඨමාලාවේ දක්ෂතම සෙබළා ලෙස සම්මාන ලැබු මාණ්ඩලික සැරයන් ඩී. යූ. එන්. සිල්වා 1994 නොවැම්බර් 1 වැනිදා මඩකළපුවේදී දිවි ගමනට ‘තිත‘ තැබුවේ දේශය වෙනුවෙනි. ගණේමුල්ලට රැස්ව සිටි දෙමවුපිය පිරිසේ සැරයන් සිල්වාගේ මෑණියන් වූ වාද්දුවේ සිට පැමිණි කුසුමාවතී ද සිල්වා මාතාව තම පුතුගේ මතකය ආවර්ජනය කළේ හැඬු කඳුළෙනි.

“පුතා නැතිවෙලා අවුරුදු 23ක් වෙලත් තවමත් මට තියෙන්නෙ අසීමිත කනගාටුවක්. ඔහුගේ මතකය මට තවමත් එහෙමමයි. ඒත් ඉතින් මගේ රත්තරන් පුතා රටදැය වෙනුවෙන් උදාර සේවයක් කළා කියන හැඟීමෙන් හිත හදාගන්නවා.

පුතාගේ තාත්තගේ මල්ලි ඉංජිනේරුවෙක්. පුතා ගියේ මොරටුව වෙල්ස් කුමර විදුහලට. අපි කවුරුවත්ම කැමැති වුණේ නෑ පුතා කොමාන්ඩෝ රෙජිමේන්තුවට බැඳෙනවට. තාත්තා කෑගහලා කිව්වා මටත් මගේ අම්මා එදා පොලීසියට බැඳෙන්න දුන්නෙ නෑ... ඒ වගේම මමත් උඹට කොහොමටවත් කොමාන්ඩෝ එකට බැඳෙන්න දෙන්නෙ නෑ කියා දැඩි ලෙස තර්ජනය කළා. පස්සෙ ඉතින් රෑට නින්දට ගියාම මගේ ළඟට ඇවිත් හැමදාම අඬනවා ‘අම්මේ තාත්තට මේක පහදලා දෙන්න... නැත්නම් මං ඉස්කෝලේ යන්නෙ නෑ’ කියලා. මං ඉතින් පස්සෙ මගේ අයියව ගෙනල්ලා තාත්තගෙ කැමැත්ත ගත්තා. අයදුම්පත්‍රයට තාත්තගේ අත්සන ගත්ත දවසේ පුතා කිව්වා, ‘තාත්ත හිතාගන්න මාව මහණ කළා කියලා’. එහෙමයි කොමාන්ඩෝ එකට බැඳුණේ. කසාදයක් කරගන්නවත් හිතුවේ නෑ තනිකර ජිවිතේම කැපකළේ කොමාන්ඩෝ රෙජිමේන්තුවට.

හැබැයි මං හිතනවා මගේ පුතා හොඳ තැනක ඇති කියලා. ඒ වගේම මං තව පොඩි කාරණයක් කියනවා පුතාගේ බැච් එකේ ජීවත්ව සිටින මේ යාළුවෝ කරන කාර්යය ගැන ඇත්තටම මට හරිම සතුටුයි. මොකද ඔවුන් අද දිනයේ තමන්ගේ යාළුවන් සිහි කරලා කළ-කී දේවල් දැක්කම.”

කිසිදු කණ්ඩායමක් මෙතෙක් නොකළ ආකාරයේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් එදින පුරාම තම සගයන් සිහි කරමින් අවුරුදු 31ක් ඉක්ම ගොස් තිබියදී යාළු-මිත්‍රයන්ගේ එකතුවීම අගේ කළ යුතුම කාර්යයකි.

1991 වර්ෂයේදී වැලිඔයදී මියගිය කෝප්‍රල් එම්. ඩී. එස්. රත්නායකගේ මෑණියන් වූ කුරුණෑගල කුඹුක්වැව පදිංචි ස්වර්ණා මුතුනායක මාතාව පුතුගේ මතකය අවදි කරන අතරතුර ඇද වැටුණේ දුක වාවාගත නොහැකි නිසාවෙනි.

“මගේ පුතා ගැන මතක් වෙනකොට හිත වාවන්නෙ නෑ... පොඩි කාලෙ ඉඳන්ම පුතාට තිබුණේ පුදුමාකාර හොඳ ගතිගුණ. ගමේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වෙ පාස්වෙලා ඉබ්බාගමුව සෙන්ට්‍රල් එකට ගියේ. පාසල් කාලෙදි බාලදක්ෂ කළා. කෙඩෙට් කළා. ඉතින් ඒ කාලෙ ඉඳන්ම පුදුම ආසාවක් තිබුණේ හමුදාවට බැඳෙන්න. කොහොමහරි කොමාන්ඩෝ එකට බැඳෙන්න ගණේමුල්ල මේ කෑම්ප් එකට එනකල්ම අපි දන්නෙ නෑ. පස්සෙ අපි මෙහෙට එන්න හදනකොට කිව්වා ‘අම්මා මං කියන දේ පොඩ්ඩක් අහන්න... මං රට ජාතිය වෙනුවෙන් මේ ගමන අනිවාර්යයෙන්ම යනවා කිව්වා. එයාගේ තව යාළුවෙක් හිටියා දෙන්නා වැඩිපුරම ඇසුරු කළේ පන්සලේ හාමුදුරුවෝ... දවසක් අපේ පුතා කිව්වලු, ‘මං හමුදාවට බැඳෙනවා... උඹ මහණ වෙයන් කියලා.

හැබැයි මං එදා පුතාට එක අවවාදයක් දුන්නා... පුතේ උඹ කවදාවත් ඉස්සරහට තියපු අඩිය පස්සටනම් ගන්න එපා කියලා... පුතා ඒ කතාව මැරෙනකල්ම කිව්වා... ‘අම්මේ මං මැරුණත් කවදාවත් ඉස්සරහට තියපු අඩිය පස්සටනම් ගන්නෙ නෑ’ කියලා. අන්න එහෙම අවංක රාජකාරියක් කරලා තමයි මගේ දෙයියා මේ ලෝකෙන් නික්මිලා ගියේ... ඒ ගැන මට ලොකු ආඩම්බරයක් අදත් තියෙනවා. අද පුතා ජීවතුන් අතර සිටියනම් ලස්සන ජීවිතයක් ගත කරනවා... නමුත් ඒ ජීවිතේට එයාට නැතිවුණාට අද ලංකාවේ ජීවත්වන සියලු දෙනාට නිදහස් සාමකාමී රටක් උරුම කර දෙන්න මගේ පුතා ඇතුළු සමස්ත රණවිරුවා කළ සේවය අතිමහත්. අන්න එතෙන්දී මං පුතා ගැන ආඩම්බර වෙනවා.”

කොමාන්ඩෝ රෙජිමේන්තුවට යුද්ධයේදී සිදුවූ ලොකුම හානිය වූයේ 1990. 06.15 වැනිදා මුතුර්හිදී එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙනි. එදින මියගිය කපිතන් පී. කේ. විමලසූරියගේ මතකය අවදි කළේ නැඟණිය වූ ගම්පහ වෙසෙන අරුණි විමලසූරියයි.

“අපේ පවුලට හිටිය එකම පිරිමි සහෝදරයා අයියා. ඔහුට නංගිලම තුන්දෙනෙක් හිටියේ. අයියා අපිට පුදුමාකාර විදිහට ළෙන්ගතුයි. කොටින්ම කිව්වොත් තාත්ත වගේ තමයි අයියා අපි වෙනුවෙන් කටයුතු කළේ. අයියා කිසිම වෙන රස්සාවකට යන්න කැමැති වුණෙත් නෑ. ඒ කාලේ අපිටත් හරිම ආඩම්බරයක් අයියා කොමාන්ඩෝ එකේ කිව්වම. එයා ගෙදර ආවම අපි විස්තර ඇහැව්වම කිසිම වෙලාවක හමුදාවේදී විඳින දුෂ්කර ජීවිතය ගැන වචනයක් කියන්නෙ නෑ. අයියා රටට කරලා ගිය ඒ විශිෂ්ට සේවය නිසා එහි අභිමානය අපිට අදටත් එලෙසම පවතිනවා... යම් කටයුත්තක් කරගන්න කොහෙට ගියත් මේ අහවලාගේ නංගි නේද කියලා ලොකු පිළිගැනීමක් තියෙනවා. ඒ සියල්ල අපිට ලැබෙන්නෙ අයියා රට වෙනුවෙන් කළ සේවය නිසයි.”

රාජකාරියේදී තමන් කළ-කී දෑ ගැන වැඩි යමක් පැවැසීමට මේ වීරෝදාර රණශූරයෝ දක්වනුයේ මැළිකමකි. එහෙත් 2000 වර්ෂයේදී අලිමංකඩ කඳවුරට එල්ල වූ දැවැන්ත ප්‍රහාරයේදී මියගිය මේජර් ජෙනරල් පර්සි ප්‍රනාන්දු මහතාගේ සිරුර සතුරාට හසු වන්නට නොදී සතුරු භූමියටම ගොස් රැගෙන ආවේ ද මේ ඛණ්ඩයේ රණවිරුවෙකි.

“එතකොට මට වෙඩි වැදිලා හිටියේ. එහෙම අය ඉන්නෙ ගණේමුල්ලේ. යාපනයේ හිටියේ කර්නල් රිටිගහපොළ සර්. එතකොට කර්නල් මට කිව්වා, ‘උඹ වරෙන් ජැෆ්නා’ කියලා. හැබැයි ලියුමක් ලියලා වරෙන් කිව්වා. මං කිව්වා මට ලියුම්නම් ලියන්න බෑ... ඕනනම් හදවතින්ම එන්නම් කියලා. මං ගියා ජැෆ්නාවලට. වෙඩි වැදිලා හිටිය නිසා මට තිබුණේ පරිපාලන වැඩ. ඒ දවස්වල තමයි ඊපීඑස් පසුබැස්ම (අලිමංකඩ පසුබැසීම) අලිමංකඩ කඳවුරෙන් පසුබැහැලා කිලාලි පැත්තට එනකොට තමයි මේක වුණේ... සීඕ හිටිය කර්නල් රිටිගහපොළ මට කිව්වා ජෙනරල්ගේ බොඩි එක සතුරන්ගේ අතට හසුවන්න යන්නෙ කොහොමහරි ඒක ගෙනත් දියන් කියලා... මං දිගු දුර විහිදුම් බළකා පාඨමාලාවේ උපදේශකයකු ලෙසත් කටයුතු කරලා තිබුණා. ඒ වගේම විශ්වාසය උඩ තමයි මට මේ දේ කර්නල් එදා පැවැරුවේ. කිලෝමීටර් එකහමාරක් විතර ඈතින් තමයි ජෙනරල්ගේ බොඩි එක තියෙන බව මට ආරංචි වුණේ... එතකොට ඒ ප්‍රදේශ සතුරන්ගේ අතට පත්වෙලා ඉවරයි. අපි ඉතින් මළසිරුරු උඩින් පැන පැන තමයි ගියේ... ඒ හුඟ දෙනෙක් මැරිලා හිටියේ අධික විජලනය නිසා. අපි දැක්කා ජෙනරල් වැටිලා ඉන්නවා. මාත් සමඟ තව හත්දෙනෙක් ගියා... ජෙනරල් ප්‍රනාන්දු කියන්නෙ සද්දන්ත කෙනෙක්. අපි හත්දෙනාට උස්සන්න බැහැ. අන්තිමට කොහොමහරි අරගෙන ආවා. එතකොටත් ත්‍රස්තවාදීන් තදින් පහර දෙනවා. ඒ වෙලාවේ ඔවුන්ට ලොකු වුවමනාවක් තිබුණා ජෙනරල්ගේ බොඩි එක ගන්න” එදා එලෙස ක්‍රියාත්මක වූයේ ඍජුවම කොමාන්ඩෝ රෙජිමේන්තුවට එක්වූ වර්තමානයේ විශ්‍රාම සුව විඳින මහනුවර අම්පිටියේ වෙසෙන සාජන් මේජර් සමරසිංහයි.

එදා කොමාන්ඩෝ රෙජිමේන්තුවට බැඳීමට එවා තිබූ 28000කට අධික අයදුම්පත් ප්‍රමාණයෙන් කොමාන්ඩෝ විරුවන් ලෙස රටට සේවය කිරීමට කැපවූ එම පිරිස අතර ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නාමයට සුවිශේෂ වූ කාර්යභාරයක් කළ කීප දෙනෙක්ම වූහ. ඒ අතරින් මේජර් ගුණසේකර යනු ත්‍රස්තවාදී අරගලයේදී සුවිශේෂ කාර්යභාරයක් කළ දිගුදුර විහිදුම් බළකායක අවශ්‍යතාවයේ මූල බීජය වැපිරූ චරිතයයි. එසේම ශ්‍රී ලංකා පැරෂුට් ඉතිහාසයේ සුවිශේෂ වූ නාමයක් වන මේජර් සිරංජීව සහ අන්තර්ජාතික තරගාවලි රැසක් නියෝජනය කළ අතිදක්ෂ වෙඩික්කරුවෙක් වූ චන්දන වැදිසිංහ ද මේ ඛණ්ඩයට අයත්ය.

මේ අපූරු ගුණ සමරු උත්සවයේ ප්‍රදර්ශනය කර තිබූ බැනරයක පාඨය අවසානයේ මෙසේ දක්වමි.

“පුෂ්පයන්ගේ සුසානය
ඵලයන්ගේ තිඹිරිගෙය නම්
මල් පරවීම ගැන දුක් විය යුතු නැත”
“මේ සටන අපි කළේ නොමියෙන්නට නොව
ජීවත්ව සිටින ඔබට මියෙන තුරා
නිදහස්ව හා නිවහල්ව ජීවත් වීමටය” 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.